සමනලී සමඟ රණ්ඩුවෙන් දසුන්ගේ ඇඟිල්ලට මැහුම් අටක්

- තුන්පනේ තනද්දී සිදුවූ අනතුරක් සුපුන් රත්නායක විස්තර කරයි
මාර්තු 23, 2022

මේ දිනවල ජාතික රූපවාහිනී නාළිකාවේ විකාශය වන "තුන්පනේ" මෙරට වගේම විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව අතරද අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. සම්මානනීය දක්ෂ රංගන ශිල්පීන් රැසක් චරිතවලට පණ පොවන මෙය අධ්‍යක්ෂණය කරන්නේ නව පරපුරේ අධ්‍යක්ෂවරයකු වන සුපුන් රත්නායක. මීට පෙර මගේ ආදර අවනඩුව, ඒක දිග කතාවක්, අඩෝ, මෙට්‍රො හීන යන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ඔහු සමඟ "තුන්පනේ" ගැන අපි කතාබහ කළා.

 

මොකද්ද මේ "තුන්පනේ" කියන්නේ?

සමාජ ව්‍යවහාරික භාෂාවෙන් තුන්පනේ කියන්නේ ගමක නමක්. මිනිස්සුන්ව උපහාසයට ලක් කරන්නත් ඒ ගමේ නම පාවිච්චි කරනවා. ඒක ලංකාවේ තියෙන දුෂ්කර ගමක්. ඒ ගමේ නම "තුම්පනේ". මේ ටෙලිනාට්‍යයේ නම "තුන්පනේ". මේ ටෙලිනාට්‍යයේ හැමවෙලාවෙම ගැටුමක් තියෙනවා. ඒ ගැටුම තියෙන්නෙ තුන්දෙනෙක් අතර. ප්‍රාණයන් තුනක් නිතර ගැටෙන නිසා මේ ටෙලිනාට්‍යය තුන්පනේ කියලා නම් කළා.

තුන්පනේ කියන්නේ කුමන ශානරයට අයිති ටෙලිනාට්‍යයක්ද?

මේක තමයි මට පිළිතුරු දෙන්න අමාරුම ප්‍රශ්නය. ප්‍රේකෂකයන් කතාව ගැන විවිධ ඉඟි පළ කරනවා. අරයා මැරෙයිද? අර දෙන්නා කසාද බඳීවිද? වගේ දේවල් කියනවා. මම හරිම කැමතියි ඒ වගේ ප්‍රතිචාරවලට. මම කිසිම ඉඟියක් දෙන්න කැමැති නැහැ. මම තුන්පනේ නිර්මාණය කළේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට. මේ ටෙලිනාට්‍යයේ ප්‍රේක්ෂකයන්ට උඩින් බලලා හිනා වෙන්න පුළුවන් දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. තව ටිකක් ඇතුළට ගිහින් බැලුවාම හිතෙනවා අපිට මෙහෙම වෙලා තියෙන්නේ අපි එහෙම හිනා වෙන නිසාම නේද කියලාත්. මේක ඕතචජඬ ඛ්ධථඥඤර කියන ශානරයට අයිතියි. තේමා ගීතයෙන් පවා දෙන්න උත්සාහ කළේ දේශපාලන ප්‍රහසනයත් සමඟ ඊට එහා යන චින්තනයක්. "සාමා කැම්පස් ගිහින් අන්තරේට යනවා. අමර යුද්ධෙට ගිහින් මැරෙනවා."

 

ටෙලිනාට්‍යට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා හොඳයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවලින් වැඩි වශයෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාරවලින් පේනවා මිනිස්සු ඉක්මන්ට ටෙලිනාට්‍ය වැළඳගෙන තියෙනවා කියලා. නිර්මාණකරුවෙක් ලෙස ඒක මට ලොකු සතුටක්.

 

ඔබේ කාර්යමණ්ඩලය හඳුන්වා දුන්නොත්?

 

මේ ටෙලිනාට්‍යයේ පිටපත සහ අධ්‍යක්ෂණය මගේ. නිෂ්පාදක සඳුන් දොලමුල්ල. සාමාන්‍යයෙන් නිර්මාණකයදි නිෂ්පාදකවරයාගේ බලපෑම ඕනෑ තරම් තියෙනවා. නමුත් නිර්මාණය වෙනුවෙන් කළ හැකි සියල්ලම කරන්න සඳුන් ලොකු මහන්සියක් ගත්තා. ඒ නිසා තමයි අපිට තුන්පනේ මිනිස්සු හොඳයි කියන්න පුළුවන් මට්ටමට කරගන්න පුළුවන් වුණේ. මෙහි සමහර රූගත කිරීම් ඉතාලියේ සහ එක්සත් රාජධානියේ සිදු කළා. තුන්පනේ කැමරා අධ්‍යක්ෂණය චින්තක සෝමකීර්ති, සංස්කරණය නුවන් සිංහාධිපති, සංගීත අධ්‍යක්ෂණය කළේ ගයාන් රැන්ඩි. තේමා ගීතය සංගීත අධ්‍යක්ෂණය කරලා ගායනා කරන්නේ විදූ කහපොළාඅරච්චි.

 

ලංකාවේ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් මේ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.

ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, දසුන් පතිරණ, ඩබ්ලිව්. ජයසිරි, දීපානි සිල්වා, දයාදේව එදිරිසිංහ, සම්පත් ජයවීර, මධුර ප්‍රභාශ්වර, සමන් කෝරළගේ, රන්දික ගුණතිලක මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් කීපදෙනෙක් සම්බන්ධ වෙනවා.

 

කාර්ය මණ්ඩලයෙන් සහ රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

චෝදනාවක් විදිහට මට තියෙන දෙයක් තමයි එකම කණ්ඩායමක් එක්ක වැඩ කරනවා කියන එක. ඒ චෝදනාව මම කැමැත්තෙන් භාරගන්නවා ඔව් මම එහෙම තමයි කියලා. ඒකට හේතුව ඒ හැම රංගන ශිල්පියෙක්ම ඔවුන්ගේ එකිනෙකට වෙනස් චරිත සාර්ථකව කරලා තියෙනවා. මේ රංගන ශිල්පීන් සියල්ලෝම අපේම කුලකයේ අපේම පරම්පරාවේ ඉන්න දක්ෂම රංගන ශිල්පීන්. වෘත්තියභාවයට වඩා අපේ හිත්වත්කම් වැඩි නිසා ඒ ඒ චරිත ඔවුන්ට සහ මට දැනෙන ආකාරය ගැන වැඩියෙන් කතාබහ වෙනවා. ඒ නිසා අපි රූගත කිරීම්වලට යන්නේ පූර්ව අවබෝධයක් එක්ක. ජවනිකාව රූගත කරන්න දර්ශන තලයට ගිහින් එතන මොකක්ද වෙන්නේ කියලා හොයනවාට වඩා වැඩේ ගැන උනන්දුව වැඩි, චරිතයක් අවබෝධ කරගත හැකි රංගන ශිල්පීන් පිරිසක් ලැබුණාම ඒක අධ්‍යක්ෂවරයෙක් හැටියට හරි පහසුවක්. සමහර අය ඉන්නවා තමන්ගේ චරිතයේ නම මොකක්ද කියලා දන්නෙ නැහැ, පිටපත ඇහැට දැකලා නැහැ, හැබැයි පත්තරේකින් කතා කළාම කලාව රැකගන්න විදිහ, ඔවුන්ගේ පරම්පරාවට සිදුවෙලා තියෙන හානිය ගැන පුදුමාකාර දුකකින් කතා කරනවා.

 

ටෙලිනාට්‍යය රූගත කරද්දි අමතක නොවෙන සිදුවීම් වෙන්න ඇති?

දන්න කියන යාලුවෝ ගොඩක් එක්ක රූගත කිරීම් කරන කොට හැම මොහොතක්ම මතකයේ තියෙනවා. ඒ අතරි විශේෂයෙන් මතකයේ තියෙන අවස්ථාවක් කියන්නම්. අංගොඩ හන්දිය රූගත කිරීමක් තිබුණා සමනලී ෆොන්සේකා සහ දසුන් පතිරණ වාහන දෙකකින් ඇවිත් පාර මැද්දේ රණ්ඩු වෙන ජවනිකාවක්. ඒ රණ්ඩුව ඉතාම හොඳ මට්ටමෙන් යනවා එක තැනකදි සමනලී ෆොන්සේකා වාහනේට නැඟලා දොර වහගන්න ඕනේ. දසුන් පතිරණ ඇවිත් දොර වහගන්න නොදී එයාව ඇදලා එළියට ගන්න ඕනේ. එක ක්ෂණයකින් සමනලී වාහනේ දොර වහපු වේගයට දසුන්ට අත ගන්න බැරි වුණා. දසුන්ගෙ ඇඟිල්ලට මැහුම් අටක් දාන්න වුණා. දසුන්ගෙ ඇඟිල්ල පුරුකෙන් ගැලවිලා එල්ලිලා වැටෙන මට්ටමටම කැඩිලා තිබුණා. ඒ දෙන්නාම චරිතය තුළ හිටියේ. මම දැක්කා දසුන් අත අල්ලගෙන හයියෙන් කෑ ගහනවා. මම හිතුවා දසුන් තවමත් ඇක්ට් එකේ ඉන්නේ කියලා. එතකොටම සමනලී ආපහු වාහනයෙන් බැහැලා දුවලා ගිහින් දසුන්ව බදාගත්තා. එතකොට තමයි අපිට තේරුණේ රංගනයට වඩා යමක් එතන වෙලා කියලා. ඒ වගේ හානියක් කලාකරුවෙක්ට වුණාම ඒ කෙනාව බලාගන්නෙ කොහොමද කියන එක ගැන අපි නැවත නැවතත් කතා කළා.

 

ඔබේ ආරම්භය මාධ්‍ය ක්ෂේත්‍රයෙන්. ඇයි අධ්‍යක්ෂණයට එන්න හිතුවෙ?

මගේ ගමනට අවුරුදු විස්සක් වෙනවා. මට සමාජගත වෙන්න අවස්ථාව ලැබෙන්නෙ පුවත්පත් මාධ්‍යවේදියෙක් ලෙස. ‍ගුවන්විදුලි සහ රූපවාහිනී නාළිකාවල, වෙළඳ ප්‍රචාරක ආයතනවල, පුවත්පත්වල වැඩ කළා. නමුත් සුපුන් රත්නායක කියන කෙනාව සමාජගත වෙන්නේ පුවත්පත්වලින්. පත්තරකාරයෙක් වෙච්ච කෙනා කොහොමද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ කියලා මිනිසුන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒත් මම ඊට පෙර ජාතික රූපවාහිනියේ ඇඟිලි සලකුණ, උත්තමාචාර වගේ වැඩසටහන් වල සහ අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කළා. ඊට පසුව මම නවකතා ලිව්වා. මගේ නවකතාවලින් ටෙලි නාට්‍ය හැදුවා. මිනිස්සුන්ට ගමනාන්තයක් තියෙන්න ඕනේ වගේම ඒකට යන්න සිතියමකුත් තියෙන්න ඕනේ. සිතියමේ පාරවල් ගොඩක් තියෙනවා, යන මඟ පැහැදිලිව පේනවා. මගේ ගමනාන්තය සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන එක. මේ පසු කරන්නේ ඒ ගමනාන්තයට යන මංසන්ධි.

 

සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්න කවදද?

මගේ ගුරුවරයා ලාල් හේමන්ත මාවලගේත් පසුගිය දිනෙක මට කතා කරලා කිව්වා ඔයා චිත්‍රපට ක්ෂේත්‍රයට එන්න ඕනේ සහ මේ වසරේ පළමු වැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න ඕනේ කියලා. මේ වසරේ අවසානය වෙන විට මගේ පළමුවැනි චිත්‍රපටයට චිත්‍රපටයට සූදානම් වෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. චිත්‍රපටයක් සහ ටෙලිනාට්‍යයක් කියන්නේ අහසට පොළොව වගේ වෙනස් දෙකක්. ටෙලිනාට්‍ය වගේ චිත්‍රපට කරලා වැඩක් නැහැ. සිනමාව කියන පුළුල් විෂය ක්ෂේත්‍රය හදාරලා අධ්‍යක්ෂණයට එන්න ඕනේ. වදාරන්න පෙර හදාරන්න ඕනේ කියලා කතාවක් තියෙනවානේ.

ඔබේ "අඩෝ" ටෙලිනාට්‍යයට පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම නිළිය සහ හොඳම නැඟී එන නළුවා සම්මානය ලැබුණා. ඒ වගේම තවත් සම්මාන රැසකට නිර්දේශ වුණා. තුන්පනේටත් සම්මාන ලැබේවිද?

සම්මාන උලෙළකින් තීරණය වෙන්නෙ ජූරියේ රසවින්දනය සහ තීරණය. සම්මාන ලැබෙන නොලැබෙන එක අනාගත නිර්මාණකරණයට ප්‍රධාන සාධකයක් වෙන්නෙ නැහැ. නමුත් අපි කරපු නිර්මාණයකට ඇගයීමක් ලැබෙන එක සතුටක්. ඒ වසරේ විකාශය වුණු අනෙක් ටෙලිනාට්‍ය සමඟ සංසන්දනය කරලා මගේ නිර්මාණයකට සම්මාන ලැබීම හෝ සම්මාන සඳහා නිර්දේශ වීම අතිශය සතුටට කාරණාවක්. සම්මාන බලාගෙන නිර්මාණ කරන්න මට තේරෙන්නෙ නැහැ.

 

ඊළඟ බලාපොරොත්තු ඉලක්ක මොනවද?

කොරෝනා සමයේ සහ ඊට පසුව සැලසුම් කරපු ටෙලිනාට්‍ය තුනක් තියෙනවා. ඒ බලංගොඩ මානවයා, ඉඩඥ ධ්ඵ ර්චපඪජච, තප්පරයක් දෙන්න කියන ටෙලිනාට්‍යය තුන. මේ අතරින් "තප්පරයක් දෙන්න" ළඟදීම රූගත කිරීම් ආරම්භ කරන්න නියමිතයි.