අපට නාට්‍ය සංස්කෘතියක් නෑ

කේ.බී.හේරත්
මාර්තු 17, 2022

 

රූපවාහිනිය ඇරැඹි යුගයේ සිට ටෙලි නාට්‍ය නරඹන ඔබ මේ වන විට කීයක් නම් නාට්‍ය රසවිඳ ඇත්ද? ඒ අතරින් 500කට අධික වෘත්තාන්ත ටෙලි නාට්‍යත්, 300කට අධික ඒකාංගික නාට්‍යත් රචනා කර ඇත්තේ අද දවසේ අපේ කතානායකයා බව කීවොත් ඔබට අදහගන්නට බැරිවනු ඇත. ගජමන් නෝනා, සක්විත්තෝ, මුතුකුඩ, ඉසිවර අසපුව, ඉංගම්මාරුව වැනි ගුණාත්මකබවින් පිරි නිර්මාණ කළ ඔහු ටෙලි නාට්‍ය කලාවේ රජෙකු බඳුය. සුදු කරල් නම් සිය ප්‍රථම වේදිකා නාට්‍යයට වසරේ හොඳම නාට්‍යය ලෙස සම්මාන දිනා මායාදේවි, නාගගුරුළා, දෝන කතිරිනා, දෙවෙනි මහින්ද, වාසුදේව, ජගන්මා, යශෝධරා වැනි ප්‍රබල වේදිකා නාට්‍ය විස්සකට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඉන් දහයකටම හොඳම පිටපත සඳහා වන රාජ්‍ය නාට්‍ය සම්මාන දිනාගත් ඔහුගේ කලා ලොවේ තිඹිරි ගෙය වූයේ ද වේදිකාවයි. මේ ක්ෂේත්‍රවලට කළ මෙහෙවර උදෙසා ඔහු පසුගියදා ගෞරව ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබීය. ඒ අන් කිසිවකුත් නොව වේදිකා හා ටෙලිනාට්‍යවේදී ආචාර්ය කපුරු බණ්ඩා (කේ. බී.) හේරත්ය. මෙවර රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ යාවජීව සම්මානය පිරිනැමීමට නියමිතව ඇත්තේ ද ඔහුටය.

 

 

ඔබේ නිර්මාණ රසවිඳීන සමස්ත ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් සරසවිය ඔබට සුබ පතනවා...

ස්තූතියි. විශේෂයෙන් මම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිටපත් රචකයකු හා නිෂ්පාදකයකු වශයෙන් කළ සේවය වගේම ඒ ක්ෂේත්‍රවල වෙනත් වගකීම් දරමින් කළ දායකත්වය හා කැපවීම වෙනුවෙන් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් තමයි මට මේ ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමුවේ.

1979 'සුදු කරල්' වේදිකා නාට්‍යයේ සිටම ඔබ අතින් ලියැවෙන්නේ ස්වතන්ත්‍ර පිටපත්?

ඔවු. අපි මුල් කාලේම ද්විභාෂා අධ්‍යාපනය ලැබූ අය නිසා පරිවර්තන කිරීමේ කිසිම ගැටලුවක් තිබුණේ නෑ. ඒත් මම නිර්මාණය කළ නාට්‍ය විස්සකට අධික සංඛ්‍යාවම ස්වතන්ත්‍ර නිර්මාණ. ඒවායේ විශේෂ ලක්ෂණය අරුණි කීවා වගේම ඉන් දහයකටම ඒ ඒ වර්ෂවල රාජ්‍ය නාට්‍ය උලෙළවල හොඳම පිටපතට හිමි සම්මානය දිනාගෙන තිබීම. ඇත්තෙන්ම ස්වතන්ත්‍රම ලියන්නේ පරිවර්තනයක් කරනවාට වඩා මට ප්‍රකාශ කරන්න ඕනෙ දේ පිළිබඳව මගේ වටා පිටාවෙන් මට දැනෙන දේ බරපතළ නිසයි.

 

බොහෝ දෙනා පරිවර්තන නාට්‍යවලට යොමු වන්න හේතුව?

සමහරු හිතනවා ඇති තමන් වාසය කරන කාලේ තමන්ගේ ආත්ම ප්‍රකාශනය කරන්න යමක් ඒ නාට්‍යවල තිබෙනවා කියලා. හැබැයි බොහෝ විට දැන් නම් පරිවර්තන නාට්‍ය කරන්න ලේසියි අන්තර්ජාලයේ මුළු නාට්‍යයමත් තිබෙනවානේ. අපි මේ දවස්වල රාජ්‍ය නාට්‍ය උලෙළ විනිශ්චය කරනවා. ඒ ඉදිරිපත් වන සමහර නාට්‍යවලත් මම දැක්කා ඉන්ටනෙට් එකේ නාට්‍යයම රඟ දක්වනවා. ඒකත් එක ආකාරයක දක්ෂකමක්. (සිනාසී) හරියට කොපි කරනවා කියන්නෙත් හැකියාවක්නේ.

 

අප පරිවර්තනයක් ලෙස ඉදිරිපත් කරන්නේ යම් කිසි රටක, යම් කාලවකවානුවක සිටි යම් නිර්මාණකරුවකුගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්නේ. සර්වකාලීන සංකල්ප රැගත් (ඊඩිපස් වැනි) නාට්‍ය හැරුණු කොට සෑම පරිවර්තනයක්ම අපට ගැළපෙනවාද?

නෑ. ඔතන ප්‍රශ්නයක් තිබෙනවා. එය බොහෝ දෙනා තේරුම්ගෙන නෑ. ඔබ කීවා වගේ සර්වකාලීන, සර්ව සාධාරණ නාට්‍යයක් තිබෙන්න පුළුවන්. ඒත් නාට්‍යයක් නිෂ්පාදනය කරනකොට ඒ කාලයේ අත්දැකීම සමඟ ඒ කාලයේ ශෛලීන් සමඟ නිෂ්පාදනය කළ නාට්‍යයක් නැවත නිෂ්පාදනය කිරීම බටහිර දැන් හඳුන්වන්නේ 'ෆේක් රිචුවල්' නැත්නම් ව්‍යාජ පුදපූජා ක්‍රම කියලා. මොකද බොහෝ වෙලාවට ඒවා අදට ගැළපෙන්නෙ නෑ. සමහරු ඒ අදහස දන්නේ නැතිව නාට්‍ය කරනවා. තවත් සමහරු ඒ නාට්‍යය තමන් ඉන්න කාලයට ගැළපෙන ආකාරයට සංස්කරණය කර ඉදිරිපත් කරනවා. එවිට එය අනුවර්තනයක්. ඇත්තම කීවොත් ඒ පැවැති නාට්‍යය, ඒ ආකාරයෙන්ම පරිවර්තනය කරන්න බැරි නිසා, නාට්‍ය කලාවේ පරිවර්තනයක් කියලා දෙයක් නෑ, අනුවර්තන මිසක. අන්තර්ගතය තුළ තියෙට්‍රිකල් විෂන් (නාටකීය දැක්ම) සමාන වුණාම තමයි නාට්‍ය සර්වකාලීන වන්නේ. ඒ කොහොම වුණත් වඩා යෝග්‍ය වන්නේ තමන්ගේ කාලේ, තමන්ගේ අත්දැකීමක්, තමන් ජීවත්වන යුගයට අයත් ශෛලියට අනුව ඉදිරිපත් කිරීමයි. උදාහරණයක් විදිහට පසුතල භාවිතය, අවකාශය භාවිතය, රංග වින්‍යාසය ආදියට පරණ ක්‍රම නෙවෙයි දැන් භාවිත වන්නේ. ඒ නිසා පරණ නාට්‍යයක් කරනවා නම් තමන්ගේ කාලයට කොහොමද එය ගළපගන්නේ කියලත් දැනගන්න ඕනෙ.

 

ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍යකරණයට යොමු වූවෙක්?.

මම පේරාදෙණියට යන්නේ 1962 වර්ෂයේ. ඒ සිංහබාහු නාට්‍යය නිෂ්පාදනයෙන් වසරක් ගත වූ වකවානුව. ඒ කාලේ විශාල උණක් තිබුණා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නාට්‍යකරණය සම්බන්ධව. ඒ වගේම මහාචාර්ය සරච්චන්ද්‍රයන් යම් යම් දේවල් පිළිබඳ අපට උපදෙස් දුන්නා. පුස්තකාලයේ කියවන හැටි, නාට්‍යයක් ලියන හැටි ආදිය පිළිබඳ. මට නම් ඒ ඇසුර තමයි විශාල වශයෙන් බලපෑවේ.

 

ඔබ සරච්චන්ද්‍රයන්ගේ අනුගාමිකයකු නොවුණත් ඒ ඇසුරේ වැඩෙද්දි නිකමට හෝ රඟපාන්න අදහසක් ආවේ නැද්ද?

(හයියෙන් සිනාසී) නෑ. නෑ. නෑ. සරච්චන්ද්‍ර සර්ගෙ තෝරාගැනීම හරි බරපතළයි. එතුමා නළුවකු හැටියට තෝරගත්තේ කටහඬ, සංගීතය ආදිය පිළිබඳ විශාල වශයෙන් දැනුමක් ඇති එහෙමත් කෙනෙක් තමයි. හැබැයි ඒ අයට වගේම අපටත් සාහිත්‍ය දැනුම එකවගේ ලබා දුන්නා. ඒ නිසා විශ්වවිද්‍යාලයෙන් පිටවෙනවාත් සමඟම අපි අත්හදාබලන්නත් එක්ක නාට්‍ය නිෂ්පාදනය කළා.

ඒ කාලේ තිබුණු අභියෝග, ගැටලු මේ කාලය හා සසඳද්දි කොහොමද?

වේදිකා නාට්‍යවලට තිබෙන්නේ සදාකාලික ගැටලු. නාට්‍යයක් නිෂ්පාදනයේදී එන පළමු ගැටලුව තමයි රඟපාන්න පුළුවන් නළු නිළියන් සොයා ගැනීම. දෙවැනුව මෙවැන්නකට කැප වීමෙන් ඉදිරිපත් වන පිරිස අඩු වීම. මූල්‍යමය ප්‍රශ්නය දිගින් දිගටම තිබෙනවානේ. ඉතින් මේවාට මුදල් හා කාලය ආදිය ස්වේච්ඡාවෙන් තමයි යොදා ගත්තේ. භාණ්ඩ එතරම් මිළ නොවන අපේ තරුණ කාලයේ එහෙම ස්වේච්ඡාවෙන් වැඩ කිරීමේ හැකියාව තිබුණා. මුල්ම කාලේ අපි කොළඹ ආවාම නාට්‍යවල රඟපෑවට මුදලක් ගෙවන්නේ නෑ. නාට්‍යයේ රඟපාලා ගෙදර යන්න බස් එකට සල්ලිත් නැතිව ඉන්න අවස්ථා තිබුණා. මට මතකයි මායාදේවි සංවිධායකයන්ට මුලින් දුන්නේ රුපියල් 650/-ට. අද එක නළුවකුටත් ඊට වඩා මුදලක් ගෙවන්න එපැයි. පසු කාලීනව තමයි මේ දේවල් වාණිජකරණය වෙලා හැමදේටම මුදල් අවශ්‍ය වුණේ. අද සංගීතය වුණත් පටිගත කරලා යොදනවා. ඒවාටත් මුදල් යහමින් අවශ්‍යයිනේ. කැපකිරීමක් කියලා දෙයක් නෑනෙ. අනෙක අද නළුවකුට අපට කියන්න බෑ, මගේ නාට්‍යයට ඔයා ගෙදර ඉඳන් ඇවිත් රඟපාලා යන්න කියලා. අඩුම ගාණේ බස්ගාස්තුවත් දිය යුතුයි පුහුණුවීම්වලදි පවා. අද වාණිජකරණය වෙලා වැඩි නිසා අමාරුයි මේ දේවල් කරගෙන යන්න. හැබැයි කිසිම කාලෙක නාට්‍ය කලාවක් පවතින්න බෑ ඒ වගේ ස්වේච්ඡාවක් නැත්නම්.

 

මේ තත්ත්වයමද වෙන රටවලත් පවතින්නේ?

වෙන රටවල මේ දේවල්වලට ව්‍යාපාරිකයෝ, සංවිධාන නැත්නම් රජය උපකාර කරනවානේ. ලංකාවේ ඒ තත්ත්වයට කවදාවත් ආවේ නෑ. පැවතුණු කිසිම රජයකින් උදවු උපකාර කරන තත්ත්වයක් තිබුණෙත් නෑ.

 

ඒත් අපේ රටේ බලධාරී ආයතන සහ සංවිධාන තිබෙනවානේ ඒ පිළිබඳ?

මම නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ලෙසත් අවුරුදු තුනක් කටයුතු කළානේ. ඒ අවස්ථාවලදි මේ සඳහා වැඩපිළිවෙල යෝජනා කරලා අරමුදල් පවා එකතු කළා. ඒත් ඒවා ක්‍රියාත්මක වුණේ නෑ. එහෙම අවශ්‍යතාවක් කාටවත් නෑ. දැනට ඉතින් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් නාට්‍ය උලෙළක් පවත්වා යම් කිසි සේවයක් කරනවා. ඒ ඇරෙන්න නාට්‍යකරුවන්ට නාට්‍ය නිෂ්පාදනය ආදි කරුණුවලදී ආධාරයක් උපකාරයක් කෙරෙන්නේ නෑ. ඒ නිසා අපට කවදාවත් නාට්‍ය සංස්කෘතියක් ඇත්තෙත් නෑ. හොඳම උදාහරණය ගෙවුණු දිගු සති අන්තයේ කොළඹ නග‌රයේ යන්න එන්න බෑ දහස් ගණනින් රථවාහන එහා මෙහා යනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධ ස්ථානවල දසදහස් ගණන් මිනිස්සු රැස්වෙනවා විවේකය සඳහා. හේතුව මේ ගැහැනු මිනිස්සුන්ට ගෙදරින් එළියට බැහැලා කාර් එකේ කොහේහරි ගිහින් කාලා බීලා එනවා හැර වෙනත් සංස්කෘතික ජීවිතයක් නැතිකම. හවස් වරුවට සංගීත-නැටුම් පන්තියකට යන්න, චිත්‍රපටයක් බලන්න, නාට්‍යයක් බලන්න යෑමේ සංස්කෘතියක් නෑ. එහෙම සංස්කෘතික ජීවිතයක් හදන්න අවශ්‍ය බව අපි අවුරුදු ගාණක් තිස්සේ කියමින් සටන් කළා. සංගම් හදාගෙන හිටියා. ඉන්දියාවේ ජාතික ආදායමෙන් සියයට 6ක් වැය කරන්නේ සංස්කෘතික කටයුතුවලට. විශ්වාස කරනවාද අපේ දශම ගාණයි ඒ වෙනුවෙන් වෙන් කෙරෙන්නේ. එහි තේරුම මෙය විශේෂයෙන් මනුෂ්‍ය ජීවිතයේ අවශ්‍යතාවක් ලෙස සැලකෙන්නේ නෑ.

වෙන රටවල කාන්තාවක් නැටුම් ඉගෙන ගන්නවා නම් ඇය විවාහ වුණා, දරුවන් හැදුවා, වයස අවුරුදු පනහක් පැන්නා කියලා ඩාන්සින් නොකර ඉන්නෙ නෑ. ඉන්දියාව සංස්කෘතික ලෝකයක්නෙ එක අතකට. එහෙම සංස්කෘතික ජීවිතයක් ලංකාවේ නෑ. ඒ නැති වීමම හේතු වෙනවා වෙනත් ලෙඩ රෝගවලට සහ වෙනත් කැරලි ආදිය ඇති වන්න. අඩුම ගාණේ ඡන්දය භාවිත කරන්න දැනුම නැති වීමට පවා හේතු වන්නේ මේ සංස්කෘතික ජීවිතයක් නැති කමයි.

 

එවැන්නක් අපට තිබුණෙම නැද්ද නැත්නම් අභාවයට ගියාද?

එක්තරා විදිහක අපේ දේශීය යම් යම් දේ තිබුණා. ඒත් ඉන්දියාවේ හෝ වෙනත් රටවල තරම් ප්‍රචලිතව තිබුණේ නෑ. ඔය සරච්චන්ද්‍ර මහත්තයාලා නාට්‍ය හදාගෙන එන කාලෙ ඒ සඳහා දායක වන්න පුළුවන් ශිෂ්‍යයන්, ලිපිකරුවන් වැනි පහළ මධ්‍යම පන්තියක් හිටියා සංස්කෘතික ජීවිතයක් ගත කරන්න කාලය සහ මුදල් වැය කළ හැකි. අද ඒ පන්තියත් පීඩිත පන්තියක් බවට පත්වෙලා. ඔවුන්ට විශාල මුදලක් වැය කරලා නාට්‍යයක් බලන්න එන්න හැකියාවක් නෑ. ඒ වගේම නාට්‍යය බලලා ගෙදර යන්න රෑට බස් නෑ. අද නාට්‍ය බලන්නේ එක්කෝ පාසල් ළමයින් නැත්නම් රුපියල් පන්දහසක ටිකට් එකක් ගන්න පුළුවන් අය විතරයි. අනෙක හිනාවෙන්න නාට්‍ය බලන කට්ටියකුත් ඉන්නවානේ. මේ සේරම පත් වූ කුමක් හෝ රජයකින් වෙනස් කළ යුතුව තිබුණා. සංස්කෘතික ජීවිතේ වටිනාකම කොපමණද කීවොත් අපට වෙනම සංස්කෘතික කැබිනට් ඇමැතිවරයෙකුවත් නෑ අදවන විට. සංස්කෘතික අමාත්‍යාංශයට පත් කර ඇති බලධාරීන් පූර්ණකාලීනව එහි කටයුතු බලන්න හැකි අය නෙවෙයි. ඉන්දියාව, ජපානය, බ්‍රිතාන්‍යය ආදි ඕනෑම රටක් සංවර්ධනය කියන්නේ සංස්කෘතික සංවර්ධනය කියලයි විශ්වාස කරන්නේ. නාට්‍යයකින් අපි අපව තේරුම් ගන්නවා නම් එයින් ඉගැන්වෙන්නේ සංස්කෘතික ජීවිතනේ. ලංකාවේ සංස්කෘතිය කියලා හිතන්නේ පුරා විද්‍යා ස්ථාන ආදිය මිස මෙය මානව අවශ්‍යතාවක්ය, මානව බැඳීමක්ය කියන දේ තේරුම්ගෙන නෑ.

 

වෙනරටවල කලාකරුවන් පාලකයන්ට දැඩි බලපෑම් කරනවානේ ඒ වෙනුවෙන්.?

ඔවුන් එය කරන්නේ සිවිල් බලය සහ මුදල් බලය සමඟ. එහෙම මුදල්බලයක් නැති අපි නාට්‍ය සංගම් දහයක් විතර හදාගෙන ගිහින් බලපෑම් කළාට කවුරුවත් ගණන් ගන්නේ නෑ. ඡන්ද කාලෙට නම් අපට කතා කරනවා.

 

වර්තමාන වේදිකා නාට්‍යවල ගුණාත්මකබව පිළිබඳ ඔබේ අදහස?

වාණිජකරණය වූ හිනාවෙන්න හදන නාට්‍ය ලෝකෙ කොහෙත් තිබෙනවා. ඔය අතරේ හොඳ නාට්‍යයක් කළ යුතු බව හිතන තරුණ පිරිසකුත් ඉන්නවා. මේ දවස්වල රාජ්‍ය නාට්‍ය උලෙළ විනිශ්චය කරද්දි එවැනි නාට්‍ය දක්නට ලැබෙනවා. ඔවුන් නිර්මාණ කරන්නේ නාට්‍ය කලාවට හොඳ නාට්‍යයක් කළ යුතුය කියන තැන ඉඳලා. ඒත් වැඩේ තියෙන්නේ ඒ නාට්‍ය උත්සවේට ඉදිරිපත් වෙලා සම්මාන දිනුවත් එතැනින් ඉවරයි. එය ලංකාව පුරා ගෙන යන්න හෝ එක තැනක කාලයක් පෙන්වන්න හෝ සංවිධානයක් නෑ. නාට්‍යකරුවා සහ නාට්‍යය යන දෙකම මේ උලෙළෙන් පස්සේ මැරිලා යනවා. එනිසායි මම කියන්නේ මොකක් හෝ ජාලයක් මේ නාට්‍යකරුවන්ට පිහිට වෙන්න ඇති කළ යුතුයි කියලා.

 

මෙයට ප්‍රේක්ෂක රසවින්දනයත් බලපානවා නේද?

හොඳ නාට්‍ය බලන්න කැමැති පිරිසකුත් ඉන්නවා. ඒ අයට මම කලින් කී ප්‍රශ්න තිබෙනවා. අර හිනාවෙන්න නාට්‍ය බලන පිරිස කියන්නේ විනෝදය සඳහා සල්ලි වියදම් කළ හැකි පිරිස. නාට්‍ය කලාව කියන්නේ ඒ අයට ගැළපෙන නාට්‍ය වුණොත්, ඒ වගේ 'කෝලං නාට්‍ය' හත අටක් හැදිලා දිව්වොත් ආයෙ හරි නාට්‍යයක් පෙන්වන්න බැරිව යනවා. දැන් නැටුම් කියලා වෙනම ඇඟ විකුණන ඒවා තිබෙනවා. සංගීතය කියලා බාගෙට ඇඳගෙන කරන විගඩම් තිබෙනවා. නාට්‍ය කලාවෙත් ඒවගේ තිබෙනවා. ඒවා ජනප්‍රිය වෙන්නත් පුළුවන්. එය සමාජයේ පිරිහීමත් එක්ක එන ලක්ෂණයක් සහ විශාල හානියක්.

 

ඔබ ටෙලිනාට්‍ය කලාවේ රජ වුණු කෙනෙක්?

මම මහනුවරනේ ජීවත් වුණේ. වේදිකාවට තිබෙන ආදරය නිසා ගුරු වෘත්තියෙන් කලින්ම විශ්‍රාම අරගෙන කොළඹ ආවා. ඒත් එයින් යැපෙන්න තරම් ආදායමක් තිබුණෙ නෑ. ඒ අතර ජාතික රූපවාහිනියේ විමලරත්න අදිකාරී මහත්මයා මට කීවා ටෙලි නාට්‍යයක් ලියන්න කියලා. ඉන් පස්සේ පරාක්‍රම නිරිඇල්ල, වසන්ත ඔබේසේකර, සුදත් මහදිවුල්වැව වැනි මුල් යුගයේ විශිෂ්ටයන් සමඟයි කටයුතු කළේ. ඉතින් හොඳ පිටපත් රචනයෙදී ලැබෙන තෘප්තියත්, ආදායමත් දෙකම එයින් ලැබුණා. ඒ වගේම ඉල්ලුමත් ඇති වුණා. හැබැයි පසු කාලීනව ප්‍රේක්ෂකයන් ඉල්ලන දේවල් ලියන්න අකැමැති නිසා දැන් අඩුයි එහි නියැළෙනවා.

 

ඒ තත්ත්වයට පත්වෙන්න හේතු වුණේ?

මුලින්ම හොඳ ටෙලි නාට්‍ය විකාශය වුණේ ජාතික රූපවාහිනියේ. පසුව තරගකාරීත්වයත් එක්ක සමහර නාලිකා ඉතාම බාල වර්ගයේ ඉන්දියානු හා කොරියානු ටෙලි නාට්‍ය හඬ කවා පෙන්වන්න ගත්තා. එයටම ඈඳුණා දකුණු ඉන්දියානු කබල් චිත්‍රපට හඬකැවීම. ඉන්පසු අනුග්‍රාහකයන් පටන් ගත්තා ඒ ටෙලිනාට්‍යවල ඉන්න අවුරුදු දාහතේ දහඅටේ පැඟිරි වයසේ යෞවන යෞවනියන්ගේ ආදර කතා ඉල්ලන්න. මම වගකීමෙන් කියනවා ඒකටම හරියන නාලිකාවල ඉන්න 'මැටිම මැටි' වෙළෙඳ කළමනාකරුවන් පට්ට ලව් කතා ඉල්ලන්න ගත්තා. නැත්නම් කොමඩියක් ඉල්ලනවා. ඒ අය පට්ට දන්නෙත් නෑ. ලව් දන්නෙත් නෑ. කොමඩි දන්නෙත් නෑ. අන්තිමට දැන් යන ටෙලි නාට්‍ය පේනවා නේද? භාෂාව, කතා කරන විදිහ, රඟපෑම මොන කෙහෙල්මලක්වත් දන්නේ නැති අය තමයි පෙනී හිටින්නේ. ඒවායේ කතන්දරේකුත් නෑ. චරිතත් නෑ. කොහේ හරි තැනකට ගිහින් සිද්ධියක් හදාගෙන කැමරාව අල්ලනවා. ඒවාට තව හාමුදුරු චරිතයක්, වයස අවුරුදු අටේ දහයේ ළමයි ටිකක් ඕනෙ. අද්භූත චරිතයක් නැත්නම් ප්‍රධාන චරිතයකට පිස්සු වැටෙන්න ඕනෙ වගේ අවශ්‍යතා තිබෙනවා. අපි ටෙලි නාට්‍ය කළ කාලේ වෙනස්. ගජමන් නෝනා අපි කළේ එක්තරා වෙළෙඳ ආයතනයක් ජාතික වටිනාකමක් ඇති නාට්‍යයක් ඉල්ලූ නිසා. ඔවුන් අපට නාට්‍යය කරන්න කලින්ම මුදලුත් දුන්නා. ඒ නිසා මුදල් ප්‍රශ්නයක් ආවෙත් නෑ. අද එහෙම නෑ. එංගන්තයේ, ජපානයේ වෙනම ජාතික නාලිකාවක් තිබෙනවා ශාස්ත්‍රීය මට්ටමේ නාට්‍ය පමණක් පෙන්වන්න. ලංකාවේ අපට බැරිද එහෙම දෙයක් කරන්න? මේවායේ වෙනම යටිකූට්ටු වැඩ තිබෙනවා. කලාව ගැන කිසිම හැඟීමක් නෑ. ජාතික අපරාධයක්නෙ මේ කරන්නේ.

 

ඒ අතර ඔබ වැනි අයත් නාට්‍ය කරනවා?

ඔවු. අපි කොන්දේසිවලට ඇවිත් වැඩ කරන්නේ. මේ කාලේ මම එක්තරා නාලිකාවකට. දළදාගමනය පිළිබඳ ලියනවා. ඒවා පර්යේෂණාත්මකයි. එවැනි අවස්ථා ඉඳහිට තිබෙනවා.

 

මෙගා ටෙලි නාට්‍ය ගැන ඔබේ අදහස?

ඕක ඉන්දියාවෙන් ආව ලෙඩක්නෙ. නාට්‍යයක තිබෙන්නේ චරිත තුනහතරකට ඇති වුණු මොකක් හරි ගැටලුවක් නම්, ඒක ජීවිත කාලෙම තිබෙන්නේ නෑනෙ. ඉවරවෙනවානේ නේද? තරුණියකට ළමයෙක් ලැබෙන කතාවක් පටන් ගත්තොත් අවුරුදු ගාණක් ළමයා බිහි නොකර ඉන්න බෑනෙ. මෙගාවල එහෙමත් පුළුවන්. ලංකාවේ මිනිස්සුත් කට ඇරගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. අගක් මුලක් නෑ. බොහෝ වෙලාවට කරන්නේ නළු නිළියන්ගෙන් එදාට එන්න පුළුවන් කීපදෙනා ගෙන්වාගෙන ඔවුන්ට දෙබස් ටිකක් ලියලා කැමරාව අල්ලන එක.

 

තිර රචනා ගැන බොහෝ ශිල්පීන්ට තිබෙන අවබෝධය මීට බලපාන්නෙ නැද්ද?

මම විශ්වවිද්‍යාල කීපයක ඔය සම්බන්ධව ඉගැන්වූවා. එය වෙනම විෂයයක්. එය අධ්‍යයනය කරනවා නම් ඔය එක ටෙලි නාට්‍යයක්වත් පෙන්වන්න බෑ. රංගනයත් එහෙමයි. අද රඟනවා කියලා දෙයක් නෑනෙ. එක දවසෙන් නළු නිළයන් වන අය පස්සේ සෙකට්‍රිලා දාගෙන පුදුමාකාර විදිහට වෙනස්වෙනවානේ. ඒ අයට සමහර අධ්‍යක්ෂවරු රඟපාන විදිහ ගැන කියන්නත් බයයි. මොකද අධ්‍යක්ෂවරු වැඩේ දන්නෙත් නෑනෙ.

 

මොකක්ද මේ ප්‍රවණතාව?

විනයක් නැති හිතුවක්කාරකම. ඉගෙනගෙනත් නැති, පුහුණුවකුත් නැති අය ආරූඪ කරගත් අමුතු ආත්මයක් හදාගන්නවානේ. ඒවා මේ සිස්ටම් එකත් එක්ක හැදෙන ඒවා. එහෙම හිස් ප්‍රතිරූප දේශපාලනයෙත් හැදෙනවානේ.

 

අපි හිනාවුණාට මෙය සමාජීය කරුණක්?

පැහැදිලිව එහෙම තමයි. ෆේස්බුක් එකේ එහෙම බලන්නකෝ ඒ නළු නිළියන්ගේ කතා තුන්වැනි වරට විවාහ වෙලා. හතරවැනි විවාහයේ සතුටින් ඉන්නේ කොහොමද වගේ ඒවානේ තිබෙන්නේ. විලිලැජ්ජයිනේ. අපේ තරුණ කාලේ ඔහොම දේවල් තිබුණද? විවාහය විතරක් නෙවෙයිනේ අනෙක් සියල්ලත් ඒ සමඟ වෙනස් වෙනවානේ. වෙනම ලෝකෙක ඔවුන් ඉන්නේ. මේ පාරිභෝගික සමාජයේ භාණ්ඩ විකුණාගන්න ආත්මයක් නැති, කඩදාසිවලට විතරක් සම්බන්ධතා තිබෙන මිනිස්සු තමයි හදන්න ඕනෙ. රසවින්දනය කියන්නේ මොකක්ද? මූලිකවම තමන් කවුද කියලා තේරුම් ගැනීම, තමන් සමඟ ඉන්න අනෙකා තේරුම් ගැනීම. ඊළඟට තමන්, අනෙකා සහ පරිසරය තේරුම් ගැනීමනේ. ඔය කරුණු තුන අවබෝධ වෙනවා නම් අපි ඉන්නෙ කොහෙද කියලා තේරෙනවානේ. දැන් එහෙම මුකුත් නෑනේ අමු ව්‍යාජයක් හදලා තියෙනවා. ඔබ කියන්නේ මෙහෙම කෙනෙක්. ඔබේ අනෙකා කියන්නේ හතුරෙක්, ඔබේ පරිසරය කියන්නේ ඔබට මරලා, කපලා විනාශ කරලා ජීවත් වෙන්න තිබෙන තැනක් කියලා. දැන් ටෙලි නාට්‍යවලින් ගෙනෙන්නෙත් ඒකයි. මේ පාරිභෝගික ධනවාදය පවත්වාගෙන යන්න තිබෙන උපක්‍රමයත් ඒකයි. හැබැයි වයස තිහට වැඩි බහුතරයක් සහ ඉඳ හිට තරුණයන් අතර මෙයට වෙනස් පිරිසකුත් ඉන්නවා.

 

ඒ සුවිශේෂී පිරිසට ඔබ කරන යෝජනාව මොකක්ද?

අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනෙ, මොකක් හෝ වැඩක් ඇති දෙයකට දායකත්වය දෙන අතර හොඳ මාධ්‍ය දායකත්වයක් ඒ වෙනුවෙන් හසුරුවා ගන්න. ඒ අතර මුළු සමාජය හසුරුවන යහපත් දෙයකට ජාතික වශයෙන් මැදිහත් වෙන්නත් ඕනෙ.

 

ඒ සඳහා මේ දිනවල ඔබේ නිර්මාණ දායකත්වය සපයන්නේ කෙසේද?

මම ටෙලි නාට්‍යයක් ලියමින් ඉන්නවා. ඒත් මගේ මාධ්‍යය වේදිකාව නිසා අලුත් වේදිකා නාට්‍යයක් කරන්නත් සැලසුම් කරනවා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න