වැඩියෙන් වැඩ කළා කියලා කවුරුවත් බණින්නේ නැහැ

-සංගීත් ප්‍රභූ
අප්‍රේල් 28, 2022

 

නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය මේ වන විට මෙරට පුංචි තිරයේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය බවට පත් වී අවසන්. ඒ සමඟ ඔබ හමුවට එන කවඩියාටත් හිමි වන්නේ ඉහළ ජනප්‍රියත්වයක්. ඒ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩි වෙන්නේ ඔහු සැබෑ ජීවිතයේ සංගීත් ප්‍රභූ බවද අමතක කරමින්.

 

සංගීත් ප්‍රභූ දැන් හරි ජනප්‍රිය නළුවෙක් නේද?

සංගීත් ප්‍රභූ නළුවෙක් වුණා. රංගනය එක්ක ටිකෙන් ටික ජනප්‍රිය වුණා. හැබැයි දැන් නම් සංගීත් ප්‍රභූට වඩා කවඩියා තමයි වැඩියෙන් ජනප්‍රිය. නාඩගම්කාරයෝ සමඟ කවඩියා හැමෝගෙම ආදරය දිනා ගන්න සමත් වෙලා. ඒ නිසා බොහෝ දෙනා සංගීත් ප්‍රභූට කතා කරන්නෙත් කවඩියා නමින්.

 

මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?

පසුගිය කාලයේ රංගන කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වුණා. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රංගන කටයුතු වගේම ‘“ළං වී” ටෙලි නාට්‍යයේ රංගන කටයුතු කරගෙන යනවා. ඒ වුණත් මේ දවස්වල ඒ හැම දේටම වැඩිය අම්මාගේ වැඩ කටයුතු තමයි බලා ගන්නේ. ටික දවසකට කලින් අම්මා ගෙදරදී ලිස්සලා වැටුණා. ඒ නිසා සංගීත් ප්‍රභූට වැඩ ගොඩක් සෙට් වුණා. රූගත කිරීම් එක්ක අම්මාට සාත්තු කරන්න තමයි වැඩි කාලයක් වෙන් කරන්නේ. මගේ හැම දේම හොයලා බලලා කරලා දුන්නේ අම්මා. දැන් ඒ හැම දෙයක්ම කරන්නේ මම.

 

පසුගිය කාලයේ කලා දිවියේ සුවිශේෂ සිදුවීමක් වුණා නේද?

ඔව්. සාර්ථක රංගන ශිල්පියෙක් වීම වගේම සම්මානයක් ලැබීම ඕනෑම කලාකරුවෙකුගේ බලාපොරොත්තුවක්. මටත් ඒක එහෙමමයි. කලා ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයකින් සම්මානනීය වෙන්න ලැබීම වාසනාවක්. මේ සම්මානය ලැබීම ගැන මට වඩා සතුටු වුණේ මගේ අම්මා. මොකද මං නළුවෙක් වෙනවා දකින්නත් එයාගේ හිතේ තිබුණේ ලොකු ආසාවක්. අම්මා හැමදාම සුබ පැතුවෙත් රංගන ක්ෂේත්‍රයේ සාර්ථකව ඉදිරියට යන්න කියලායි. ඒ සතුටත් එක්ක අම්මා පසුගිය කාලයේ ගීතයකුත් කළා. දඟකාර මගේ පුතේ නමින් ගැයූ ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා.

 

ඒ වුණත් මේ කාලයේ වෘත්තිය නළුවෙක් විදියට ඉදිරියට යන්න ටිකක් අමාරුයි නේද?

කලා ක්ෂේත්‍රයේ වැඩ කරන්න ලැබෙනවා කියන්නේ කෙනෙක් ජීවිතයේ ලබන සුවිශේෂ වරප්‍රසාදයක්. ඒ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. අපට ලැබෙන අවස්ථාවලින් හරියට ප්‍රයෝජන ගන්න අපි දැන ගන්න ඕනි. කලාවෙන් හරි වෙනත් ව්‍යාපාර කටයුතුවලින් හරි අපි අපේ ස්ථාවරය ගොඩනඟා ගන්න ඕනි. කලාව අස්ථිරයි කියලා මම කියන්නේ නැහැ. නිසි කළමනාකරණය තමයි වැදගත් වෙන්නේ. මම දැනට රංගනයට අමතරව‍ ව්‍යාපාරික කටයුතුත් කරගෙන යනවා. අපි ජීවත් වෙන මේ කෙටි කාලයේ මහන්සියෙන් වැඩ කරන්න ඕනි. වැඩියෙන් වැඩ කළා කියලා කවුරුවත් බණින්නේ නැහැ. මම දැන් කරන දේවල ප්‍රතිඵල තව අවුරුදු දහයකින් විතර ලැබේවි.

පුංචි තිරයේ ගොඩක් ජනප්‍රිය සංගීත් ප්‍රභූ රිදී තිරයට එන්න අදහසක් නැද්ද?

සිනමාව ජය ගැනීම මගේ ලොකු ආසාවක්. මගේ ඊළඟ බලාපොරොත්තුවත් ඒක තමයි. සිනමාවට අවස්ථාවක් ලැබුණොත් සාර්ථකව ඒ කටයුතු කර ගෙන යන්න හිතාගෙන ඉන්නේ.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න