විශිෂ්ට රංග ප්‍රතිභාව - සුවිනීතා වීරසිංහ

අප්‍රේල් 7, 2022

 

කුඩා වියේදී චිත්‍රපටයක්වත් නොබැලු ඇය උසස් අධ්‍යාපන කටයුතු කළේ ආයුර්වේද වෛද්‍යවරියක් වීම සඳහාය. එහෙත් ගීත ගායනය වැනි කලාත්මක කටයුතු සඳහා ඇය සතු දක්ෂතාව දැන සිටි ඇගේ පියාණන් මවගේ විරුද්ධත්වය මැද වුව පුවත්පතක තිබූ දැන්වීමක් අනුව ‘සුදු සඳේ කළු වලා’ චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණයකට ඇය කැඳවාගෙන ගියේය. ඒ වන විට ඇය ‘සුහද දිවි පිදුම’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟ පා තිබිණි. පරීක්ෂණයේ ප්‍රතිඵලයෙන් ඇය විස්මිත වූයේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තේරී ඇති බව දැනගත් විටය. වෛද්‍ය අධ්‍යපනයේ දෙවැනි වසරේ දී එය අතහැර දැමූ සුවීනිතා වීරසිංහ ‘සමාජයේ අපි ඔක්කොම සමානයිි‘, සුදෝ සුදු’ වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූවාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ ‘දෙලොවක් අතර’ චිත්‍රපටය ඇයගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඉන්පසු වැලිකතර, සිකුරු ලියා, හුලවාලි, අනුපමා, සතිපූජා, මලට නොඑන බඹරු, යුගාන්තය, බව දුක, බව කර්ම, දැහැන ආදී චිත්‍රපට රාශියකට දායක වන්නට ඇය සමත් විය.

වේදිකා නාට්‍ය ශිල්පිනියක ද වන සුවිනීතා කෝන්තරේ, වහලක් නැති ගෙයක්, ඔන්න බබෝ ඇතින්නියා, සැරදේ සීතා වැනි නාට්‍ය රැසකට දායක වූවාය.

වැලිකතර සමඟ රුසියාවේ ටෂ්කන් අන්තර්ජාතික සම්මාන උලෙළට මෙන්ම හුලවාලි සමඟ ටෙහෙරාන් අන්තර්ජාතික සම්මාන උලෙළද නියෝජනය කළ ඈ 1972 වසරේ විචාරක සම්මාන උලෙළේ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවාය. එච්.ඩී. පේ‍්‍රමරත්න නිර්මාණය කළ ‘සඳුන් ගිර ගිනි ගනී’ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයේ දස්කම් පෑ ඇය මේ වන විට විශාල ටෙලි නාට්‍ය සංඛ්‍යාවකට ද රංගනයෙන් දායක වී ඇත.

2018 වසරේ සරසවිය සම්මාන උලෙළේ ජීවිතයට එක්වරක් පමණක් පිදෙන යාවජිව සම්මානයෙන් පිදුම් ලැබු සුවීනීතා වීරසිංහ මෙරට සිනමාවේ සුවිශේෂ චරිතාංග රංග ශිල්පිනියකි.