මේක වැටි වැටි ආපු ගමනක්

මධුමාධව අරවින්ද
අප්‍රේල් 21, 2022

 

මම කොටුවක් ඇතුළෙ හැදුණ කෙනෙක් නොවෙයි

 

මධු මාධව අරවින්ද යනු විවිධ කාලපරිච්ඡේදවල විවිධ කතා බහට ලක්වුණු චරිතයක්. ඔහු අපේ කලා ක්ෂේත්‍රය තුළ පමණක් නොව දේශපාලන ලෝකයට ද විවිධ පුවත් මවා දුන් කෙනෙක්. පසුගිය කාලය පුරා ඔහු කලා ක්ෂේත්‍රයේ විශේෂයෙන් සංගීත ක්ෂේත්‍රයේ වැඩිපුර දකින්නට ලැබුණේ නෑ. එහෙත් මීට ටික දිනකට පෙර මහරගම යොවුන් රඟහලේ පැවති අනූව දශකයේ ගායක ගායිකාවන්ගේ සංගීත ප්‍රසංගයට ඔහු පැමිණ සිටියා. ඔහුගේ ගායනයට මෙන්ම එම අවස්ථාවේදී ඔහු විසින් කරන ලද සුවිශේෂී ප්‍රකාශයකට ගීතලෝලී රසවතුන් ගෙන් හිමි වුණේ අතිවිශාල ප්‍රතිචාරයක්. මේ සුවිශේෂී ප්‍රකාශය වුණේ ඔහු දේශපාලන දිවියෙන් සමුගන්නා බවයි.

ජීවිතේ විවිධ කාල වකවානුවලදී විවිධ තීන්දු තීරණ ගන්නා ඔහුගේ මෙම නවතම වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවකට පසුගිය දා අප ඔහු හමුවුණා. රාගම ආනියාකන්ද පාරේ පිහිටි ඔහුගේ නව නිවෙසේ දී සිදුකළ මෙම සාකච්ඡාවේදී ඔහුගේ ජීවිතයේ බොහෝ දේ පිළිබඳ කතා බහ කරන්නට යෙදුණා.

 

කාලෙකට පස්සේ සිදුවන හමුවීමක් මොනවාද මධුගේ අලුත්ම තොරතුරු?

මේ දවස් ටිකේ නම් මගේ අලුත් තොරතුරු තියෙන්නේ හිතේ. ඉස්සරහට තත්ත්වය අවිනිශ්චිත හින්දා. මම කොහොමත් සුබවාදීව ජීවිතය දිහා බලන කෙනෙක්. ඒ නිසා මම හිතනවා තවමත් නරක වුණේ නෑ කියලා. මොකද අපි සාමාන්‍යයෙන් ආත්මාර්ථකාමී මිනිසුන් විදිහට අපි හිතන්නේ අපේ කාලයේ තමයි ඔක්කොම වුණේ කියල සුනාමි ආවා, කොරෝනා ආව කියලා. නමුත් අපි ඉතිහාසයේ ඉඳලා හිතල බැලුවොත්, අවුරුදු 450ක් විතර තිස්සේ කඩුපාරවල් කකා. වෙඩි කකා, ගම්මාන ගිනිබත් කරමින් ජීවත් වෙච්ච දුක් විඳපු ජාතියක් අපි කොයි කාලෙත් ඒ වගේ තමයි. දැන් ඊටත් වඩා වෙනස් විදිහට ඒක ඇවිල්ල තියෙනවා.

ඇත්තටම ජීවිතේ කියන්නේ පරිච්ඡේද ටිකක්. දැන් මගේ වයසත් එක්ක අවසාන පරිච්ඡේදවලට ළංවෙනවා. ඉස්කෝලෙන් ගියාට පස්සේ මම කවදාවත් ඉස්කෝලයක් හෙව්වේ නෑ. දහම් පාසලින් ආවට පස්සේ දහම් පාසල හෙව්වේ නෑ. පළමු පේ‍්‍රමය ඉවර වුණාට පස්සේ ඒ ගැන හෙව්වේ නෑ. ඒවා පරිච්ඡේද ලෙස ගෙව්වා. දැන් මම මගේ ජීවිතේ අවසාන පරිච්ඡේදය පටන් ගන්න හදන කාලේ. ඒ නිසා ඒ පරිච්ඡේදයට වුවමනා කරන දේ එකතු කරමින්, පොත පත කියවමින්, අභ්‍යාස කරමින් සිටිනවා. බොහෝ අයට හිතෙයි මොකක්ද ඒ පරිච්ඡේදය කියලා.

 

ඇත්තටම මොකක්ද ඒ පරිච්ඡේදය. ඒක කලාව සමඟ වැඩෙන එකක් නෙවෙයිද?

අපි ඉපදෙන්නේ කොළඹින් පිට. අපි කාලෙන් කාලෙට වෙනස් වෙනවා. පුංචි කාලෙට වඩා පසු කාලය වෙනස්. අපි අපේ ලොකුම තැනින් අල්ලගෙන හිතනවා ජීවිතේ ගැන. අපි අපේ පොඩිම තැනින් අල්ලගත්තොත්, මට මතක හැටියට මම කොළඹ එනවා. යාළුවෙක්, මිත්‍රයෙක් නෑයෙක් නෑ. පාසලක් නෑ. කොළඹට එනවා අම්මලා එන හින්දා. හැබැයි කොළඹට එන්න ආසයි. එදා පැතලියට ජීවිතේ දැකපු අපි පස්සේ කාලෙක උඩට ජීවිතය දකින්න පුරුදු වුණා. එතැන ඉඳල තමයි මම හැමදේම බැලුවේ. එදා ලොරියක නැගලා ආපු මට ඉන්න ගෙයක් ලැබුණා. කන්න කෑම ලැබුණා, පාසලක් ලැබුණා, හැමදේම ලැබුණා. ජීවිතේ එක එක තැන් දිහා ආපසු හැරිල බලනකොට පහසුම තැන තමයි නවතින්න හිතෙන්නේ. මටත් දැන් එහෙම හැරෙන්න වෙලා තියෙනවා. ජීවිතේ අන්තිම පරිච්ඡේදය තෝරගන්න වෙන්නේ තමන්ට පහසුම තැන. පහසුම දේ. ඒ අනුව මට පහසුම දේ හන්දියක් හන්දියක් ගනේ සින්දු කිව්ව කාලේ. ඒ පහසුව කාලයත් එක්ක වෙච්ච වෙනස්කම් අනුව, මම අවබෝධ කරගත් ආකාරය අනුව වෙනම හැඩයකින් ආපහු මහ ගෙදරට එන්න වෙනවා.

 

එදා 90 දශකයේ සංගීත ප්‍රසංගයේදී ලැබුණු ප්‍රතිචාර ද මේකට හේතුව වුණේ?

ඒකත් එක හේතුවක්. ඒ ප්‍රසංගයේදී මම තමයි ක්ෂේත්‍රයෙන් පිට පැනලා රස්තියාදු ගහල නැවත ඒ තැනට ආපු එකම කෙනා වුණේ. අනිත් හැමෝම ඒ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීනව රැඳී සිටිය අය. මම එහෙම එනකොටත් කිසි දෙයක් වෙනස්වෙලා තිබුණේ නෑ. මම එදා ලොකු පොරොන්දුවක් දුන්නා. ඒකට අති විශාල ප්‍රතිචාරයකුත් ලැබුණා. ඒකෙන් මට ලොකු සතුටක් ලැබුණා. මට අමතක වෙලා තිබුණට ඒ නගරය, ඒ නගරයට මාව අමතක වෙලා තිබුණේ නෑ.

 

දේශපාලන දිවියෙන් සමුගන්නව කියල ඔබ එදා රසික ජනතාව ඉදිරියේ පොරොන්දු වුණා. ඒක ඒ විදිහට ඉෂ්ට වෙනවද?

මගේ පාසල් ජීවිතේ අවසාන දවසේ නඩු තුනක් මට තවම තිබෙනවා. මට කිසි දෙයක් පොඩියට ඉවර කරන්න තවම හුරු නෑ. මගේ විවාහයත් එහෙමයි. මම කවදාවත් හොරෙන් බැන්දෙත් නෑ. හොරෙන් දික්කසාද වුණෙත් නෑ. මේකෙනුත් මට ඕන යම් කිසි පණිවිඩයක් සහිතව සමුගන්න. මම පහසුවෙන් මේ තීරණය ගන්නේ. මිනිස්සුන්ට මේක කියල යන්න ඕන මට. අපි සාමාන්‍යයෙන් දකින්නේ හිටපු ආයතනයකින් එළියට යනකොට ඒ ආයතනයට හෙණ ඉල්ලගෙන යන අය. විවාහයෙන් ඉවත්වෙන කොට ආදරයෙන් බත්ටික කවපු නෝනට මහත්තයට අවලාද නගල යන අය. ඒ නිසා මම දැක්කේ හැම වෙලේම ඇතිනම් වැඳල බහින එක. මගේ සම්ප්‍රදාය එයයි.

මම එළියේ දේශපාලනය කලාට මගේ ගෙදරට ඒක ගෙනාවේ නෑ. මේ ගෙදරට කිසිම මන්ත්‍රී කෙනෙක් කවදාවත් ඇවිත් නෑ. අපි ගෙදරදි සාමාන්‍ය මිනිස්සු. ඒ නිසා මට ඕන පණිවිඩයක් සහිතව අතහැරීම කියන එකටයි. අතහැරීම කියල කියන්නේ අතහැරීමටමයි. ඒ අතහැරීම සොඳුරු අතහැරීමක් විදිහට අතහරින්න ලෑස්තියි. එතැන ද්වේෂ සහගත බවක් හෝ වෙනත් දෙයක් නෑ. ආපහු ඔය ජීවිතේ මට දුන්නොත් මම ඔය කරපු වැරැදි ටිකත්, ඔය කරපු හොඳ ටිකත් ආපසු කරනවා. මේක වැටි වැටි ආපු ගමනක් මගේ තුවාල කැලල් මමම දකින විට තුවාල මතක් වෙනවා. මට කතාවක් තියනව කියන්න. ඒ කතාවට වර්ණයක් නෑ. දුකකුත් නෑ. අත්දැකීම් විඳි සතුට විතරක් තිබෙනවා. අත්හරින්න පුළුවන් ලස්සනට ඉඹලා.

 

දැන් අලුතින් කරන වැඩ සැලසුම් කරල ද?

ඔව්, පරණ ආයුධ ඔක්කොම අතට ගත්තා. ඒක හරි රහයි. මේ වගේ තැන්වල පොත් පත් එක්ක ඉන්නකොට මානසිකව යමක් දැනෙනවා. පසුතැවීමක් දැනෙනව නොවෙයි. දැන් ඉස්කෝලෙ යන කාලේ පන්ති කට් කරල රූබි එකෙයි, නිව් ඔලිම්පියා එකෙයි චිත්‍රපට බලල විභාග ප්‍රතිඵල එනකොට කලකිරීමක් තියනව වගේ. නමුත් ඒ කාලය නැවත දුන්නොත් මම ආයෙත් චිත්‍රපටි බලන්න යයි. මොකද ඒකෙන් ලබපු දේවල් මට විභාගෙන් ලබන්න බැරි නිසා. මට පසුතැවීමක් නෑ. නමුත් මඟ හැරීම අපරාදේ කියල හිතෙනවා. රුපියල නැතිවෙච්ච දවසට තමයි අපි අත්දෙකින්ම රුපියල් දෙක ගන්නෙ. මගේ වයසේ වෙනත් මිත්‍රයන්ට පේ‍්‍රමයට වඩා දැන් තියෙන්නේ යුතුකම්. නමුත් මම පේ‍්‍රමය හිඟාකනවා. ඒ මට නැතිවුණා දේ හොයනවා. අතපසුවීම මම දකින්නේ සුබවාදීව.

 

දැන් ඔබේ පෞද්ගලික ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?

මම සතුටින්ම ඉන්න තැන මගේ ගෙදර. මගේ බිරිඳට මම හරියට ගෞරව කරන්නේ මගේ ජීවිතේ කිසි දෙයක් ඇයට හංගන්නේ නැතුවත් ඇය මා ගාවට ආව නිසයි. මම කියන්නේ ලංකාවම දන්නා ලස්සන ආදර කතාවක ඉවර වෙච්ච කොටසක්. අනිත් කොටහත් තවම හුස්ම ගන්නවා. මම බොරුවක් කළා නම් ඒ කොටහ ගැන මට ආඩම්බරයෙන් කතා කරන්න බැරි වෙනවා. මම ඇය දිනාගත්තේ මගේ පැරණි පේ‍්‍රම සබඳතාවයේ වැරැදි කියල නොවෙයි. කාටහරි බැනලා මගේ නෝනව සතුටු කරන්න තරම් තැනක මම නෑ. ඇය මට කිව්වෙත් ඒ කාලේ ඔබව බලාගන්න අයට මම ගෞරව කරන්න ඕන කියලයි. ඒ සතුට මට ජීවිතේ තියෙනවා. ඒ නිසා මම පහසුවෙන් ජීවත් වෙනවා. මගේ බිරිඳ ලංකාවට එන්නේ මම නිසා. ඇගේ පියා සයිප්‍රස් ජාතිකයෙක්. ඇය ඒ කාලේ ඉඳලම මගේ රසිකාවක් මගේ පළමු විවාහය ඉවර වුණාට පස්සේ කාලෙක අපි කතා බහ කරල දැන හඳුනා ගත්තා. ඇය රැකියාව ඇතුළු සියල්ලම අතෑරලා මං වෙනුවෙන් ආවා. අපි සතුටින් ඉන්නවා. අපි එකතු වෙලා වර්ණයක් රහිත පින්කම් ටිකක් කරනවා. ජීවිතේ විඳිමින් ඉන්නවා.

 

ඔබේ දියණිය සමඟ තිබෙන සබඳතාවය කොයි වගේ ද?

ඒක ඉහළ පහළ යන එකක්. මම කොටුවක් ඇතුළෙ හැදුණ කෙනෙක් නොවෙයි. නමුත් ලංකාවේ ගැහැනු වෙනම කොටුවක් ඇතුළෙ හැදෙන්නේ. ගැහැනියට වෙන්වීම දරාගන්න ටිකක් වෙලා යනවා. අනෙක් පැත්තෙන් දෙමාපියන්ගේ සිතුවිලි වලට දරුවන්ට පාවිච්චි කරනවා. ඒ සිතුවිලි මම දන්න නිසා මම හටන් කරන්න යන්නේ නෑ. අනිත් ඒක ඇය නැළවෙන්නේ ඇයට වඩාත්ම සුදුසු තොටිල්ලේ. මම හැමදාම කියනවා වගේ ඇයට වරදින්න ඕන. මගේ ලේ නම් ඒ වැරැදි හදාගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න