වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
බයික් පැදපු එකනම් මට අභියෝගයක්

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය නරඹන ඔබ ගීතානි මිස්ගේ චරිතයට බොහෝ ඇලුම් කරන වග සරසවිය අපිට දැනුණා. ඒ නිසාම මේ චරිතයට රංගනයෙන් දායකවන ඇය එක්ක කතාරන්න අපි හිතුවා. නමින් ඇය නිපුණි පූජිත ගුණවර්ධන. සිය කුලුඳුල් ටෙලිනිර්මාණයෙන්ම ප්‍රේක්ෂකයා කතා කරන චරිතයක් නිරූපණය කිරීමට හැකිවීම සහ ඇගේ පෞද්ගලික තොරතුරු ගැනත් නිපුණි අපට කීවේ මෙලෙසින්.
ඔබව රටම දැනගන්නේ 'අන්සතු' මියුසික් වීඩීයෝව ඔස්සේ?
අන්සතු මියුසික් වීඩීයෝව මට ලැබෙන්නේ තේමිය කණිෂ්ක නිසා. ඔහු මට කතා කරලා ඇහුවා මියුසික් වීඩීයෝ එකක් තියෙනවා වෙනස් විදිහකට කෙරෙන වැඩක් කියලා. මගේ කැමැත්තෙන් පසුවයි ඔහු මියුසික් වීඩීයෝවේ ඩිරෙක්ටර් නිම්න දෙව්පුරට මගේ ටෙලිෆෝන් නම්බර් එක දීලා තිබුණේ. ඔහු ගීතය එවලා එය හොඳට අහන්න කිව්වා. ඒ වගේම ඔහුට නිර්මාණය අවශ්‍ය ආකාරය පැහැදිළි කළා. අන්සතු ගීතය මගේ ටර්නින් පොයින්ට් එක කිව්වොත් හරි.
ඔබ යම්කිසි හැදෑරීමක් එක්කද ක්ෂේත්‍රයට එන්නේ? නැත්නම් මෙය අහම්බයක්ද?
මම ඉගෙන ගත්තේ පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ. මුලින්ම වෙළෙඳ දැන්වීම් එක්කයි ක්ෂේත්‍රයට එන්නේ. මට හිතුණ දෙයක් තමයි රංගනය යම්කිසි හැදෑරීමක් එක්ක කරන්න ඕන කියන දේ. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව බාහිර උපාධිය හදාරනවා. දෙවැනි වසරේ ඉගෙන ගන්නේ. ඇත්තටම මම හිතන විදිහට රංගනය හැදෑරිය යුතුම විෂයක්, එහි නියැළෙනවා නම්. බොහෝ දේ තිබෙනවා ඉගෙනගන්න. මම හරිම කැමැතියි ඉගෙනගන්න ගමන් නිර්මාණවලට දායක වෙන්න.
දැන්නම් ඔය කොයිදේටත් වඩා ගීතානි මිස් ජනප්‍රියයි?
නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය සඳහා මට ආරාධනා කරන්නේ රංගන ද සිල්වා. පසුව සද්දා සර් ( සද්දා මංගල සූරියබණ්ඩාර) මට එන්න කිව්වා චරිතය පිළිබඳව කතා කරන්නට. ඒ ආකරයෙන් තමයි නාඩගම්කාරයෝ සඳහා එකතුවන්නේ.
නාඩගම්කාරයෝ ඔබේ පළමුවැනි ටෙලිනාට්‍යය. එය ප්‍රේක්ෂකයා ඉතාම ආදරෙන් වැලඳගත් නිර්මාණයක්. ඔබට එහි චරිතයක් ලැබෙනවිට මොකද හිතුණේ?
නාඩගම්කාරයෝ ප්‍රේක්ෂිකාවක් මගේ අම්මත්. ඇයත් බොහොම කැමැති වුණා මම නාඩගම්කාරයෝහි චරිතයක් නිරූපණයට යනවා කියනවිට. ලොකු සතුටක් තියෙනවා එයට සම්බන්ධ වීමට ලැබීම ගැන.
ගීතානි මිස්ගේ චරිතය ගොඩනඟන්න අමතර මොනවද එකතු කරන්න වුණේ?
මම මේ චරිතය ගොඩනඟන්න රජයේ සංවර්ධන නිලධාරියෙකු සමඟ කතා කළා. ඒ අය මොනවද කරන්නේ කියලා. ඒ වගේම මට නාඩගම්කාරයෝ අධ්‍යක්ෂ ඇතුළු සියලුදෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒක කියන්නම ඕන.
රූගතකිරීම් අතරතුර අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති?
මම කවදාවත් බයික් පැදපු කෙනෙක් නොවෙයි. නමුත් මට මේ චරිතයේ එය කරන්න තිබුණා. එය මං අභියෝගයක් ලෙස භාරගත්තා. මුල් කාලයේ එක දවසක් බයික් එක රේස් වුණා. කරදරයක් වුණේ නැතත් මම හොඳටම බය වුණා. ඒක නම් අමතක වෙන්නේ නෑ.
ගීතානි මිස් සහ නිපුණි සමානද?
ඇයගේ සහ මගේ ලොකු වෙනස්කමක් නෑ. මම රජයේ නිලධාරියෙක් නොවීමම පමණයි තියෙන ලොකුම වෙනස්කම. මම සාමාන්‍ය සරල කෙනෙක්. පවුලේ අය එක්ක කාලය ගත කරන්න කැමැති කෙනෙක්.
නිපුණි ඔබේ පෙනුම අපේ ප්‍රවීණ නිළි දිල්හානී ඒකනායක වගේ කියලා කියනවානේ. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවද ඒක ඇත්තද බොරුද කියලා?
( සිනාසෙමින්) ගොඩක් සතුටුයි මම ඇයවගේ කියන එකටනම්. ඇය ඉතාම දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. බොහෝ දෙනෙක් මට එහෙම කියලා තියෙනවා. කණ්ණාඩිය ඉස්සරහට ගියාම නම් මම මම විදිහට දකින්නයි කැමැති ( නැවත සිනාසෙයි).
රංගනය වෘත්තීයද? නැත්නම් වෙන වෘත්තීයක නියැළෙන ගමන් රඟපානවද?
දැනට මම වෙනත් වෘත්තීයක නියැළෙන්නේ නෑ. රංගන ශිල්පිනියක් විදිහට වෘත්තීය කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේත් නෑ. මම කැමැතියි ගුරුවරියක් වෙන්න. නාට්‍ය හා රංගකලාව දරුවන්ට උගන්වන්න.
කොහොමද ලැබෙන ප්‍රතිචාර
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අන්සතු නිසා මාව දැනගත් ප්‍රේක්ෂකයා පාරෙදි දුටුවත් ළඟටවිත් කතා කරනවා. මම එහි රඟපෑවේ මේක්අප් මුකුත් නැතුව. ඒ නිසා මාව පහසුවෙන් හඳුනගන්න පුළුවන් පාරකදි වුවත්. ඒ වගේම නාඩගම්කාරයෝහි ගීතානි මිස්ට ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. හිතුවේ නැති විදිහට ඒ චරිතය ප්‍රේක්ෂකයා අතරේ ජනප්‍රිය වෙලා. බොහෝ දෙනෙක් කියනවා ලස්සනට රඟපානවා, ඔවුන් ආසාවෙන් නරඹනවා කියලා. එහෙම කියද්දි හරිම සතුටුයි. බොහෝ දෙනෙක් කතා කරන්නේ ගීතානි මිස් කියලා.
ඉදිරි නිර්මාණ මොනවද?
නාඩගම්කාරයොන්ට අමතරව තවත් එක් ටෙලිනාට්‍යයකට දායක වුණා. ඉදිරියේදී එය නරඹන්න හැකිවේවි. මම කැමැති නෑ ගොඩක් කාර්යබහුල වෙන්න. මගේ ඉගෙනගන්න වැඩ කරන ගමන් නිදහසේ නිර්මාණ වැඩකරන්නයි කැමැති. ආරාධනා බොහොමයක් ලැබෙනවා. නමුත් මම කැමැතියි මට ගැළපෙන දේ කරන්න.