මොනාලිසා ලැබුණේ සරසවිය නිසයි

මධුශානි වික්‍රමසිංහ
පෙබරවාරි 17, 2022

 

මේ මස 18 වැනිදා සිට එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටය වූ මොනාලිසා තිරගතවීමට නියමිතය. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන රංගන ශිල්පිනිය වන්නෙ මධුශානි වික්‍රමසිංහයි. සිනමා නිළියක ලෙස නිර්මාණ තුළින් ඔබ හමුවට ආ ඇය ක්ෂේත්‍රයේ රැඳි සිටීමට ප්‍රිය කරන්නේද චිත්‍රපට නිළියක ලෙසටය.

 

 මධුෂානි මෝනාලිසා ඔබේ කීවැනි සිනමාපටයද?

මගේ හතරවැනි චිත්‍රපටය. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මට මොනාලිසා චිත්‍රපටය සඳහා අවස්ථාව ලැබුණේ සරසවිය පත්තරේ ගිය ආටිකල් එකක් නිසා. ඒ ඔස්සේ තමයි එරංග සේනාරත්න අධ්‍යක්ෂවරයා මාව දැකලා මේ සිනමාපටයට කතාකළේ. ඒ වෙනුවෙන් මුලින්ම සරසවිය ඔයාලට මම ස්තූති කරනවා.

 

 මොනාලිසා චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන පවසන්න?

චරිතයේ නම කල්පනා. අසම්මත ප්‍රේමයක පැටළුණු කෙනෙක්. සමාජයේ පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් කියලා වැඩිදුර හඳුන්වා දෙන්න පුළුවන්.

 

 ඔබ වඩා ප්‍රියකරන්නේ සිනමාව පැත්තෙන් පමණක් නිර්මාණවලට දායකවෙන්නද?

සිනමා පමණක් නෙවෙයි, වේදිකා නිර්මාණවලටත් දායක වන්න මගේ වැඩි කැමැත්තක් තියෙනවා.

 

 මේ දවස්වල වේදිකා නාට්‍යයක රඟපානවද?

ඔව්. සරත් කොතලාවල අයියාගේ පාරාවෝ සටන් වදී වේදිකා නාට්‍යයේ රඟපානවා.

 

 ඇයි ටෙලි නාට්‍යවලට රංගන දායකත්වය ලබා දෙන්නැත්තෙ?

එහෙම ටෙලි නාට්‍යවලට අකමැත්තක් හෝ රඟනොපානවා කියන මතයක මම නැහැ. මට රඟපාන්න දෙයක් තියෙන චරිතයක් ටෙලි නාට්‍ය තුළින් මට ලැබුණේ නැහැ. නමුත් ටෙලි නාට්‍යවලට ආරාධනා නිතරම වගේ එනවා. නමුත් මට එහෙම දැනෙන චරිතයක් ලැබුණේ නැති හින්දායි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැත්තෙ.

 

සිනමා නිළියක් ලෙසට හඳුන්වා දෙනවාටද ඔබ කැමති?

ඔව්. සිනමා නිළියක් විදිහට මා හඳුන්වා දෙනවා නම් තමයි මම කැමති.

 

 කොහොමද ඔබ රඟපාන්න පිවිසෙන්නේ?

දෙදහස් දහහත වසරේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමා පාඨමාලාවක් මම හදාරනවා. එතැනින් ලැබුණු අවස්ථා ඔස්සේ තමයි මම රඟපාන්න පිවිසෙන්නේ.

 

මොනාලිසා චිත්‍රපටය කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් ගැනයි මම ඊළඟට අහන්නෙ?

ඇත්තටම මේ චිත්‍රපටය රූපගත කළේ කොවිඩ් කාලයේ. ඉතින් ඒක නිසා අපි බොහොම පරිස්සමින් කල්පනාවෙන් ඉතා ඉක්මනින්ම චිත්‍රපටය වැඩ කටයුතු නිම කරන්නට සිදු වුණා ඒ වගේම ටයිට් ෂෙඩුල් එකක වැඩ කරපු නිසාම හැමදාම උදෑසන පැයක් විතර පහු වෙලා තමයි මම ඇහැරුණේ එලාම් එක වැදුණට මට ඇහැරුණේ නෑ. අම්මා ඇවිත් කතාකළාම තමයි ඇහැරුණේ. ඒත් වෙලාවට ලොකේෂන් ගියා. අපි එක දිගට මහන්සි වෙලා ඒ වැඩේ කරපු නිසා ලැබෙන හැම දවසක්ම මට අමතක නොවුණු අත්දැකීම් තිබෙන දවසක් වුණා.

 

 මේ වෙනවිට මධුෂානි පෙම්වතියක්ද, ඒ ගැන කතා කරන්න පුළුවන්ද?

අනිවාර්යනේම කතා කරන්න පුළුවන්. මම පෙම්වතියක් නෙමෙයි.

 

 ආදරේ කියන මාතෘකාව ඉස්සරහ ඔබ මොන වගේ චරිතයක්ද?

මම ආදරේ පිළිබඳව නිදහස්ව සිතන කෙනෙක්. ආදරේ ඉස්සරහ මම ටතඥයඪඡතඥ චරිතයක් කියලා කියන්න පුළුවන්.

 

 ක්ෂේත්‍රයේ කෙනෙකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් මොකද කරන්නේ?

ඇත්තටම විවාහ යෝජනා නම් නිතරම එනවා. මම ක්ෂේත්‍රයේ කෙනෙක් විවාහ කරගන්නවා හෝ නොගන්නවා කියලා මතයක නැහැ. නමුත් කුමන ක්ෂේත්‍රයේ හෝ වේවා ඒ අය සාමාන්‍ය ජීවිතය තුළ මොනවගේ චරිතයක්ද කියලා මම හොයලා බලලා ගැළපෙන හොඳ කෙනෙක් නම් විවාහ වෙනවා.

 

ඉදිරියේදී තිරගතවන්නට ඇති ඔබේ චිත්‍රපටි මොනවාද?

ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයාගේ එදත් දිනුම් අදත් දිනුම් චිත්‍රපටය තියෙනවා. ඔහු තමයි මාව සිනමාවට හඳුන්වා දුන්නේ. ඒ ඔහුගේ තිත්ත ඇත්ත සිනමාපටය ඔස්සේ. ප්‍රීතිරාජ් මහත්මයාවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තුසිත මනම්පේරි අයියාගේ හිතුමතේ ජීවිතේ චිත්‍රපටයත් තිරගත වෙන්නට නියමිතයි.

 

සේයාරුව - තිලක් පෙරේරා