රඟපෑමට අවසර පන්තියේ පළමුවැනියා වුණොත් විතරයි

කාන්ති ලංකා
මාර්තු 3, 2022

අදින් වසර 50කට පෙරාතුව මරදානේ පිහිටි සිනමාහල් දෙකක බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය විය. ඒ මරදානේ ගාමිණී සිනමා ශාලාවේ තිරගත වූ එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය සහ ඊට නුදුරින් පිහිටි එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගත වූ සුජීවා චිත්‍රපටයයි. තරගකාරීත්වයෙන් චිත්‍රපට දෙකම සම තැන ගත්තා පමණක් නොව චිත්‍රපට දෙකම බොක්ස් ඔෆිස් වාර්තා පිහිටු විය. එදත් සූරයා අදත් සූරයා රඟපෑවේ සිනමාවේ ජනපි‍්‍රය තරු යුවළක් වූ ගාමිණී මාලිනිය. ගාමිණී මාලිනි හා තරග වදිමින් සුජීවා චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ රෝයි ද සිල්වා සමඟ කාන්ති ලංකාය.

ප්‍රධාන චරිතය රඟපෑ සිය දෙවැනි චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටු වීමට සමත් වීමත් සමඟම කාන්ති ලංකා එක රැයකින් ජනපි‍්‍රයත්වයට පත් වූවාය.

පේ‍්‍රක්ෂකයන් බොහෝ දෙනා සිතා සිටිනුයේ කාන්ති ලංකා විදෙස් ගතව සිටින බවයි. නමුත් ඇය ජීවත්වන්නේ මහරගම අපේක්ෂා රෝහල පාරේ.... කොහොමද ඔබේ සුවදුක්?

සතුටින් සනීපෙන් කල් ගෙවනවා මේ දවස්වල පොඩි දුවගේ බබා එක්ක ටිකක් කාර්යබහුලයි.

ඔබ දැන් ආච්චි කෙනෙක්?

ඔව්. මුනුපුරු මිනිබිරියන් පස් දෙනෙකුගේ ආච්චි කෙනෙක්. මගේ ලොකු දුව ප්‍රමිෂ්තා විද්‍යා විද්‍යාභූෂණ marketing consultant  කෙනෙක්.

පෞද්ගලික ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. විවාහ වෙලා සිටින්නේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ සමඟ. දුවට දරුවො දෙන්නයි. ඒ දෙන්නගේ ලොකු දුව වෛද්‍ය ශිෂ්‍යාවක් ඇය ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යාව හදාරනව අනිත් දුව ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අධ්‍යාපනය හදාරනවා.

ශාමිණී තමයි මගේ දෙවැනි දුව ඇය ඉංජිනේරුවරියක්.

ඇගේ සැමියාත් ඉංජිනේරුවරයෙක් ඔවුන් පදිංචි ඇමරිකාවේ. ඔවුන්ටත් දුවලා දෙන්නෙක් ඉන්නවා වැඩිමල් දුව වෛද්‍ය ශිෂ්‍යාවක්. දෙවැනි දුව පාසල් යනවා. මගේ බාල දුව වීණාවි. ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියක් ඇගේ සැමියා එරන්ද, කරවනැල්ල රෝහලේ වෛද්‍යවරයෙක්. ඔවුන් දෙදෙනාගේ අවුරුදු දෙකහමාරක ආචිත පුතා තමයි මේ දවස්වල මගේ සතුට.

මම හිතන විදිහට වෛද්‍යවරු හය දෙනෙක් ඔබේ පවුලේ සිටිනවා. ඔබේ සැමියාත් වෛද්‍යවරයෙක් නේද?

ඔව්. ඔහු වෛද්‍ය රොහාන් පෙරේරා රැකියාව කළේ කළුබෝවිල රෝහලේ. පසුව රොහාන් නුවරඑළියේ ච්ර්ර්‍ණ ලෙස පත්වීම ලැබුණා. ඒ දවස්වල අපි ජීවත් වුණේ රම්බොඩ නුවරඑළිය ආශි‍්‍රත ප්‍රදේශවල. ඔහු නැවත වරක් කළුබෝවිල රෝහලට අනුයුක්ත වීමත් සමඟම ඔහුගේම පෞද්ගලික Dispansary යක් maharagama  දෙහිවල පාරේ ආරම්භ කළා. වසර 30ක පමණ කාලයක සිට ඒ ප්‍රදේශයේ ජනපි‍්‍රය දොස්තර තමයි මගේ මහත්තයා රොහාන්.

කොහොමද ඔබේ පාසැල් සමය. කලාවට දක්ෂතා දැක්වුවද?

මම පුංචි සන්දියේ ඉගෙන ගත්තෙ ලුම්බිණි බාලිකා විදුහලේ. පසුව මහරගම විද්‍යාකර විද්‍යාලයේ. මම පාසලේදී කලා කටයුතුවල නිරත වුණේ නැහැ. සබකෝලේ නිසා. පුංචි කාලේ මට නර්තන හැකියාව තිබුණා. නර්තනයට තිබුණු ආශාව කොතරම්ද කියතොත් ගෙදර ආපු වෙලේ පටන් මම කරන්නේ ඩාන්ස් කරන එක. ඇත්තටම මට ලස්සනට නටන්නත් පුළුවන්. අපේ අම්මා තාත්තා අයියලා මල්ලිලා හැමෝම එකතු වෙන වෙලාවට මට කියන්නේ නටන්න කියලා. මගේ නෑදෑයො නිවසට පැමිණි විටත් මම ඒ අයට පේන්න ලස්සනට නටනවා. නිළියක් වන්නට මට තිබුණු එකම සුදුසුකම එයයි.

කොහොමද ඔබගේ පවුලේ තොරතුරු?

සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ එකම ගැහැනු දරුවා මමයි. සහෝදරයන්ගෙ දැඩි නීති රීති පද්ධතියකට මට යටත් වී සිටින්නට සිදු වුණා. ඔවුන්ගේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ මම හැදුණේ මට තනි තීරණ ගන්නට බැහැ. අම්මා තාත්තා අයියලා මල්ලිලා කියන හැමදේටම මට හිස නමන්නට සිදු වුණා.

මගේ පියා සුදු මහත්තුරුන්ගේ කාලේ කොළඹ කාගිල්ස් සාප්පුවේ වැඩ කළේ. ඔහු ප්‍රධාන ගණකාධිකාරි ලෙස කටයුතු කළා පමණක් නොවේ කාගිල්ස් සාප්පුව භාරව වැඩ කළේ ඔහු. මගේ අම්මා ගුරුවරියක්.

ඔබ හා පුරා කියා සිනමාවට පිවිසියේ ජී.ඩී.එල්. පෙරේරාගේ රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ. ඒ අවස්ථාව ඔබට හිමි වුණේ කොහොමද?

මම සිනමාවට පිවිසෙද්දී පාසැල් යනවා. එතකොට මට අවුරුදු පහළොවක් විතර ඇති. මගේ පුංචි අම්මා නිසයි මම නිළියක් වුණේ. ඇය මා ඉගෙනගත් පාසලේම ගුරුවරියක්. ඇය දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වී සිටියා. පුංචි අම්මා රඟපාන්නට යාමේදී තනියට කැන්දාගෙන යන්නේ මාව. මම බොහෝ දුරට පාසල් ගියේ පුංචි අම්මාගේ නිවෙසේ සිට පුංචි අම්මා මුණගැසුණු කලාකරුවන් අතර ජී.ඩී.එල්. පෙරේරා මහත්තයත් සිටියා. ඔහු මාව දැකලා පුංචි අම්මාගෙන් අසා තිබුණා මගේ මුහුණ සිනමාවට හොඳින් ගැළපෙනවා. ඔහුගේ රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ ජුලියට්ගේ භූමිකාව රඟපෑමට මාව තෝරා ගන්නට කැමතියි කියා. නමුත් මම එයට අකමැති වුණා. හේතුව මම ඉගෙන ගත්තේ මිශ්‍ර පාසලක පිරිමි ළමයි මට විහිළු කරාවි යන බියට. ඒ නිසා ජුලියට් ගේ චරිතයට තෝරා ගත්තේ යාළුවාගේ චරිතයට මම ආධුනිකයෙක් වුවත් රූගත කිරිමේදී පළමු රූප රාමුවෙන්ම අධ්‍යක්ෂවරයා සෑහීමකට පත් කිරීමට මට හැකි වුණා.

ඒ දවස්වල පී.කේ.ඩී. සෙනෙවිරත්න සහ අමරනාත් ජයතිලක පි‍්‍රයංගා චිත්‍රපටයට ප්‍රධාන නිළියක් සොයමින් සිටි කාලයයි. මම ගැන ඔවුන් දෙදෙනාට ලැබුණු හෝඩුවාවක් මත ඔවුන් දෙදෙනා මා සොයා ගෙන අපේ ගෙදර පැමිණියා. මාව දුටුවා විතරයි ඔවුන් පැවසුවේ මගේ පි‍්‍රයංගා මට හමු වුණා කියා.

ප්‍රධාන චරිතය රඟපෑ සුජීවා චිත්‍රපටයෙන් ඔබ අතිශය ජනපි‍්‍රයත්වයට පත් වුණා නේද?

එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ සරසවිය පුවත්පතටයි. එවකට සරසවිය කර්තෘ පදවිය දැරුවේ විමලසිරි පෙරේරා මහතා. බන්දු එස්. කොඩිකාර තමයි මගේ පින්තූර ගත්තේ. සරසවියෙන් මට ලැබුණු ප්‍රචාරය නිසා ඉතා ඉක්මනින්ම ජනපි‍්‍රය වුණා. විමලසිරි පෙරේරා මහතාගේ බිරිඳ මගේ ගුරුවරිය. ඒ හැදුනුම්කම් මත මට විශාල සහයෝගයක් ලැබුණා. එදත් අදත් මම සරසවියට ආදරෙයි.

පි‍්‍රයංගා චිත්‍රපටිය රඟපෑමෙන් මා ලැබූ ලොකුම වාසනාව තමයි විජය කුමාරතුංග සමඟ එම චිත්‍රපටය රඟපාන්නට මට අවස්ථාව ලැබීම. ඒ මට භාග්‍යයක් සුජීවා චිත්‍රපටයත් අතිශයින් ජනපි‍්‍රය වී බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා.

පාසැල් දැරියක් චිත්‍රපට ප්‍රධාන නිළියක් වෙලා. පාසලෙන් තහංචි දැම්මේ නැද්ද?

වාසනාවට මුල් ගුරුතුමිය කලාවට බෙහෙවින් කැමැති කෙනෙක්. මම පුංචි සන්ධියේදී ඉගෙන ගැනීමට දක්ෂයි.

හැමදාම පන්තියේ පළවෙනියා. මම රඟපාන්න ගියේ නිවාඩු කාලේ. රඟපෑමෙන් මගේ අධ්‍යාපනය කඩා කප්පල් වේවි යන බියක් මුල් ගුරුතුමිය තුළ තිබුණා. ඒ නිසා ඈ මට කතා කරලා කිව්වා මම රඟපාන්නට ඉඩ දෙනවා. නමුත් ඔයා හැමදාම පන්තියෙන් පළමුවැනියා විය යුතුයි. දෙවැනියා වුණොත් මම රඟපෑම නවත්වනවා කියා ඒ වදන මගේ සිතේ සනිටුහන් වුණා. එදා පටන් මම විශාල වෙහෙසක් දරා මහන්සි වී පාඩම් කළේ පන්තියේ පළමුවැනියා වීමටයි. රූගත කිරිම්වලින් නිදහස ලැබුණ හැම මොහොතකම පාඩම් කළා. ඵඩධධබඪදඨ යද්දී මගේ තනි නොතනියට හිටියේ අම්මා. ඇය ගුරුවරියක් නිසා මම නොදන්න පාඩම් බොහෝ දේ අම්මා කියලා දුන්නා. පාසලෙන් සමුගන්නා දිනය වනතෙක් මම පළවෙනියා වුණා.

ඔබ සිනමාවට ප්‍රවිශ්ට වූ කාලයේදී ඔබට රඟපෑමට අවස්ථාවක් ලැබුණේ චිත්‍රපට හතරක පමණයි සුජීවා, පි‍්‍රයංගා, සිතිජය ඉන්පසුව එක්වරම අතුරුදහන් වුණා. ඒ ඇයි?

මගේ විවාහයෙන් පසු මම මට රඟපෑමට අවස්ථාව අහිමි වී ගියා. ඒ චිත්‍රපට පහළොවක් පමණ අඩක් පමණයි රඟපා තිබුණේ. ඒවා සම්පූර්ණ කර ගැනීමට මට නොහැකි වුණා. ඒ නිසාම එම චිත්‍රපට සඳහා අධ්‍යක්ෂවරු වෙන නිළියන් යොදා ගත්තා.

කොටින්ම කියනවා නම් ජෝ දේව් ආනන්ද චිත්‍රපට ගණනාවක ප්‍රධාන නිළිය චරිතයට මාව තෝරා ගත්තා. නමුත් මම එන්නට නොහැකි බව ඔහුට පැවසූ විට ඔහු ඔළුවට අත ගහගත්තා. ඒ ගැන මගේ හිතේ පුංචි දුකක් තියෙනවා. චිත්‍රපට පහළොවක් පමණ රඟපෑමට තිබූ අවස්ථාව මට අහිමි වී ගියා.

සිනමාවේ ඔබේ දෙවැනි ආගමනය. ආරාධනා චිත්‍රපටය. ඉන් පසු චිත්‍රපට ගණනාවකම ඔබට රඟපෑමට අවස්ථාව හිමි වුණා නේද?

ඔව්. ඊට පස්සේ චිත්‍රපට රඟපෑම ගලා ගෙන එන්න පටන් ගත්තා. ජය අපටයි, ආදර හසුන, සඳකඩපහන, පෙම් රජදහන, බඹසර බිසව්, නින්ජා ශ්‍රී ලංකා මධුර චාරිකා, එදත් චන්ඩියා අදත් චන්ඩියා, සතුටයි කිරුළ අපේ, සෙනසුරු මාරුව ආදී චිත්‍රපට ගණනාවකම රඟපාන්නට අවස්ථාව හිමි වුණා. මම ආසාවට රඟපාපු කෙනෙක්. ලැබෙන හැම චරිතයක්ම රඟපෑ යුතුයි කියන හැඟීමක් මට තිබුණෙ ඒ නිසා. මම වෘත්තීය නිළියක් නොවේ. රඟපෑම වෙනුවෙන් මට මුදල් ලැබුණ ඒක ඇත්ත. නමුත් ඊට වඩා මම පි‍්‍රය කරන්නෝ ගෘහණිය කියන චරිතයට. බිරිඳ මව, ආච්චි අම්මා, ගෘහණිය මෙම භූමිකා හතරම රඟ දක්වන්නට මම හරි කැමතියි. මේ භූමිකා හතර මා අතින් සාර්ථකව ඉටු වුණා කියලා අද මට සෑහීමකට පත්වන්න පුළුවන්. මම කැමතියි පයින් යන්න බස්වල යන්න කඩේට ගිහිල්ලා බඩු ගේන්න ඒවා පිළිවෙලට අස්පස් කර ලස්සන තියාගන්න. නමුත් මේ දවස්වල කොරෝනා හින්ද අපේ ගෙදර ඉන්න දොස්තරලා ටික මට එළියට යන්න දෙන්නේ නැහැ.

සෞන්දර්යාත්මක කලාවේ සැරිසැරූ ඔබට ජීවන රඟමඩලේ සැරිසරන්නට ලැබෙන්නේ වෛද්‍ය වෘත්තිකයන් සතර දෙනෙක් සමඟ. වෛද්‍ය වෘත්තිය සේවයේ් හැමදා රෝගීන්ගේ දුක් අදෝනා තමයි අහන්නට ලැබෙන්නේ.

ඔවුන් සමඟ ගෙවන ඔබේ ජීවිතය ඒකාකාරී නැද්ද?

නැහැ මම ජීවිතේ විඳිනවා. හේතුව මගේ සැමියා හරිම විනෝදකාමි කෙනෙක්. මගේ පවුලෙ දරුවනුත් විනෝදයට බරයි. අපි හරි විනෝදකාමී ජීවිතයක් ගෙවන්නේ නිදහස ලැබූ හැම මොහොතකම අපේ ගෙදර සාද පවත්වනවා, සින්දු කියනවා, ඩාන්ස් කරනවා, පී‍්‍රති වෙනවා. අපේ පවුලේ වෛද්‍යවරු පස්දෙනාට අමතරව ඔවුන්ගේ හිතවත් වෛද්‍යවරුන් සමඟ අපි නිතරම සුහද සාද පවත්වනවා. සමහර වෙලාවට පාන්දර දෙකට තුනට සාදය නිමවන්නේ. රෑ එළිවෙනකම් සාද පැවැත් වුවොත් උදේ පාන්දර නැගිටිලා රාජකාරියට යනවා විනෝද ගමන් යනවා. ජීවිතේ විදින නිසා ඔවුන් මෙන්ම මමත් හරිම තෘප්තිමත්.

විනෝද ගමන් යන්නට තරම් කාලවේලාවක් තිබෙනවාද?

ඔව්. කොරෝනාවලින් ඉස්සෙල්ලා අපි නිතරම විනෝද ගමන් ගියා. නුවරඑළියේ අපේම කියලා ගෙයක් තියෙනවා. රොහාන් ඒක ගත්තෙ නුවරඑළිය සේවය කරද්දි. ගොඩගම පැත්තෙන් අපේ පොඩි වත්තක් තියෙනවා ජධපධදච දවස්වල දුර බැහැර යන්න බැරි නිසා නිවාඩු දවසකට වත්තට ගිහිල්ලා නිදහසේ සතුටු වෙලා එනවා.

වියපත් වීමත් සමඟ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී ඇතැමුන්ගේ ජීවිත අතෘප්තිමත්. නමුත් ඔබ නිළියක් ලෙස පමණක් නෙමෙයි ගැහැනියක් ලෙසත් තෘප්තිමත් පුද්ගලයෙක්?

ඔව්. මගේ දුක සැප සොයා බලන මාව ආදරය රැකබලා ගන්නා ආදරණීය සැමියෙක් සිටිනවා. මගේ දරුවෝ හොඳට ඉගෙන ගත්තා ඔවුන් හොඳ අය සමඟ විවාහ වුණා. ඔවුන් රටේ වැදගත් යැයි සම්මත වෘත්තිකයන්. මට මුනුපුරු මිනිපිරියන් සිටිනවා....... මම අදටත් විනෝදකාමී ජීවිතයක් ගත කරනවා. කාටත් අත නොපා ජීවත් විය හැකි ආර්ථිකයක් ගොඩනගා ගෙන තිබෙනවා. මම ගොඩක් මිත්‍රශීලී කාන්තාවක් මම නිතරම අන් අයට හැකි පමණින් උදව් උපකාර කරනවා. මට හැම වෙලේම පිරිවර අවශ්‍යයි. හුදකලා ජීවිතයට මම කැමැති නැහැ. එයයි මගේ තෘප්තිමත් භාවයට හේතුව.

ඔබේ නිවසේ ජේසුස් වහන්සේත් බුදුන් වහන්සේත් සිටිනවා ඔබ බෞද්ධයෙක් නේද?

මම බෞද්ධයෙක්. නමුත් මගේ දරුවෝ තුන් දෙනාම කතෝලිකයි. ඔවුන් බෞතිස්ම ලබල තියෙන්නෙ. අපි ආගම් දෙකම අදහනවා. පන්සලුත් යනවා පල්ලිත් යනවා. බොහෝ වෙලාවට අපි බණ අහනවා. ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. ඒ ආශිර්වාද අපට ලැබිලා තියෙනවා.

දූ දරු මුනුපුරන්ගෙ ආදර සුවඳේ දැවටෙමින් තම පෙම්බර සැමියා ගේ සෙනෙහස විදිමින් ජීවන ගීතය රිද්මයට ගයන කාන්ති ලංකා නැමති රංගන වේදිනිය ජීවිතේ ජය ගත් කාන්තාවක් නොවන්නේද?