මට මේ ක්ෂේත්‍රයේ පොරවල් නෑ

ජංගි හොරා කැමරා අධ්‍යක්ෂ විශ්වා බාලසූරිය
පෙබරවාරි 10, 2022

ඇක්ෂන් කට් කියන අය අතර ඉපදෙන ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයට හා පුරා කියා අත්පොත් තබනුයේ තම බාප්පා වූ ලලිත් පේ‍්‍රමතිලක යන් නෙගට්ව් රීල් එකක් දමා දුන් කැමරාවකට ඇස තබමිනි. එහිදී ඔහු දකින ලස්සන ලෝකය සැබෑවක් කරගන්නට සිතට ධෛර්ය වඩන මේ පුංචි කොලු ගැටයා තම මව වූ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කරන සරෝජා චිත්‍රපටයට එක් වනුයේ එම චිත්‍රපටයේ ටී බෝයිගේ සහායකයෙකු ලෙසිනි. දවසේ පඩිය රුපියල් 125 ක් ලබමින් සරෝජා චිත්‍රපටයේ වැඩ කළ ඔහු සරෝජා චිත්‍රපටයේ වැඩ අවසන් කර අනුරාධපුරයේ සිට කොළඹ පැමිණෙන්නේ ද ත්‍රීවිලරයෙනි. චිත්‍රපටයේ ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කළ දී.ග. සෝමපාලයන් තනිව කොළඹ යන මේ කොලු ගැටයාගේ තනියට ඔහුත් සමඟ එකට එන්නේ මේ කොලු ගැටයාට ක්ෂේත්‍රය ගැන තම අත්දැකීම් ගැන දීර්ඝ කතාවක් පවසමිනි. ඒ කතාව තුළ ක්ෂේත්‍රය ගැන නොදත් බොහෝ දේ තමන් සතු කරගන්නා මොහු පසු කලෙක තම මව විසින් නිෂ්පාදනය කරන ‘සිරි රජ සිරි’ චිත්‍රපටයේ තෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරයි. එහිදී 35 mm කැමරාවට ඇස තියන්නට අවස්ථාවක් උදා වනුයේ ඔහුගේ පූරුවේ පිනකටය. එදා ජීවිතයේ පළමු වතාවට සිනමා කැමරාවකට ඇස තැබූ ඔහුට වෙනම ලෝකයක් දක්නට ලැබිණි. ඒ ලෝකයට කැමරාවට පණමෙන් ආදරය කළ ඔහු තමන්ගේ ආශාව ඉෂ්ට කරගනු ලැබුවේ දේශීය මෙන්ම විදේශීය සම්මානයට පාත්‍රවුණු චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයකු වෙමිනි. නමින් ඔහු විශ්වා බාලසුරියයි. මේ දිනවල හවුස්ෆුල් ලේබලය සහිතව තිරගත වන ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ජංගි හොරා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ද වනුයේ විශ්වා බාලසුරියයි. කැමරා අධ්‍යක්ෂණය තුළින් දෙස් විදෙස් කීර්තිය අත්කරගත් විශ්වා සමඟ කතාබස් කරමු.

මේ දවස් වල අලුත් තොරතුරු කොහොමද?

තිංකින් මන්කීස් නමින් මම ගිය වසරේ දෙසැම්බර් මාසයේ මගේම කියලා ප්‍රඩක්ෂන් හවුස් එකක් පටන් ගත්තා. කැමරා අධ්‍යක්ෂණය කියන භූමිකාවෙන් මම ටිකක් ඈත් වෙලා ඉන්නේ. චිත්‍රපට අධ්‍යක්ෂණය වෙළෙඳ දැන්වීම්, වාර්තා වැඩසටහන්, මියුසික් වීඩියෝ මේ වගේ දේවල් අධ්‍යක්ෂණය කිරීමට තමයි මගේ දැන් වැඩි නැඹුරුවක් තියෙන්නේ.

ඇයි කැමරා අධ්‍යක්ෂණයට විරාමයක් තැබුවේ?

කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ කිරීමේ දී මට කවුරු හරි නිර්මාණයක් දුන්නොත් විතරයි කරන්න පුළුවන්. ඒත් මට ඊට වඩා දෙයක් මේ ක්ෂේත්‍රය තුළ කරන්න පුළුවන් නිසා තමයි මම අධ්‍යක්ෂණයට ප්‍රමුඛතාව දෙන්න අදහස් කළේ.

ඔබ දැන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්?

ඔව්. මම ගිය අවුරුද්දේ තමයි චිත්‍රපට අධ්‍යක්ෂණයට එක් වුණේ. මගේ කතා සංකල්පයක් අනුව හරිත් වාසල පිටපත ලිව්ව ඡහුටා චිත්‍රපටයෙන් තමයි මම හා පුරා කියලා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් කල එළිබහින්නේ. ඒ චිත්‍රපටයේ ප්‍රඩක්ෂන් පටන් අරන් තිබිය දී චිත්‍රපටයේ ෂූටින් පටන් ගන්න දවස් හතරක් තියලා කොරෝනා වසංගතය පැමිණියා. ඒ නිසා එහි වැඩකටයුතු අතරමඟ නතර කළා. දැන් යළිත් එහි කටයුතු පටන්ගන්න තමයි අපේ සැලසුම.

මම පටන් ගත්ත තිංකින් මන්කීස් ප්‍රඩක්ෂන් හවුස් එකෙන් මගේ අධ්‍යක්ෂණයෙන් මේ වනවිට වාර්තා චිත්‍රපට හතරක් මියුසික් වීඩියෝ දෙකක් නිර්මාණය කළා. ඊට අමතරව දැනට චිත්‍රපටයක් කිරීම සඳහා සාකච්ඡා වෙමින් තියෙනවා.

ඔබේ සිනමා ගමනය කොයි ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ?

2002 වකවානුවේ මම නිශ්චල ඡායාරූප ශිල්පියෙක් ලෙස වැඩ කළා. පාසල් අවධියේ පටන් මම නිශ්චල ඡායාරූප කරනුයේ නියැළුණා. 2004 වසරේදී මට ඕස්ට්‍රේලියාවට යන්න අවස්ථාවක් ලැබුණා. එහිදී මම සිනමා කැමරාකරණය ගැන හැදැරීමක් සිද්ධ කළා. දීර්ඝ කාලයක් මම සිනමා කැමරාකරණය පිළිබඳ ඉගෙන ගත්තා. ප්‍රායෝගිකව කැමරා කරණයේ නියැළෙමින් ඒ වනවිට ලෝකයේ තිබුණු නවීන සිනමා කැමරා පිළිබඳ ප්‍රායෝගික වගේම න්‍යායාත්මක දැනුමක් ලැබුවා. නැවත මම ඉගෙනීම අවසන් කර 2010 වසරේ ලංකාවට ආවා. කුසපබා, සිරිපැරකුම්, තන්හා රතී රඟා චිත්‍රපටවල මම ස්ටිල් ෆොටෝග්‍රැෆර් විදියට වැඩ කළා.

දීර්ඝ කාලයක අධ්‍යයනයකින් පසු ඔබ ඔබගේම කියන නිර්මාණ කටයුත්තකට මුල පුරනවා.

මට අවශ්‍ය වෙනවා මගේම නිෂ්පාදනයක් කැමරා අධ්‍යක්ෂණයක් සමඟ කල එළි බහින්න. නවකයෙකුට නිර්මාණයක් දෙන්න ක්ෂේත්‍රයේ අය මැළි කමක් දක්වන එක සාමාන්‍ය දෙයක්. සිනමා කැමරාකරණය ඉගෙනගෙන දැනුම තිබුණ නිසා මගේම හැකියාව පෙන්වන්න චිත්‍රපටයක් කරන්න මට අවශ්‍ය වුණා. ඒ අපේක්ෂාව ඉටුකර ගන්නට මමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගත්ත උදාර අබේසුන්දර සමඟ එකතුවෙලා ඔහුගේ අධ්‍යක්ෂණයෙන් මාගේ නිෂ්පාදන දායකත්වයෙන් හා කැමරා අධ්‍යක්ෂණයෙන් 2013 වසරේ සෙවණැලි චිත්‍රපටය නිර්මාණය කළා.

ඔබ ශ්‍රී ලංකාවට ඩිජිටල් සිනමාව හඳුන්වා දෙන එක්තරා පුද්ගලයෙක්?

මම 2011 දී නැවත අමෙරිකාවට ගිහින් ඩිජිටල් සිනමාව කියන දේ ලංකාවට හඳුන්වල දෙනවා. රෙඩ් එපික් සිනමා කැමරාව ලංකාවට ගේන්න ලැබීම සතුටට කරුණක්. ඩිජිටල්කරණයට පරිවර්තනය වීමේ කොටස් කරුවකු වෙන්න මට අවස්ථාව උදා වුණ නිසාවෙන් ‘සිරිපැරකුම්, වෛෂ්ණාවි’ චිත්‍රපට දෙකේ ඩිජිටල් කරණයේ උපදේශකයෙක් ලෙසත් මට කටයුතු කරන්න සිද්ධ වුණා. මේ පරිවර්තනයේ උපදෙස් ලබාදෙන්න. 35 මිලිමීටර් වලට පුරුදු වෙලා හිටිය ලංකාව ඩිජිටල් කරණයට යොමු කරන්න පුරෝගාමී වුණේ මම. ඩොනල්ඩ් කරුණරත්න කැමරාකරණය කළ සුමිත්‍රා පීරිස් ගේ වෛෂ්ණාවී චිත්‍රපටයෙන් තමයි මේ කටයුත්තට හා පුරා කියලා මුල පිරුවේ.

ඔබ මුල්වරට කැමරා අධ්‍යක්ෂණය සිද්ධ කරන සෙවනැලි චිත්‍රපටයෙන්ම හොඳම කැමරා කරණය සඳහා අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වෙනවා?

නිව්යෝක් ජාත්‍යන්තර ලේක් චැම්පියන් සිනමා උලෙළේ දී හොඳම කැමරා අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය මට ලැබෙනවා. මේ සම්මානය විශේෂයි. ලංකාවේ ළාබාල කැමරා ශිල්පියෙකුට මේ සම්මානය මුල් වතාවට ලැබීම ලංකාවට ලැබුණු වාර්තාගත ජයග්‍රහණයක් ලෙස සනිටුහන් වෙනවා.

සරසවිය සම්මාන උළෙල ඉතිහාසයේ ලාබාලතම හොඳම කැමරා අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලැබීමට තරම් ඔබ වාසනාවන්ත වෙනවා?

ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ‘සරිගම’ චිත්‍රපටය සඳහා මට මුල්වරට 2016 වසරේ හොඳම කැමරාකරණය වෙනුවෙන් සරසවිය සම්මානය ලැබුණා. මට හිතෙන්නේ සරසවිය සම්මාන ඉතිහාසයේ ළාබාල කැමරා ශිල්පියෙක් ඒ උත්තරීතර සම්මානයෙන් පිදුම් ලැබු මුල්ම අවස්ථාව මේක කියලා.

කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසින් මේ වන විට සිනමා නිර්මාණ කීයකට ඔබ දායක වෙලා තියෙනවාද?

චිත්‍රපට දහයකට විතර. මුලින්ම මම කැමරා අධ්‍යක්ෂණය පටන් ගත්තේ සෙවණැලි චිත්‍රපටයෙන් ඊට පස්සේ තුන්පත්රෑන, සංසාරේ දඩයක්කාරයා, මේඝ, බරතලී, ජංගී හොරා, සරිගම, සුනාමි, කොරෝනා කාර්යාලය, ආශු මේ අතරින් බරතලී, කොරෝනා කාර්යාලය, ආශු ඉදිරියේ දී තිරගත වෙන්න තියෙනවා.

මේ දවස්වල ඔබගේ කැමරා අධ්‍යක්ෂණයෙන් බිහි වූ Underpants Thief  චිත්‍රපටය තිරගත වෙනවා. ඔබගේ මව විසින් නිෂ්පාදනය කරන චිත්‍රපටයකට කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වන මුල් අවස්ථාව මේක?

මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ 2015 වසරේ. නමුත් චිත්‍රපටය තිරගත වන්නේ 2021 වසරේ අවසන් භාගයේ. මගේ තාත්තා අධ්‍යක්ෂණය කළා, අම්මා නිෂ්පාදනය කළා කියල මම කවදාවත් එයාලට බල කරලා නෑ මට චිත්‍රපටයේ කැමරාකරණය දෙන්න කියලා. මම පුතා වුණා කියලා එයාල එයාලගේ නිර්මාණයක තියෙන කොලිටිය කවදාවත් නැති කරගන්න කැමති වුණේ නෑ. මම මීට පෙර එයාලගේ නිර්මාණවල ස්ටිල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට, ඩිජිටල් කන්සල්ටන් කෙනෙක් විදියට වැඩ කරලා තිබුණත් කැමරා අධ්‍යක්ෂණයට දායක වීමක් කරලා තිබුණේ නෑ. නමුත් මාව වෙනත් අය ඔවුන්ගේ නිර්මාණ සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක කරගෙන තිබුණා. මගේ තාත්තා අම්මා මට ඔවුන්ගේ නිර්මාණයක් දෙන්නේ මගේ කැමරා නිර්මාණවල ප්‍රතිඵලයත් බලලා. මට නිර්මාණ දුන්න අයගේ අදහසුත් අරන්. මට ඕන වුණේ මගේ අනන්‍යතාවයකින් විශ්වා බාලසුරිය කෙනෙක් වෙන්න මිසක්, අම්ම තාත්තාගේ පිහිටෙන් විශ්වා බාලසුරිය කෙනෙක් වෙන්න නොවෙයි. 2014 වසරේදී සෝමරත්නයන් මගෙන් ඇහුවා කොල්ලෝ අපි චිත්‍රපටයක් කරමු ද කියලා. මම කිව්වේ මගෙන් අහලා වැඩක් නෑ. මම වැඩ කරපු අයගෙන් මම ගැන අහන්න කියලා. නිර්මාණයක් කිරීමේදී පවුල් සම්බන්ධතාවය මට අදාළ නෑ. අවශ්‍ය නිර්මාණය ද ඒ දේ පවුල කියන දේ පැත්තකින් තියලා මම කැමරා අධ්‍යක්ෂවරයාගේ භූමිකාව අධ්‍යක්ෂවරයාගේ සිතැඟි පරිදි මට කළ හැකි උපරීමයෙන් ඉටු කළා.

ජංගි හොරාගෙන් ඔබ පිළිබඳ ඔවුන් තැබු විශ්වාසය අඛණ්ඩව අදටත් ගලාගෙන යනවා ද?

තවම එහෙමයි. මම කියන්නේ අදටත් මාව යම් විදියකින් හොඳ නැත්තම් ඒක මට කියන්න කියලා. ඉදිරියේදී නිර්මාණය වෙන්න තියෙන චිත්‍රපට ගැනත් ඔවුන් මා සමඟ අදටත් කතාබස් කරනවා. චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩ කිරීම තුළ අදටත් මට මගේ වටිනාකම හරියට හඳුනාගෙන හරිම ලන්සුව මට දීල තියෙන්නේ. රේණුකා බාලසුරියත් සෝමරත්න දිසානායකත් විතරයි. අනික් හැමතැනකදිම ඒක පාච්චල් කරලා තමයි මට ලැබිල තියෙන්නේ. මම කාරණා දෙකක් මත තමයි නිර්මාණයක් කරන්නේ. ආත්මීය තෘප්තිය, මුල්‍යමය තෘප්තිය කියන කාරණා දෙක මත තමයි මම නිර්මාණයක් සඳහා දායක වෙන්නේ. මම ආත්මීය තෘප්තිය වෙනුවෙන් කරපු නිර්මාණ තියනවා. ඒ වෙනුවෙන් මම ටී බෝයිටත් වඩා අඩු මුදලක් තමයි අරන් තියෙන්නේ. මේක මගේ රස්සාව වගේම ජීවනාලිය නිසාවෙන් මට එහෙම අයිතියක් තියෙනවා කියලා මම පිළිගන්නවා. හැබැයි මම කැමති නෑ නිර්මාණයක් කරන්න ගියහම තමන්ගේ හැකියාව වෙනම විධියකින් ලන්සු තියන අයත් එක්ක වැඩ කරන්න මම කැමති නෑ. සල්ලි නෑ මල්ලි නිකං කරල දෙන්න කිව්වොත් අවංකවම එහෙම කරන්න වුණත් පසුබට නොවන කෙනෙක් මම. 

ඔබේ සිනමා ගමන දෙස ආපසු හැරිල බලන කොට මොකද හිතෙන්නේ?

මම මුදල මත දුවන කෙනෙක් නොවෙයි. මනුස්සකම හැඟීම් මත දුවන කෙනෙක්. මට මේ ක්ෂේත්‍රයේ හිත් රිදීම් ඕනෙ තරම් වෙලා තියෙනවා. සමහර විට සමහරුන්ට අපි වගේ අය අභියෝගයක් වෙලා ද දන්නෙත් නෑ. මට මේ ක්ෂේත්‍රයේ පොරවල් නෑ. මට මාවවත් ලොකු මිනිහෙක් නොවෙන කොට මට වෙන කවුරුත් මෙහෙ ලොකු නැහැ. මට ගුරුවරු නෑ. මම විසින් අධ්‍යනයක් තුළ ලබාගත් දැනුමක් තමයි මට තියෙන්නේ. මම දකින්නේ කලාව හැමදාම ඉපදෙන්න ඕනෙ දෙයක් විධියටයි.

කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස ගමනක් අරඹන ඔබ තුළඅධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාවට වඩා නිෂ්පාදකයකු වීමේ අපේක්ෂාවද තියෙන්නේ?

නිෂ්පාදකයකු කියන දේ දිහා ලංකාවේ බලන කෝණය වැරදියි. අධ්‍යක්ෂවරයාත් පහුකරගෙන යන කෙනෙක් තමයි නිෂ්පාදකයා කියන්නේ. පිටරට චිත්‍රපට කර්මාන්තයක් ලෙස ලාභ ලබන තත්ත්වයේ තියෙන්නේ මෙන්න මේ නිෂ්පාදකයාගේ භූමිකාවේ තියන සාර්ථකත්වය අපි ලෝක සිනමාව අපේ ගෙදරට ගෙනාවට වැඩක් නෑ. අපි කරන්න ඕනේ අපේ සිනමාව ලෝකයට අරන් යන එකයි. අපි අපි විධියට පිළිඅරන් වැඩකළොත් මම කියන නිෂ්පාදකට ලෝක සිනමාව අල්ලන එක අපහසු නෑ. නිෂ්පාදකයාගේ භූමිකාව මොකක්ද කියන දේ මම පෙන්වන්න හදන්නේ. මගේ ජහුටා චිත්‍රපටයත් සමඟ අපේ රටේ මේ කටයුත්ත හරියට උඩුගංබලා පීනනවා වගේ වැඩක්. ඒත් කට්ට කාල එතැනට ආවොත් නිෂ්පාදකයා කියන්නේ සල්ලි දාන කෙනා නොවෙයි කියන දේ. හොඳාකාරවම වැටහේවි.

කොහොමද විශ්වා පවුලේ තොරතුරු?

මගේ පවුල් ජීවිතයට අවුරුදු නමයක් වෙනවා. මගේ බිරිය ඉසුරි රාමනායක. මේ කාලය පුරාම අපි වින්ද සැපට වැඩිය වින්ද දුක වැඩියි. නිර්මාණකරුවෙකුගේ බිරියක් වශයෙන් ඇය තවමත් මාත් සමඟ දෙපයින් සිටගෙන ඉන්නවාට ඇයට නොබෙල් තෑග්ග දිය යුතුයි. නිර්මාණකරුවෙක් ලෙස දෙපයින් හිටගන්න හදන මම වගේ කෙනෙක් ළඟ දුක සැප බෙදාගෙන ඉන්නවාට. මට අවුරුදු හතරක පුතෙක් ඉන්නවා. පුතා අගතිසි ඒ වගේම මට මාස හයක දියණියක් ඉන්නවා. ඇය යුගන්තා විශ්වපාලි

සේයාරූ - නිශ්ශංක විජේරත්න