මට වැඩ කරන්න වෙලා තියෙන්නේ ගිනි පළසක පිනි කඳුළක් වගේ

-ගීතා කුමාරසිංහ
අප්‍රේල් 28, 2022

 

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් අදත් පෙනී සිටිනවා

මගේ අම්මා වැනි සිනමාව දිවි හිමියෙන් රැකගන්නවා

සිස්ටම් චේන්ජ් එකේ ආදර්ශයක් වෙන්නයි මට ඕනේ

 

සරස්වතියගේ වරදායක හස්තය නොමඳව ලැබුණු ගීතා කුමාරසිංහ රංගවේදිනිය සිනමා ක්ෂේත්‍රයේ රංගනයෙන් මෙන්ම චිත්‍රපට නිෂ්පාදනයෙන් වාර්තා පිහිටු වූ ශිල්පිනියකි. සිංහල සිනමාවේ ලස්සනම සහ වාසානවන්තම නිළිය ලෙස හැඳින්වෙන ඇය සරසවිය පුවත්පතේ පළ වූ දැන්වීමකට අනුව වාසනා චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලද්දාය. ඉන් වසර කිහිපයකට පසු සරසවිය සිනමා සම්මාන උලෙළේදීම හොඳම නිළිය, ජනපි‍්‍රය නිළිය, හොඳම නිෂ්පාදිකාව ජනප්‍රියම චිත්‍රපට නිෂ්පාදිකාව යන සම්මාන හතරම පාලම යට චිත්‍රපටය වෙනුවෙන් දිනාගෙන මෙතෙක් කිසිවකු විසින් නොබිඳි වාර්තාවක් තබන්නට සමත් වූවාය. ජනාකර්ෂණීය චිත්‍රපටවල මෙන්ම සම්භාව්‍ය සිනමා කෘතිවල රංගනයේ යෙදෙමින් ද චිත්‍රපට නිෂ්පාදනය කරමින් ද දශක හතරකට අධික කාලයක් කලා කෙත අස්වැද්දු ඇය වසර දහතුනක පමණ කලක් දේශපාලනයේ ද නියැළෙමින් සිටින්නීය. පසුගිය දා සංස්කෘතික හා ප්‍රාසංගික කලා පිළිබඳ රාජ්‍ය ආමාත්‍යධුරයෙන් පිදුම් ලද ඇය කුමන ක්ෂේත්‍රයක නියැළුණ ද සරසවියගේ දියණියක් ලෙස ඇයගේ උරුමය එලෙසම පවතී. එබැවින් අපි අසමු ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරියගෙන් වත්මන් ධුරයේ කටයුතු සහ සිනමාවට ඇය ලබා දෙන්නට සුදානම් වන දායකත්වය පිළිබඳව...

 

ඔබේ වත්මන් ධුරයට සුබ පතන අතර එය ඔබට හැඟෙන ආකාරය දැනගන්න කැමැතියි?

ඇත්තෙන්ම මම හුඟාක් සතුටු වුණා මේ ධුරය පිළිබඳව. මා බලාපොරොත්තුවෙන් කල්ගත කළේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ සේවයක් කිරීමට වුණත් මේ ලැබුණු අමාත්‍යංශය යටතේත් මට කලාවට වගේම සමාජයට සේවයක් කරන්න පුළුවන්. අද දේශපාලනඥයන්ට කියන කතන්දර එක්ක බැලුවාම මට කවදාවත් කතාවක් අහගන්නෙ නැතුව ආපසු යන්න පුළුවන්. ඒ නිසා මම මේ අමාත්‍යංශයේ කටයුතු කරන්න කැමැතියි.

 

ඒත් මේ අවස්ථාව සෑහෙන අභියෝගාත්මකයි?

මට මතක් වෙනවා ‘ලොකු දුව‘ චිත්‍රපටයේ තිබුණු යෙදුමක්, ‘ගිනි පළසක පිනි කඳුළක්’. ඒ වගේ ගිනිගෙන දැවෙන පළසේ පිනි කඳුළක් වගේ තමයි මටත් වැඩ කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි මේ සමස්ත සමාජය දෙස බලද්දී පසුගිය කාලයේ වුණු අතපසුවීම්, නොසලකා හැරීම් බහුලයි. ඒත් මෙය අපේ ආණ්ඩුවෙන් පමණක් වුණු දෙයක් නොවෙයි. කලකට කලින් දාහත් වසරක් රට කළ එජාපය මේ රට ණය උගුලක හිර කළා. එය උඩු දුවලා දුවලා අන්තිමට කොවිඩ් නිසා රට වහන තත්තවයට පැමිණියාම මුළුමනින්ම රට කඩා වැටෙන තත්ත්වයකට ආවා. මේ අතර මිනිසුන්ට විශාල මානසික පීඩාවකුත් ආවා. පෙට්‍රල් පෝලිමේ, ගෑස් පෝලිමේ ඉද්දී, ඩීසල් කිරිපිටි නැති වෙනකොට, පොහොර ප්‍රශ්නය උග්‍රවන විට ඒ සියල්ල ඊට බලපෑවා. අරුණිත් දකින්න ඇති මම මුල ඉඳලම කීවා මේ පොහොර ටික මිනිස්සුන්ට දෙන්න කියලා. ඒත් එය නුදුන්නේ තනිකර ජනාධිපතිතුමාගේ වරදකින් නොවෙයි. සමහර කැබිනට් ඇමතිවරු කට වහගෙන හිටියනේ ඒ වේලාවේ. ජනාධිපතිතුමාට මෙහි සැබෑ චිත්‍රය පෙන්නුවේ නැහැනේ.

ඒ කොහොම වුණත් මම විශ්වාස කරනවා ඒ තරුණ පරපුර බුද්ධිමත්ව හිතිය යුතු අවස්ථාවක් එළැඹිලා තිබෙනවා. ඉදිරියට එන්න තිබුණු සංචාරක ව්‍යාපාරය ආදිය කඩා වැටුණොතින් අපට ජීවත්වන්න තිබෙන ලංකාවයි නැති වෙන්නේ. කවුරු ඇවිත් හෝ දේශපාලනය කරන්නත් රටක් ඕනෙනේ. රට සම්පුර්ණයෙන්ම විනාශ කරලා ලෝකය ඉදිරිපිට හිඟන්නෙක් බවට පත් කරලා හරියයි ද?

අපට කොහොමත් ඉදිරි මාස දෙකක් පමණ සන්සුන් වෙන්න සිදු වෙනවා. කොහොමත් මුදල් ලැබිලා මේ තත්ත්වය සමනය කරගන්න කාලයක් අවශ්‍යයි. ඒ කාලය තුළ කවුරු වුණත් ප්‍රචණ්ඩත්වයට යන එක සුදුසු නැහැ.

ඇත්තටම මේ පිරිස හොඳ කට්ටියක් එයාලාගේ හිතේ අමාරුව මේ විදිහට පිට කරගත්තා. ඒ ගැන අපට මුකුත් කියන්න බැරි වුණාට මේවා පිටි පස්සේ අදෘශ්‍යමාන හස්ත තිබෙනවා. එහි බලහත්කාරයෙන් රාජ්‍යයක් උදුරා ගැනීමට දරන ප්‍රයන්තයක මුහුණුවරක් තිබෙනවා. සමහර විට මේ තරුණ පිරිස මේ දේවල් දන්නෙත් නැතුව ඇති. අවංකව ආ පිරිසකුත් ඉන්නවා. දරුවට දෙන්න කිරිපිටි ටික නෑ කිව්වාම තාත්තාට මරු නඟිනවා. වැඩට යන්න පෙට්‍රල් ටික බයිසිකලේට නෑ කීවාම ඒකත් ප්‍රශ්නයක්. ඔය දේවල් එකතු වෙලා තමයි අද මේ තරම් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙන්නේ.

ඒත් අප තේරුම් ගත යුතු දේ තමයි වැඩිකල් නොගොස් මෙය සමතයකට පත් වෙන බව. ඒ නිසා මේ මොහොතේ ඉවසුවේ නැත්තම් මේ රට බංකොලොත් වෙලා බින්දුවටම වැටෙනවා.

අපි මෙහෙම හිතමුකො නංගී, අපි මඟුල් ගෙයක් ජයට අරගෙන ණය වෙලා හොඳටම අපහසුවට පත්වුණ කියමුකෝ... එතකොට අලුත ගෙනා මලමාලිව එලවලා ගේ කුඩු පට්ටම් කරලා පුතාට තව ගෑනියෙක් ගේන්න කියන්නේ නෑනේ. මොකද අලුතෙන් ගෑනියෙක් ගෙනවා කියලා ණය ගෙවන්නේ කොහෙන්ද? ඒ වගේ මෙය හරිම සංකීර්ණයි. සිස්ටම් චේන්ජ් එකකට යන්න ඕනේ බව මම තරයේ විශ්වාස කරනවා.

දේශපාලකයන්, මම ඇමැති, මම මන්ත්‍රී කියලා ලොකුවට ඔටුන්න දාගෙන කරන සියලු වියදම් කපා හරින්න ඕනේ. ජනතාවගේ රුපියලක්වත් වංක චේතනාවෙන් අල්ලන්න බෑ. මම මේ වන විට මගේ වත්කම් බැරකම් සියල්ල හදලා ජනාධිපතිතුමාට බාර දුන්නා. මොකද ඒවා මට අවුරුදු තිහ හතළිහක් තිස්සේ තිබුණ දේවල්. අලුතෙන් ලැබුණු කිසිදෙයක් නෑ. ඒ වගේ සෑම කෙනෙක්ම අවකංව ජනතාවට වැඩ කළ යුතුයි.

මම මේක පුරාජේරුවකට කියනවා නොවෙයි. මට සියලු දේ තියෙද්දී ඒ සියල්ල අතහැරලා, පුරවැසිබවත් අතහැරලා මගේ මනුස්සයාවත් එහේ තනිකරලා, පිටරට ව්‍යාපාරවලින් ලැබෙන්න තිබුණු ලාභ සියල්ල අතහැරලා ආවේ මම යමකට අතගැහුවොත් ආයේ ඒ දේ අවසන් නොකර කකුල පිටිපස්සට ගන්න අකමැති නිසා, ඒක තමයි සිනමාවෙන් අපට ඉගැන් වූ පාඩම, සිනමා පටයක රඟපාන්න ගිවිසුම අස්සන් කළ පසු මඟදි දාලා යන්නේ නෑ. රඟපාලා ඉවර කරලම චිත්‍රපටයට සාධාරණය ඉෂ්ට කරලමයි ගෙදර යන්නේ. දේශපාලනෙත් එහෙම තමයි.

ඔබගේ අමාත්‍යංශය යටතට චිත්‍රපට සංස්ථාව එහෙමත් අයිතියි?

ඔව්. ඒ විතරක් නෙවෙයි ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර් හෝල්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, ගාලු උරුමය, මහනුවර උරුමය, ජනකලා කේන්ද්‍රය වැනි ආයතන රැසක් මේ අමාත්‍යංශයට අයිතියි. ඒවා බොහෝ කටයුතු කළ හැකි ආයතන හැබැයි ඒවායේ යම් යම් දේවල් ගොඩනඟා ගත යුතුයි. එහිදී හැමදෙනාම සතුටු කළ හැකි වන්නේ නැහැ. සතර අගතියෙන් වැඩ කිරීම තමයි අපේ දේශපාලනයේ තිබෙන වැරැද්ද. මේ රටට වැඩක් කරනවා නම් එය හොඳින් කල්පනාකර ගත් ස්ථිරසාර තීරණයක් විය යුතුයි. හැබැයි වැඩි ජනතාවගේ ඉල්ලීමටත් ඇහුම්කන් දිය යුතුයි. වෘත්තිකයන්ගේ ප්‍රවීණයන්ගේ අදහස් වලට ගරු කළ යුතුයි. මම තමයි පාර්ලිමේන්තුවේ කතා කරලා - කරලා ටෙලි නාට්‍යවලට පනවන්න ගිය බද්ද නතර කළේ. ඉතින් මම සිනමාව පිළිබඳ ප්‍රශ්නයත් අපේ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඉතා සාමාකාමීව සුහදව ගැටුමකින් තොරව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සියල්ලට පෙර රට රැකගෙන ඉන්න ඕනෙ අපි. අහිංසක මිනිස්සු යන බස්වලට ගල් ගහලා නතර කරලා මගීන්ට හිරිහැර කරන එක ත්‍රස්තවාදයක්.

ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කීරිමේ අයිතිය තිබෙනවා. මේ අයටත් ගෝල්ෆේස් එක දුන්නේ ජනාධිපතිතුමානේ. ලෝකේ එහෙම තැන් තිබෙනවා. එංගලන්තෙත් රැජණට බනින්න හරි, ආණ්ඩුවට බනින්න හරි එන්න පුළුවන්. පාර්ක් එකක් තිබෙනවා. එහි වේදිකාවට නැඟලා පැය ගණනන් බහින්නත් පුළුවන්. කලාකරුවන්ටත් ඒ අයිතිය තිබෙනවා. සමහර අයගේ දේශපාලනය අපි එදා සිට හඳුනනවානේ. ඒත් කලාකරුවන් මේ මොහොතේ මීට වඩා සංවේදීව සිතිය යුතුයි.

මට තිබෙන කණගාටුව මේ ප්‍රශ්න නිසා යුරෝ මිලියන 3600 ක වියදමින් අපේ ගමේ ගී‍්‍රන් ලෙෂර් වර්ල්ඩ් නමින් හදන්න ගිය සංචාරක පුරවරයේ ව්‍යාපෘතිය කරගෙන ගිය ජපන් මහත්මයා හොඳටම බය වෙලා. මේ ආකාරයට ආයෝජකයන් පසු බැස්සාම රටට යන කල දසාව මොකක්ද?

හැම කෙනාම තම තමන්ගේ හින සැබෑ කරගන්න අවස්ථාවක් කරගෙන මේ මොහොත. ඒක සුදුසු වැඩක් නෙවෙයි. මම හිතන්නේ ඔය තරුණ පිරිසගේ අම්මලා තාත්තාවත් ඉපදිලා නැතිව ඇති. මේ රටේ දහස් ගණනින් මියයමින් ඇති වුණු අරගල අපි දෑසින් දකිනකොට.

මේ රටේ පහළ වුණු අග්‍රගණයට දේශපාලනඥවරිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බව මම එකහෙළා පිළිගන්නවා. එතුමියටත් ඉන්න දුන්නේ නෑ. පලයං පලයං කිය කිය මොන වදයක් දුන්නද? ඊට පස්සේ ආර් පේ‍්‍රමදාස මහත්තයාට මොන වදයක් දුන්නද? මේක කුවේණිගේ ශාපය වගේ ලංකාවට තිබෙන අවාසනාවක්. යන්තම් ඔළුව උස්සගෙන එද්දී කකුළෙන් අදිනවා. වෙන රටවල් ආර්ථිකයෙන් කඩා වැටෙද්දී පිටරටවල ඉන්න ස්වදේශීකයෝ ආධාර කරනවා. අපේ රටේ අය දෙන්න යන ආධාරත් නතර කරනවා. ඔන්න අපේ ජාති ආලේ.

මටත් ලොකු අසාධාරණකම් වුණා. අවුරුදු 12ක දේශපාලනයේ වැදීගෙන කරද්දී. ජනාධිපතිතුමා දන්නවා මම ඇල්පෙනිත්ති තුඩක දෙයක් නොගෙන මෙය කරයි කියලා. මොකද මට කන්න නැති වුණොත් මගේ මහත්තයා හරි මට කන්න දෙයක් එවයි. ඒත් මේ රටේ අහිංසක මිනිසුන්ට මොකද වෙන්නේ. ඒ නිසා ශත පහකවත් වංචාවක් නොකර මේ වැඩ ටික හැමෝම කළොත් ඇත්තටම සිස්ටම් එක චෙන්ජ් වෙනවා. ඒකට මම මගේ දුවගේ වයසේ ඉන්න මේ අරගලය කරන දරුවන්ට ස්තූතිවන්ත වෙනවා. මටත් තිබුණා මේ වෙලාවේ අභියෝග බාර නොගෙන පැත්තකට වෙලා ඉන්න. ඒත් අභියෝග බාර ගැනීම තමයි දේශපාලනයේ සැබෑ ස්වරූපය.

මම දේශපාලන පවුලකින් ආ කෙනෙක් නෙවෙයි. මට කවුරුත් හිටියේ නෑ. තාත්තාගේ හෝ මහත්තයාගේ මිනිය කරේ තියාගෙන එන්න. යහපාලන කාලයේ අපි ප්‍රශ්නවලට මුහුණ දී තිබෙනවා. මම ජාතික ලැයිස්තුවෙන් පැනලා ආපු කෙනෙක් නොවෙයි. මම විපක්ෂයේ ඉඳලා තියෙනවා. දකුණු පළාත් සභාවේ ඉඳලා තියෙනවා. දේශපාලන දුෂ්කරක්‍රියා කරලා තියෙනවා. ඒ දේශපාලන අත්දැකීම් සමඟ මම හිතුවා මේ වේලාවේ සිස්ටම් චේන්ජ් කරන ආදර්ශයක් බවට පත් වෙනවා කියලා.

 

සහරාන්ගේ පාස්කු ප්‍රහාරයේ සිට ප්‍රාසංගික කටයුතු ඇනහිටලා තිබෙන්නේ? සංස්කෘතිය ගැන පුළුල්ව හඳුනාගත යුතු අවස්ථාවක් මෙය?

ඒ සඳහා මම සෞභාගයේ දැක්ම හොඳින් අවබෝධ කරගෙන හෙළි පෙහෙළි කරගත යුතුයි. අපි අභාග්‍යසම්පන්න කාලෙක ඉන්නේ කොයිදේටත් හොරකම් කළා කිය කියලා. ඒවායේ ඇත්ත නැත්ත හෝ සුදුහුණු ගාන්න මම සුදානම් නෑ. හැබැයි මම ගැන විතරක් මට තක්සේරුවක් දෙන්න පුළුවන්. සහරාන්ගේ බෝම්බෙදි අපේ රට එක රැයකින් ආපස්සට ගියා. ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට මඟුල් වගේ දේවලුත් මේ අතර තිබෙනවා. අපි ඒවාට ඉඩ දිය යුතු නෑ. කොරෝනා වෛරසයෙන් අපේ රට ආරක්ෂා කරගන්න රජය කොයිතරම් මහන්සි වුණා ද? අද ගෝල්ෆේස් එකේ රැස් වෙන්නෙත් එකිනෙකා ළඟට යන්න බයෙන් හිටිය කාලය ඉක්මනින් අවසන් කරන්න රජය ගත් පියවර නිසා.

ආයතනයක වුණත් ගෙදරක වුණත් වගකීම් නොදන්නා අය තනතුරුවලට පත් වුණාම ඒ ස්ථානය විනාශ වෙනවා. අපට බහුතර ජනවරමක් තිබෙන නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ඇණ ගහන්න දෙන්න බෑ.

මේ සියල්ල අතර මම උත්සාහ කරනවා අවංකව හොඳට වැඩ කරන පිරිසක් සමඟ අමාත්‍යාංශයේ කටයුතු කරන්න. ඒ වගේම අපේ අනන්‍යතාව සහිත ශ්‍රී ලාංකීක සංස්කෘතිය සැම කෙනෙකුගේම මනසට කා වැද්දිය යුතු දෙයක්. සමහර රටවල පුරවැසිභාවයට ඉල්ලද්දි ඒ අය ඒ රටේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන විභාගයක් ලියන්න දෙනවා.

දැන් අපට තිබෙන්නේ අපේ කියන හැඟීම නැතිවෙච්ච, අපේකම කාබාසිනියා වෙච්ච රටක්. එක කාලෙකට කට්ටිය රටයන්න දඟලනවා මේ රට අතහැරලා දාලා. ලෝකෙ කොහෙහරි රටක් තියෙනවා ද මෙච්චර වැටිලා තියෙද්දී බොරුවට ගරහන. මේ වෙලාවේ සමහරු උත්සාහ කරන්නේ උණ්ඩියල් ක්‍රමයට ඩොලර් මාරු කරන්න. රටට ආදරේ මිනිස්සු එහෙමද? අපේ රට ගැන මිනිස්සුන්ට ආදරයක් ඇති වෙන්න ඕනෙ. ඉන්දියාවේ ඔයිට වඩා ප්‍රශ්න ආවා ඒත් ඒ රටවල මිනිස්සු තමන්ගේකමට මුල්තැන දුන් නිසායි ඒවායින් මිදුණේ.

 

අද පොත්පත් ආදිය විශාල අර්බුදයකට ගිහින් කොළ හිඟ ප්‍රශ්නය නිසා. නව තාක්ෂණය සමඟ සාහිත්‍ය කටයුතු මුසු කරන්න ඔබේ වැඩ පිළිවෙළක් තිබෙනවාද?

අලුත් පරපුර ඉන්නේ කොම්පියුටර්, ජංගම දුරකථන සමඟ. අපේ අලුත් සංස්කෘතිය යුටියටුබ් සංස්කෘතිය, ඉල්ලන්නේ ඒ දේ නම් අපි ඒ තුළින් මොනවා හෝ කළ යුතුයි. අපේ සාහිත්‍යය වුණත් ඒ ආකාරයට වෙනස් විය යුතුයි. ඉස්සර කරුණාසේන ජයලත්ගේ පොතක් ආවාම පොත පතුරු ගැළවෙනකල් යාළුවෝ ඉල්ලගෙන යනවා කියවන්න. අද ඉන්නේ ඒ වගේ පොත් කියවන පිරිසක් නොවෙයි. ඒ නිසා ඔවුන්ට ගැළපෙන අයුරින් අලුත් ක්‍රමයට මේ දේවල් ගොඩ නැංවිය යුතුයි. සංස්කෘතික අමාත්‍යංශය පවතින්නේ අපේ ගරු අගමැතිතුමා යටතේ. ඒ නිසා මට කිසි කරදරයක් නැතිව සාකච්ඡා කරලා ඒ කටයුතු කරගෙන යා හැකියි.

 

සිනමා ක්ෂේත්‍රයටත් ඔබේ දැඩි අවධානය යොමු විය යුතු කාලයක් මෙය?

මම මේ සතිය පුරා චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කරනවා. කෝප් එකෙන් ගත යුතු තොරතුරු රැසක් තිබෙනවා. එවැනි හදාගත යුතු දේවල් රැසකුත් තිබෙනවා. මම තනි ගීතා කුමාරසිංහ විදිහට දැක්ක විදිහ නොවෙයි, අද මම මුළු රටක් ජාතියක් වෙනුවෙන් සාමුහිකව හිතලා කල්පනා කරලා සාකච්ඡා කරලා ගත්ත තීන්දු තීරණ වෙනස්. ඒකට එකිනෙකාට කනට කොඳුරලා කියන දේවල් අදාළ නෑ. අපට සෞභාග්‍යයේ දැක්ම මඟින් කළ යුතු දේවල්වල ක්‍රමවේදයක් තිබෙනවා. දැනට ඉන්න නිලධාරින් සමඟ සුහදව කටයුතු කළ යුතු ආකාරයක් තිබෙනවා. චිත්‍රපට බෙදාහැරීම, ක්ෂේත්‍රයේ අයට දෙන ආධාර ආදිය දෙස අපට මීට වඩා පුළුල්ව හිතා කටයුතු කරන්න වෙනවා.

 

ඔබේ සහෝදර රංගන ශිල්පියකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රන්ජන් රාමනායක වෙනුවෙන් ඔබ පෙනී හිටියා. රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් ඔබ ඒ පියවර ගන්නවාද?

අද ඊයෙක නොවෙයි නංගී, කවුරුත් ඒ ගැන කතා නොකළ අවස්ථාවේ එතුමාව බැහැ දැකලා කතා කරලා එතුමාගේ නිදහස වෙනුවෙන් මම කතා කළා. දැනුත් මම උපරීම උත්සාහය ගන්නවා එතුමාට නිදහසක් ලබා දෙන්න. මොකද සිරකරුවෝ පමණක් නොවේ කලාකරුවෝ ද මනුෂ්‍යයෝය කියලා හිතන්න ඕනේ.

 

සංස්කෘතික හා ප්‍රාසංගික කලා රාජ්‍ය අමාත්‍යාවරිය ලෙස ඔබට මේ මොහොතේ ජනතාවට කියන්න තිබෙන පණිවිඩය කුමක්ද?

මට ලැබුණු තනතුරට මම ගරු කරනවා. එයින් උපරීම සේවයක් කරන්න මම කැපවෙනවා. මාව හදපු වඩපු ජීවත් කරපු අම්මාට පස්සේ මට ජීවිතය දුන්න, තනි මට ඉහළට එන්න ආත්ම ශක්තිය දුන්න සිනමාව රැකගන්න මගේ දිවි හිමියෙන් කැප වෙනවා. එක සියයට සියයක් විශ්වාසයි.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න