ඔහුව සම්පූර්ණයෙන්ම රටට භාර දුන්නු මමත් උණුහුමේ දෙවඟනක්

-විශාරද ප්‍රදීපා ධර්මදාස-
පෙබරවාරි 17, 2022

 

ඇය පිළිබඳව ඔබට හඳුන්වාදීමට මා මේ ඉඩකඩ සීමිත පත්තර පිටුව තුළ වචන නාස්ති කළ යුතුද? ඇයව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතුද? අවශ්‍ය නැත. ප්‍රදීපා ධර්මදාස නම් ප්‍රශස්ත ගායිකාව පිළිබඳව සහ ඇගේ ගීත නොඇසූ කෙනෙකු වෙත්ද? මේ කතා කරන්නට යන්නේ ඇය ගැන නොව ඇගේ "උණුහුමේ දෙවඟන" ගැනය. නවරත්න ගමගේ සංගීතවත් කළ විශාරද ප්‍රදීපා ධර්මදාස ගැයූ නවතම ගීතය "උණුහුමේ දෙවඟන" නමින් එළිදක්වා ඇත. ගැහැනිය පිළිබඳව කළ හැකි ඉතා දීර්ඝ විස්තරයක් කෙටි වචන පෙළකින් සප්ත ස්වරය සමඟ මුසුව නිම වුණු මේ ගීතය පිළිබඳව සහ ප්‍රදීපා ධර්මදාස "උණුහුමේ දෙවඟන" දකින ආකාරය පිළිබඳව විමසන්නට අප අමතක කළේ නැත.

"උණුහුමේ දෙවඟන" ඔබට දැනුණේ කොහොමද?

අපේ සමාජයේ ජීවත් වන හැම ගැහැනියක්ම පරිත්‍යාගශීලියි. මේ ගීතයේ ඒ ගැහැනියව දෙවඟනක් කරලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ බහුතරයක් පුරුෂාධිපත්‍යය සහිත සමාජයක. සාමාන්‍යයෙන් පවුලේ ආර්ථික බර දරන්නේ පුරුෂයා. නමුත් අද වනවිට එය වෙනස් වෙලා තියෙනවා. කාන්තාව කොයිතරම් කාර්යබහුල වුණත් පවුල් ජීවිතය තුළදී කාන්තාවගේ ඇය අපමණ පරිත්‍යාගශීලීයි. තමන්ගෙ තියෙන ප්‍රශ්න වහගෙන අන් අයව සතුටු කරන්න ඇය නිතරම උත්සාහ කරනවා. මේ "උණුහුමේ දෙවඟන" ගීතය රචනා කළේ සුගත් ෆොන්සේකා, ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් වස්තු විෂය කරගෙන. පුරුෂයෙක් තමන්ට මොනතරම් ප්‍රශ්න තිබුණත් ගෙදර ගිහිල්ලා ඒක කියන්නේ බිරිඳට. බිරිඳ තමන්ට කොයිතරම් ගැටලු තිබුණත් ඒවා අමතක කරලා ස්වාමියාට සවන් දෙනවා. ඒක නෙමෙයිද ගැහැනියගේ පරිත්‍යාගශීලීත්වය? උණුහුමේ දෙවඟන කියන්නේ අන්න එවන් ගැහැනුන්ට ගැයුණු ගීතයක්.

 

ඔබ කියන පරිදි "උණුහුමේ දෙවඟන" ඉන්නේ කුටුම්භ තුළ පමණද?

කිසිසේත්ම නැහැ. අබිසරු ලියක් එතැනට වැටෙන්නේ ආර්ථික ගැටලු සමඟ එයින් පීඩිතවයි. මම අසා තියෙන පරිදි කොයි තරම් මානසිකව කායිකව පීඩා වින්දත් ඇය සොයා එන පුරුෂයා සමඟ යහන් ගත වෙන්න පෙර ඇය ඔහුට තියෙන ප්‍රශ්නවලටත් සවන් දෙනවා. මේ සමස්ත ගැහැනුකම කැටි කරගෙන උණුහුමේ දෙවඟන ගීතය සුගත් ෆොන්සේකා ලියලා තියෙන්නේ.

 

මෙවැනි ගීතයක් ඔබ තෝරා ගත්තේ ඇයි?

මම ගීත තෝරාගැනීමේදී සමාජීය ප්‍රශ්න ගැටලු ගැන උනන්දුවන ගායන ශිල්පිනියක්. මගේ ගීත ගත්තොත් එයින් බහුතරයක් කාන්තාවගේ පාර්ශ්වයෙන් ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. මේ ගීතය තෝරා ගන්නත් එය හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා.

 

රටේ වගකිවයුතු පුරවැසියකුගේ (ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා) බිරිඳ ලෙස ඔබත් එවැනි පරිත්‍යාගශීලී කාන්තාවක්?

මගේ ජීවිතේ ලොකුම පරිත්‍යාගය මම කරලා තියෙන්නෙ ඔහුට. මම මගේ ස්වාමියාව සම්පූර්ණයෙන්ම ගෙදරින් නිදහස් කරලා මුළු රටටම භාරදීලා තියෙන්නේ. කිසිම වෙලාවක මගේ පෞද්ගලික ප්‍රශ්න ගැටලු කියලා ඔහුට කරදර නොදී ඔහුගේ ප්‍රශ්න ගැටලුවලට සවන්දීලා සගයෝගය ලබාදෙනවා. දේශපාලනයට සම්බන්ධ ස්වාමියෙක් සමග සමඟ විවාහ වුණා ම කාර්යබහුල වන නිසා මම මගේ රංගන ජීවිතයටත් සමුදුන්නා. ඒ වගේම ඔහුට කිසිම බරක් නොදී දරුවන් දෙදෙනාව ඉතාම හොඳට හැදුවා. මට අවශ්‍ය වුණේ කිසිම කෙනෙක් ඇඟිල්ලක්වත් දිගු නොකරන පරිදි දරුවො දෙදෙනාව හදන්න. ඒ වගේම ඔහුගේ වෘත්තීය වැඩවලට ඒ තරම් සම්බන්ධ නොවී සීමා මායිම් සමඟ ජීවත් වෙන්නේ. මේ ගීතය මට වඩා හොඳීන් දැනෙන්නේ මේ ගීතයේ කියන කුටුම්භගත කාන්තාව ඉන්න තැන තමයි මමත් ඉන්නේ. මම නිතරම ඔහුට සවන් දෙනවා මිසක් මගේ ප්‍රශ්න ඔහුට කියලා ඔහුගේ ඔළුව අවුල් කරන්නේ නැහැ. මගේ ස්වාමියා තමන් කරන කාර්ය දේවකාරිය වගේ කරන කෙනෙක්. ඔහුගේ අවංකභාවය මම හැමදාම දුටුවා. ඒ නිසාම මම ඔහුට කිසිම අයුරකින් මානසිකව කරදරකාරී වධක භාර්යයාවක් වෙන්න ගියේ නැහැ.

 

නවරත්න ගමගේ නම් සංගීතඥයා සහ ඔහුගේ තනු නිර්මාණ ඔබට නුහුරු නුපුරුදු නැහැ?

නවරත්න සමඟ මගේ තියෙන සහෝදරාත්මක බැඳීම වසර ගණනාවක් පරණයි. අපි "නවා" කියලා ඔහුට අමතන්නේ. 1990දී මම සිංහබාහු නාට්‍යයේ සිංහසීවලියට රඟපාන විට නවා පසුබිම් ගායකයෙක් ලෙස කටයුතු කළේ. ඒ ගොඩනඟාගත්ත සහෝදර බැඳීම, ලෙන්ගතුකම අදටත් ඒ විදිහටම තියෙනවා. රෝහණ වීරසිංහයන්ට පසුව මගේ ගීත තනු වැඩිපුරම නිර්මාණය කළේ නවරත්න ගමගේ. මේ උණුහුමේ දෙවඟන ගීතයේ තනුව නිර්මාණය කරද්දි නවරත්න ගමගේ පර්යේෂණාත්මක අත්හදා බැලීමක් කළාද කියලත් මට හිතෙනවා. මොකද ඉතාම සංවේදී, හද කම්පනය කරන ස්වර මාලාවක් ඔහු මේ සඳහා යොදාගෙන තියෙනවා. මේ ගීතයට නවා පිරිමි හඬවල් කීපයකුත් සුසංයෝග කරලා තියෙනවා. ඒ සුසංයෝග සමඟ මට දැනුණා කාන්තාවගේ පසුපසින් සිටින පුරුෂයාගේ ඡායාව. නවා නිර්මාණය කරපු අපූරු තනුවක් විදිහට මට මෙය හඳුන්වන්න පුළුවන්.

ලංකාවේ සාහිත්‍ය කලාව යනාදියේ වැඩිමනක් කතා කරන්නේ ගැහැනිය ගැන, ඔවුන්ගේ ප්‍රශ්න ගැන. නමුත් සමාජයේ බහුතරයක් අගති‍යට පත් වන්නේත් ගැහැනිය. කොතැනද වැරදිලා තියෙන්නේ?

සමාජය දිහා සංවේදීව බලන කලා ශිල්පිනියක් ලෙස මමත් ඔබේ තර්කය පිළිගන්නවා. මමත් වැඩිමනක් ගීත ගැයුවේ ගැහැනියට. සමාජය ගැහැනිය ගැන කොතරම් කතා කළත් වැඩිමනක් අසාධාරණකම් වෙන්නේත් ගැහැනියට. සමාජයේ ඉස්සර ඉඳන් පවතින අගතිගාමී දේවල් බැහැර කරලා කලාවෙන් අපිට පුළුවන් නම් මිනිසුන්ගේ බුද්ධිය වර්ධනය කරන්න මම හිතනවා එය තමයි විය යුත්තේ කියලා.

 

මේ ගීතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මේ ගීතය අපි යූටියුබ් නාළිකාවකින් මුදා හැරියේ. මම ළඟින්ම ඇසුරු කරන හිතවතුන්, මගේ රසිකයන් බහුතරය මේ ගීතය අහලා කිව්වේ මම කාලෙකට පස්සේ වෙනස් ගීතයක් ගායනා කරලා තියෙන බව. මේ ගීතයේ රූපරචනාවේ ඇඳුම් පැලඳුම්වලින් පවා වෙනසක් කරලා තියෙනවා. ඒ වෙනස ඔවුන් ඉතා හොඳීන් වැළඳගත් බව පෙනෙනවා.

 

මේ දිනවල කෙරෙන ඔබේ අනෙක් කලා කටයුතු ගැන කතා කළොත්?

මම ගීත කීපයක් පටිගත කරලා තියෙනවා. කොච්චර හොඳට ගායනා කළත් සමහර ගීත ගැන මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවතත් ඒ ගීතවල වැඩකටයුතු කරනවා. ඒ වගේම මගේම ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. 2012 "හැන්දෑවට කලින්" ප්‍රසංගයෙන් පසුව මගේ ප්‍රසංගයක් කරන්න බැරි වුණා. ප්‍රසංගයක් කරන්න හිටපු අවුරුද්දේ කොරෝනා වසංගතය ආවා. මේ වසංගත තත්ත්වය ටිකක් මඟහැරුණාම ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

 

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න