නාට්‍යයකින් අපට පණිවිඩ දෙන්න බැහැ

මල්කාන්ති ජයසිංහ
මාර්තු 10, 2022
සරසවිය පත්තරේ දැන්වීමකින් රසවින්දන වැඩමුළුවකට ගියේ

වේදිකාව යනු හමුවීම්, වෙන්වීම්, සිනහව, කඳුළ සතුට, දුක ගෙන එන අපූරු තැනකි. මෙලෙස විවිධකාර වූ මිනිස් හැඟීම්, සිදුවීම් ගෙන හැර දක්වන වේදිකාවට ලොව හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. හෙන්රික් ඉබ්සන්ගේ 'බෝනිකි ගෙදර (ඒ ච්ධතත'ඵ ඩ්ධභඵඥ)' වේදිකා නාට්‍ය ඉතිහාසයේ කතාබහට ලක් වු නිර්මාණයකි. ස්ත්‍රීවාදය, ආත්ම ශක්තිය සහ මානුෂීය හැඟීම් සමඟ මතුවන සමාජ ගැටලු සම්බන්ධයෙන් නාට්‍ය කලාවේ දායකත්වය ගෙන හැර දක්වන්නකි. තව නොබෝ දිනකින් බෝනිකි ගෙදර 2 මෙරට වේදිකාවේදී දැක ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. ඒ බුද්ධික දමයන්තගේ නිර්මාණයක් ලෙසිනි. බෝනිකි ගෙදර නෝරා එදා මෙදා තුර වේදිකාවේ දිරිය කතකි. ඇය ජීවිතයට මුහුණ දුන් අයුරු විවාදයට තුඩු දෙන්නකි. බුද්ධික දමයන්තගේ බෝනිකි ගෙදර 2 වේදිකා නාට්‍යයේ නෝරා, හැමෝගෙම ආදර මල් අම්මාය. ඇය නමින් මල්කාන්ති ජයසිංහය.

ළඟදීම අපට ඔබ වේදිකාවේදි දැක ගන්න ලැබෙනවා නේද?

මාර්තු 12 එල්ෆින්ස්ටන් රඟහලේදී බෝනිකි ගෙදර 2 වේදිකා නාට්‍යයේ නෝරා ලෙසින් මම ඔබ හමුවට එනවා.

බෝනිකි ගෙදර නෝරා කොහොමද ?

බුද්ධික දමයන්තගේ බෝනිකි ගෙදර නෝරා මම. නෝරා කියන්නේ වේදිකාවේ නිළියකට කලාතුරකින් ලැබෙන සංකීර්ණ චරිතයක්. මේ නාට්‍යය මීට පෙර ලංකාවේ කිහිප දෙනෙකුම නිෂ්පාදනය කරලා තිබුණා. ජගත් ඒකනායක කළ නිර්මාණයේ අනාමරියාගේ චරිතය කළේ මම. එතකොට නෝරා වුණේ චමිලා පීරිස්. ඉතින් මේ කතාව අපි දන්නවා. ඉබ්සන් මහත්මයා ස්ත්‍රීවාදීව හිතලා කටයුතු කළ කෙනෙක්. ආසියාතික රටවල විතරක් නෙවෙයි අතීතයේ යුරෝපයේ පවා කාන්තාවන්ට සමාජයේ ඉදිරියට එන්න අවස්ථාව ලැබුණේ නැහැ. විවාහයෙන් පසු කාන්තාවක සැමියා උපයා දෙන මුදලින් පවුල බලාගෙන දරුවන් රැකගනිමින් ඥාති සම්බන්ධතා ආරක්ෂා කරමින් කරන්නේ භාරදූර කටයුත්තක්. මේ සමඟ 1800 ගණන්වල කාන්තාවක් තම නිවෙසෙන් එළියට බැහැලා යනවා කියන එකත් ලොකු දෙයක්.

කාන්තාවකට එහෙම ශක්තිමත් වෙන්න බැරිද? දැන් ආසියාව ගත්තොත් රාජ්‍ය නායිකාවන් වූ ශක්තිමත් කාන්තාවන් කොපමණ ඉන්නවාද? බෝනිකි ගෙදර දී ඉබ්සන් මහත්තයා ලිව්වෙත් ශක්තිමත් තීරණයක් ගත්තු කාන්තාවක් ගැනයි. එදා ගෙදරින් පිට වී ගිය කාන්තාව වසර දහනවයකට පසු පැමිණෙන්නේ සාර්ථක කාන්තාවක් ලෙසින්. මේ වන විට ඇය ලේඛිකාවක්. ඇයගේ පළමු රචනය වන්නේ තම ජීවිත කතාවයි. බොරුව, වංචාව, රැවටීමට ඇය තදින්ම විරුද්ධයි. ඉබ්සන්ගේ කතන්දරය අනුව තම සැමියා සහ දරු තිදෙනා අතැර ඇය නිවෙසෙන් පිටවී යන්නේ හේතුවක් ඇතුවයි. මේ නාට්‍යය නිර්මාණය අවුරුදු දහනවයකට පසු නෝරා ආපසු බෝනිකි ගෙදරට එන්නේ ඇයි ද යන්න සමඟ දිග හැරෙනවා.

නෝරා බලාපොරොත්තු වූ දේ ලැබුණේ ද නැතිද යන්න කෙසේ ‍වෙතත් මගේ හිතේ මම දුටු නෝරා දිරිය කාන්තාවක්. පිටපත මුලින් කියවූ අවස්ථාවේදී දරුවන් තිදෙනා හැර දමා යාම ගැන මම එකඟ වුණේ නැහැ. බෝනිකි ගෙදර 2 පිටපතේ මල්කාන්ති එකඟ නැති ඒ වගේ තැන් කිහිපයක්ම තිබුණා. නමුත් කාන්තාවක ලෙස ඇය සතු ශක්තිය මා අගය කරනවා. ඇත්තටම පුහුණුවීම දිගින් දිගටම කරගෙන යන විට මට නෝරා හොයා ගන්න පුළුවන් වුණා. මගේ හිතෙත් නෝරා ඉන්නවා. ඒ වගේම හැම ගැහැනියක් තුළම නෝරා කෙනෙක් ඉන්නවා. නෝරා වගේ පවුල හැර දා යන්න වුවමනා නැහැ. ඒ ශක්තියෙන් ප්‍රයෝජන ගත යුතුයි. නෝරා ජීවිතය හොයා ගත්තේ ගෙදරින් එළියට ගිහින්. මම මගේ ජීවිතය හොයා ගත්තේ දරු දෙදෙනා රැකබලා ගෙන සැමියාටත් උපකාර කර ගනිමින්. ඒ සොයා ගැනීමයි වටින්නේ. හැම කාන්තාවකටම ඒක කරන්න පුළුවන්. මැසිවිලි නඟන්නේ නැතුව තම ජීවිතයේ තිබෙන ශක්තිය සොයා ගන්න හැම කාන්තාවකටම පුළුවන්. නාට්‍යයකින් අපට පණිවුඩ දෙන්න බැහැ. නමුත් අපට මිනිසුන්ගේ චින්තනයට යමක් දෙන්න පුළුවන්. ඒක පණිවුඩයක් නෙවෙයි. බෝනිකි ගෙදර නාට්‍යයෙනුත් එය එසේ සිදු වේවි.

බුද්ධික දමයන්ත සමඟ නෝරා ගෙන ආවේ කොහොමද?

බුද්ධික කියන්නේ මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂයෙක්. ඒ වෙග්ම ඔහු නිර්මාණය මත්තේම සිටින කෙනෙක්. මීට පෙර මට බුද්ධික දමයන්තගේ වේදිකා නාට්‍ය දෙකකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් කාලයක් මට ඔහුගේ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතැනදී හරස් වුණේ කාලයයි. ඔහු නිර්මාණය සමඟම සිටින කෙනෙක් නිසා කාලය නැතුව බුද්ධික දමයන්ත වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න අමාරුයි. එතැනදී අප සතු කාලය අඩු වුණොත් නිර්මාණයට ඔහු බද්ධ වන තරමට අපට බද්ධ වෙන්න අමාරුයි. දැන් මේ නිර්මාණයට දායක වෙන්න මූලිකම හේතුව වුණේ පිටපතයි. එහි මට යමක් කරන්න වගේම ඉගෙන ගන්න තියෙන දේවලුත් බොහෝමයි. බුද්ධික දමයන්ත මේ වෙනුවෙන් ආරාධනා කළේ කොරෝනා පැතිර ගිය කාලයේදීයි. එතකොට කොරෝනා නිසා අපි ගෙවල්වලට වෙලා හිටියේ. ආරම්භයේදී පිටපත කියමින් පුහුණුවීම් කලෙත් නාට්‍ය කණ්ඩායම හමු වුණෙත් ඔන්ලයින් මඟින්.

මේ නිර්මාණයේදී බුද්ධික සමඟ බෝනිකි ගෙදර නාට්‍ය කණ්ඩායමේ සියලුම දෙනා මට ලබා දුන්නේ විශාල සහයෝගයක්. මොකද මේ දවස්වල නාලිකා කිහිපයකම මම රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය හයක් විතර විකාශය වෙනවා. ඒ සියල්ලට දායක වෙමින් මේ කටයුත්තට එක් වෙන්න බුද්ධික ඇතුළු සියලුම ශිල්පීන් මට මූලිකත්වය දුන්නා. මට පුළුවන් දවස්වල මට පුළුවන් වෙලාවට ඇවිත් මහ රෑ හරි පුහුණුවීම් යොදා ගත්තා. ඒ වෙනුවෙන් මම ඔවුන්ට හිස නමා ආචාර කරනවා. නෝරා මේ දක්වා ගෙන එන්න හැකි වුණේ ඔවුන් ගෙන් ලද ආදරය සහ ඔවුන් තුළ මා කෙරෙහි වූ විශ්වාසය නිසයි.

ඔබේ ජීවිතයේ රංගනයට හිමි වෙන්නේ සුවිශේෂ ස්ථානයක්?

මම වෘත්තිමය නිළියක්. මම ජීවත් වෙන්නේ රංගනයෙන්. එතකොට මට රංගනයෙන් සල්ලි හොයන්න වෙනවා. නමුත් මම කාලයක් මෙගා කියලා පටන් ගත්තු ටෙලි නාට්‍යවලට දායක වුණේ නැහැ. එතැනදී මට ජීවත් වෙන්න විදියක් නැහැ. මෙගා ප්‍රතික්ෂේප කළොත් මට ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා මේ යන විදියට අපටත් හැඩගැහෙන්න වෙනවා. නැත්නම් අපට පැවැත්මක් නැහැ. මොකද මට මගේ පවුලේ කටයුතු වෙනුවෙන් මුදල් හම්බ කරන්න ඕනි. වේදිකාවෙන් උපයා ගන්නා මුදල් විතරක් මට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ නිසා වේදිකාවේදි ඉගෙන ගත් දේ පුරුදු පුහුණු කළ දේ යොදා ගෙන ටෙලි නාට්‍යවලදී මම මුදල් හම්බ කරනවා.

මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආවේ 1997 වසරේදීයි. මගේ පළමු ටෙලි නාට්‍යය සුර අසුර. එතැන පටන් ආ ගමනේ මා දායක වුණු ටෙලි නිර්මාණ වැඩි ගණනක් අධ්‍යක්ෂණය කළේ ශිව ගුරුනාදන්. ශිවාගේ ටෙලි නිර්මාණ හැම එකකටම වගේ මාව දායක කරගත්තා. ඔහු විවිධ චරිත නිර්මාණය කරනවා. ඒ නිසා දක්ෂයක් රැසක් අපට ටෙලි ක්ෂේත්‍රයේ දැක ගන්න පුළුවන්. මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ බොහොමයක් අධ්‍යක්ෂවරු සමඟ වැඩ කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. අශෝක හඳගමගේ දියකැට පහණ ටෙලි නාට්‍යය නරඹන විට එදා කොච්චර පහසුවෙන් ඒ නිර්මාණ කටයුතු කරන්න ලැබුණා ද කියලා හිතෙනවා. මේ දක්වා පැමිණි ගමනේ ඔවුන්ගෙන් ලද උපදෙස් ගුරුහරුකම් නිසා මට රංගන ක්ෂේත්‍රයේ සාර්ථක වෙන්න හැකි වෙලා තියෙනවා. ඒ අතින් මම හරි වාසනාවන්තයි.

වේදිකාව සහ ටෙලි නාට්‍ය. මේ දෙකෙන් වැඩි කැමැත්ත මොකටද?

මගේ වැඩි කැමැත්ත තියෙන්නේ වේදිකාවට. වේදිකාවේ විවිධ චරිත කරන්න ආසයි. අපි ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ හරිම සුන්දර කටයුතුවලට දායක වුණා. එක වඩයක් තුන් හතර දෙනා කඩාගෙන කාලා තේ කෝප්පය දෙන්නා තුන්දෙනා එකතු වෙලා බීලා, දුප්පත් නමුත් බොහොම සහයෝගයෙන් නාට්‍ය පුහුණුවීම් කළා. අධ්‍යයනය කරන්න, අත්දැකීම් ලබා ගන්න හොඳම තැන එතැනයි. නමුත් එතැනට යන්න අපේ ආර්ථිකය ලොකු ගැටළුවක්. බොහෝ දෙනාගේ මතය වේදිකාව වටා ඉන්නේ දුප්පත් පිරිසක් බවයි.

නමුත් දක්ෂ ශිල්පීන් ගොඩක් බිහි වෙලා තියෙන්නේ වේදිකාවෙන්. ටෝනි අයියාගේ පටන් ඒකට උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්. වේදිකාවේදී අපට සියුම් තැන් හොයා ගන්න ලැබෙන ඉඩ ප්‍රස්ථා වැඩියි. එහිදී අපි නිරන්තරයෙන් පුහුණුවීම් කරනවා. ඒ අතරේදී එකිනෙකා තම තමන්ගේ චරිත ගැන කතා කරනවා. මේ ඔස්සේ එකිනෙකා තුළ හොඳ අවබෝධයක් වර්ධනය වෙනවා. මෙලෙසින් වේදිකාවේ තරම් ටෙලි නාට්‍යයේදී යම් චරිතයක අක් මුල් සොයා ගොස් චරිතය අවබෝධ කරගන්න කාලය ලැබෙන්නේ නැහැ.

හැමෝම කියන්නේ ඔබ නපුරුයි කියලා?

මම වාසනාවන්ත නිළියක්. වසර හතළිහක් පුරා වේදිකාවේ නානාප්‍රකාර චරිතවලට මම පණ පොවලා තියෙනවා. ටෙලි තිරයෙත් ලැබුණු චරිත අතරින් බොහොමයක් චරිත නපුරු චරිත. නමුත් මම ඒකට කැමැතියි. කෙනෙක් නිකන්ම නපුරු වෙන්නේ නැහැ. මොකද කළු මිනිස්සු, සුදු මිනිස්සු කියල දෙවර්ගයක් නැහැ. කළු, සුදු දෙකම මිශ්‍ර මිනිස්සු තමයි ඉන්නේ. ඉපදීමේ සිට එකිනෙකා මුහුණ දෙන අත්දැකීම අනුව කළු සහ සුදු ඉස්මතුවීම තමයි වෙනස් වෙන්නේ. මේ දිනවල විකාශය වෙන පාර දිගේ ටෙලි නාට්‍යයේ රෙහාන්ගේ අම්මා විදියට ඒ චරිතය සාධාරණ නැද්ද? අම්මා කෙනෙක් දරුවෙක් හදන්න මොනතරම් දුක් විඳීනවාද? හැම අම්මා කෙනෙකුම උත්සාහ කරන්නේ තම දරුවන් තමා සිටින තැනින් ඉහළ තැනකට යවන්නයි. එතැනදී ඇයගේ තීන්දු තීරණ නපුරු විදියට පෙනෙන්න පුළුවන්. කොහොම වුණත් දැන් නම් නපුරු චරිත කරන්න වාරණයක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ.

මේ තරම් දුර එන්න පුංචි කාලයේ පටන්ම නිළියක් වෙන්න හීන මවන්න ඇති?

මම රඟපාන්න ආසා කෙනෙක් නෙවෙයි. හැබැයි මම වේදිකා නාට්‍ය, චිත්‍රපට බලන්න කැමැති කෙනෙක්. ඕ ලෙවල් කරන කාලයේ මම හිටියේ හලාවත. මාත් එක්ක වැඩි වයස් පරතරයක් නැති අපේ මාමලා, පුංචි අම්මලා, බාප්පලා එක්ක නාට්‍ය බලන්න හලාවත සුදසුනට යනවා. සෝමලතා සුබසිංහ මහත්මියගේ විකෘති නාට්‍යයත් ඒ විදියට නැරඹුවා. ඒ ලෙවල්වලින් පසු රැකියාවක් කරන්න කොළඹ ආවා. මාස දෙකකට විතර පස්සේ සරසවිය පත්තරේ සෝමලතා සුබසිංහ මහත්මියගේ දැන්වීමක් දැක්කා. නාට්‍යයක් නරඹා රස විඳීන්නේ කොහොමද කියලා දෙන මාස තුනක පාඨමාලාවක්. මට එතැනට යන්න ආසා හිතුනා. විශාල පිරිසක් එදා ඇවිත් හිටියා. 1982 වසරේදී ඒ පාඨමාලාවට තෝරා ළමයින් විසිපස් දෙනාගේ කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. දෙවැනි සතියේදී වාර්තා චිත්‍රපටයකට කෙනෙක් තෝරා ගන්න ධර්මසේන පතිරාජ මහත්මයා ආවා. ඒ වෙනුවෙන් තෝරා ගත්තේ මාව. ඒකේ රඟපාලා ආවාට පස්සේ සෝමලතා මිස් මාව විකෘති නාට්‍යයට ගත්තා. ප්‍රධාන චරිතය වුණු චාන්දනි සෙනෙවිරත්නගේ චරිතය වෙනුවෙන්. පුත්‍ර සමාගම නිසා ඇයට ඒ දවස් කාර්යබහුල වෙලා තිබුණේ.

මගේ වාසනාවට ධර්මසිරි බණ්ඩාරනායක ධර්මසේන පතිරාජ, පතිරාජ එල්. එස්. දයානන්ද, රංජිත් ධර්මකීර්ති, කේ. බී. හේරත් වැනි ප්‍රවීණ නිර්මාණකරුවන් සමඟ වැඩ කරන්න අවස්ථා ලැබුණා. ඒ වගේම එදා පටන් වේදිකාවේ ප්‍රධාන චරිත ලැබුණා. 1986දී සෝමලතා මිස් නිෂ්පාදනය කළ ගුණසේන ගලප්පත්ති මහත්තයාගේ මූදු පුත්තු වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ නැන්දම්මාගේ චරිතයට පණ පෙව්වා. එතකොට මගේ වයස අවුරුදු විසි ගණනක් වුණත් ඒක පනස් ගණනක චරිතයක්. එතැන් පටන් මට සැබෑ වයසට වඩා වයස්ගත චරිත බොහොමයක් ලැබුණා. මගේ පෙනුම, මුහුණේ හැඩය එක්ක මාව වයස්ගත කරන්න පහසු නිසා වෙන්න ඇති.

ගත වුණු දශක හතර තුළ වේදිකාවේ අමතක නොවන සිදුවීම් රැසක් ඇති නේද ?

ගත වුණු කාලය පුරා වේදිකාවේ සුන්දරත්වය හොඳීන් අත්විඳ ගත්තා. එදා සෝමලතා මිස්ගේ නාට්‍ය කණ්ඩායමේ පිරිස පවුල් පිටින් අදටත් හමු වෙනවා. විනෝද චාරිකා යනවා. විකෘති නාට්‍යයට අවුරුදු තිහක් වෙන කොට ආරම්භයේදී සිටි පිරිස එක් වී එය යළි වේදිකාගත කිරීමේ අදහස මගේ හිතේ ඇති වුණා. එය සඵල කරමින් අපි යළිත් වේදිකා ගත වුණා. එදා සෝමලතා මිස් ගොඩක් සතුටු වුණා. ඇය එදා ලද සතුට මගේ නාට්‍ය දිවියේ සුවිශේෂයි. ධර්මසිරි බණ්ඩාරනායක අයියාගේ ඒකාධිපති නාට්‍යය කරනකොට පුතා ලැබෙන්න මාස හතක් වෙලා. මම ඒ වෙනුවෙන් දායක වුණේ පුතා කුසයේ දරාගෙනයි. ඊට පස්සේ මකරාක්ෂයා වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කරන කොට පුතාට මාස දෙක හමාරක් විතර ඇති. අපි පුහුණුවීම් කළේ දෙහිවල පල්ලියක. පුතා ශාලාවේ පැත්තක බිම තියලා මම පුහුණුවීම් කළා. මේවා මගේ ජීවිතය ලද වේදිකාවේ සුන්දර මතක.

ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඔබට මල් අම්මා කියන්නේ ඇයි?

මට අම්මාගේ චරිත බොහොමයක් ලැබෙනවා වගේම වේදිකා නාට්‍ය කණ්ඩායම්වල වගේම ටෙලි නිර්මාණ කණ්ඩායම්වල කටයුතු කරන හැමෝටම මම ආදරණීය අම්මා කෙනෙක්. ගොඩක් දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි දරුවන් බොහොමයක් මේ දර්ශනතල වල වැඩ කරනවා. ඒ හැමොටම මම කතා කරන්නේ පුතේ කියලයි. ලොකු වයස් පරතරයන් නැති වුණත් මම පුතේ කියලා කතා කරනවා. එතකොට ඔවුන්ට තමන්ගේ ගෙදර ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා ඇති.බොහොමයක් දෙනා මට මල් අම්මා කියන්නේ ඒ විදියට දැනෙන ආදරය නිසා වෙන්න ඇති.

අලුත්ම තොරතුරු මොනවාද?

මේ දවස්වල අඛිල සපුමල්ගේ විකාර, මගුල් කපුවා වේදිකා නාට්‍යවලට සහ චාලක රණසූරියගේ මාරක ළිඳ වේදිකා නාට්‍යවලට දායක වෙනවා. මාරක ළිඳ වේදිකා නාට්‍යයේ රංගනයට රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහය නිළියට හිමි සම්මානයත් ලැබුණා. පසුගිය කාලයේ කොරෝනා නිසා කලා කටයුතු ටිකක් නැවතිලා තිබුණත් දැන් අපි හැමෝම උද්යෝගයෙන් ඒ හැමදේම යළිත් ආරම්භ කළා.

යතේජා ඥානරත්න
සේයාරූ - නිශ්ශංක විජේරත්න