රචකයකු හිටියෙ නැති නිසා සින්දුවත් මම ලිව්වා

නව පරපුරේ සංගීත නිර්මාණවේදී දර්ශන වික්‍රමතුංග
පෙබරවාරි 17, 2022

මිනිස්සුන්ගෙ මනසට දැනෙන සිත නිවන ගීත තමයි මේ මොහොතේ අවශ්‍ය වෙන්නෙ.

 

මටත් තිබුණා ප්‍රේමයක්.
තවම ඉඳහිට මතක අවුලන ප්‍රේමයක්...

චන්දන ලියනාරච්චි ගයන එම ගීයේ පද රසික ඩී. දුමින්දගෙ.

ඒ පද වැලට සංගීතයෙන් ජීවය දුන්නෙ අද අපේ කතා නායකයා. සුභාවිත ගීත කලාව පිළිබඳ කතාබහ කිරීමේදී නිරන්තරයෙන් මතුවන නාමයන් කිහිපයක් තියෙනවා. ඉන් බොහෝදෙනෙක් ප්‍රවීණයෝ ඒ අතරින් සුභාවිත ගීතය නියෝජනය කරන නව පරපුරේ නිර්මාණකරුවන් නැත්තේම නොවේ. දර්ශන වික්‍රමතුංගගේ නම රැඳෙන්නේ එකී කුලකයේ. ඔහු නිර්මාණය කළ ගීත රැසක් තිබෙනවා. ඒවා ඉහළ රසාස්වාදයකින් යුක්තයි. මේ හේතුවෙන් ප්‍රවීණ හෝ නව පරපුරේ වේවා සුභාවිත ගීත ගයන බොහෝ පිරිසක් දර්ශන ලවා ගීතයක් නිර්මාණය කරගෙන තිබීම විශේෂත්වයකි. එලෙස තැනූ ගීතවලට ලැබුණු සම්මාන සංඛ්‍යාවද ඉහළ අගයක් ගන්නවා. එවන්වූ නිර්මාණකරුවෙකු සමඟ අප මෙලෙස සංවාදයක නියැළුණා.

දර්ශන ඔබ කොහොමද ප්‍රථමයෙන්ම ගීත නිර්මාණයට පිවිසෙන්නේ. අපි ඒ අතීතයත් පොඩ්ඩක් කතා කරමු?

සංගීතයට දක්ෂතාවයක් තියෙනවා කියලා මම දැනගෙන හිටියා. පොඩි පොඩි සිංදු නිර්මාණය කළා. මේ අතරතුරදී මට දැනගන්නට ලැබෙනවා සිංග්ලංකා ආයතනය මගින් නිෂ්පාදනය කරන විශාරද නන්දා මාලනියන්ගේ කැසට්පටයකට අලුත් සංගීත නිර්මාණකරුවන්ටත් අවස්ථාව දෙනවා කියලා. මටත් හිතුණා ඒකට ගීතයක් යවන්න. ගිරි සිරසින් සඳ පායා කියලා ගීතයක් පටිගත කරලා යැව්වා. ඒක තොරගත්තා කැසට් එකට. ඇත්තටම ඒ කාලේ මම ගීත රචකයන්ව දැනගෙන හිටියේ නැහැ. මමම තමයි ඒ සින්දුව ලිව්වේත්.

 

ඒ කියන්නෙ ගීත ලිවීමේ හැකියාවකුත් තියෙනවා?

ලොකු හැකියාවක් නැහැ. වචනයක් දෙකක් අමුණගන්න පුළුවන්.

 

ඔබ දිගින් දිගටම සංගීත සංධ්වනියක් කරන්නෙ ඔය කාලේ නේද?

ඔව්. ඒකෙ නම ජීවිතය. ඒත් එක්කම වගේ තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවේ ජයග්‍රාකයින්ට ගීත නිර්මාණය කරන්නටත් ලැබුණා. ගීත රචක රවී සිරිවර්ධන වගේ අය එකතුවෙලා හොඳ ගීත නිර්මාණය කරන්නට පටන් ගත්තා. ජීවිතය සංධ්වනිය වෙනුවෙන් හොඳම හා ප්‍රශස්තම සංගීත අධ්‍යක්ෂ හැටියට මට යෞවන සම්මාන ලැබුණා. ගොඩක් දිරිමත් වුණා ඒකත් එක්ක. ඊට පසුව දිගින් දිගටම ගීත නිර්මාණය කළා. ප්‍රවීණ සහ නවක අයට ගීත හැදුවා. එහෙම හදපු ගීත රැසකට සම්මානත් හිමි වුණා.

 

හිතේ හැංගී හැංගී

ඔබ තවම ඉන්නව

නෙතේ කඳුළැලි තියන්

හිත හුස්ම වැටෙනවා.

ගායනය වික්ටර් රත්නායක

පද තරින්දි ගුණවර්ධන.

දර්ශන සංගීතවත් කළ මේ ගීය ඔබත් රසවිඳලා ඇති.

 

ඔබ නියෝජනය කරන්නේ සුභාවිත ගීතය. එහෙම නේද?

එහෙම තමයි විශ්වාස කරන්නෙ හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න නිතරම උත්සාහ කරනවා. මිනිස්සුන්ගෙ මනසට දැනෙන සිත නිවන ගීත තමයි මේ මොහොතේ අවශ්‍ය වෙන්නෙ.

 

නව පරපුරේ වෙනත් සංගීත නිර්මාණකරුවන්ට සාපේක්ෂව ඔබට බොහෝ ප්‍රවීණ අයට ගීත නිර්මාණය කරන්න ලැබුණා?

ඇත්තටම ඒක වුණේ මෙහෙමයි. මම ගීත නිර්මාණ කරපු ගායක ගායිකාවන් මාව රෙකමන්ඩ් කළා අනිත් අයටත්. ඒ රෙකමදාරුව මත ඒ නිසා මට එක දිගටම ආරාධනා ආවා. විවිධ පරාසයන් යුතු පිරිසට ගීත නිර්මාණයකට ලැබුණා.ඒ වගේම යූ ටියුබ් එක ඔස්සේ මගෙ ගීත ඉතා විශාල සංඛ්‍යාවක් රසවින්දා. වෙනම රසිකයයෝ පිරිසකුත් හැදුණා.

 

ශෂිකා නිසංසලා ගයන මේ ගීතයේ සංගීත නිර්මාණය දර්ශනගේ.

නැළැවිලි ගීයක් කියන්න

අම්මේ මට කියා දෙන්න

පුංචිම නංගිට උපන්න

මද්දුම දෝණිට ගයන්න

පද බණ්ඩාර ඇහැලියගොඩ

 

නවක ගායකයෙකුට ගීයක්

නිර්මාණය කරන්න පෙර ඔබ සලකා බලන කාරණා මොනවද?

මං මුලින්ම බලන්නේ ඒ ගායකයා හෝ ගායිකාවගේ ගීත ගැයීමේ පරාසය කොහොමද කියලා. ඒ ඔස්සේ තමයි ගීත නිර්මාණය කරන්නෙ. අනික ඔහුට ගීත කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ.

 

ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ක්ෂේත්‍රයට ඔබ දැක්වූ දායකත්වය ගැන කතාකළොත්?

මාලතී මලක්, අදුරු සෙවණැලි වගේ ටෙලි නාට්‍ය සඳහා මම සංගීත අධ්‍යක්ෂණ දායකත්වය ලබාදුන්නා. චිත්‍රපට පැත්තෙන් මට වැඩියමක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා. මම මුලින්ම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණේ ටවුමේ ඉස්කෝලේ චිත්‍රපටයට. ඒ සඳහා මාව නිර්දේශ කළේ ශශිකා නිසංසලා. ඇය තමයි එහි ගායනයට තෝරගෙන තිබුණේ. එතකොට ඇය අහලා තිබුණා මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ කවුද කියලා. එතකොට අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න කියලා තිබුණේ තාමත් තෝරගෙන නැහැ කියලා. ඒකට පිළිතුරු විදිහටයි ශෂිකා කියලා තියෙන්නේ මාව ගන්න කියලා. ඊට පසු සුනිල් ප්‍රේමරත්නගේ ෆිල්ම්ස් වලට දිගටම මාව ගත්තා. චිත්‍රපටය තුනක් විතර සංගීත අධ්‍යක්ෂණය කළා. ඔහුගේ අලුත් සිනමාපටයෙත් සංගීත අධ්‍යක්ෂණය කරන්නෙ මම.

 

මොනවද ඔබේ පවුලේ විස්තර?

මම විවාහකයි.මගෙ බිරිය සමාධි සෙනරත්. මට දුවලා තුන්දෙනෙක් ඉන්නවා.

 

 

 

සේයාරූ - දයාන් විතාරණ