කෙටි වුණත් ලොකු කතාවක් කී චිත්‍රපටයක්

බියෝන්ඩ් ද හිල්ස් අධ්‍යක්ෂ ලසිත දේනුක සුමනරත්න
මාර්තු 31, 2022

 

වෘත්තාන්ත චිත්‍රපටයක් වරද්ද ගන්නේ නැතිව කරන්න නම් කෙටි චිත්‍රපට කීපයක් කරන්නම ඕනෙ

 

මෙරට ප්‍රථම වතාවට 'සම්ප්‍රසාද' නමින් රාජ්‍ය කෙටි චිත්‍රපට සම්මාන උලෙළක් පසුගිය 23 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වුණි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු විෂයය භාර අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයෙන් ද, ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන්ද සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය වන තරණි අනෝජා ගමගේ මහත්මියගේ අධීක්ෂණයෙන්ද සංවිධානය කෙරුණු මෙහි සමස්ත සම්බන්ධීකරණය රාජ්‍ය සිනමා උපදේශක සභාවේ ලේකම්වරිය වන මානෙල් දිසානායක සහ සහකාර ලේකම් සෂිප්‍රභා සේනාරත්න මහත්මීන් අතින් සිදුවිය.

එහිදී ජ්‍යෙෂ්ඨ සිනමා විචාරක ගාමිණී වේරගම මහතාගේ සභාපතීත්වයෙන් යුතු රාජ්‍ය සිනමා උපදේශක සභාව යටතේ ඇති ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීණ රංගවේදිනී නදීකා ගුණසේකර, ප්‍රවීණ මාධ්‍යවේදී, සරසවිය කර්තෘ අරුණ ගුණරත්න, ප්‍රවීණ සිනමා ශිල්පී කලාභූෂණ අලගේෂන්, ප්‍රවීණ මාධ්‍යවේදී සිනමා විචාරක තිස්ස ප්‍රේමසිරි, සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, ප්‍රවීණ මාධ්‍යවේදී සමන්ත යහම්පත් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් කෙටි චිත්‍රපට විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද හොඳම කෙටි චිත්‍රපටය වන්නේ ඕඥරධදඤ බඩඥ ඩ්ඪතතඵ (බියොන්ඩ් ද හිල්ස්) ය. එම චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම කැමරාකරණය සහ හොඳම සංස්කරණය යන සම්මාන ද හිමි විය. මේ බියෝන්ඩ් ද හිල්ස් අධ්‍යක්ෂ එච්. ජී. ලසිත දේනුක සුමනරත්න ජීවිතයේ පළමු වරට පුවත්පතකට ලබා දෙන සම්මුඛ සාකච්ඡාවයි.

 

මුලින්ම ඔබේ වගතුග ටිකක් කියමු?

මගේ නම හිරමනගම ගාල්ලවත්තේ ලසිත දේනුක සුමනරත්න. ගම රත්නපුර අම්බලන්වත්ත. අපේ පවුලේ මද්දුමයා මම. අයියයි, අක්කයි, නංගියි, මල්ලියි තමයි අම්මටයි තාත්තටයි ඉන්න අනෙක් දරුවෝ. මම පාසල් ගියේ මාදම්පේ විජය මහා විද්‍යාලයට. උසස් පෙළ කළේ 2005 වසරේ.

 

ලසිත කෙටි චිත්‍රපට තැනීමට යොමු වුණේ කොහොමද?

මම හය වසරේ ඉඳන් පාසලේ නාට්‍ය හා රංගකලාව හැදෑරුවා. ලලිතා කියලා මිස් කෙනෙක් තමයි අපට ඉගැන්නුවේ. ඒ කාලෙ ඉඳන්ම අපි මහපොළ, පාසල් නාට්‍ය තරග ආදියට ගිහින් ජයග්‍රහණය කළා. ඒ කාලෙත් මම නාට්‍ය පිටපත් ලීවා, අධ්‍යක්ෂණය කළා, රඟපෑවා, අභිරූපණ කළා. 2006 වසරේ යෞවන සම්මාන උලෙළේ හොඳම අභිරූපණ රංගශිල්පියා වුණෙත් මම. මම නොදුටු පැතිකඩ කියලා කෙටි නාට්‍යයක් කළා. එය රත්නපුරේ හොඳම කෙටි නාට්‍යය බවට සම්මාන ලැබුණාම තමයි අපව තරුණ සේවා සභාවට තෝරා ගත්තේ. ඒ නාට්‍යයටත් හොඳම පිටපත, නළුවා, අධ්‍යක්ෂණය වගේ සම්මාන රැසක් ලැබුණා.

උසස් පෙළින් පසු මම මහරගම සහ රත්නපුර ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංගකලා පාඨමාලාව හැදෑරුවා වසර දෙකක්. 2008 වසරේ තරුණ නව රැල්ල නමින් එහිම තිබුණු සිනමා සංගමයේ මාස හයක් පමණ ඉගෙන ගත්තා. එහි කෙටි චිත්‍රපට තරගයට මම 'සමනලයා' නමින් ඉදිරිපත් කළ කෙටි චිත්‍රපටය අවසන් වටයට තේරුණා. එයින් තමයි මට ඒ පාඨමාලාවට තේරුණේ.

2010 සිට වසර පහක් මම කොරියාවට යනවා ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා. එහිදීත් මම අන්තර්ජාලය ඔස්සේ සිනමාව ගැන හදාරන්න අමතක කළේ නැහැ. අන්තර්ජාලයේ පාඩම් මාලා බාගත කරගෙන බලනකොට මගේ සිනමාවට තිබුණු ආසාවත් වැඩි වුණා. ඒ වගේම විවේකී වෙලාවක කැමරාව පිළිබඳ සුළු පාඨමාලාවකුත් ඒ රටේදීම හැදෑරුවා. ඒ අතර මට ආරංචි වුණා තරුණ සේවාවෙදි අපට මුණ ගැසුණු සංජීව පුෂ්පකුමාර අය්යාත් එහි සිනමාව හදාරන්න ඇවිත් ඉන්නවා කියලා. මම ඔහු මුණ ගැහිලා සිනමාව සම්බන්ධ ඇතැම් දේවල් සාකච්ඡා කළා. කොරියාවේ ඉඳන් එද්දි මම ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ගෙනාවා චිත්‍රපට බලන්නම. මගේ ඥාති සොහොයුරෙක් ඉන්නවා පැරකුම් ධර්මදාස කියලා කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව හදාරන ශිෂ්‍යයෙක්. ඔහු සමඟ මම රෑ පහන් වෙනකල් විට කකා තේ බිබී කලාත්මක චිත්‍රපට බලමින් ඒවායේ වර්ණ සංයෝජන, සංස්කරණ, කැමරාකෝණ, පිටපත් රචනය වැනි බොහෝ දේ ගැන සාකච්ඡා කරනවා. ඔහුගෙනුත් මම බොහෝ දේ ඉගෙන ගත්තා.

මේ චිත්‍රපටයට ආරම්භය ලැබුණේ කොහොමද?

2014 තමයි මට බියොන්ඩ් ද හිල්ස් චිත්‍රපටයේ වස්තුබීජය හිතට ආවේ. තරුණ සේවා සභාවට යන කාලේ හිටිය මගේ පෙම්වතිය වෙනත් විවාහයක් කරගත්තා. ඒත් අපේ හිත්වල අමනාපයක් තිබුණේ නැති නිසා අපි කතා බහ කරනවා. ඇය දෙවතාවක්ම දරුවන් ලැබෙන්න ගොස් ගබ්සා වුණ බව මට දැනගන්න ලැබුණා. ඇය එය මට කීයූ විදිහ මට විශාල කම්පනයක් වුණා. ඊට පස්සේ සොයා බලද්දි මට දැනගන්න ලැබුණා ඉස්සර කාලෙට වඩා වැඩි මවුවරු සංඛ්‍යාවකට දැන් කාලේ ගබ්සා වන බව. ඒ වගේම එවැනි ගබ්සාවකට පසු වගේම දරුවකු බිහි කිරීමේදී කාන්තාවක් කොයි තරම් දුකක් වේදනාවක් දරා ගන්නවාද කියන දේ මට දැනුණා. ඒ ගැන කියන්න හොඳම මාධ්‍යයක් ලෙස මට හිතුණේ කෙටි චිත්‍රපට. ඔය තේමාව මගේ හිතේ අවුරුදු ගාණක් පැහෙමින් තිබිලා 2018 තමයි මේ කෙටි චිත්‍රපටය බවට නිර්මාණය වන්නේ.

චිත්‍රපටය හදන්න මුල පුරද්දි මගේ සන්තකේ තිබුණේ රුපියල් පන්දාහයි. මෙයට මට කසුන් කාවින්ද කුරුප්පු කැමරා උපකරණ ලබා දෙමින් උදවු කළා. නිලංග නාමල් උඩුමුල්ල කියලා තව යාළුවෙක් පිටපත හදන්න කතාව ගොඩනඟන්න මට උදවු කළා. රියෙන්ස්ලි ඒකනායක කියලා අය්යා කෙනෙකුත් උදවු කළා. විමුක්ති කිරිඇල්ල කියලා හිත හොඳ යාළුවෙක් තමයි සහාය අධ්‍යක්ෂණය කළේ. ඔහුත් සෑහෙන උදවු කළා මට.

 

ඔබ කෙටි චිත්‍රපට කියන මාධ්‍යය හදුන්වන්න කැමැති කොහොමද?

මම හිතන්නේ වෘත්තාන්ත චිත්‍රපටයක් තැනීමට පෙරහුරුවක්, අධ්‍යයනයක් වන්නේ කෙටි චිත්‍රපට. හැබැයි කෙටි චිත්‍රපට කියන්නේ දිග චිත්‍රපටයක කොට චිත්‍රපටය නෙවෙයි. එය වෙනම මාධ්‍යයක්, කලාවක්. වෘත්තාන්ත චිත්‍රපටයක් වරද්ද ගන්නේ නැතිව කරන්න නම් කෙටි චිත්‍රපට කීපයක් කරන්නම ඕනෙ. මම මේ කලාවට හරි කැමැතියි.

 

මේ චිත්‍රපටය දෙබස්වලින් තොරයි. ඔබ හැඟීම්වලින් පමණක් අදහස ඉදිරිපත් කරන්න යෙදූ උපක්‍රම මොනවාද?

මගේ වත්තක් තිබෙනවා සූරියකන්ද පැත්තේ. ඒ වත්තට යද්දි රූපවාහිනී සහ දුරකථන කුලුනු තුනක් තිබෙනවා. ඒ තැන්වල සිට බලද්දි පහළ දර්ශනය හරිම අයස්කාන්තයි. ඒ කන්ද උඩ හරිම සීතලයි. ඒ ගිය වෙලාවක දුටු දර්ශනවලින් තමයි මගේ හිතේ මැවුණේ චිත්‍රපටයේ හැම රූපරාමුවක්ම මේ ආකාරයෙන් සිනමාත්මක විය යුතුයි කියලා. කතාව ස්ටෝරිබෝඩ් එකකට ගත්තේ ඉන් පසුවයි. මට වුවමනාව තිබුණේ අම්මා කෙනෙකු කොහොමද දරුවකු නැතිවන දුක දරාගන්නේ කියලා පෙන්වන්න. මේ මවට දරුවන් කීපදෙනකු නැති වෙලා තිබෙනවා. අම්මයි තාත්තයි කඳුළක්වත් නොහෙළන්නේ දුක නැති නිසා නෙවෙයි, දරාගන්න හුරු වෙලා නිසා. ඒත් ඔවුන්ගේ උත්සාහය අතහරින්නේ නෑ. ඒ බව අවසාන දර්ශනයේ ඉහළට ඇදෙන රූපරාමුවේ තවත් කුඩා මිනීවළවල් කීපයක් පෙන්වීමෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කරනවා.

මෙයට ශිල්පීන් තෝරාගත්තේ කොහොමද?

මුදල් නැතිකම මත. ඇත්තෙන්ම මම උත්සාහ කළා ප්‍රසිද්ධ නළු නිළියන් යොදා ගන්න. ඒත් එයට විශාල මුදලක් වැය වනවා. ඒ නිසා රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළේ හොඳම නිළිය වුණු තක්ෂිලා නිල්මිණී සොයුරියට ආරාධනා කළා. තවත් නාට්‍යයක් බලන්න ගිය වෙලාවක දුටු දුමින්ද සඳරුවන්ගේ මුහුණ දුටුවාම ඒ දරිද්‍ර චරිතයට හොඳයි කියා හිතුණා. ඒ වගේම ඔවුන්ගේ තාත්තාට හිටියේ මගේ ආච්චිඅම්මාගේ මල්ලි වන සීයා. ඔහු තරුණ කාලේ වෙසක් නාට්‍ය ටීටර්වල එහෙම රඟපාලා තිබෙනවා කීවා. ඒ තුන්දෙනා යොදාගෙන චිත්‍රපටය කරද්දි අපට ලොකු පිරිවැයක් දරන්න වුණේ නැහැ නිර්මාණය වෙනුවෙන්. මෙහි වැඩි බරපැනක් දැරුවේ කාංචනා දිල්හානි කියන මගේ මිතුරියක්. ඉතිරි මුදල මගේ අතින් වියදම් කළා. සංගීත ගුරුවරයකු වූ ගයාන් අපට අලුතින්ම සංගීතය නිර්මාණය කළා. මහේෂ් ගුණවර්ධන දින ගණනක් මටත් කන්න බොන්න දීගෙන, නිදි වරාගෙන නොමිලේ කර දුන් සංස්කරණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි හොඳම සංස්කරණයට සම්මාන ලැබුණෙ. පැතුම් සුබසිංහ හොඳම කැමරාකරණයට සම්මාන ලැබුවේත් කැපවීම නිසා.

 

මොකක්ද ඔබේ අනාගත බලාපොරොත්තුව?

වෘත්තාන්ත චිත්‍රපටයක් කිරීම තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව. ඒ සඳහා තිරපිටපතකුත් ලියා තිබෙනවා. ඒත් මුදල් නැති නිසා නිෂ්පාදකයකු සොයමින් ඉන්නවා. තවත් කෙටි චිත්‍රපට දෙකකුත් නිර්මාණය කරන්න සැලසුම් කර තිබෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව කලාත්මක ධාරාවේ සිනමාවෙන් ලංකාවේ හොඳම අධ්‍යක්ෂවරයෙක් වීම. මොකද මම වාණිජ ධාරාවට අකැමැති එහි යථාර්ථය නොවන ව්‍යාජ ෆැන්ටසියක් මවන, උඩින් යන කරනම් ගහන, සින්දු ආදි අභව්‍ය දේවල් තිබෙන නිසා. ප්‍රේක්ෂකයන් අල්ලා ගන්න නම් වාණිජ සිනමාවට යා යුතුයි තමයි. ඒත් මම තෝරාගන්නේ වඩා බුද්ධිමත් ලෙස චිත්‍රපට නරඹන කලාත්මක ධාරාවට කැමැති ප්‍රේක්ෂක පිරිසයි. මම වඩාත් කැමැති ඉරාණ, ඉරාක, ප්‍රංශ, රුමේනියා සිනමාවටයි. මම කැමැති ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, ජයන්ත චන්ද්‍රසිරි, සංජීව පුෂ්පකුමාර, බෙනට් රත්නායක වගේ සිනමාකරුවන්ට.

 

ඔබ අපේ රටේ සිනමාව දකින්නේ කොහොමද?

බොහෝ දෙනා කියන්නේ ලංකාවේ සිනමා කලාවක් නෑ කියලා. එහෙම නෑ. ප්‍රශ්නය තිබෙන්නේ එකිනෙකාට උදවු කරගැනීම අඩුකමයි. වත්මන් සිනමාකරුවන් මාර කට්ටක් කනවා යහපත් සිනමාවක් ගොඩනඟන්න.

තරුණ සිනමාකරුවකු ලෙස මම යෝජනා කරන්නේ ගමේ ගොඩේ ඉන්නවා හොඳ දක්ෂතා තිබෙන ළමයි. ඔවුන් ඉදිරියට ගන්න නොමිලේ හෝ සිනමා පාසල් රජය විසින් ඇති කිරීමයි. මමත් සිනමා පාසලකින් නේ ඉගෙන ගත්තේ. ඒ වගේ දුප්පත් ළමයෙකුට දරන්න අමාරුයි අද තිබෙන පාඨමාලාවල ගාස්තු. ඒ නිසා අඩු මුදලකට හෝ ඒ වැනි පාඨමාලා රට පුරා ඇති කරන්න පුළුවන් නම් රජයෙන් හෝ හරිම හොඳයි. අනෙක දළසේයා පට තිබුණු යුගයේ තිබුණු හික්මීම දැන් තාක්ෂණය සමඟ නැති වෙලා තිබෙනවා. ඒ වගේම හොඳ වස්තුබීජයක් සමඟ අන්තර්ගතයක් සහ එය හොඳීන් නිරූපණය වන පිටපතක් තිබුණොත් චිත්‍රපට හොඳ වෙනවා. ඒවැනි දේ තමයි අපේ වත්මන් සිනමාවට අවශ්‍ය.

 

ඔබ අලුතෙන් කෙටි චිත්‍රපට කරන්න පෙලඹෙන පිරිසට දෙන පණිවිඩය කුමක්ද?

චිත්‍රපටයක් හදන්න යම් මුදලක් වැය වනවා. අඩුම ගානේ ආහාරපානවලට හෝ... හැබැයි මම කියන්නේ මුදල් නෑ කියලා බලාගෙන ඉන්න එපා. ජංගම දුරකථනයකින් හෝ පළමුවෙනි කෙටි චිත්‍රපටය කරන්න. ඊට පසු තමන්ට විශ්වාසයක් ගොඩනැඟෙනවා. එනිසා අධිෂ්ඨානය ඇතිකරගන්න.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න