මේ අවුරුදු 22කට සම්මාන 22ක්

-සශිකා නිසංසලා
අප්‍රේල් 28, 2022

 

මගේ නිර්මාණ ජීවිතේ දිහා බැලුවමත් මට ලොකු සතුටක් දැනෙනවා

 

කලාකරුවකුට කලාකාරියකට ලැබෙන වටිනාම සම්මානය වන්නේ ජනතා සම්මානයයි. තමන් නිරත වනු ලබන කලා ක්ෂේත්‍රයේ තම නිර්මාණ කාර්යය කෙතරම් ජනගත වී ඇත්ද. ඒ ඔස්සේ තමන් කෙතරම් ජනතා ආදරය දිනාගෙන ඇත් ද යන්නට හොඳම සාක්ෂිය වන්නේ ඒ ජනතා සම්මානයයි.

අපේ සංගීත ක්ෂේත්‍රයේ මෙසේ ජනතා සම්මාන දිනාගත් කලාකරුවන්, කලාකාරිනියන් කොතෙකුත් වේ. එහෙත් එක දිගට පුරා වසර 07ක් ජනතා සම්මානය හිමිකර ගත් ගායිකාවක් වෙතොත් ඒ ඇයම වන්නීය. ඇය සශිකා නිසංසලාය. ඉකුත් දා පැවැති 2022 පීයල්ස් එවෝඩ් ජනතා සම්මාන උලෙළේ දී ඇය සත්වැනි වරටත් ජනතාවගේ ගායිකාව වශයෙන් සම්මාන දිනාගත්තීය. ඇගේ සම්මාන පෙළහැරේ ආරම්භය සනිටුහන් වූයේ 2016 වසරේදීය. එතැන් සිට 2022 දක්වා මෙකී සම්මානයේ එකම හිමිකාරිය ඇය වූවාය. එපමණක් ද නොව මෙවර, එනම් 2022 වසරේ දී මෙම සම්මාන උලෙළට අලුතින් හඳුන්වා දුන් තාරුණ්‍යයේ කැමතිම ගායිකාව (කධභබඩ ජඩධජඥ ටඥථචත ඉඪඨඥප) සම්මානය ද මෙවර දිනාගත්තේ සශිකා නිසංසලා විසින්මය.

පුරා දශක දෙකකට අධික කාලයක් මෙරට ගී කෙතට සරු අස්වනු එක් කළ ඇයගේ මේ ද්විත්ව සම්මාන හිමිකම මෙන්ම සංගීත දිවියේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ කළ කතා බහකි මේ.

“මේ වර්ෂයේ පීපල්ස් එවෝර්ඩ් එක වගේම තාරුණ්‍ය යේ කැමතිම ගායිකාව කියන සම්මාන ද්විත්වයට ලැබුණේ මට. තාරුණ්‍යයේ කැමැතිම ගායිකාව කියන සම්මානය මෙවර තමයි ඔවුන් අලුතින් හඳුන්වා දුන්නේ. පුරා දශක දෙකකට එහා ගිය මගේ සංගීත ගමන් මඟ දිහා ආපසු හැරිලා බලනකොට මට ලොකු සතුටක් දැනෙනවා. එකවර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට තරම් මා සුදුස්සෙකු වී තිබෙනවා. ඇත්තටම මේ ලැබුණු සම්මාන ද්විත්වයටම මුලින්ම ස්තූති කරන්න ඕන මගේ ආදරණීය රසික ජනතාවට. මම ගායිකාවක් විදියට ගෘහස්ථ ප්‍රසංග, එළිමහන් ප්‍රසංග කියන මේ දෙඇසුරේම කටයුතු කරනවා. ඒ අවස්ථාවලදී මම ඕන තරම් රසික ජනතාවගේ ආදරය සජීවීවම ලබල තියෙනවා ඕන තරම්. නමුත් ඔවුන්ගේ ඒ ආදරය සම්මානයක් විදියට ලැබෙන කොට ඒක තවත් වෙනස් අත්දැකීමක් වෙනවා. මේ ගැන හිතත්දි ඒක පසු පස ඉන්න මහා පිරිසක් මට මතක් වෙනවා. මම ගායිකාවක් විදියට ඉස්සරහට ආවට මගේ නිර්මාණ කාර්යය පසු පස්සේ මහා සෙනඟක් ඉන්නවා. එදා මෙදාතුර ඉතාම අලංකාර, අර්ථවත් පද රචනා මට ලබාදුන්න ගීත රචකයන්, ඉතාම මියුරු තනු නිර්මාණය කර දුන් සංගීතඥයන්, සංගීත සංයෝජකයන්, ගීතවලට වාදනය සැපයූ වාද්‍ය ශිල්පීන්, ඒ වගේම තමයි මගේ ගීත ජනතාව අතරට අරගෙන ගිය විවිධ මාධ්‍ය ආයතන. ගුවන් විදුලි හා රූපවාහිනි මාධ්‍ය ආයතන. ඒ විතරක් නොවෙයි මාව ජනතාවට අඳුන්වල දුන්න පුවත්පත් මාධ්‍යවේදීන්. මේ හැමදෙනෙකුම බොහොම ආදරණීයව මට අත දුන්න හින්ද තමයි මට මේ තැනට එන්න පුළුවන් වුණේ.

අනිත් ප්‍රධානම කාරණය තමයි මම ගායිකාවක් වුණේ මගේ තාත්තගේ ආසාව නිසා. පුංචි කාලෙ ඉඳන්ම මගේ දක්ෂතා අඳුනාගෙන මාව මේ පාර දිගේ එව්වේ තාත්තා. එදා වගේම අදටත් මගේ ජීවිතයේ හැම දෙයක් පසු පස්සෙම තාත්තා - අම්මා ඉන්නවා. අද මගේ සංගීත ජීවිතේ කාර්ය බහුල මේ ගමන යන්න ඒ දෙන්නා අදටත් ලොකු කැප කිරීමක් කරනවා. මගේ දරුවෝ දෙන්නා බලා කියා ගෙන සංගීත වැඩ වෙනුවෙන් මට ඇප කැප වෙන්න හැකි වෙන්නේ ඒ නිසා. ඊළඟට මගේ ජීවිතේ ලැබුණු අත්වැල මගේ සැමියාගේ දායක්තවය මේ ගමන පුරාම තියනවා. මගේ තනියට ළඟ ඉඳිමින්. මගේ සංගීත කටයුතු කළමනාකරණය කරමින් ඔහු මා වෙනුවෙන් ලොකු වෙහෙස මහන්සියක් වෙනවා. මට ගෞරවයක් ලැබෙන මේ මොහොතෙදී මට මේ හැම දෙනෙක්ගෙම කැප කීරිම් ගැන මතක් වෙනවා.

විශේෂයෙන් මගේ සංගීත දිවියේ මුල් කාලයේ පටන් මගේ ගුරුවරු ඇතුළු මේ හැමදෙනෙක්ම මට මතක් වෙනවා.’

සශිකා සිය දිගු කාලීන සංගීත දිවියේ තමන් පසු පස රැඳී උන් ආදරණීයයන් සිහිපත් කළාය. සශිකා සිය සංගීත දිවියේ කුඩා ළදැරියකව සිටියදී ආරම්භ කළ ද ඇය ජාතික තලයේ ගායිකාවක් බවට පත් වන්නේ තුරුණු ශක්තී සෞන්දර්යය චාරිකාවක් සමඟය . 1999 වසරේ සිට මේ මොහොත දක්වා පුරා වසර 22ක් වැනි කාලයක් ඇය මේ රටේ රසික රසිකායන්ගේ ගේ ආදරය දිනා ගත්තේ කාටත් හොරා රහසේමය. සශිකාට එදා සිට මේ දක්වාම ගමන් කරන්නට තිබූ මාවත දෙස ඇය මනා අවබෝධයකින් යුතුව බැලුවාය. ඇයට කිසි කලකවත් උඩුගං බලා පිය මනින්නට හදිස්සියක් තිබුණේ නැත. ඉවසීමෙන් තමන් ගේ රුචියට ගැළපෙන නිර්මාණ කරමින් ඇය පැමිණි ගමන් මඟ දෙපස අද මල් පිපී හිනැහෙනුයේ එබැවිණි.

‘මගේ ජීවිතේ මම හරිම තෘප්තීමත් ගායිකාවක් තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවෙන් පස්සේ මට නිර්මාණ රාශියක් කරන්නට අවස්ථාව හිමි වුණා. මේ කාලය අතරතුර මගේ ගීත මේ රටේ රසික රසිකාවියෝ ආදරෙන් වැලඳගත්තා. ඒ එක්කම මට මේ අවුරුදු 22ට සම්මාන 22ක් ලැබිල තිබෙනවා. මේ ඊයේ පෙරේදා ලැබුණු සම්මාන ද්විත්වයත් එක්කම. හොඳම ගායිකාව වෙලා තිබෙනවා. නොයෙක්වර ඒ සඳහා නිර්දේශවෙලා තිබෙනවා.

මගේ නිර්මාණ ජීවිතේ දිහා බැලුවමත් මට ලොකු සතුටක් දැනෙනවා. මුල් කාලේ ඉඳලම මම කරපු නිර්මාණ ජනතාව අතරේ ජනපි‍්‍රය වුණා. මම නිර්මාණයක් කරත්දි වුණාත් ආවට ගියාට කරන්නේ නෑ. හුඟාක් වෙලාවට ගීත තෝරා බේරා ගන්නකොට ගොඩාක් හිතනවා. ගීතයේ පද රචනය, තනුව වගේම මගේ කටහඬින් ඒක තව තවත් වර්ණවත් කරන්නේ කොහොමද කියල මම හිතනවා. ගීත ගණනින් වැඩිකර ගන්නවට වඩා නියම රසයෙන් ඒක රසිකයින්ට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා මම කල්පනා කරනවා. මේ වෙනකොට මට හිතන්නේ ගීත 450ක් විතර ගායනා කරල තියනවා. ඒ අතර ටෙලි නාට්‍ය ගීත 55ක් විතරත් චිත්‍රපට ගීත 15ක් විතරත් තිබෙනවා. පසුගිය අවුරුදු 10 - 12 ඇතුළත නම් අවුරුද්දට එක ගීතයක් විතර තමයි කළේ. ඉස් ඉස්සරලම රූප රචනයකුත් එක්ක වෙනස් විදියේ ගීතයක් කළේ 2011 දී. ඒ ‘ගිම්හාන කාලේ’ ගීතය. ඊට පස්සේ 2012 දී ‘හුස්මක් දුරින්’ ගීතයත් 2013 දී ‘මල්සර හී සරින්’ ගීතයත් 2014 දී ‘අප හමුවන තැන’ ගීතයත් 2015 දී ‘ඇස්පිය නොහෙලා’ ගීතයත් 2016 දී ‘ඇස් දෙක පුරා’ ගීතයත් 2017 දී ‘නින්දේ නුඹයි’ ගීතයත් කළා. 2021 දී තමයි ‘චන්ද්‍රාපායන්න’ ගීතය කළේ. දැන් අවුරුද්දක් ගතවෙන්න ඇවිත්. අලුත් ගීතයක් කරන්න මේ දිනවල සුදානම් වෙමින් ඉන්නවා. ගී පද රචනා, තනු නිර්මාණ අධ්‍යයනය කරමින් ඉන්නවා. තවම තෝරගත්තේ නෑ.

සශිකා ගේ නිර්මාණ ගොන්න විශ්ලේෂණය කිරීමේ දී මෙරට ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන්ගේ සිට නවක ආධුනික ශිල්පීන් දක්වාම දායකත්වය ලබා ගැනීමට ඇය උත්සාහ දරා ඇති අන්දම ප්‍රකට කරුණකි. ඇය ‘හුස්මක් දුරින්’ ගීතය ගායනා කරන විට උදාර සමරවීර සහ ඩිලාන් ගමගේ යන දෙදෙනාම ඉතාම ආධුනික ශිල්පීන්ය. මෑතදී කළ චන්ද්‍රා පායන්න ගීතය කළ දිනේෂ් ගමගේ ද එසේමය. ඇය ගීත තෝරා ගැනීමේදී විශේෂත්වයක් දක්වනුයේ ශිල්පීන් ආධුනික ද ප්‍රවීණ ද යන්නට වඩා එම ගීතය හෝ නිර්මාණ ඇයට දැනෙනවාද, ඇයට විඳිය හැකි ද යන්න පිළිබඳය.

‘ඇත්තටම මම හිතනවා ගීතයක් තෝරගත්තම ඒ ගීතය මට දැනෙනවා නම්, මට විඳින්න පුළුවන්නම් පේ‍්‍රක්ෂකයන්ටත් ඒ සංවේදතාවම දැනෙයි කියලා. ඒ විතරක් නොවෙයි ගීතයක් තෝරගත්තම මගේ පවුලේ අම්ම, තාත්තා, සැමියාටත් අහන්න සලස්වල ඔවුන්ගේ ප්‍රතිචාරත් මම නිරන්තරවම ලබා ගන්නවා. මට හිතෙනවා මගේ තෝරා බේරා ගැනීම හරි ගිහින් තියෙන්නේ ඒ නිසා කියලා. අනිත් එක ගීතයක් කරන්න ගියාම මම ආවට ගියාට ඒක කරන්නෙ නෑ. ඒකට හරියට මහන්සි වෙනවා. මට මතකයි චන්ද්‍රා පායන්න ගීතය කරන්න දිනේෂුයි, මමයි, මනුරංගයි කොච්චර වෙහෙසුණ ද කියලා. අපි හමුවෙලා සාකච්ඡා කරනවා. වෙලාවකට වචන එහෙම මෙහෙට කරලා හදනවා. එහෙම කරලා තමයි හොඳම එක නිර්මාණය කර ගන්නේ. මට එකම සංගීත ශෛලීයකට කොටු වෙන්න කැමැති කෙනෙක් නොවෙයි. අලුත් සංගීත සංයෝජන පැත්ත ගැනත් මගේ විශේෂ උනන්දුවක් තිබෙනවා. අලුත් පරම්පරාවට ගෝචර වන ආකාරයේ නිර්මාණ කරන්න අපි උනන්දු වෙන්න ඕන.

සශිකා මෙරට සංගීත වැඩසටහන් හා තරඟ රාශියක විනිසුරුවරියක් ලෙසත් නොයෙක් වර කටයුතු කර ඇති තැතැත්තියකි. එහෙත් පසුගිය කාලයේ ඍධඪජඥ වැඩසටහන ඔස්සේ ඇයට සුවිශේෂි යමක් කරන්නට ලැබුණු අවස්ථාව පිළිබඳව ඇය කතා කළේ ද මහත් වූ සොම්නසකිනි.

‘ක්ෂේත්‍රය ඇතුළේ ඕන තරම් එවැනි වැඩසටහන්වලට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. එහෙත් මේ වැඩසටහන මට සුවිශේෂී අත්දැකීම් රාශියක් ලබා දුන්නා. මම පුරා වසර ගණනාවක් ක්ෂේත්‍රයේ රැඳෙමින් ලබාගත් අත්දැකීම්. සංගීත අධ්‍යාපනය තුළින් ලබාගත් දැනුම, විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලබාගත් දේ මාස්ටර් කරලා ලබාගත්ත දැනුම, මේ හැමදේම මට මේ තැනදී ප්‍රයෝජනයට අරන් ලොකු දෙයක් කරන්න අවස්ථාව ලැබුණා. ඒකට මට මගේ සැමියාගෙනුත් උපරීම සහයෝගය ලැබුණා. වෙනත් ජූරියක ඉඳගෙන ලකුණක් දානවට වඩා එහා ගිය දෙයක් මේකෙන් කළා. ඒ සඳහා නියමිත ආකාරයෙන්ම කාලය වෙන්කර ගන්නටත් මට පුළුවන් වුණා. මොකද කොරෝනා ප්‍රශ්නය නිසා සංගීත සංදර්ශන අඩු වූ නිසා. පසුගිය කාලයේ යම් තරමක් දුරට ඒ තත්ත්වය නැවත හරි ගිහින් තිබුණා. නමුත් රටේ පවතින ආර්ථික, සමාජීය, දේශපාලන තත්ව මත ආයෙත් ඒ තත්ත්වය වෙනස් වෙලා තියනවා.