හොලිවුඩය උඩුයටිකුරු කළ අපහාස නඩුව

“පිරිමින්ට සිදුවන හිංසන” අවධානයට
මැයි 5, 2022

 

ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප් ධ්ධ් හෙවත් ජොනි ඩෙප් බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි නළුවෙක්. ඔහු සිය සිනමා ගමන ආරම්භ කළේ 1984 වසරේ තිරගත වූ 'අ නයිට්මේයර් ඔන් එල්ම් ස්ට්‍රීට්' නම් ත්‍රාසජනක චිත්‍රපටයෙනි. වෝල්ට් ඩිස්නි ගෙන ආ 'පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්' චිත්‍රපට මාලාවේ (2003-2017) කැප්ටන් ජැක් ස්පැරෝ චරිතය ඔහුගේ සිනමා දිවිය සාර්ථකත්වය කරා මෙහෙය වූයේ බොක්ස් ඔෆිස් වාර්තා තබමිනි. ජැක් ස්පැරෝ චරිතය දශක හතරකට ආසන්න ඔහුගේ රංගන දිවියේ ජනප්‍රියතම චරිතය බවට පත් වූයේ විටෙක ඔහු ජෝනී ඩෙප් බවද අමතක කරමිනි. ජැක් ස්පැරෝ චරිතය ඩෙප්ගේ දිවියටද කෙතරම් බලපෑම් කළේද කිව හොත් ඔහුගේ සිරුරේ කෙටූ විසිපහකට අධික පච්ච අතරේ දකුණු අතෙහි ජැක් නමින් කෙටූ පච්චය සාක්ෂි දරණු ඇත. ඩෙප් සිය පුතෙකු හටද ජැක් ලෙසින් නම තැබීමට තරම් ඔහු එම චරිතයට ආදරය කළේය.

ලොව වැඩිම වැටුප් ලබන නළුවා ලෙස ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියූ ජොනී ඩෙප් පසුගිය කාලයේ සිය සිනමා දිවියේ අසීරුතම කාලය ගෙවා දැමුවේ හිංසන චෝදනා සහ නඩුහබ මධ්‍යයේය. ඔහු වෙත අලුත් චිත්‍රපට නොලැබෙන්නට වූවා පමණක් නොව 'පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්' ඇතුළුව චිත්‍රපට මාලාවන්හි ඔහු සතු වූ චරිතද අහිමි වන්නට විය. දිගින් දිගටම ඔහු වෙත හිංසන චෝදනා එල්ල කර සිටියේ අන් කිසිවෙකුත් නොව ඔහුගේ හිටපු බිරිය වූ ඇමරිකානු නිළි ඇම්බර් හර්ඩ්ය. ඔවුන්ගේ දික්කසාදය සමඟ පුවත් වාර්තා වූයේ තිස්හය හැවිරිදි හර්ඩ් විසින් පනස්අට හැවිරිදි ඩෙප්ට එරෙහි එල්ල කළ හිංසන චෝදනාවන්ය. අවසානයේ ඇය නඩු මඟට පිවිසුණාය. මත්පැන්, මත්ද්‍රව්‍ය හා වරින් වර වාර්තා වූ විවිධ ගැටුම් හේතුවෙන් බහුතරයක් ඩෙප් දෙස බැලූයේ පිළිකුලෙනි. කාන්තාවකට හිංසා කිරීමේ චෝදනාව එල්ල වීම සමඟින් හොලිවුඩයේ ඔහු සතු වූ කීර්තිය වියැකී ගියේ චිත්‍රපටද අහිමි කරමිනි. ඔහුගේ අනන්‍යතාවය බඳු වූ කැප්ටන් ජැක් ස්පැරෝ චරිතය ගෙන ආ 'පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්' චිත්‍රපට මාලාවෙන් ඉවත් කෙරුණු පසු 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්' චිත්‍රපට මාලාවේ ඔහු පණ පෙවූ ගෙලර්ට් ග්‍රින්ඩල්වෝල්ඩ් චරිතයෙන්ද ඉවත් කිරීමට වෝනර් බ්‍රදර්ස් සමාගම කටයුතු යෙදීය. ඩෙප් විසින් හර්ඩ්ට එරෙහිවද අපහාස නඩුවක් ගොනු කරන්නේ මේ අතරදීය.

ජොනී ඩෙප්ගේ විවාහ ජීවිතයේ සහකාරියෝ කිහිප දෙනෙකු වෙති. ඔහුගේ පළමු බිරිය ලෝරි ඇලිසන් වේශ නිරූපණ ශිල්පිනියකි. 1983 වසරේදී විවාහ දිවියට පත් වූ ඔවුහු 1985 වසරේදී දික්කසාද වූහ. ඇමරිකානු නිළියන් දෙදෙනෙකු වන ජෙනිෆර් ග්‍රේ සහ ශර්ලින් ෆෙන් සමඟ විවාහ ගිවිස ගත්තේ 1989දී විනෝනා රයිඩර් සමග විවාහ ගිවිස ගැනීමට පෙර අවස්ථා දෙකකදීය. 1993 වසරේදී විනෝනා සමඟ විවාහයටද තිත තැබූ ඩෙප් 1994 වසරේදී බ්‍රිතාන්‍ය නිළි කේට් මෝස් සමඟ එකට දිවි ගෙවීමට පටන් ගත්තේය. එම සබඳකමද අතහැර දැමූ ඔහු 1998දී ප්‍රංශ නිළියක හා ගායිකාවක වන වැනේසා පැරඩයිස් සමග විවාහ ගිවිස ගත් අතර එම විවාහයෙන් ඔවුන් දෙදෙනා හට ලිලී රෝස් හා ජෝන් ක්‍රිස්ටෝපර් ජැක් ඩෙප් ධ්ධ්ධ් නමින් දරුවන් දෙදෙනෙකු වේ. විසිදෙහැවිරිදි ලිලී රෝස් ජනප්‍රිය නිළියකි.

ඇම්බර් හර්ඩ් සහ ජොනී ඩෙප් අතර විවාහය සිදු වූයේ 2015 වසරේදීය. 2017 වසරේදී හර්ඩ් දික්කසාද නඩුවක් ගොනු කළේ ඩෙප් විසින් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර තමා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් කළ බවට චෝදනා නඟමිනි. එම චෝදනා ඩෙප් වටා සිටි ආදරණීය රසික රසිකාවන් පවා දුරස් කර දැමීමට සමත් විය. සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන පෙළේ පුවත්පත් පවා ඔහු හැඳීන් වූයේ බිරියට පහර දෙන්නෙකු ලෙසිනි. දිගින් දිගටම ඩෙප්ට අවාසි සහගත ලෙස දිග හැරුණු නඩු විභාගය එක් හඬ පටයකින් ජයග්‍රාහී මාවත කරා රැගෙන යාමට සමත් විය. ජොනී ඩෙප්ගේ නීතීඥයන් අධිකරණයට ඉදිරිපත් කළ එම හඬ පටය හර්ඩ් සහ ඩෙප් අතර සිදු වූවකි. එහිදී හර්ඩ්, ඩෙප් හට පවසන්නේ, පිරිමියෙකු බැවින් සිදු වූ අසාධාරණය සම්බන්ධව කිසිවෙකුත් ඔහු විශ්වාස නොකරනු ඇති බවයි.

 

"ලෝකයටම ඇහෙන්න කියන්න ජොනී.

මම, ජොනී ඩෙප්.

මම ගෘහස්ථ හිංසනයට ගොදුරු වෙලා.

පුළුවන් නම් කියන්න.

කී දෙනෙක් ඔබ විශ්වාස කර

ඔබේ පැත්ත ගන්නවාද කියලා බලන්න."

හඬ පටයේ සටහන් වූ ඇම්බර් හර්ඩ්ගේ වචන මෙසේ විය.

 

"ඔබ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවෙක්ද?"

ජොනී ඩෙප්ගේ නීතිඥයා ඔහු ගෙන් ඇසූ අවසාන ප්‍රශ්නයයි.

"ඔව්"

ඩෙප්ගේ පිළිතුර විය.

 

ජොනී ඩෙප්, ඇම්බර් හර්ඩ්ට එරෙහිව ඩොලර් මිලියන 50ක අපහාස නඩු විභාගයේදී ඔහුගේ සාක්ෂිය අවසන් කළේ ගෘහස්ථ අපයෝජනයට ගොදුරු වූයේ ඔහු මිස ඇය නොවන බව තහවුරු කිරීමෙනි. කිසි දිනෙක සමාජයේ අවධානය යොමු නොවූ "පිරිමින්ට සිදුවන හිංසන" නම් ගැටලුව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් සුවිශේෂ නඩුවක් ලෙස මෙම නඩු විභාගය හොලිවුඩ් ඉතිහාසයේ සටහන් වනු ඇත.