දේදුන්නේ සමනලිය- දිල්හානි අශෝකමාලා

අප්‍රේල් 7, 2022

 

අනූව දශකයේ මෙරට සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පීන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගත් රංගන ශිල්පිනියකි දිල්හානි ඒකනායක. 1970 මාර්තු මස 4 වැනිදා උපත ලද දිල්හානි අශෝකමාලා ඒකනායක කුඩාකල සිටම නර්තනයට ඇලුම් කළාය. ඈ වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. පාසල් අවධියෙන් පසුව නර්තනය වැඩිදුර හදාරා මුද්‍රා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වී ඇති ඇය 1987දී සරසවිය සම්මාන උලෙළේදී චන්න විජේවර්ධන සමඟ මුද්‍රා නර්තනයක් ඉදිරිපත් කර ඇත.

දිල්හානි ඒකනායක සිනමාවට පිවිසෙන්නේ යසපාලිත නානායක්කාරගේ "දේදුන්නෙන් සමනලියක්" චිත්‍රපටයේ තුෂාරිගේ චරිතයට පණ පොවමිනි. දිල්හානි තම පළමු චිත්‍රපටයෙන්ම 1991 වසරේ සරසවිය සම්මාන උලෙළේදී නැඟී එන නිළිය ලෙස සම්මානීය වූවාය. ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූයේ "වැඩ බැරි නම් වැඩක් නෑ" චිත්‍රපටයෙනි. අනූව දශකයේ බිහි වුණු වාණිජ චිත්‍රපටවල දඟකාර, බොළඳ, නර්තනයෙහි දක්ෂ පෙම්වතියගේ චරිතය දිල්හානි බහුලව නිරූපණය කළාය. ඇගේ නර්තන හැකියාව සහ ආකර්ෂණීය සිනහව හේතුවෙන් ඈ එකල ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයට ලක්වුණු රංගන ශිල්පිනියක් වූවාය. සමහර සිනමා විචාරකයන් ඇයව හැඳීන්වූයේ ලංකාවේ ශ්‍රීදේවි ලෙසය.

වාණිජ චිත්‍රපටවලට සීමා වුණු දිල්හානිගේ සිනමා රංගනය වෙනස් මාවතකට යොමු කළේ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ මගේ සඳයි චිත්‍රපටයයි. එහි අවතැන් වුණු දෙමළ ගැහැනු ළමයෙකුගේ භූමිකාව සමඟ ඇගේ වෘත්තීය ජීවිතය වෙනස් මාවතකට පිවිසියේය. සුදු කළු සහ අළු, මගේ වම් අත සහ සුළඟ යන චිත්‍රපට තුළ දිල්හානිගේ කැපී පෙනෙන විචාරක අවධානයට ලක්විය. 2005 වසරේ සරසවිය සම්මාන උලෙළේදී "සුදු කළු සහ අළු" චිත්‍රපටයේ ඇගේ චරිතය වෙනුවෙන් ඇය හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. එම වසරේදීම ඇය සුළඟ චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානය දිනා ගත්තාය. එසේම කුලගෙය, ප්‍රතිඥා, පෙම් කැකුළ, නිලම්බරේ, ගාමණී, චායා මායා වැනි චිත්‍රපට රැසක කැපී පෙනෙන චරිත නිරූපණය කළාය. ධර්මයුද්ධය චිත්‍රපටයේ ඇගේ රංගනයට 2018 සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය සම්මානය හිමි විය. මෑතකදී තිරගත වුණු සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ජංගි හොරා චිත්‍රපටයේද ඇගේ රංගනය විචාරක අවධානයට පාත්‍ර විය. සිනමා නිළියක් ලෙස මෙන්ම ඇය මායා රංගන, ස්වර්ණ කිංකිණි, මීදුම, සත් සඳ කිරණ සහ අමරපුරය, ධවල ​​දූවිලි, භාර්යාවෝ ඇතුළු ටෙලිනාට්‍ය රැසක් සඳහාද රංගනයෙන් දායක වී ඇත. ඇය මෙරට ජනප්‍රිය නාලිකා කීපයක පැවැත්වූ නර්තන රියැලිටි වැඩසටහන්වල විනිසුරුවරියක ලෙසද කටයුතු කළාය.

ආසයි බයයි, ලව් ඉන් බැන්කොක්, මල්සර දෝනි, චණ්ඩි රැජින, කුලගෙය, ප්‍රතිඥා, චායා මායා, ජීවන් මල්ලි, සඳරේඛා, එකදා වැහි, ජයග්‍රහණය, නොහඬන් ළඳුනේ, පෙම් කැකුළ, මේ මගේ සඳයි, සොඳුරු දඩබිම, යකඩ පිහාටු, මිල්ලෙ සොයා, සුදු කළු සහ අළු, ගාමණී, ගින්නෙන් උපන් සීතල, ධර්ම යුද්ධය, ජංගි හොරා ඇතුළු චිත්‍රපට රැසකට දිල්හානි ඇගේ රංගන දායකත්වය ලබාදී ඇත.