සම්ප්‍රදායෙන් බැහැර වෙන්න අපට අවශ්‍ය නෑ

මේ වෙනස අපව වැලඳගත් ප්‍රේක්ෂකයා හලන වෙනසක් නොවේ.
මාර්තු 31, 2022

 

රූපවාහිනිය දැන් වෙනස්වෙලා. අලුත් වෙලා. මේ වෙනස ගැන වගේම ඒ වෙනස් කිරීම නිසා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් විමසා බලන්න සරසවිය අපි හිතුවා. සිය හතළිස්වෙනි උපන්දිනය සමඟ අලුත් වුණු ජාතික නාලිකාව ගැන නව සභාපති සොනාල ගුණවර්ධන අපිට පැවසුවේ මේ විදිහට...

 

රූපවාහිනිය වෙනස්වෙලා?

ජාතික රූපවාහිනිය පමණක් නොවේ ලෝකයේ සෑම දෙයක්ම දිනෙන් දින වෙනසට ලක් වෙනවා. රූපවාහිනියටත් ඒ වෙනසට භාජනය නොවි ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. වෙනස් වීම ලෝකයේ සදාතනික සත්‍යයක්. වෙනස්වන රටාවට වෙනස්වන තාක්ෂණයට වෙනස්වන ප්‍රේක්ෂකයාට අදාළව අපට කටයුතු කරන්න වෙනවා. එය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කළ යුතුයි. ඒ වෙනස්කම් නොකළහොත් පවතින තත්ත්වය සමඟ පවතින්න අමාරුවනවා. ඒ නිසයි අප ජාතික රූපවාහිනිය තුළ මූලික වෙනස්කම් කිහිපයක් කරන්න හිතුවේ.

මේක දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්. එක පැත්තකින් එදා මෙදා තුර ජාතික රූපවාහිනිය සමඟම සිටි පිරිසකුත්, අනෙක් අතට ඔබ ඔය කියන වෙනසට කැමැති පිරිසකුත් ඉන්නවා. ඒ නිසා මේ දෙපැත්තෙම සිටින ප්‍රේක්ෂකයාව ගිළිහෙන්න නොදී සමබරව ගෙන යා යුතුයි?

මේ වෙනස අපව වැලඳගත් ප්‍රේක්ෂකයා හලන වෙනසක් නොවේ. අනෙක් අතට මෙය හිතුමතේට කළ වෙනසකුත් නොවේ. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව තුළ ඉන්නවා පර්යේෂණ කණ්ඩායම්. මම ආවයින් පසුව අවුරුදු 10 ක් තුළ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ගෙන බැලුවා. අප තීරණය කළා අපි මේ සම්ප්‍රදාය රැකගෙන ප්‍රේක්ෂකයා නැති කරගන්නවද? වෙනත් සම්ප්‍රදායකට ගිහින් ටිකක් උත්සාහ කරලා බලනවද කියලා. උත්සාහ කළ හැකියිනේ ඕනෑම අයෙක්ට.

 

රාත්‍රී 8.00 ට රූපවාහිනී ප්‍රවෘත්ති බලන්න පුරුදු වූ පිරිසක් සිටියා?

අපේ නිව්ස් වුණත් දිනෙන් දින පරිහානියට පත් වෙලා. එය රේටින් තියෙන කාලෙත් එහෙමයි. නැති කාලෙත් එහෙමයි. සවස 6.50 ප්‍රවෘත්ති විකාශය සමඟ එක් වී සිටින ප්‍රේක්ෂකයා රාත්‍රී 8.00 ප්‍රවෘත්ති විකාශය සමඟ එක් වූ ප්‍රේක්ෂකයාට වඩා අඩු වනවානම් අපිට ආපසු 8.00ට යන්න පුළුවන්. සවස 6.50 ට ප්‍රවෘත්ති විකාශය ගෙනාවයින් පසුව ප්‍රේක්ෂකයාගේ යම් වැඩිවීමක් තියෙනවා. එය සංඛ්‍යාත්මකව දත්ත වශයෙන් අපට ඔප්පු කළ හැකියි. ප්‍රවෘත්ති විකාශයෙන් පසුව සුපුරුදු විදිහට ටෙලිනාට්‍ය නරඹන්න පුළුවන්.

 

ඔබ ඔය කියන්නේ අනෙකුත් නාලිකාවල ආකෘතියටම රූපවාහිනියත් නතු කරගෙන පවතින තරඟය එක්ක හරි හරියට තරඟ කළ යුතුයි කියලද? ජාතික නාලිකාවට වගකීමක් තියෙනවා නේද පවතින ආකෘතියෙන් ඔබ්බට යමක් ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කරන්න?

අපි අවුරුදු හතළිහක් ඒකනේ කළේ. එහෙම කරලත් අපි අවුරුදු 8 ක කාලයක සිට මහා භාණ්ඩාගාරයෙන් මිලියන 40 ක මුදලක් ගන්නවා සේවක පඩිනඩි ගෙවන්න. ඒ කියන්නේ අපිට කොහේ හරි වැරදිලා තියෙනවා. මාධ්‍ය සම්ප්‍රදාය පවත්වාගෙන ගියාට වැඩක් නෑ අප ව්‍යාපාරයක් ලෙස අසමත් නම්. අපේ ළමා කාලයේ රසවිඳී දේ නොවෙයි දැන් දරුවන් රසවිඳීන්නේ. ඔවුන්ගේ රසවින්දනය වෙනස්. අපි පොඩි කාලේ ජාතික රූපවාහිනියට තරඟයක් තිබුණේ නෑ. නමුත් දැන් නාලිකා 14ක් 15ක් තියෙනවා කැමැති එකක් තෝරාගෙන බලන්න. අපිව ටැග් වෙලා තියෙන්නෙම ආණ්ඩුවට කඩේ යනවා කියලා. අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් එය තවත් තහවුරු කර ගන්නවා. මිනිස්සුන්ට ඒ මානසිකත්වයෙන් මිදෙන්න අපහසුයි. ඒ නිසාම අප තීරණය කළා මේ මොහොතේ ඒ බෙල්ට් එකෙන් නිව්ස් අයින් කරලා ආදායම් තත්වය ඉහළට ගත හැකි යමක් කරන්න. එය පැරණි දත්ත හා වාර්තා මත පදනම්ව මෙයට මෙයට සාධාරණයක් හෝ අසාධාරණයක්වේද යන කාරණය විශ්ලේෂණය කරලා තමයි එය වෙනස් කළේ.

 

ජාතික රූපවාහිනි අනන්‍යතාව රැකගන්න පුළුවන්ද ඔය කියන කාරණා එක්ක?

මාධ්‍ය නාලිකාවක් විදිහට අපි මාධ්‍ය භූමිකාව අතාරින්නෙ නෑ. අවුරුදු 40ක් තුළ ගොඩනඟාගත් යම් සම්ප්‍රදායක් තියෙනවා නම් ඒ සම්ප්‍රදායෙන් විශාල විදිහට බැහැරවෙන්න අපට අවශ්‍ය නෑ. අවශ්‍යතාවක් ආවත් මම හිතන්නේ නෑ එය ක්‍රියාත්මක කළ හැකි වෙයි කියලා. මොකද සම්ප්‍රදායට හැඩගැසුණු ක්‍රමවේදයක් අභ්‍යන්තරිකවත් බාහිර ප්‍රේක්ෂකයා තුළත් තිබෙනවා. මම හිතන්නේ නෑ අපේ වැඩ සටහන්වල ගුණාත්මකභාවය පිරිහෙන කාරණයක් වෙයි කියලා. අනන්‍යතාවයට හානියක් නොකර නැවුම් වැඩසටහන් හඳුන්වා දෙන්නයි අපගේ බලාපොරොත්තුව.

 

රූපවාහිනී ලාංඡනය (Logo)  වෙනස් කිරීම සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහකට තුඩු දුන් මාතෘකාවක්?

ජාතික රූපවාහිනී සංස්ථාවට නාලිකා තුනක් තියෙනවා. ඒ රූපවාහිනි කියන සිංහල නාලිකාව, නේත්‍රා ටීවී කියන දෙමළ නාලිකාව සහ චැනල් අයි කියන ඉංග්‍රීසි නාලිකාව. දෙමළ හා ඉංග්‍රීසි නාලිකාවන් හි එම භාෂාවලින් පමණක් තිබෙනවා. නමුත් සිංහල නාලිකාවේ භාෂා තුනෙන්ම නම සඳහන් කිරීම නිසා රූපවාහිනි තිරයේ හෝ නවීන ලෝකයේ ඩිජිටල් තිරයේත් මෙය කියවන්න අපහසුයි. එම නිසා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළුව අප තීරණය කළා ලෝගෝ එකේ නම සිංහලෙන් පමණක් තබන්න. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ලෝගෝ එක වෙනස් වුණා කියලා. එහි භාෂා ත්‍රිත්වයම තිබෙනවා. මෙම කාරණා නොදැන සමාජ මාධ්‍ය තුළ විශාල හඬක් මතුවුණා.

 

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකාවලට වුවත් අද වනවිට නව මාධ්‍ය සමඟ එකතු වෙන්න වෙලා?

නව මාධ්‍ය හරහා වැඩියෙන්ම සමීප ටෙලිනාට්‍ය, වැඩසටහන් ගෙනියන්න පුළුවන් මාධ්‍ය නාලිකාව මෙතැනදී ජයග්‍රහණය කරනවා. මිනිසුන්ට අදාල වෙන්නේ නෑ. මේ ඇත්තද, බොරුද, රසවින්දනයෙන් උසස් නාට්‍යයක්ද? රසවින්දනයක් ඇතිද නැතිද යනවග පිළිබඳව. මිනිසුන්ට වැඩිපුරම මනසට වැටෙන දේ මිනිස්සු බලන්න පෙළඹෙනවා. එයින් අපටත් බැහැර වෙන්න බෑ. මෙය වෙළෙඳ උපක්‍රමයක්. මිලදී ගන්න පෙළඹෙනවා. එය ස්වාභාවිකයි. නව මාධ්‍ය භාවිත කරලා මේ සටනේ රැදෙන්න වනවා. කුමන නාලිකාවකට වුවත්. අපටත් ඒ තුළින් බැහැරවෙන්න බෑ. අපත් ඒ සඳහා යම් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.

 

අවසාන වශයෙන් රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ඔබට මොනවද කියන්න තියෙන්නේ?

ජාතික රූපවාහිනියෙන් යමෙක් ඈත් වී සිටිනවානම් වෙනසකටත් එක්ක ජාතික රූපවාහිනිය නරඹලා බලන්න. කලින් සදාගත් පූර්ව නිගමනයකින් තොරව රූපවාහිනිය නරඹලා අප සමඟ එක්වන්න කියලා, මම ඉල්ලනවා.