දැන් මගේ කාර්යය සමාජ සේවයයි

දිගු කලකට පසු මව්රට පැමිණි ගෝතමී පතිරාජ සරසවිය සමඟ විශේෂ සංවාදයක
පෙබරවාරි 24, 2022

 

ලොකේ ජීවත් වන්නට
ලස්සන ඕනෑ වේ.
ලෝකයේ ලස්සන වන්නට
දෙදෙනෙකු ඕනෑ වේ
මංජු... මංජු

 

කලාසුරි ලතා වල්පොල සමඟ ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැයූ මේ අපූර්ව ගීතය අදටත් සවන් වැකෙන විට අපේ මතකයට එන්නේ... කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ජනක සහ මංජු චිත්‍රපටයේ ජයන්ත දාස් පෙරේරා සමඟ හිරිමල් වයසේ පසු වූ සුරූපිනියක ගේ රංගන විලාසයයි. රංගනයේ තිබූ නැවුම් බවත් ආකර්ෂණීයත්වය නිසා සිය කුලුඳුල් චිත්‍රපටයෙන්ම පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය දිනා ගැනීමට ඇය සමත් වුවාය.

80,90 දශකයන්හි අතිශය ජනපි‍්‍රය වූ සිනමා සිත්තම් ගණනාවක ප්‍රධාන රංගන භූමිකාවට පණ පෙවූ ජනපි‍්‍රය තරුවක් බවට පත් වී සිටි ඇය යසඉසුරු, වජීරා, තනිතරුව, සත්කුළු පවුව, සිටු දියණියෝ, ඔක්කොම රජවරු, අළු යට ගිනි, අයදිමි සමා, ජය ශක්ති, මිස් මල්ලිකා, ආදී චිත්‍රපට ගණනාවක මෙන්ම පිටගම්කාරයෝ, වනසරණ, සඳ කිඳුරී, සිටු දියණියෝ ආදී ටෙලිනාට්‍ය කිහිපයක, ඇගේ නම රති, අමල්බිසෝ ආදී වේදිකා නාට්‍ය ගණනාවක ද රඟ පෑවාය. නමින් ගෝතමී පතිරාජ ය.

ගෝතමී පතිරාජ ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ යස ඉසුරු චිත්‍රපටයේ රඟ පෑ භූමිකාව උදෙසා වසරේ හොඳම නැගී එන නිළියට හිමි සරසවිය සම්මානය ද හිමිකර ගත්තාය.

2006 වසරෙන් පසු ගෝතමී පතිරාජ ශ්‍රී ලංකාවට ආයුබෝවන් කියා විදෙස් ගත වූ බව ඇගේ රසික රසිකාවන් මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නා කරුණකිි. බොහෝ කාලයක් යන තුරු ඈ සිටින ඉසව්වක් කවුරුවත් දැන සිටියේ නැත. ඇතැම් චිත්‍රපට, කලා නිර්මාණ සඳහා ඇය දායක කරගැනීමට බොහෝ නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු සැදී පැහැදී සිටිය ද එය ව්‍යාර්ථ වුණි.

පසුකාලීනව ගෝතමී කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන බව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණ ද ඇගේ දුරකථන අංකයක්වත් කිසිවෙකුට සොයාගත නොහැකි විය.

එහෙත් පසුගිය දවසක ලංකාවට පැමිණි ඇය පුරුදු පරිදි සරසවියට කතා කළා ඒ සමඟ ඇගේ සමීපතම යෙහෙළිය නදීකා ගුණසේකරට ද ඒ බව දැන්වුවාය.

ගෝතමී මට වසර ගණනාවකට පෙරාතුව මුණ ගැසුණ ද එදා දුටු ගෝතමීත් අතර කිසිදු වෙනසක් නොමැති තරම්ය. කටහඬ කතා කරන විලාසය. එදා මෙන් අදත් සුන්දරය.

 

ඉතින් කොහොමද ගෝතමී සැප සනීප?

හොඳින් සතුටින් කාලය ගත කරනවා.

 

කාටවත් නොකියා විදෙස්ගත වුණා නේද?

මම ලංකාව අතහැරලා විදෙස් ගත වෙන්නට බලාපොරොත්තුවෙන් ගිය ගමනක් නොවෙයි. නමුත් අවසානයේ දී මට සිද්ධ වුණා ඇමරිකාවේ නවතින්නට. ඒක අහම්බෙන් සිදු වූ දෙයක්.

 

කොහොමද මේ විරල අවස්ථාව ඔබට හිමි වුණේ?

2006 දී මම එංගලන්තය ‘ඇමරිකාව‘ ප්‍රංශය මේ රටවල් කිහිපයකම සංචාරය කරන්නටයි බලාපොරොත්තුවෙන් හිටියේ. මගේ දරුවෝ දෙදෙනාගේ පාසල් නිවාඩු කාලය තමයි මේ සංචාර කරන්න තෝරා ගත්තේ. අපි රට ගියේ නැවත මාස හයකින් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන්.

මගේ ඥාති අයියා කෙනෙක් ලන්ඩන්වල වෙසෙනවා. ඔහුගේ බිරිඳ ප්‍රංශ ජාතික කාන්තාවක්. ඇය තමයි මේ ගමනට අපට මඟ පෙන්නුවේ. අපි ප්‍රංශයේ ලූර්දු නුවර එංගලන්තය සෑම ප්‍රදේශයක වගේ සංචාරය කළා. මේ සියල්ල දැකබලා ගෙන ඇමරිකාවට ගිය අවස්ථාවේ මට මගේ පාසලේ හිතවත් මිතුරියක් එහිදී මුණ ගැසුණා. ඇගේ පදිංචිය ඇමරිකාවේ මේ හදිස්සි මුණ ගැසීම තමයි මගේ ජීවිතේ වෙනස් මඟට යොමු කරේ.

 

ඔබ ජනපි‍්‍රය සිනමා නිළියක් ඇමරිකාවේ නවතින්නට තීරණය කළේ ඇයි?

මගේ මිතුරිය මට නිරන්තරයෙන් පැවසූ දෙයක් තමයි ඇමරිකාවේ පදිංචි වෙන්නට කියා. මම මාස හයක් වීසා අරගෙන ගිය නිසා නවතින්නේ කොහොමද? ඇත්තටම මගේ මේ මිතුරිය තමයි මට ඇමරිකාවේ නවතින්නට සියලු කටයුතු සුදානම් කර දුන්නේ. එයා මගේ දරුවෝ දෙන්නම ඇමරිකාවේ හොඳ පාසලකට ඇතුළත් කර දුන්නා. ඇගේ ගෙදර අපිට නවාතැන් දුන්නා. කන්න බොන්න දීලා අපිව බලා ගත්තේ ඇයයි. අපේ දරුවෝ දෙන්නට හොඳ පාසලක් ලද නිසා මම තීරණය කරා ඇමරිකාවේ නවතින්නට.

 

ඔබට ලොස් ඇන්ජලීස් නුවර සිනමා පාසලේ සිනමාකරණ පාඨමාලාව හැදෑරීමට අවස්ථාවක් ලැබුණා නේද?

මගේ මිතුරිය තමයි ඒ පිළිබඳව මා උනන්දු කරවා අවස්ථාව සලසා දුන්නේ. මම රංගන ශිල්පිනියක් නිසා මගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් සිනමාකරණ පාඨමාලාවක් හැදෑරීම යෝග්‍ය යැයි තීරණය කළේ මගේ මිතුරිය. ඒ අතරතුර මගේ මිතුරෙකුªට අයිති රූපලාවණ්‍ය භාණ්ඩ අලෙවිසලක මට රස්සාවක් ලබා දුන්නා.

 

ඔබ සිනමාකරණය පිළිබඳ හැදෑරීමක් කළ කෙනෙක්. ඔබගේ බලාපොරොත්තු වුණේ පූර්ණකාලීනව සිනමාකරණය නියැළෙන්නට ද?

නැහැ. මගේ එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මම නිළියක් නිසා ඒ අවස්ථාවේ යෝග්‍ය දේ තමයි මා තෝරා ගත්තේ. අනාගතේ දී ඇමරිකාවේ සිනමා ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් මම සිනමාව පිළිබඳ වැඩිදුරටත් හැදෑරීමෙන් මට යම්කිසි පන්නරයක් ලැබුණා විශේෂයෙන් නිෂ්පාදනය කැමරාකරණය සංස්කරණය කලා අධ්‍යක්ෂණය ආදී සෑම විෂය ධාරාවක්ම මෙහිදී මම ප්‍රගුණ කළා. එය ඇමරිකාවේ මගේ අනන්‍යතාවය ගොඩනඟා ගැනීමට වාසිදායක තත්ත්වයක් උදා වුණා.

 

කුමක්ද ඔබ ලැබූ ඒ වාසිදායක තත්ත්වය?

ලොස්ඇන්ජලිස් වල ක්‍රිස්තියානි දේවස්ථානයක ස්වෙච්ඡාවෙන් සේවය කිරීමට මට මහඟු අවස්ථාවක් වුණා. දේවස්ථානයේ ඉරිදා දින දේව මෙහෙයන් හයකට ආසන්න සංඛ්‍යාවක් පවත්වනවා. මේ අතුරින් එක් දේවමෙහෙයක් කැමරාකරණය සංගීත අංශය භාරව කටයුතු කරන්නට මට අවස්ථාව හිමි වුණා. විශාල සංඛ්‍යාවක් දේවස්ථානයේ දේව මෙහෙයන්ට සහභාගි වෙනවා. ඒ සඳහා මාව තෝරා ගත්තේ මම සිනමා පාසලෙන් ලබාගත් අත්දැකීම් මත. විශේෂයෙන් ඇමරිකාව වැනි රටක එවැනි අවස්ථාවක් උදාකර ගැනීමට ලැබීම භාග්‍යයක්.

 

ඔබ වෘත්තීය වශයෙන් තෝරා ගත්තේ කුමක්ද?

මුල් අවධිය තුළ මගේ මිතුරියට අයත් රූපලාවණ්‍ය භාණ්ඩ අලෙවි කරන ස්ථානයක සේවය කිරීමට ඇය අවස්ථාව සලසා දුන්නා. පසුකාලීනව මට අවස්ථාවක් හිමි වුණා. ඔටිසම් දරුවන් බලාගන්නා මධ්‍යස්ථානයක සේවය කිරීමට එය හඳුන්වන්නේ ඔටිසම් ඒජබධපඵ චදඤ චජබපඥඵඵඥඵ ඪදඵබඪබභබඥ ලෙසයි. මම ශ්‍රී ලංකාවේ නිළියක් වීම සහ ලොස්ඇන්ජලිස් සිනමා පාසලේ අධ්‍යාපනය ලැබීම මාව තෝරා ගැනීමට සුදුසුකමක් වුණා. දක්ෂතා හැකියාවක් ඇති ඔටිසම් දරුවන්ගේ කලා කුසලතා ඔප් නැංවීමත් දරුවන් වේදිකානාට්‍ය රංගනය සඳහා යොමු කරවිමත්, ප්‍රසංගවලදී වේදිකා පරිපාලනය කිරිම සහ නිෂ්පාදන අංශය භාරව කටයුතු කිරීමත් මට පැවරුණු කාර්යය භාරයන්.

 

ඔටිසම් දරුවන් පිළිබඳව මෙවැනි භාරදූර කාර්යයකට යොමුවන්නට ඔබ ඔටිසම් දරුවන්ගේ චර්යා රටාව පිළිබඳව දැනුම්වත් වී තිබෙනවාද?

විශේෂයෙන් කිව යුතු දෙයක් වන්නේ ඔටිසම් තත්ත්වයට පත් වූ අය අතිශයින් දක්ෂතාවලින් පිරිපුන් අය වීමයි. දක්ෂතා හඳුනාගෙන එය ඔප් නංවමින් ඒ හැකියාවන් ප්‍රදර්ශනය කෙරෙමින් වේදිකා ගත කිරිම සඳහා අපි කණ්ඩායම විසින් විශාල කාර්යභාරයක් ඉටු කෙරෙනවා. සමහර ඔටිසම් දරුවන් විශාල වශයෙන් අපහසුතා වලින් පෙළෙනවා සමහරුන් ඉතා සුළු වශයෙන් ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්. මේ දෙයාකාරයම දරුවන් අප ළඟ සිටිනවා. දරුවන්ගේ හැකියාවන් විවිධාකාරයි. ඔවුන්ගේ කලා කෞශල්‍යයන් ඔප් නංවමින් ඒ අයගේ චිත්ත ශක්තිය වර්ධනය කරමින් සහජ නිර්මාණ හැකියාවන් නඟා සිටුවමින් ඔවුන්ගේ නිර්මාණ ජාත්‍යන්තරය කරා ගෙන යාමයි. අපේ මුලික අරමුණ. ඒ සඳහා මම විශාල වශයෙන් කැපවීමෙන් කටයුතු කරනවා. එම දරුවන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට මනා පසුතලයක් අප විසින් නිර්මාණය කර දී තිබෙනවා. ඇත්තටම මේ දරුවන් මට හරි ආදරෙයි. මං ඒ අය සමඟ ඉතා සමීපව කටයුතු කරන නිසා මම පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ තරමටම මට සමීපයි ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා ගන්නා වූ සෑම කටයුත්තකටම මනාව දායක වීමට මට හැකියාවක් පවතිතනවා. සමහර ඔටිසම් දරුවන් රංගනයට නර්තනයට සම්මානවලට පවා පාත්‍ර වී තිබෙනවා. මම ඔටිසම් දරුවන් සමඟ එක් වී ඇලඩින් නැමැති නාට්‍යය රඟ දැක්වුවා. ඔටිසම් දරුවන්ගේ කලා කෞශල්‍යයන් ලොවට හඬ ගා කියන්නට මෙම ආයතනයේ මාව තෝරාගැනීම ගැන මම එයට ස්තූතිවන්ත වෙනවා. ලංකාව වගේ නෙමෙයි රැකියා කිහිපයක් කිරීමට අපට හැකියාව තිබෙනවා මම සරණාගත කඳුරුවලත් රැකියාව කරනවා. විශේෂයෙන්ම සරණාගත කඳවුරුවල සිටින පිරිසට නිසි මාර්ග උපදේශකයන් ලබාදීම තමයි මම එහිදී කරන කටයුත්ත ඒ අයට විවිධ අවශ්‍යතා මත සහසබඳතා ගොඩනඟා දෙනවා.

 

ඔබ හොඳ සමාජ සේවිකාවක් වගෙයි?

මම කුඩා කල සිටම සමාජ සේවා කටයුතු වලට කැමැත්තක් දක්වපු කෙනෙක්. මම කතෝලික කාන්තාවක් දේවස්ථානය පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් සමඟ සම්බන්ධ වී මම අසරණ දරුවන්ට නිතරම පිහිට වන්නට උත්සාහ කළ කෙනෙක්. වර්තමාන මම ඒ කටයුත්තට අත ගසා සිටිනවා. කොරෝනා සමයත් සමඟ ශි‍්‍ර ලංකාවේ දුෂ්කර පළාත්වල වෙසෙන අසරණ දරුවන්ට මගේම පෞද්ගලික මුදලින් යම් යම් උපකාර කරන්නට මම පටන් ගත්තා. ලංකාවේ කන්‍යාරාමයේ කන්‍යා සොහොයුරින් තමයි ඒ අසරණ දරුවන් සිටින ස්ථාන මට සොයා දෙන්නේ. මම මෙවර ලංකාවට පැමිණියේ ඒ කටයුත්ත සඳහායි.

 

ඇමරිකාවේ පදිංචියට ගිය පසු ලංකාවට පැමිණි ප්‍රථම වතාව මෙය ද?

නැහැ. මීට පෙර කීප වතාවක්ම ලංකාවට පැමිණියා. එහෙත් ඒ බව මම කාටවත් දැනෙන්නට සැලැස්සුවේ නැහැ. හේතුව මට අවශ්‍ය වුණේ මම සිදුකරන සමාජ සේවා කටයුතුවල පූර්ණකාලීනව නියැළෙන්න. සීමිත කාලසීමාවකට ලංකාවට පැමිණි නිසා කලාකරුවන් සමඟ සබඳතා පවත්වන්නට කාලවේලාවක් මට ලැබුණේ නැහැ. ශිල්පීන් කිහිප දෙනෙක් පමණයි මට මුණගැසුණේ. මගේ ඉලක්කය වුණේ දරුවන්ට උදව් කිරීම නිසා ඒ වෙනුවෙන් මම පුර්ණ කාලය කැප කළා.

 

ඔබ රංගන ශිල්පිනියක් ලංකාවට පැමිණි අවස්ථාවක නැවත වරක් රංගනයේ යෙදෙන්නට කැමැත්තක් නැද්ද?

මම දැන් වෘත්තිය සමාජ සේවිකාවක් මට අවශ්‍ය සමාජ සේවිකාවක් ලෙස මගේ ගමන ඉදිරියට ගෙන යන්න. නමුත් මං අදත් සිනමාවට ආදරෙයි. මම සිනමා ශිල්පිනියක් නිසා තමයි අද මට මේ බොහෝ දේ ලැබුණේ. ලොස් ඇන්ජලිස් රංගන පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණේ මම සිනමා ශිල්පිනයක් වූ නිසයි අද මගේ වෘත්තිය වෙනස් වුණත් මං හැමදාම සිනමාවට ආදරෙයි.

ලංකාවේ ටික කාලයක් ගත කරන්න කැමැති නැද්ද?

මෙවර ලංකාව දාලා යන්න ටිකක් දුකයි. ඒ නිසා මම දවස් 14ක් ලංකාවේ වැඩියෙන් ගත කළා. නමුත් මගේ රැකියාව නිසා මට ආපහු යන්න සිදුවෙනවා.

 

ඇමෙරිකාවේ වෙසෙන අපේ කලාකරුවන් මුණ ගැහුණේ නැද්ද?

මුණගැසුණා. මේ මොහොතේ විශේෂයෙන් මතක් කළ යුතුයි ශිරාණි කෞශල්‍යා මට බෙහෙවින් උදව් කළ කෙනෙක්. ඩිලානි අබේවර්ධන, ලින්ටන් සේමගේ, සොමී රත්නායක. ඒ අයත් මට මුණ ගැසුණා. අපි හැමෝම කාර්ය බහුලයි. ඒ නිසා නිරන්තරයෙන් මුණ ගැසීමට අවස්ථාවක් නැහැ.

 

අතීතයට පොඩ්ඩක් යමුද? කොහොමද ඔබේ පාසල් සමය?

මම ඉගෙන ගත්තේ සඳලංකාව සෙන්ට්‍රල් එකේ. මගේ සැමියා එරික් සඳලංකාව සෙන්ට්‍රල් එකේ. මට වඩා ඉහළ පන්තිවල ඉගෙන ගත්තු කෙනෙක්. පාසැලේ මම දක්ෂ ක්‍රීඩිකාවක්. මැරතන් දුවලා සමස්ත ලංකා ක්‍රීඩා තරඟවලින් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා. එපමණක් නොවේ මම රංගනයටත් දක්ෂයි. පාසල් වේදිකා නාට්‍යයක රඟපාලා සමස්ත ලංකා නාට්‍ය තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තා.

 

ඔබ නිළියක් වුණේ සරසවිය පත්තරේ පළ වූ දැන්වීමක් නිසා නේද?

මම නිළියක් වුණේ සරසවිය පත්තරේ නිසා. සරසවිය පත්තරේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතාගේ ලිපිනය පළ වී තිබුණා මගේ යහළුවෝ ඒ ලිපිනයට මගේ පින්තූරයක් යවා තිබුණා. එය දුටු කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතා ඔහුගේ ජනක සහ මංජු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තෝරා ගත්තා. එයයි මගේ කලා දිවියේ ඇරැඹුම.

ගෝතමී කවදත් මිත්‍රශීලි ගති පැවතුම් ඇති කාන්තාවකි. සමාජශීලී කාන්තාවක් වූ ඇය සිය වර්තාමන වෘත්තිය තෝරා ගෙන ඇත්තේ ද ඇගේ සමාජශීලි ජීවන රටාවට අනුබද්ධිතවය. දුකේදී පිහිටි වන උණුවන හදවතක් ඇති ඇගේ හදවත ද අන් අයගේ කඳුළ සුසුම ඉදිරියේ සංවේදී වෙයි. සිය වෘත්තිය සමාජ මෙහෙවරක් කරගත් ගෝතමී පතිරාජ ලොස්ඇන්ජලිස් නුවර මේ ගෙවන ජීවිතය රංගනයට එහා ගොස් මිනිස් ජීවිතයේ ඇතුළාන්තය විනිවිද දකින වෘත්තියක් නොවන්නේ ද?

 

 

සේයාරූ - දයාන් විතාරණ