කිසි දෙයක් අහම්බයක් නොවේ අපූරු හඬක හිමිකාරිය

අයේෂ්මා තත්සරණී
ජුනි 2, 2022

ඔබම මාද විය  
මාද ඔබම විය...

පසුගිය දිනයක අහම්බෙන් ඇසුණු ඒ හඬ, ඈ සොයන්නට වෙහෙසෙන්නට සිත යොමු කළා. ඒ තරමට ඒ හඬ ආකර්ෂණීයය. ආදරණීයය. ගීතයේ නියම අයිතිකාරිය විශාරද මාලිනී බුලත්සිංහල ගේ හඬට වඩා වෙනස්. එහෙත් වෙනත් ආකර්ෂණීය ස්වරූපයකින් . ඇය මේ ගීතය ගායනා කළේ සිරස රූපවාහිනියේ ජනපි‍්‍රය සංගීත වැඩසටහනක් වන ‘සජ්ඣායනා’ වැඩසටහනට. ඇය අයේෂ්මා තත්සරණී.

අයේෂ්මා තත්සරණී කොළඹ විශාඛා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ හදාරන පාසල් සිසුවියක්. එහෙත් ඇගේ හඬ පෞරුෂය ඉන් එහා ගිය අති සුන්දර එකක්. ඇගේ සංගීත දිවිය පිළිබඳ කතා බහකට පසුගිය දා අපි අයේෂ්මා කැඳවා ගත්තා. ඉතින් අපි අහමු ඇගේ තොරතුරු කොහොමද මේ තරම් ලස්සනට සින්දු කියන්න ඉගෙන ගත්තේ කියලා.

‘මම පුංචි කාලෙදි සංගීතය පැත්තට වැඩි කැමැත්තක් තිබුණේ නෑ. නැටුම් වලට තමයි වැඩි කැමැත්ත තිබුණේ. ඒ වුණාට මම හය වසර පන්තියට ගියාට පස්සේ මම සංගීතය විෂයක් විදියට තෝරගත්තා. එතැන ඉඳන් සංගීතය ඉගෙන ගන්න කොට මට ඉබේටම ඒ ආසාව ඇතිවුණා.’

අයේෂ්මා අ.පො.ස සා. පෙළ දක්වා ඉගෙන ගන්නේ කැස්බෑව ආටිගල බාලිකා විද්‍යාලයේ. ඇගේ සංගීත දිවිය කෙමෙන් කෙමෙන් වර්ධනය වෙන්නේ මේ පාසලේ දි. දවසක් දා උදේ රැස්වීමේ දී ඇය ගායනා කළ ගීතයක් නිසා ඇගේ දිවි ගමන වෙනස් ආකාරයකට හැඩ ගැහෙන්න පටන් ගත්තා. එතැන් සිට ගුරුවර ගුරුවරියන්ගේ අවධානය ද ඇය දෙසට යොමු වෙමින් විවිධ තරග සඳහා ද ඉදිරිපත් වෙමින් ඒ සඳහා ජයග්‍රහණ හිමිකර ගන්නට ද ඇයට අවස්ථාව උදා වුණා.

‘ඇත්තටම මම හරි ආසයි ඉබචඨඥ එකක් උඩට නැගලා සින්දු කියන්න. මගේ ගීතයකට කවුරු හරි අත් පොළාසන් දෙනකොට මට අමුතු හැඟීමක් ඇති වෙනවා. මම ආටිගල බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ හරියට තරගවලට ඉදිරිපත් වුණා. ඒවායින් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණත් මට ලැබුණා. මගේ මේ දක්ෂතාත් එක්ක තමයි මට අ.පො.ස උසස් පෙළ කරන්න විශාඛා විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ.

අයේෂ්මා මේ රටේ බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ 2017 වර්ෂයේ දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහන හරහා. ඇය එහිදී අවසන් 40 දෙනා අතර එන්නට තරම් දක්ෂතා ඇති දරුවෙක් වුණා. ඉන් පසු ඇය අපේ රූපවාහිනි පේ‍්‍රක්ෂකයින්ගේ ආදරය දිනා ගන්නේ සිරස වොයිස් ටීන්’ වැඩසටහනට ඉදිරිපත් වීමෙන්. ඒ වෙනුවෙන් කළ ඇගේ ‘රාවණ’ වීිඩියෝ එක මිලියන 1.7 ක් බලල තිබුණ. ඒ අතරේම තමයි ඇය විවිධ අවස්ථාවල සිරස සජ්ඣායනා වැඩ සටහනට ගීත ගායනා කරන්නට එක් වූයේ

‘මම සජ්ඣායනා වැඩසටහන් කීපයකටම සම්බන්ධ වුණා. ඒවාට ගායනා කළ ‘මාද ඔබම විය. උදුම්බරා, පරම රමණී, වැනි ගීත පේ‍්‍රක්ෂකයෝ අතරේ අතිශයින්ම ජනපි‍්‍රය වුණා. ඉස්සරහටත් සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. මගේ හිතේ හීන ගොඩක් තියෙනවා. මම හරි ආසයි චිත්‍රපට නිෂ්පාදිකාවක් වෙන්න. මම සමහර චිත්‍රපට බලනකොට මට හිතෙනවා අනේ මේක මෙහෙම වුණා නම් හොඳයි නේද කියලා.

ඒ වගේම තමයි මම ලියන්න ආසයි. මගේ හිතට විවිධ අදහස් එනවා. මම ඒවා වෙලාවකට ලියනවා. මට ඕන මගේ හිතට එන් අදහස් අනිත් අය අතරටත් යවන්න. මම තවම මගේම ගීතයක් කරල නෑ. ඉදිරියේදී මගේම නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ සංගීත දිවිය මේ තරම් දුරකට ගේන්න මට පුුළුවන් වුණේ මගේ ඉස්සර පාසලේ ගුරු මහත්ම මහත්මීන් සියලු දෙනාත්. දැන් මම ඉගෙන ගන්නා විශාඛා විද්‍යාලයේ ගුරු මවුවරුනුත් නිසයි. ඒ වගේම මගේ අම්ම තාත්තා දෙන්නා නිරන්තරව මගේ පස්සෙන් ඉන්නවා. මට ඉන්නේ මල්ලි කෙනෙක් විතරයි. මගේ අම්මා ගෘහණියක්. තාත්තා කායවර්ධන පුහුණු කරුවෙක්. මේ දෙන්නාගෙන් තමයි මගේ ගමනට ලොකුම සහයෝගය ලැබෙන්නේ.

මම ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි හැම දෙයක්ම අහම්බයක් නොවේ සියල්ලම ස්වභාව ධර්මය සැලසුම් කරන දෙයක් බව, මම දේකට ආස නම් ඒක හිතින් හිතල ඒවා ළඟා කරගන්න ඕන බව. අනිත් එක තමයි ආදරෙන් ජීවත්වීම. මම අ.පො.ස උසස් පෙළ කරන්නේ 2023 දී මම ආසයි සංගීත අංශයෙන් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරියක් වෙන්න.’

7/1/B දූවවත්ත තුම්බෝවිල, බෝකුන්දර ඇගේ ලිපිනය