මම සැබෑ ජීවිතයේ මීට වඩා වෙනස්

චතු රාජපක්ෂ
මැයි 19, 2022

 

මං වැඩක් භාර ගත්තාම ඒක හරියටම හොඳටම කරනවා

 

එවක සිය පාසලේ දී පැවැති විවිධ උත්සව අවස්ථාවලට ඇය හරි හරියට ඉදිරිපත් වූවාවය. ඒ නිවේදන නර්ථන, ගායන, රංගන යන කලාවේ විවිධ අංශවලින් තම දක්ෂතාවය ප්‍රකට කරමිනි. අධ්‍යාපනය ලබන කාලයේ ගුරුවරියක් වීමට සිතුවද කලාව තමා තුළම පිහිටා තිබූ දෙයක් බැවින් එය වඩාත් ඉස්මතු වෙමින් අද වන විට ඇය ජනපි‍්‍රය කලා ශිල්පිනියක් බවට පත් වී හමාරය. සිරස රූපවාහිනිය මඟින් දියත් කළ සිරස ෆිල්ම් ස්ටාර් රියැලිටි තරඟයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමත් ඉන් අනතුරුව එහි අවසාන රාත්‍රියේ හොඳම රුවැත්තිය ලෙස දෙවැනි ස්ථානය දිනා ගැනීම ඇගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුයේ සිරස නිව්ස් ෆස්්ට් හි ප්‍රවෘත්ති නිවේදිකාවක් හා වැඩසටහන් නිවේදිකාවක් ලෙස ද ජනපි‍්‍රයත්වයට පත්වෙමිනි. පසුව රංගන ශිල්පිනියක් ද වෙමින් අද වන විට ක්ෂේත්‍රයේ රැඳි සිටින්නේ කාගෙත් නෙත් සිත් පැහැර ගනිමිනි. ඕනෑම චරිතයකට පණ පෙවීමේ හැකියාව ඈ සතුවන අතර විශාල නිර්මාණ සංඛ්‍යාවකට දායක නොවූවත් ඇය රඟ පෑ අතළොස්සක් නිර්මාණයන්හි චරිතවලින් පේ‍්‍රක්ෂක ජනපි‍්‍රයත්වය ඉහළින් හිමිකර ගත්තාය. සති අන්තයේ දී සෙනසුරාදා හා ඉරිදා යන දිනවල රාත්‍රි 9.00ට ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශනය වන පිච්ච මල සුවඳයි යන ටෙලි නාට්‍යයෙන් ද සතියේ දින පහේම ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාවෙන් රාත්‍රි 9.00ට විකාශනය වන ‘බන්ධනා’ (සංසාරික පේ‍්‍රමයක අරුමය) ටෙලි නාට්‍යයේ ප්‍රධාන ද්විත්ව චරිත නිරූපණයයෙන් ඇය ජනපි‍්‍රය වී ඇත්තේ එහි සීමිත කොටස් ප්‍රමාණයක් පමණක් මේ වනවිට විකාශනය ආරම්භ වී තවමත් එහි ඉතිරි කොටස් විකාශනය වෙමින් පවතින පසුබිමකයි. මෙවර අප හා කතා බහට මුල පිරුවේ ජනපි‍්‍රයතම කලා ශිල්පිනියක් වන චතු රාජපක්ෂයි.

 

කාලෙකට පස්සේ මේ දවස් වල චතූ ආයෙමත් අපිට පුංචි තිරය තුළින් දක්නට ලැබෙනවා.

ඔව් මේ දිනවල ස්වරණවාහිනියේ යන බන්ධනා ටෙලි නාට්‍යයෙන් මාව පේ‍්‍රක්ෂකයන්ට දැකගන්න පුළුවන්. එහි කොටස් කිහිපයක් පමණයි තවම විකාශය වෙලා තියෙන්නේ ඉදිරියට තව කොටස් තිබෙනවා.

 

බන්ධනා ටෙලි නාට්‍යය ගැන යමක් කිව්වොත්?

ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ තිසුල දීප තඹවිට එහි තිරපිටපත් රචනය සහ නිෂ්පාදනය බුද්ධිනි ජයවර්ධන. බුද්ධිනි අක්කි තමාමාව විශ්වාස කරලා මේකේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ. එයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මං මතක් කළ යුතුයි මෙහි ප්‍රධාන චරිතයට මාත් එක්ක එකතුවෙන විශ්ව කොඩිකාර අයියත්, හිරාන් යක්ඕවිට, පියුමි බොතේජු, බුද්ධික ජයරත්න, මොරින් චාරුණි, කුසුම් රේණු මෙන්ඩිස් යන අයවත් විශේෂයෙන් ස්වර්ණවාහිනියේ රංගන අයියවත් මතක් කරන්න ඕනේ. මොකද මේ ටෙලි නාට්‍යයේ මුලින්ම කොටස් දහයක් විතරයි රූපගත කිරීම් කරලා තිබුණේ. ඒ ටික ඉක්මනින් අරගෙන ස්වර්ණවාහිනයෙන් විකාශය කළාට. ඒත් එක්කම එහි මගේ රංගනය ගැනත් දැකලා මාව අගය කළා.

 

බන්ධනා ටෙලි නාට්‍යයේ චරිතය ගැන කතා කළොත්?

මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි මං රඟපාන්නේ බන්ධනා ලෙස බන්ධනා ලක්මි ද්විත්ව චරිතයක් බවට පත්වෙමින් මේ ටෙලි නාට්‍යය ගලා ගෙන යනවා. ඉදිරියටත් විකාශනය වන කොටස්වලින් එය පේ‍්‍රක්ෂකයන්ට බලා ගන්න පුළුවන් වේවි.

 

චතු මේ ප්‍රධාන චරිතයක් රඟ පෑ ප්‍රථම අවස්ථාව ද?

මට මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රධාන චරිතවලට කතා කළා. ඊට අදාළ වන පවා කරලා එයිනුත් තේරුණාට පස්සේ ඒ අය අහනවා ප්‍රධාන චරිත කරලා තියෙනවා ද ඔයා නපුරු චරිත විතරයිනේ රඟපාලා තියෙන්නේ කියලා. එහෙම කියලා ලැබෙන්න තියෙන අවස්ථාවන් පවා ලබාදීලා නැහැ. මං එවැනි ක්‍රියා නම් කොහෙත්ම අනුමත කරන්නේ නෑ. යම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ප්‍රධාන චරිතයක් රඟපාලා නෑ කියලා ඔහුට හෝ ඇයට ප්‍රධාන චරිතයක් ලබා නොදෙන එක ගැන ක්ෂේත්‍රයේ ඉන්න අය ගැන, නිවැරදිව හඳුනා ගෙන දක්ෂතාවයන් දැකලා ඔවුනට අවස්ථාවන් ලබාදිය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. නිර්මාණකරුවන් බොහෝ විට මටත් නපුරු චරිත කරන්න තමයි වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ ඒතත් හැබැයි මං කියන්න ඕනේ ප්‍රධාන චරිතය ඇතුළු ඕනෑම විදිහේ චරිතයක් මට කරන්න පුළුවන් කියලා.

සැබෑ ජිවිතයේදිත් චතු නපුරු කෙනෙක්ද?

මං හරිම සංවේදී ඉක්මනින් හිත උණුවෙන අහිංසක අයෙක්.

 

ඇත්තටම නපුරු නැද්ද කියලා අපි ඔයාගේ මහත්තයාගෙන්ම අහලා බලමු ද මොකද එයානේ ඔයා ගැන හොඳටම දන්නේ?

කමක් නෑ අහල බලන්න හැබැයි මං චුට්ටක් විතර නපුරුයි (ඇය සිනාසෙයි)

 

මහත්තයා ගැනත් විස්තර කියමු නේද?

එයාගේ නම දර්ශන ඩී කොස්තා එයා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්.

 

ඔයාලා දෙන්නා හමුවුණේ කොහොමද?

අපි දෙන්නා ඉවෙන්ට් එකක දී තමා හමු වුණේ. මීට කලකට පෙර රාගම රණවිරු සෙවණේ දී තිබුණු මුලින්ම අපි යාළුවෝ විදිහට කතා බහ කරලා පස්සේ ඒක ආදරයකට පෙරළුණා. ඉතින් ඊටත් පස්සේ දෙගොල්ලොගේම වැඩිහිටියන්ටත් කියලා කල් නොයවාම අපි දෙන්නා විවාහ වුණා.

 

දැන් පවුල් ජිවිතේ කොහොමද?

අපි දෙන්නා ඉතා හොඳින් සතුටින් කාලය ගත කරනවා.

 

දෙන්නා දිගටම ඔහොමම ඉන්නද කල්පනාව තුන්වැන්නෙක් ගැන හිතන්නේ නැද්ද?

ඒ ගැනත් හිතනවා මට තවම වයස තියෙනවනේ. ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත බලමු.

 

චතු ඔයා දැන් කලාව කළා ඇති ගෙදරට වෙලා ඉන්න කියලා මහත්තයා කියලා නැද්ද?

එහෙම නම් කියන්නේ නෑ එයාගෙන් මට විශාල සහයෝගයක් මේ කටයුතුවලදී ලැබෙනවා. ඒ වගේම එයා මාව හොඳින් රැක බලා ගන්නවා එයා මට කියනවා ඔයාට දැන් වුණත් මේ කලා වැඩවල නිතර වුණා ඇති කියලා හිතෙනවා නම් ඒවා නවත්තලා දාලා ගෙදරට වෙලා මේ ගෙදර තියෙන වැඩ ටික කරගෙන ඉන්න කියලා. මේ දක්වා මගේ කලා කටයුතුවලට එයා එහෙම කිසි බලපෑමක් කරලා නෑ.

 

චතුට මෙතෙක් කාලයක් රඟපාන්න නොලැබුණු විදිහේ චරිතයක් ගැන හීනයක් තියෙනවා නේද?

ඔව් මං බලාපොරොත්තුවෙන් ආසාවෙන් ඉන්නවා දුප්පත් අහිංසක ගැමි චරිතයක් රඟපාන්න මොකද මේ දක්වා මට ගොඩක්ම ලැබිලා තියෙන්නේ බටහිර පන්නයේ චරිත රඟපාන්න.

 

සිනමාව පැත්තට ඔබේ දායකත්වය

මම චිත්‍රපට නම් තුනක වගේ රඟපාලා තියෙනවා ‘පාටක් නැති ආදරයක්’ ඊට පස්සේ සුරංග අල්විස් මහතා කරපු ‘කිඩ්නැප්’ චිත්‍රපටය රන්ජන් රාමනායක අයියා අවසන් වරට කරපු ‘ද ගේම්’ චිත්‍රපටයේ මං එක් ප්‍රධාන චරිතයක් කළා. එහි මගේ අයියා විදිහටත් රඟපෑවේ රන්ජන් රාමනායක අයියා මගේ පෙම්වතා විදිහට එකේ රඟපෑවේ ජනිත් වික්‍රමගේ ඒ චිත්‍රපටය මේ මැයි මාසයේ සිට තිරගත වීමට නියමිතයි.

 

ඉදිරියට වැඩ කරන්න භාරගත්ත නිර්මාණත් තියෙනවාද?

ටෙලි නාට්‍ය දෙකක වැඩ කරන්න භාරගෙන තියෙනවා

 

ඔබව අපිට නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ අඩුවෙන් නේද?

ගොඩක් අය ඔය ප්‍රශ්නේ මගේ අහලා තියෙනවා. ඇත්තටම මම හැම දේකටම මුණ දා ගන්න එන හැම වැඩක්ම භාර අරගෙන බදාගෙන වැඩ කරන කෙනෙක් නොවෙයි. ඒකයි වැඩිය මාව පේන්න නැත්තේ.

 

ඔබ ඒ සඳහා තේරා ගැනීම් සිදු කරන්නේ කොහොමද?

මුලින්ම මම එහි පිටපත හොඳට කියවලා ඒ ගැන අධ්‍යනයක් කරලා මට ඒක සුදුසු ද ඒ චරිතයට සාධාරණය ඉටු කරන්න පුළුවන් ද කියලා බලනවා එතැනදී මට පුළුවන් යැයි හැගෙන නිර්මාණ පමණක් කරන්න භාරගන්නවා.

 

සම්මාන පිළිබඳ චතුගේ බලාපොරොත්තුවක් තියනවාද?

මං වැඩක් භාර ගත්තාම ඒක හරියටම හොඳටම කරනවා. ඒ ඒ නිර්මාණ වල අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදවරුන්ගේ උපදෙස් මඟ පෙන්වීම් සහ සහයෝගය මත ඒවාට මට හැකි උපරීම අයුරින් සාධාරණය ඉටු කරනවා. ඒ අයුරින් නිර්මාණ වලට මං ලබාදෙන දායකත්වය හැර සම්මාන ගැන නම් මගේ බලාපොරොත්තුවක් නෑ. මොකද බලාපොරොත්තු තියාගෙන මේ වැඩ කරන කොට ඒ බලාපොරොත්තු ඉටු නොවුණු තැන ඇති වෙන්නේ දුකක්. මට එහෙම වෙන්න ඕනෙ නෑ.

 

චතූ රාජපක්ෂ කියන නිවේදිකාවට මොකද වුණේ. ඇයි ඔබ නිවේදන කටයුතු වලට සමුදුන්නේ?

මම සිරස රූපවාහිනියේ නිව්ස් ෆර්ස්ට් කණ්ඩායමේ ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට වැඩ කළා. නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස තමයි මම එයට දායක වුණේ. ශ්‍රී ලංකාවට කොරෝනා ආපු මුල් කාලයේ ගැහැනු අය ප්‍රවෘත්ති කියන එක නවතා දමන්න ඒ ආයතනය මඟින් තීරණයක් ගත්තා. ඒ අනුව මට ඒ අවස්ථාව ලැබුණේ නෑ. ඊට පස්සේ රංගන කටයුතුත් එක්ක මං කාර්යය බහුල වුණ නිසා නිවේදන කටයුතු වලට සමු දෙන්න වුණා.

 

නැවත චතූට නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණොත්?

එහෙම අවස්ථාවක් ආවොත් රංගන කටයුතුවලට අවහිරයක් නොවන අයුරින් ඒ වැඩේ කරන්න භාර ගන්නවා. මට මේ පහුවුණු අලුත් අවුරුද්දේ ස්වර්ණවාහිනියේ නාඩගම්කාරයෝ සහ පාරදිගේ කණ්ඩායම් දෙකේ අලුත් අවුරුදු වැඩසටහන් කරන්න ලැබුණා. ඒ වගේම අවුරුද්දේ සැඳෑ සාදය කියලා ස්වර්ණවාහිනියේ තවත් වැඩසටහනකත් නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මාව ඒ කාර්යය සඳහා දායක කර ගත්තු රංගන අයියටත් (ස්වර්ණවාහිනියේ විධායක අධ්‍යක්ෂක රංගන ද සිල්වා) ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනයටත් ස්තූති වන්ත වෙනවා.

 

චතූ වඩාත් ජනපි‍්‍රය වුණේ කුමන නිර්මාණයෙන් ද?

මීට ටික කලකට පෙර ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වුණු ඇය ටෙලි නාට්‍යයේ රිතූගේ චරිතයෙන්. ඒ ගැන බොහෝ දෙනාගෙන් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. අදටත් රිතූ ගැන පේ‍්‍රක්ෂකයෝ බොහෝ දෙනෙක් කතා කරනවා. ඒත් එක්කම ඊට පෙර සිරස නිව්ස් ෆස්ට් හි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරපු කාලතේ මං බෙහෙවින් ජනපි‍්‍රය වුණා. ඒ ගැනත් අගය කරමින් බොහෝ දෙනා කතා කළා.