වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
වසර දහතුනකට පසුව රඟපෑ පළමු චරිතයෙන් මට මේ සම්මානය ලැබුණේ

මම රංගනය විෂයක් ලෙස හදාරලා නැහැ
ඇය පුංචි තිරයේ නිරන්තරයෙන් දකින්නට නොමැති රංගන ශිල්පිනියකි. එහෙත් ඈ පණ පොවා ඇති අතළොස්සක් චරිත ප්‍රේක්ෂකයන්ට නොමැකෙන මතක ඉතිරි කර ඇත. ඇය නමින් චම්පා ශ්‍රියාණිය. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වුණු සකර්ම ටෙලිනාට්‍යයේ සිරියාවතීගේ චරිතය වෙනුවෙන් ඇය පසුගියදා පැවැති රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී 2021 වසරේ හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මානනීය වූවාය. ඒ වසර දහතුනකට පසුව පුංචි තිරයට පැමිණ ඇය පණ පෙවූ චරිතයයි. ලැබුණු සම්මානය පිළිබඳව සහ ඇගේ අනෙක් වතගොත විමසීමට අපි රංගන ශිල්පිනී චම්පා ශ්‍රියාණිව සම්බන්ධ කරගත්තෙමු.
කාලෙකට පසුව පුංචි තිරයෙන් ඔබ ප්‍රේක්ෂකයන් අතර ආ නිර්මාණයෙන්ම ඔබට හොඳම නිළියගේ සම්මානය ලැබෙනවා. කොහොමද සතුට?
හරිම සතුටුයි. මේ නාට්‍යය කරන්නේ කොළඹින් පිට දර්ශන තලයකට ගිහින්. සකර්ම ටෙලිනාට්‍යයේ හැම පැත්තක්ම ආවරණය වෙන විදිහට අංග සම්පූර්ණ ලෙස එහි මුළු කාර්ය මණ්ඩලයම කටයුතු කළා. ඉස්සර කරපු නිර්මාණවලට වඩා දැන් තියෙන්නේ ක්ෂණිකව හැදෙන ටෙලිනාට්‍යයනේ. මේ වගේ අංග සම්පූර්ණ නිර්මාණයක මම රඟපෑවේ වසර දහතුනකට පසුවයි. ඒ තරම් කාලයකට පසුව සම්බන්ධ වුණු නිර්මාණයකට හොඳම නිළියගේ සම්මානය ලැබුණු එකම මට හරි වටිනවා.
සකර්ම ටෙලිනාට්‍ය ගැන සහ ඔබේ චරිතය ගැන කිව්වොත්?
මේ ටෙලිනාට්‍යයට මට ආරාධනා කළේ එහි නිෂ්පාදක චන්දන ලියනගුණවර්ධන. මම හරිම අඩුවෙන් නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. මට නිර්මාණයකට ආස හිතුණොත් පමණයි මම රඟපාන්නේ. නිර්මාණයකදි පිටපත සහ අධ්‍යක්ෂවරයා මම සෑහෙන්න විශ්වාස කරනවා. අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව සහ පිටපතේ ගුණාත්මකත්වය තමයි නිර්මාණයක සාර්ථකත්වයට ප්‍රබලව බලපාන්නේ. ශාන්ති දිසානායක මහත්මියගේ පොතක චරිතයක් වෙන්න මම හරි කැමැත්තෙන් හිටියේ. ශාන්ති දිසානායකගේ පරඬැල් කවකතාවෙන් සකර්ම ටෙලිනාට්‍ය නිර්මාණය කළේ. පරඬැල් පොත කියවද්දිම ඒ සිරියාවතී කියන අම්මාගේ සහ පුතාගේ චරිතය තමයි මට හිතට වැදුණේ. ප්‍රියන්ත ප්‍රනාන්දු කියන අධ්‍යක්ෂවරයා සමඟ මම කලින් වැඩ නොකළත් ඔහුගේ නිර්මාණ මම රසවිඳලා තියෙනවා. මගේ රංගනය සම්මානනීය මට්ටමේ රංගනයක් බවට පත් කළේ මෙහි අධ්‍යක්ෂවරයා. එයට වේශ නිරූපණයත් ප්‍රබලව බලපෑවා. චම්පා ශ්‍රියාණි සහ සිරියාවතී කියන්නේ හාත්පසින්ම වෙනස් ස්වරූප දෙකක්. වේශ නිරූපණය සහ ඇඳුම් පැලඳුම් වගේ බාහිර දේවල් වගේම හොඳ පිටපතක් සකර්ම සතු වෙලා තිබුණා. විශේෂයෙන්ම අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු සිරියාවතීගේ චරිතය හැසිරූ විදිහ හරිම අපූරුයි. රූගත කිරීම අවසන් වන තුරු මම ඒ චරිතය තුළ ජීවත් වුණා.
සකර්ම කණ්ඩායමෙන් ඔබට ලැබුණු සහයෝගය ගැන කිව්වොත්?
මේ චරිතය හරියට රඟපාන්න මට හොඳ නිදහස් මනසක් මේ සකර්ම කණ්ඩායමම මට හදලා දුන්නා. මම වැඩි කාලයක් ගෙදර සැමියා සහ දරුවන් සමඟ ගත කරපු කෙනෙක්. ඈත දුෂ්කර ගම්මානයකට ගිහින් රූගත කිරීම් කරද්දි මේ සකර්ම කණ්ඩායම මාව පුදුම තරම් ආදරයෙන් බලාගත්තා. ඔවුන්ගෙන් සහයෝගය සහ ආදරය වචනයෙන් කිව නොහැකි තරම් ලැබුණා. ඔවුන් ඒ ලබාදුන් මානසික නිදහස මට මගේ චරිතය ගොඩනඟා ගැනීමේදී ඉතාම වැදගත් වුණා. ඒ වගේම සකර්ම ටෙලිනාට්‍යයේ නිෂ්පාදකතුමාට ස්තුති කරනවා හොඳ රංගනයක් දෙන්න පුළුවන් නිර්මාණයකට ආරාධනා කළාට. ඒ වගේම අධ්‍යක්ෂවරයාට මම ස්තුතිවන්ත වෙන්වා වසර දහතුනකට පසුව කැමරාව ඉස්සරහට ඇවිත් මම කළ රංගනය සම්මානනීය රංගනයන් බවට ඔසවා තැබුවාට. ඒ වගේම මගේ මුළුසකර්ම පවුලටම මේ සම්මානය වෙනුවෙන් ස්තුති කරනවා.
ඔබ සමග මේ සම්මානයට නිර්දේශ වුණේ නව පරපුරේ රංගන ශිල්පීනියන් දෙදෙනෙක්. ඔවුන්ගේ දක්ෂතා ගැන ඔබේ අදහස?
සකර්ම ටෙලිනාට්‍යයේම මගේ දුවගේ චරිතය රඟපාපු උමාලි තිලකරත්න සහ පෝක් වීදිය ටෙලිනාට්‍යයේ සුජානි මේනකා මාත් සමඟ හොඳම නිළියට නිර්දේශ වුණේ. මේ දෙදෙනාම ඉතාම දක්ෂ දරුවන් දෙදෙනෙක්. සුජානි පුංචිම කාලයේ ඉඳලා ක්ෂේත්‍රයට ඇවිත් අද වන තෙක් හැම රංගනයක්ම ඉතාම සාර්ථකව කරන රංගන ශිල්පිනියක්. උමාලි තිලකරත්න මාත් සමඟ වැඩ කරපු අත්දැකීමෙන්ම මම දන්නවා ඇය තරුණ පරපුර නියෝජනය කරන අතිදක්ෂ රංගන ශිල්පිනියක්. ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව කිසිම ගැටලුවක් නෑ. ඔවුන් දක්ෂයි. සමහර විට මටත් වඩා ඔවුන් දක්ෂ ඇති. අට වතාවක් නිර්දේශ වෙලා නව වෙනි වතාවට මට මේ සම්මානය ලැබුණේ. මම විශ්වාස කරන විදිහට සම්මානයකට නිර්දේශ වීම තමයි වැදගත්. මේ සම්මානය ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක්ට ලැබුණත් මම ඉතාම සතුටින් ඔවුන්ට ආශිර්වාද කරනවා.
හොඳම නිළිය සම්මානය ලැබුණාම ආරම්භය මතක් නොකර බැහැ?
මම උසස් පෙළ පන්තියෙ ඉගෙන ගන්නකොට තිමති වීරරත්න මහත්මයා ඒකාංගික ටෙලිනාට්‍යයකට මාව තෝරාගත්තා. ඔහු තමයි මගේ පළමු අධ්‍යක්ෂවරයා. මගේ පළමු වෘත්තාන්ත ටෙලිනාට්‍යය "හිමි අහිමි" සෙනරත් ජයවර්ධන අධ්‍යක්ෂණය කළේ. එතැන් පටන් ටෙලිනාට්‍ය ගොන්නක මම විවිධ චරිත රඟදැක්වුවා.
චම්පා ශ්‍රියානි කිව්වාම අපිට "ඉඳීආප්ප කතාව" අමතක කරන්න බැහැ.
ඒ කතාව "ඉරට මුවාවෙන්". නමුත් හැමෝම අතරෙ ඒ ටෙලිනාට්‍යය ජනප්‍රිය වුණේ ඉඳීආප්ප කතාව කියලා. 1989 වසරේ එය විකාශය වුණේ. ඒ ටෙලිනාට්‍යය කොටස් 18යි. සතියකට එකයි විකාශය වුණේ. ඒත් ඒ කතාව තවමත් හැමෝටම මතකයි. කමල් අද්දරාරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ මම රඟපෑවේ. හර්බට් රංජිත් පීරිස් අධ්‍යක්ෂණය කළේ. තවමත් ප්‍රේක්ෂකයන් මාව හඳුන්වන්නේ ඉඳීආප්ප කතාවෙන්. ඒ වගේම මමයි ලක්ෂ්මන් විජේසේකරයි රඟපාපු ගංගා සහ නිශ්ශංක ටෙලිනාට්‍යයත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. ඊට පසුකාලීනව බැද්දෙගෙදර, අඹුදරුවෝ, වනවදුලේ වසන්තය, කටු ඉඹුල, සරදියෙල් වගේ ටෙලිනාට්‍යවල මගේ චරිත ජනප්‍රිය වුණා.
හොඳම නිළිය සම්මානය ඔබට ලැබෙන්නේ රංගනයට පැමිණ වසර 35කින්. නව පරපුරට දැනගන්නත් එක්ක මෙතනට එන්න වුණු මහන්සිය ගැන කියමු?
මම රංගනය විෂයක් ලෙස හදාරලා නැහැ. ප්‍රවීණයන් සමඟ වැඩ කරලා ලබාගත් අත්දැකීම්වලින් මේ ගමන ආවේ. සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් වන මාලිනී ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, රවීන්ද්‍ර රන්දෙණිය, ටෝනි රණසිංහ, ලීනා ද සිල්වා වගේ රංගන ශිල්පීන්ගෙන් ලැබුණු ගුරුහරුකම් මට මගේ රංගනය පෝෂණය කරගන්න සෑහෙන්න වැදගත් වුණා. ඒ වගේම මම වැඩ කරපු සියලුම අධ්‍යක්ෂවරුන්වත් සිහිපත් කරන්න ඕනේ. වැඩක් කරනවා නම් ඒ වැඩේට අවංක වෙලා පිළිවෙළට කරන්න ඕනේ. මම අද නිර්මාණයක් භාරගත්තත් මම ඒක භාරගන්නෙ ලොකු වගකීමකින්. මම පිටපත ගත්තත් ඒක පිළිවෙලට අධ්‍යයනය කරලා පරිශීලනය කරලා වැඩ කරන්නේ. නව පරපුරට මම අවවාද දෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා අවවාදයට වැඩිය වටින්නේ ආදර්ශය කියලා. ඒ නිසා අලුත් රංගන ශිල්පීන්ට ආදර්ශවත් ලෙස මම මගේ කාර්යභාර්ය ඉටු කරනවා. මම රයිගම් සම්මාන උලෙළේම එක සිදුවීමක් මතක් කරන්නම්. මම දන්න එක තරුණ රංගන ශිල්පිනියක් එක්තරා සම්මානයකට බලාපොරොත්තු තියාගෙන් හිටියා. ඇය ඒ නිර්මාණය තුළ ඉතාම දක්ෂ ලෙස රඟපෑවා. නමුත් බලාපොරොත්තු නැති විදිහට ඒ සම්මානය ලැබුණේ වෙනත් රංගන ශිල්පිනියකට. එවිට ඇය ඉතාම දුක්වෙලා කඩාගෙන වැටුණා. මම ඒ රංගන ශිල්පිනියගේ හිත හැදුවේ, මම අට වතාවක් නිර්දේශ වෙලා මේ සම්මානය මට ලැබුණේ ඔවුන්ට ඒ තරම් කලක් ඉන්න වෙන එකක් නැහැ කියලා. මගේ වයසයි ඇගේ වයසයි ගත්තාම ඔවුන්ට සම්මාන ගන්න තව ඕනෑ තරම් කල් තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු නැති කරගන්න ඕනේ නැහැ. අපි කරන වැඩේ හරියට කළොත් කවදාවත් ඒ වැඩේ සාර්ථක නොවී තියෙන්නේ නැහැ. සකර්ම ටෙලිනාට්‍ය යූටියුබ් එකෙන් නරඹනකොට ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර බැලුවොත් පෙනේවි මේ සම්මානය ගැන මට හීනයකින්වත් අදහසක් නොතිබුණු සමයක ප්‍රේක්ෂකයන් මට මේ සම්මානය සුදුසු බව ලියලා තිබුණා.
ඔබ රංගනයෙන් යම් තරමක් ඈත් වෙලා ඉන්නේ ලංකාවේ හැදෙන ටෙලිනිර්මාණ ගැන කලකිරුණු නිසාද?
ලංකාවේ අතිදක්ෂ රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් ඉන්නවා. නමුත් නිර්මාණ හැදෙන ක්‍රමවේදය ඉස්සරට වඩා වෙනස්. ඒකට හේතුව දැන් හැම දෙයක්ම රුපියල් සතවලින් මනින්නේ. ටෙලිනාට්‍යයක් හැදෙන විදිහේ කිසිම පිළිවෙළක් නැහැ. නිර්මාණයකට කතා කරද්දිත් නිෂ්පාදකවරු මුලින්ම ගෙවීම් ඉස්සරහට දාන්නේ. ඒ නිර්මාණවලට සම්බන්ධ වීමෙන් වැලකිලා ඉස්සර අපි රඟපාපු නිර්මාණවල සතුට මෙනෙහි කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. අංග සම්පූර්ණයෙන් හොඳ ටෙලිනාට්‍යයක් හැදුණොත් මම ඒකට සම්බන්ධ වෙනවා. මම සල්ලි හම්බ කරන අරමුණෙන් නිර්මාණ කරන්නේ නැහැ. සමහර ටෙලිනාට්‍ය හැදෙන දිහා ඇහුවාම බැලුවාම ඒ ගැන හිතන්නවත් හොඳ නැහැ කියලා හිතෙනවා.
වර්තමාන තරුණ පරපුරේ දක්ෂතා ගැන මොකද හිතෙන්නේ?
ඉතාම දක්ෂ තරුණ පරපුරක් අපිට ඉන්නවා. සකර්ම ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණු තරුණ පිරිස, දසුන් පතිරණ, ශලනි තාරකා, සමනලී ෆොන්සේකා වගේ අපිටත් ඔවුන් සමඟ වැඩ කරන්න හිතෙන ආස තරුණ පරපුරක් අපිට ඉන්නවා. ඔවුන් අතිදක්ෂයි. ඔවුන් රංගනයෙන් වගේම අනෙක් හැම පැත්තකින්ම දක්ෂයි. ඔවුන්ට හොඳ දක්ෂතා පෙන්වන්න පුළුවන් අංග සම්පූර්ණ නිර්මාණ හැදෙන්න ඕනේ කියන එකයි මගේ මතය.
රංගනයට එන්න බලාපොරොත්තු වන තරුණ පරපුරට ඔබට දෙන්න පණිවිඩයක් ඇති?
විෂය ගැන අවබෝධයෙන් සහ කරන වැඩේට අවංක වෙලා ක්ෂේත්‍රයේ වැඩ කරන්න කියලා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ආවාට ගියාට දර්ශන තලයට ඇවිත් පිටපත බලලා රඟපාලා වැඩක් නැහැ. රංගනය කියන විෂය හදාරන්න බැරි නම් තමන්ට ලැබෙන චරිත තුළින් ජ්‍යෙෂ්ඨයන්ගෙන් මේ පුළුල් විෂය ගැන දැනුම ලබාගන්න ඕනේ. එවිට ප්‍රතිඵලය ඉතා සුබදායක වෙයි.
ඔබ හොඳ නිළියක් වගේම හොඳ ගෘහණියක් නේද?
මාව දන්න ගොඩක් අය මට කිව්වේ හොඳ අම්මා කෙනෙක් නිසා තමයි මට සිරියාවතීගේ චරිතයට හොඳම නිළිය සම්මානය ලැබුණේ කියලා. චම්පා ශ්‍රියාණිගෙයි සිරියාවතීගෙයි ජීවන විලාසිතා දෙක වෙනස්. නමුත් අම්මා කියන හැඟීම එකයි. මම හොඳ අම්මා කෙනෙක්. මම මගේ තරුණ කාලෙම මගේ දරුවන් වෙනුවෙන් වෙන් කළේ. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. ලොකු දුව විවාහා වෙලා ඉන්නේ. එයාට දැන් පොඩි පුතෙක් ඉන්නවා. පොඩි දුව උසස් අධ්‍යාපනය හදාරනවා. දැන් මගේ මුළු ලෝකයම පිරිලා තියෙන්නෙ මගේ මුණුපුරාගෙන්. මම හරිම සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. හැමදෙයක් ගැනම බොහොම මැද තැනක ඉඳලා හිතන කෙනෙක්. මෙහෙම ඉඳලා අපි කවදාහරි මේ නවාතැනෙන් සමුගන්න ඕනේ. එදාට හිතේ සතුටින් සමුගන්න පුළුවන් විදියට මම මගේ වටපිටාව හදාගෙන තියෙන්නේ.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
එකම එක ටෙලිනාට්‍යයක් භාරගෙන තියෙනවා. අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක්. මම ආස විදිහට වැඩ කරන්න පුළුවන් නිර්මාණයක් ඒක. මම කොහොමත් ගොඩක් භාරගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති නැහැ.