වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
පොත්හල සුරකින පළමුවැනි මයිකල් කුමාරයා

"මම භාර ගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩා ගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්". පසුගිය මැයි 16 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාවේදී රටේ පවතින තත්ත්වය පැහැදිලි කිරීමට මෙලෙස උදාහරණ ලෙස යොදා ගත්තේ හුණුවටයේ කතාවේ කොටසකි. ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ නාට්‍ය නිර්මාණයක් වන හුණුවටයේ කතාව ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම් වේදිකා නාට්‍යයේ පරිවර්තනයකි. එයට තේමා වී තිබෙන්නේ දරුවෙක් සහ මව්වරු දෙදෙනෙක් අතර ආදරය විනිශ්චය කිරීමේ අපූරු නඩු තීන්දුවකි. හුණුවටයේ කතාවේ ගෲෂා අත දැරූ අනුන්ගේ දරුවා මයිකල් නම් වූ කුමාරයා විය. හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' වේදිකා නාට්‍ය පළමු වේදිකා ගත වීම සිදු වූයේ 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දීය. එහි ආරම්භක මයිකල් කුමරු වූයේ නිලන්ත ජයසේනය. මේ කතාව සමඟ සරසවිය අපි හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාවේ පළමු මයිකල් කුමාරයා සොයා ගියෙමු.
නිලන්ත ජයසේන ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ වැඩිමහල් සොයුරාගේ පුත්‍රයා වේ. මේ වන විට ඔහු බොරැල්ල ඩී.එස් සේනානායක විදුහල අසල පිහිටි සරසවි පොත්හලේ ආරක්ෂක සේවයේ නිරත වෙමින් සිටින්නේය. එදා මයිකල් කුමාරයාගේ චරිතය ලද අයුරු අද ඔහු සිහිපත් කළේ මෙලෙසිනි.
"1966 වසරේදී අපි පවුලේ හැමෝම හෙන්රි බාප්පාගේ අහස් මාළිගා වේදිකා නාට්‍ය නරඹන්න ගියා. වේදිකා නාට්‍යයක කුමාරයෙකුගේ චරිතයකට ළමයෙක් හොයනවා කියලා බාප්පා කිව්වේ ඒ වෙලාවේ තමයි. ඉතිං මේ ඉන්නේ කියලා තාත්තා මාව පෙන්නුවා. නිලන්ත කැමැතිද කියලා හෙන්රි බාප්පා ඇහුවාම මං "හා" කිව්වා. හුණුවටයේ කතාවේ මයිකල් කුමාරයාගේ චරිතය මට ලැබුණේ ඒ විදියටයි. එතකොට මගේ වයස අවුරුදු හතක් විතර ඇති. මට තනියම මේ වෙනුවෙන් එන්න බැරි නිසා ලොකු අක්කා ශ්‍රියාණි ජයසේනත් චරිත කිහිපයකටම තෝරා ගත්තා".
නාට්‍යයේ පුහුණුවීම් කටයුතු සමඟින් අපි කතාවේ ඉදිරියට යමු?
පුහුණුවීම් කටයුතු තමයි සුන්දරම අත්දැකීම්. සුදර්ශියේ, ලුම්බිණි රඟහලේ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේදීත් හුණුවටය පුහුණුවීම් කළා. ඒ කාලේ නාට්‍ය කණ්ඩායමේ හිටිය හැමෝම වගේ රජයේ එහෙමත් නැත්නම් පෞද්ගලික අංශයක රැකියා කරපු අය. ඒ නිසා හැමදාම පුහුණුවීම් පටන් ගන්නේ හවසට. රෑ වෙනකල් පුහුණුවීම් කරනවා. මම පොඩියි නේ. ඉතිං මට හරි නිදිමතයි. මට නින්ද යනවා. මගේ දර්ශන තියෙන වෙලාවට වේදිකාවට එන්නේ වැටි වැටී. ටික කාලයක් යනකොට ඒකට පුරුදු වුණා. මහන්සියක් නැතුව පුහුණුවීම් කළා. ඒ කාලයේ සමහර දවස්වලට රාත්‍රි දර්ශනත් තිබුණා. නාට්‍යයේ මට දෙබස් මොකුත් තිබුණේ නැහැ. බාප්පා කිව්ව විදියටම හිටියා. ඒ වුණත් කාලයක් යනකොට මට හුණුවටය වේදිකා නාට්‍ය සම්පූර්ණයෙන් කටපාඩම් වුණා.
"ඈත එක් යුගයක
ලෙයින් නැහැවුණු සමයක
කවුකාස්කි නගරයක
සාපලත් නගරයයි නම් වූ
විසුවා යුව රාජයෙක්"
හුණුවටයේ කතාවේ පළමු නාට්‍ය කණ්ඩායමේ මතක?
ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා තමයි සංගීත නිර්මාණය කළේ. කස්බෙක් කුමරු වුණේ එල්සන් දිවිතුරගම. රජ බිසව, නටාලියා අබෂ්විල්ලි චරිතයට පණ පෙව්වේ පද්මකුමාරි ගුණසේකර. බාප්පා පණ පෙවූ අසඩක්ගේ චරිතයට තමයි මම වැඩියෙන්ම ආසා කළේ. බාප්පා ඒ චරිතය නිරූපණය කළ හැටි කියන්න මට වචන නැහැ. මානෙල් නැන්දාගේ චරිතයත් විශේෂයි.
"හෙළ ගැඹුරුයි - පුත නොබලන්
සෙල වෙනකොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ මඟක් නැතේ
මේ මඟ මිස යමන් පුතේ
දෙවියො බලයි මූණ නුඹේ
නුඹව රකියි - යමන් පුතේ..."
ඇය ඒ චරිතය හරි අපූරුවට නිරූපණය කළා. බාප්පා නාට්‍යයට හොඳම කණ්ඩායමක් තෝරා ගෙන තිබුණා. චන්ද්‍රා කළුආරච්චි, ඩග්ලස් රණසිංහ, යූ. ආරියවිමල්, සැන්ටින් ගුණවර්ධන, ධර්මදාස කුරුප්පු, චූලා කාරියවසම් ඇතුළු පිරිස සමඟ හුණුවටයේ කතාවේ විශාල කණ්ඩායමක් හිටියා. විජේරත්න වරකාගොඩ මහත්තයා තමයි පූරක වුණේ. ඔහුට තිබුණේ ගාම්භීර කටහඬක්.
"විදා අත්තල දෙණින් දෙන දේ රැගෙන හෝ නොම රැගෙන පොදු දේ
නිධානයකින් රැගෙන දෙන මෙන් යුක්ති ධර්මය සැමට බෙදුවේ
එදා පිටවූ විනිසුරු ඒ යළිත් නැත කිසි දිනෙක දුටුවේ
මෙදා වනතුරු ඔහුගෙ අණ ගුණ දනන් තුඩ තුඩ තවද කියවේ"
අදටත් ඔහුගේ ඒ හඬට මම හරි ආසයි.
හුණු වළල්ලේ තියලා මාව දෙපසට ඇදපු දර්ශනය පුංචි වුණත් මට විශේෂ විදියට දැනුණා. ෂව්වා තමයි හුණු වළල්ල ඇන්දේ. එදා ඒ චරිතයට පණ පෙව්වේ චූලා කාරියවසම්. මාව හුණු වළල්ල මැද්දෙන් තියලා රජ බිසවටයි ගෲෂාටයි මගේ අතින් අල්ලා ගන්න කිව්වාම රජ බිසව පැනපු ගමන් තදින් මගේ අත අල්ලා ගත්තා. ගෲෂා හරි ආදරෙන් හෙමින් තමයි අත ඇල්ලුවේ. දෙපැත්තට අදිනකොට ගෲෂා දරුවාට රිදෙයි කියලා අත අරිනවා. එක දවසක් නම් පුහුණුවීම්වලදි බාප්පා කිව්වා මේ මදි තව තදින් අදින්න කියලා. මට නම් ගාණක් වුණේ නැහැ. රජ බිසවට හිටිය පද්මකුමාරි ගුණසේකරයි ගෲෂා වුණ මානෙල් නැන්දායි මට රිදෙන්නේ නැති විදියට ඒ දර්ශනය කළා.
"යුද භටය යන යුදයට
ඉඳීන්නෙමි මම ඔබ එනතුරා
යනුව නොපැකිළ සටනට
ලෙයින් නැහැවුණ කුරිරු යුද බිම
නොඑන මුත් සැම දෙන මිදී
ඉඳීන්නෙමි මම ඔබ එන තුරා
ඇහැළ ගස මල් පල දරන විට
ඇහැළ ගස යළි කොළ සලන විට
සීත සමයේ හිම වැටෙන විට
වසන්තේ මල් කෙමි ඇදෙන විට
යන යුදට හැම අයම එන තුරු
ඉන් පසුව වුව ඉඳීමි නිරතුරු
යෙහෙන් ගොස් යළි එනුව යහතින්
මග නොමග දෙව් සරණ ලබමින්"
හුණුවටය වේදිකා නාට්‍යයේ මම කැමැතිම ගායනය මෙයයි.
හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ දර්ශන වාර දෙසියකට වැඩි ගණනකට මම හිටියා. ඒ කාලයේ අපි රට වටේම ගියා. අද අනුරාධපුරයේ නම් හෙට ගාල්ල. මන්නාරම, මඩකලපුවේදී පවා හුණුවටයේ කතාව වේදිකා නාට්‍ය වේදිකා ගත කළා. ඒ කාලයේ හෝල් එක පිරෙන්න සෙනඟ. ටිකට් අරගෙන ඇතුළට එන්න. සෙනඟ එක පොදියට පෙරකනවා. වේදිකා නාට්‍ය නරඹන්න හැමෝටම තිබුණේ පුදුම උනන්දුවක්. හෙන්රි බාප්පාගේ හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයටත් ලැබුණේ ඉහළ ජනප්‍රියත්වයක්. වේදිකා නාට්‍ය නිසා පාසල් කටයුතු අතපසු වුනත් මම පසුව උනන්දුවෙන් ඒවා කළා. මයිකල් කුමාරයාගේ චරිතය නිරූපණය කරන්න ඉස්කෝලෙනුත් මට අවසර දුන්නා.
හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයට දායක වූ කාලයේදීම මමයි අපේ පොඩි අයියයි කොළඹ 44 නම් බාලදක්ෂ වෘක පෝතක කණ්ඩායමේ හිටියා. එක දවසක් උදේ පාන්දර මමයි අපේ පොඩි අයියයි එහි පදක්කමක් දිනා ගන්න අභ්‍යාසයකට සහභාගි වුණා. පොඩි වුණත් ඒ පදක්කම දිනා ගන්න නම් අපි ගස් නැගලා දුවලා පැනලා විවිධ බාධක ජයගෙන පෙන්විය යුතු වුණා. ඒ පදක්කම දිනලා අපි බොරැල්ලට එනකොට වයිඑම්බීඒ එක ළඟ බාප්පා ඉන්නවා දැක්කා. බස් එකකුත් එතැන තිබුණා. හුණුවටයේ කතාවට වුවමනා කරන වේදිකා සැරසිලි එහෙම ඒකේ උඩ පටවලා තිබුණේ. අයියයි මමයි එතැනට දුවගෙන ගියා. "නිලන්ත ඔයා මොකද මෙතැන කරන්නේ අද හුණුවටයේ කතාව වේදිකා නාට්‍ය තියෙනවා" කියලා බාප්පා කිව්වා. ඇත්තටම මට නෙවෙයි අක්කට අමතක වෙලා. අක්කා නම් එදා බාප්පාගෙන් බැණුම් ඇහුවා.
මයිකල් කුමාරයාගේ චරිතයෙන් පසුව ඔබ වේදිකාවේ දකින්න ලැබුණේ නැහැ?
මං ඒ චරිතයෙන් පසුව වෙනත් කිසිම චරිතයක් නිරූපණය කළේ නැහැ. මං ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසලේදී ක්‍රිකට් ක්‍රීඩාවටත් යොමු වුණා. පාසල් කැඩෙට් කණ්ඩායමත් නියෝජනය කළා. අධ්‍යාපන කටයුතුවලටත් මුල් තැන දුන් නිසා රංගන කටයුතුවලට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම වෘත්තියෙන් වර්ණ ඡායාරූප තාක්ෂණ ශිල්පියෙක් විදියට කටයුතු කළා. ආරම්භයේදී සරසවි කලර් ලැබ් එකේ සහ හේලීස් එකේ වැඩ කළේ. මට ඕමානයේ රැකියාවට යන්න ලැබුණේ එයින් පසුවයි. එහිදී ඕමාන් කලර් ලැබ් එකේ වර්ණ ඡායාරූප තාක්ෂණ ශිල්පියෙක් විදියට වැඩ කළා. වසර පහකට පස්සේ මම ඩුබායි ගිහින් එහි කොඩැක් ලැබ් එකෙත් සේවය කළා. වසර ගණනාවක් විදෙස්ගත වෙලා සිටි නිසා නාට්‍ය කටයුතු ගොඩක් මඟ හැරුණා. ලංකාවේ හිටියා නම් රංගන කටයුතුවල නිරත වේවි. හුණුවටයේ වේදිකා නාට්‍යයෙන් පසුවත් බාප්පා රඟපාන්න කතා කළත් උනන්දුවක් දැක්වුයේ නැහැ. නළුවෙක් වෙන්න තිබුණා නේද කියලා දැන් නම් පොඩි දුකක් දැනෙනවා.
ඔබගෙන් පසු මයිකල් කුමාරයාගේ චරිතයට බොහෝ දෙනෙක් පණ පෙව්වා නේද?
මේ වෙනකොට විසිදෙනෙකුට ආසන්න ගණනක් මයිකල් කුමාරයා වෙන්න ඇති. මගෙන් පසුව මයිකල් කුමාරයාට හිටියේ ගැහැනු ළමයෙක්. නිල්මිණි කරුණාරත්න. තුන්වෙනියා නිමල් ජයසිංහගෙ පුතා ඊට පස්සේ හෙන්රි බාප්පාගේ පුතා සුදාරක. විජේරත්න වරකාගොඩ මහත්තයාගේ පුතා ජනනාතත් මයිකල් කුමාරයාගේ චරිතයට පණ පෙව්වා.
ඉදිරියේදී රංගන කටයුතුවලට දායක වෙන්න කැමැත්තක් නැතිද?
දැන් නම් රඟපාන්න ආසාවෙන් ඉන්නේ. වේදිකා නාට්‍ය විතරක් නෙවෙයි, ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටයකට රංගන දායකත්වය ලබා දෙන්න කැමැතියි. හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයට අවුරුදු විසිපහක් වුණාම වගේම පනහ සපිරුණු වෙලාවේදීත් පැවැති උපහාර උත්සවවලට දායක වුණේ හරිම කැමැත්තෙන්. හුණුවටයේ කතාව පුරාවෘත්තයක් වගේ. එදා පටන් අද දක්වාම වේදිකා නාට්‍යයට පෙම් බැඳී හැමෝම හුණුවටයේ කතාවටත් ආදරය කළා. මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂි චරිතයකට දායක වෙන්න ලැබීම ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්.
සේයාරූ - නිශ්ශංක විජේරත්න