ජනප්‍රියත්වයේ මුල් කිරුළ - ජීවරාණි කුරුකුලසූරිය

අප්‍රේල් 7, 2022

 

ජීවරාණි කුරුකුලසූරිය 60 දශකයේ මෙරට සිනමාවේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැගි නිළියකි. ඇය රංගනයට එක් වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'සන්දේශය' චිත්‍රපටයෙනි. 'වීර විජය' චිත්‍රපටය ජීවරාණි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු චිත්‍රපටයයි. ඇයගේ රංගන දායකත්වයේදී සිංහල සිනමාවේ පළමු වර්ණ චිත්‍රපටය වූ 'රන්මුතු දූව' හි රංගනය සුවිශේෂි වේ. 'සෙනෙහස', 'කපටිකම', 'ගොපළු හඬ', 'සීතා දේවි', 'උඩරට මැණිකේ', 'කළ කළ දේ පල පල දේ', 'යට ගිය දවස', 'සාරවිට', 'ඉඳුනිල', 'සැනසිලි සුවය', 'අදට වැඩිය හෙට හොඳයි', 'ඔක්කොම හරි', 'සැනසුම කොතැනද', 'ශීලා' වැනි සිංහල රිදී තිරය දිනූ චිත්‍රපට රැසක් ජීවරාණිගේ රංගනයෙන් ඔපවත් විය.

ඇය ශිරාණි, ජානකි සහ මැණික් යන නැගණියන් තිදෙනා සිංහල සිනමවට කැඳවා ගෙන පැමිණියේ එකම පවුලේ සොයුරියන් සිව්දෙනෙකු ජනප්‍රිය නිළියන් වීමේ සුවිශේෂත්වය සමඟිනි. ජීවරාණි සිනමා නිළියක වීමට පෙර එක් වූයේ වේදිකා නාට්‍ය රංගනයටය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් රචිත 'මාහේනේ රීරි යකා' කෘතිය ඇසුරෙන් ඩික් ඩයස් එම නමින්ම නිර්මාණය කළ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයකට ඇය පණ පෙවූවාය. ඩික් ඩයස් විසින් නිර්මාණය කරන ලද 'රතු මකරා' වේදිකා නාට්‍යයට ද රංගනයෙන් එක් වූ ඇය 'එතෙර බැඳී සෙනෙහස' ටෙලි නාට්‍යයටද රංගනයෙන් එක් වූවාය. ළමා පිටියේ ගායිකාවක ලෙස ගායනට පිවිසි ජීවරාණි ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවකි. ඇය 'හතර කේන්දරේ' චිත්‍රපටය වෙනුවෙන් ගී ගැයූවාය.

1965 වසරේ සරසවිය සම්මන උලෙළේදී ඇයට 'සසරක හැටි' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් හිමි විය. 1966 සහ 1967 වසරවල ජනප්‍රිය නිළිය ලෙසත් සරසවිය සම්මානයට පාත්‍ර වූ ජීවරාණි හට 1967 වසරේදී 'ඔබ දුටු දා' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ද 1970 වසරේ 'සෙනෙහස' චිත්‍රපටයේ රංගන උදෙසා සරසවිය විශේෂ කුසලතා සම්මාන හිමි විය. 2004 වසරේ සරසවිය සම්මාන උලෙළේදී ඇය රණ තිසර සම්මානයෙන් පිදුම් ලැබුවාය. දීප්තිමත් තාරකාවක ලෙස ජනප්‍රියත්වයේ හිණි පෙත්තෙහි සිටියදී ඇය සිනමාවෙන් සමු ගත්තේ පවුල් ජීවිතයට මුල් තැන දෙමිනි.