රඟපාන්න ගිහින් දෙපාරක් රස්සාව නැතිවුණා

රංජිත් රූබසිංහ
මැයි 26, 2022

 

බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට එන්නේ ආශාවෙන් නෙමේ ජනප්‍රියත්වය සඳහායි

මාතර ඇකුරැස්ස මාරඹදී 1963 මැයි 5 වැනිදා මෙලොව එළිය දුටු රංජිත් රුබසිංහ කලාවට අත් පොත් තබන්නේ පාසල් වේදිකාවෙන්ය. 1968 වර්ෂයේ කුඩා රංජිත්ට නිදහස් අධ්‍යාපනයේ අරුණැල්ලේ පහස ලබන්නට මාරඹ කනිෂ්ඨ විදුහලේ දොර ඇරුණි. පසුව ඔහු ගොඩපිටිය විදුහලටත් ගියේය. අනිත් කොලු ගැටයන් අතර විසේකාරම කොලු ගැටයා වන රුබසිංහ පන්තිභාර ගුරුවරයාගේ නම් අතර කියවෙන පළමු නමයි. එය රංජිත් රුබසිංහ ටික දවසකින් නම වෙනස් වේ. ඒ දඟයාය. අද දඟයා ඇවිත්ද ඉන්නවාද ටීචර් කියන්නේ ඔහුටය. දඟයා ලෙස පාසල් නම වෙනස් වන රංජිත්ට මිතුරන්ගෙන්, මිතුරියන්ගෙන් අඩුවක් නැත. උනුන් ගෙනා අඹ, දඹ, නාරං, වෙරළු, නෙල්ලි යන පලතුරු මාරු කර කන්නේ හරිම ආශාවෙන්ය. කෙල්ලන්ගේ රංජිත්ද, කොල්ලන්ගේ රුබාද ටිචර්ගේ දඟයා ද වූ රංජිත් පන්තියේ පුංචි නළුවායි. කොල්ලෝ කෙල්ලන්ගේ දඟයා කතන්දර කීමේ හපනකි.දඟයා වට කරගෙන කතන්දර අහන්න රොක් වෙන හැම දවසකම කථාවේ භාගයක් කියන විට ටිචර් පන්තියට ඇවිත් ළමයි කියන කොටම කථාවේ රසබර හරිය කියන්න රන්ජිත්ට බැරිවෙනවා වගේම අහන යාළුවන්ටත් හොඳම හරිය අහන්න බැරි වන්නේය. ඒත් පහු වැනිදාට කථාව කියන්න කියන වාර අනත්තය. හැබැයි මට ලොසින්ජර් දෙකක් දුන්නොත් විතරයි කියන්නේ කියමින් කෙල්ලන්ව අන්දපු වාර කියන්න බැරි තරම්ය . ඒ දඟයාට පාසල් කාලේ කෙල්ලන් ආදරය කළේ ජනකථා, පැල් කවිවලට ඇලුම් කළ නිසාවෙනි. 1975 වසරේ දඟයාට ගොඩපිටිය කනිෂ්ඨ විද්‍යාලයට සමුදෙන්න සිදුවෙන්නේ කලිසම් ඉරාගෙන ෂර්ට්වල වැල්කොළ පාට ගාගෙන යාළුවොත් එක්ක අඹ, හිඹුටු කකා කුරුම්බා බිබී ගෙදර ගිය කාලය නිමා කරමින්ය. කතන්දර මාමා ලෙසද නම් දැරූ ජනකවියා, විකටයා, වූ රසකතා මවන නළුවා යන දවසේ පාසලේ ටිචර්ලා කෙල්ලො,කොල්ලො ඇඬුවේ ඇඳුම්වල කඳුළු වක්කර ගනිමින්ය.

මට හොඳ වැඩක් වුණා. ගොඩපිටිය පාසලෙන් අයින් වුණ දවසේ මම දන්නෙත් නැහැ තාත්තා ඇවිත් අස්වීම් සහතිකේ අරන් යන්න. මාව ලොකු සර්ගේ කාර්යාලයට එන්න කියලා ලොකු සර් අහන කොට මගේ ඇස්වලින් කඳුළු කැට ෂර්ට් එක තෙමෙන්න වැටුණා. එදා මගේ ජීවිතේ අඬපු හොඳම ඇඩිල්ල වෙන්න ඕනි. කියමින් රූබා කතාව නැවත කියන්න පටන් ගත්තාය.

සමහරු එදා කීවා උඹ ගියාට කමක් නෑ ආයේ ගමේ හවසට අපි ගිය දිහාවල යමන් කියලා. ඒ තමා හවසට අපි කට්ටියම කුරුම්බා බොන එක. ඒක මාරයි. මාරටම මාරයි. එදා දවස ආයේ එනව නම් මම ඉඟිල්ලිලා යන්නේ. 1975 වසරේ මාතර රාහුල රාහුල විදුහලට ඇතුළත් වන රංජිත් රූබසිංහට අලුත් යාළුවන්ගෙන් අඩුවක් නොවීය. ඒ අතර ගම් පළාතෙන් පැමිණ සිටි යාළුවන්ද විය. ඔවුන් සියලු දෙනාම තමාට වැඩිය ඉහළ පන්තිවලය. රාහුල විදුහල රංජිත්ට ජීවිතයේ කඩඉමක් විය. ජීවිතයේ හොඳම ස්ථානය බවට රාහුල විදුහල රංජිත් පත් කර ගත්තේය.

මං මේ කියන්න ලෑස්ති වෙන කතාව මගේ ජීවිතේ වෙනස් කරපුම තැනක්. ඉරිදා,සෙනසුරාදා දවස්වලට අපේ රාහුල විදුහලේ නාට්‍ය පෙන්වනවා. එදාට මාර ජොලි තමයි. මොකද කියනවා නම් අපිට ගෙදර යන්න බැරි නිසා සති අන්තයේ තියෙන එකම විනෝදාංශය ශ්‍රවණාගාරයේ වා කවුළු අතරින් වෝර්ඩන්ට හොරෙන් නාට්‍ය බැලීම. ඔය විදියට තමයි මට නාට්‍ය කලාවට ආශාවක් ඇති වන්නේ. මාසෙකට කොහොමත් නාට්‍යය 5, 6ක් පෙන්වනවාම තමයි. ගෙදර යන්න වුවමනාවකුත් නෑ. තාත්තා එක්ක යන්න ආවත් පසුවෙනිදාට හොඳ නාට්‍යයක් තියෙනවා නම් අපේ එවුන් එකෙක්වත් ගෙදර යන්න කැමති වෙන්නේ නැහැ. නාට්‍යවලට පුදුම කෑදර කමක් තිබුණේ. මම ඉස්සර වෙලාම බලපු නාට්‍යය තමයි ආර්.ආර් සමරකොන්ගේ ‘ඉඩම‘ වේදිකා නාට්‍යය. තිරයේ දැකල තිබුණට රවින්ද්‍ර රන්දෙණිය, චන්ද්‍රා කළුආරච්චි එදා වා කවුළුවලින් පියවි ඇහැට දැක්කේ ඒ දවසේ තමයි. මට අද වාගේ මතකයි. වේදිකා නාට්‍යයක් බලන්න ඒ කාලේ ශත 30 හෝ 25 චිත්‍රපටයක් බලන්න ශත 55 ඕනේ. සල්ලි දීලා බලන කට්ටියට වැඩිය අපි වා කවුළුවෙලින් නාට්‍ය බලලා හොස්ටල් එකට ගිහිල්ලා එක එකා චරිත කරනවා. ඕක තමා අපේ විනෝදාංශය හොස්ටල් එකේ. ඔය කාලෙම තමයි සිංහබාහු, කැලණි පාලම, කුසපබාවතී නාට්‍ය සියල්ලම බැලුවේ. මිනිස්සු ඔය නාට්‍ය බලන්න පෝලිමේ පොරකනවා. ඒ වගේ සංස්කෘතියක් ආයේ එයිද කියලා කියන්න නම් අමාරුයි.

ඔහු රාහුල වේදිකාවෙන් ලැබුණු පන්නරය හා තාත්තාගේ ලැබුණු ආභාසය නිසාත් ගමේ වෙසක් නාට්‍යයවල ගායකයා හා නළුවා විය. ගමේ වසරකට වරක් වැව මැද ඉඳී කරන තොරණට ගඟේ පීනා ගොස් උණ බට ගෙනදෙන රංජිත් පීනන්නට උපන් හපනෙකි.

තොරණේ අවසන් දිනය නිමා වනතුරු කොල්ලො සියලු දෙනා අපි බලන් ඉන්නවා. ඒ වෙනමොකකටවත් නොවේ. මම කියන ලස්සනම සිංදුව අහන්න. ඒ තමා ඇහැළේපොළගේ පුංචි පුතා සින්දුව එදා වගේ අදත් මගේ හොඳම සිංදුවයි.

එදින දවස අවසන් කිරීමෙන් පසු රූබා තාත්තාගේ වැඩවලට උදව් කරන්නේ හරිම කැමැත්තෙනි. සුන්දර කතා රැසක් ගොනු කරමින් තාත්තා ඔහුට රඟපාන චරිත ගැන කියා දෙයි. මම ඒ කාලේ චිත්‍රපට බැලුවේ අම්මයි තාත්තායි 10 යට තේ බොන්න දෙන ශත 5 හෝ ශත 10 එකතු කරගෙනයි. අපි සියලු දෙනාගේම හීරෝ වුණේ ගාමිණී ෆොන්සේකාය. ගාමිණී ෆොන්සේකා ඉන්න චිත්‍රපටයක් නොබලපු කෙනෙක් නැති තරම්ය. අකුරුස්ස නිල්වලා හෝල් එකට ගිහින් ශත 55 ට පොර කාලා කොහොම හරි ගැලරියේ ටිකට් ගන්නවා. ඒ රාත්‍රී 9.30 දර්ශනය බලන්න. 9.30 දර්ශනයේ ඉවර වෙලා කිලෝ මීටර් 5ක් විතර අපි කොල්ලෝ සෙට් එක හීරෝගේ සටන් ජවනිකා පාර දිගේ රඟ දක්වමින් පාන්දර එකට දෙකට විතර ගෙදර එනවා. ඔන්න ඔය විදියට මම මගේ පාසල් කාලේ චිත්‍රපට බැලුවේ. මාතර එස්කේ සිනමා හල, බ්‍රෝඩ්වේ හා නිව් සිනමා ශාලාවන්ට පාසලෙන් හොරෙන් පැනලා 2.30 දර්ශනය බලන්න අපි යනවා. ඒ කාලේ චිත්‍රපට ශාලාවන්ද පිරිලා ඉතිරිලා තිබුණේ. සමහර කට්ටිය ඉඳගන්න නැතුව බිම ඉදගෙන බලන්නේ. මේවා බලලා ඇවිල්ලා ඔහු ගමේ වෙසක් නාට්‍යවල ආලෝකකරණ ශිල්පියා විය. පෙට්ට්‍රෝල් මැක්ස් පත්තු කරලා හතරැස් කූඩුවක් හදාගෙන ඒ වටා වර්ණ කඩදාසි අලවලා සටන් ජවනිකාවක් යනවා නම් රතු පාට ආලෝකය වේදිකාවට සැලැස්වූයේ මාර සතුටිනි. සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහුට සරසවි වරම් අහිමි වන්නේය. ඉන්පසු ඔහු තෝරා ගත්තේ කොළඹ කොහේ හෝ රැකියාවක් සොයා ගැනීමයි. ඒ අනුව 1980 දශකයේ කොළඹ සතොස ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැකියාවට එන රංජිත් රූබසිංහ ඔහුගේ හිතේ තිබුණු ආශාව ඉටු කර ගැනීමට කොළඹ කරක් ගහන්නට විය. ඔය අතරේ මරදානේදි වීදි නාට්‍යය කණ්ඩායමක් හමුවන ඔහුට ගජ මිතුරන් වන ඒ කණ්ඩායමේ සියලුදෙනාම රූබාව ආදරයෙන් කණ්ඩායාමට එකතු කරගන්නේය. රාජකාරියෙන් පසු නිවාඩු පාඩුවේ ඉන්න විට වීදි නාට්‍යයවල රඟ පාන්න යන ඔහු පසුව පැය 16 සේවය කර නිවාඩු ලැබුණු පසු නැවත වීදි නාට්‍යය කණ්ඩායමට එකතු වේ. ඉන් අනතුරුව සුගතපාල ද සිල්වාගේ නාට්‍යය වැඩමුළු හා මාරාසාද් නාට්‍යයේ පසුතල නිර්මාණකරණයට යොමු වන්නට ඔහුට හැකි විය. කපිල කුමාරකාලිංගගේ රයිනෝසිරස් වේදිකා නාට්‍යයට ද මේ වකවානුවේම එකතු වීමට අවස්ථාව උදා විය. මේ කාලසීමාව තුළදී ඔහු මල්වත්තපාරේ පිහිටි ගොඩනැගිල්ලක සිනමා පාඨමාලාවක් හැදෑරුවේය. අනස් පෝරුතොට පියතුමා, බෙනඩික් ජෝසප් පියතුමා, ඇන්ඩෲ ජයමාන්න, ටොනී රණසිංහ එහි දේශකයන් විය. පාඨමාලාව අවසන් වීමෙන් පසු රැකියා ස්ථානයට එන ඔහුට අසන්නට ලැබෙන්නේ ඔහු නොසිතන දෙයකි. ඒ රාජකාරියෙන් ඉවත් කර ඇති බවයි. එයට ප්‍රධානම හේතුව වන්නේ සිනමා පිස්සෙක් ලෙස කොළඹ වටේ ඇවිද යාමයි. රැකියාවත් කලාවත් දෙක එකට කර ගැනීමට නොහැකි වීම නිසා අස්වීමේ ලිපිය ඔහු අතට පත් විය. ඉන් පසු රැකියාවල් සොයන රංජිත්ට සැලසිනේ රාජකාරිය අවස්ථාවක් හිමි වන්නේය. එහිදී ක්ෂේත්‍රයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් හඳුනා ගැනීමට රංජිත්ට හැකි විය. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් හා සුමිත්‍රා පීරිස් හඳුනා ගැනීමට හැකි වීමද ඔහුගේ කොළඹ ආ ගමනේ සංසිද්ධාස්ථානයක් විය. පසුව ආචාර්ය ලෙස්ට ජේමිස් පීරිස් හා සුමිත්‍රා පීරිස් සමඟ සිනමා ක්ෂේත්‍රයට එන්නට ඔහුට අවස්ථාව උදා විය. දෙවැනි වරටත් රාජකාරි ස්ථානයෙන් අස් කිරීමේ ලිපිය රංජිත් අතට පත් වන්නේ සිනමාව නිසාමයි.

එතැන් පටන් දිගටම කලාවේ නිරත වන්නට රංජිත් අධිෂ්ඨාන කර ගත්තේය. මුලින්ම කාර්මික ශිල්පියෙකු ලෙසද ලෙස්ටර් යුවළ සමඟ සම්බන්ධ වන රංජිත් නළුවෙකු ලෙස ද වරම් හිමි වන්නේය. අවරගිර, වෑ කන්ද වලව්ව, අම්මාවරුණේ, ලොකු දුව චිත්‍රපටවල රංගනයේ නියැලීම ඔහුගේ වාසනාවක් විය. අවස්ථා ගණනාවකදීම දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා වීමට ද ලෙස්ටර් යුවළ යටතේ ඔහුට හැකි විය.

රංජිත් යළිත් සිය හඬ අවදි කරයි. මගේ ජීවිතයේ නොයෙක් හැල හැප්පිම්වලින් මිරිකිලා, තෙරපිලා, බැටකාලා ආපු මිනිහෙක්. ඒ හැල හැප්පීම් තුළ මගේ ඇගෙන් වැගිරුණු දහඩිය බිංදු අදත් මට සුවඳයි. ඒ සුවඳ නිසා මම මේ ගමන තවම යනවා. කියමින් රංජිත් රුබසිංහ මා සමඟ යළිත් කතාවට එකතු වුණේය. සුමිත්‍රා පීරිස්, “දුවට මවක මිස” කරන්න සූදානම් වනවිට මට දවසක් ජී.බී සේනානායක මහත්තයලාගේ ගෙදර ගිහින් එන්න කියලා කිව්වා. මම බස් එකේ නැගලා ගිහින් ඒ තිර පිටපත අරගෙන ඇවිත් දෙන්නටම කියවන්නට ලෑස්ති වුණේ මාගේ කාර්යභාරය ඉෂ්ට කරන්න ඕන නිසායි. මම ඒවාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒක ජී.බී.සේනානායක මහත්තයාගේ “එකට එක” නවකතාව ඇසුරිනි. නවකතාව ඇසුරෙන් තිරපිටපත රචනා කර ඇත්තේ ටෝනි රණසිංහයි. ඉන් පසු මම ලෙස්ටර් මහත්තයාගේ ටෙලිනාට්‍ය ගණනාවකටම සම්බන්ධ වුණා. ගිරය, ගොළු හදවත, ගැහැනු ළමයි, මගේ ජීවිතය නාට්‍ය කලාවේ සංසිද්ධාස්ථානයි. ඒ ලැබූ පන්නරය කියලා නිම කරන්න බැහැ. ඊට අමතරව විලේජ් බයි ද සී විදේශ චිත්‍රපටයක් කළා. ඒක මහා දැවැන්ත නිෂ්පාදනයක්. ඔය අතරතුර මම රෂියන්, ජර්මන්, ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානවලට ගොස් සාමාජිකත්වය අරගෙන සිනමා වැඩමුළුවලට සහභාගි වුණා. විදේශ චිත්‍රපට ගණනාවක් නැරඹුවා.

ඉන් ලැබූ පන්නරය මගේ රංගන ජීවිතයට පිටුවහලක් වුණා. දැනට ටෙලිනාට්‍යය, වේදිකා නාට්‍යය සහ සිනමා පට 50කට විතර රංගනයේ නිරත වී ඇති ඔහු දක්ෂ කාර්මික ශිල්පියෙකි. ඒ වගේම ඔහු සහාය අධ්‍යක්ෂවරයෙකු ද වේ.

රංජිත් යළිත් හඬ අවදි කරමින් කියා සිටියේ

දන්නවාද දැන් කැම්පස්වලින් හා අලුතින් ක්ෂේත්‍රයට එන බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට ආශාවෙන් නෙමේ එන්නේ ජනපි‍්‍රයත්වය සඳහායි. ඔවුන්ගේ වෙනත් අරමුණක් කරා ගමන් කරන මාර්ගයකුත් නෑ. දක්ෂයෙකුට එතැනට එන්නට ඉඩ අවස්ථාව ද නැතිවී යනවා මේ හේතුව නිසා. විශ්වවිද්‍යාලවල හා පාඨමාලාව හදාරන තැන්වල නාට්‍ය හා සිනමාව ඉගෙන ගන්නවා සමහරවිට රඟපාන්නත් බෑ. සහතිකයට පමණක් සීමා පිරිසක් විතරයි. ඒ අතර දක්ෂයන් ද ඉන්නවා. තරුණ අධක්ෂකවරු තිර පිටපත් රචකයන් කාර්මික ශිල්පින් නිෂ්පාදකයන් මේ අතරින් බිහි වෙනවා. ඔවුන් තමයි මේ ගමන ඇදගෙන යන්නේ. රංජිත් කාලවේ දිගු කාලයක් නිරත වූවත් ඔහුගේ දක්ෂතාවය ඇගයීමට තව වෙනකන් කවුරුත් සමත් නොවුණේ ඇයිද කියලා ප්‍රෙක්ෂකයන්ට තිබෙන ප්‍රශ්නයයි. ඔහු ප්‍රධාන ධාරාවේ නළුවන්ට හා නිළියන්ට හොඳ උත්තේජනක් සපයන නළුවකු වේ. මේ වනවිට ඔහු විදේශ චිත්‍රපට ගණනාවකට කාර්මික ශිල්පියෙකු හා නිෂ්පාදක කටයුතු වල නිරත වී ඇත. මේ නිරත වන අතරේ මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයක ද රංගනයේද නිරත වේ. දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ මාළු කපිලගේ චරිතය ජනපි‍්‍රය චරිතයක් බවට පත් වී හමාරය. ඒත් සමඟම ටෙලිනාට්‍ය කාලවේ දීර්ඝතම ටෙලිනාට්‍ය වන ස්වාධීන නාලිකාවේ විකාශය වන කෝපි කඩේ බයිස්කෝප්ගේ චරිතයද පසුගිය දිනවල විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ රංගනයද ඔහුගේ මේ දිනවල ජනපි‍්‍රයතම නාට්‍යය ගොන්නට එකතු වේ. ඉදිරියේදී තිරගත වීමට නියමිත මහාචාර්ය සුනිල් ආරයරත්න ක්ෂීර සාගරය කැලඹිණ, ආචාර්ය සරත් වීරසේකර ශ්‍රී සිද්ධා සහ ෆිල්ම් ටී නිෂ්පාදන ආයතනය එක්ව රූ ගත කළ ඉන්දීය වෙබ් සීරියල් ටෙලිනාට්‍යයකද වැඩ අවසන් කර ඇත. හිරු නාලිකාවේ නිෂ්පාදනය කළ ටෙලි චිත්‍රපටයක්ද මේ සමඟ ඉදිරි නිර්මාණ ගොන්නට එකතු වේ. මගේ රංගන කටයුතු සඳහා බිරිඳ සහ පුතාලා දෙදෙනාගෙන් ලැබෙන සහයෝගය කියා නිමකළ නොහැකියි. මගේ ගමන එන්නට උදව් කළ එකී මෙකී නොකී සියලු දෙනාටම අනේක වාරයක් ස්තූති පිං කියල තමයි කියන්න තියෙන්නේ..

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න