මම සිවුරු පොරවන්නෙත් බාරදෙන්නෙත් තුන්වරක් වැඳලා

රහල් බුලත්සිංහල
පෙබරවාරි 10, 2022

කරඬුතැන්න ගමේ පන්සලේ නායක ස්වාමින්වහන්සේ විසින් උස් මිටි, දුප්පත් පොහොසත්, හොඳ නරක යන කිසිදු බෙදීමක් නොකර සැමට එකසේ සමානාත්මතාවයෙන් සලකමින් ඔවුන් සියලු දෙනාම යහ මඟට ගැනීමට බුද්ධ දේශනාවට අනුව සකී‍්‍රයව කටයුතු කරමින් දායක වෙයි. සැබැවින්ම මෙසේ නායක ස්වාමින්වහන්සේ විසින් ගිහි පැවිදි සැමට ලබාදෙන ආදර්ශය ඉතා උතුම්ය. සියලු වත් පිළිවෙත් අකුරටම සිදුකරමින් ඊට අනුව කටයුතු කරමින් ඒ උත්තම නායක හිමියන්ගේ චරිතයට පණ පොවන ඔහු සැබෑ ජීවිතයේ ද තමා අදහන දහම වන බුදුදහමට අනුව කටයුතු කරමින් ජීවත්වන්නෙකි. ඒ ප්‍රවීණ ජනපි‍්‍රය රංගන ශිල්පි රහල් බුලත්සිංහල ය. ප්‍රථමයෙන් මා ඔහුගේ දුරකථනයට ඇමතූවිට තෙරුවන් සරණයි යනුවෙන් ප්‍රකාශ කරමින් මේ කතාව ආරම්භ කළේය.

 

අවසර නායක හාමුදුරුවනේ මේ වෙලාවේ කතා කරන්න පුළුවන් ද?

ඔව්. පුළුවන් කතා කරන්න. හැබැයි මම නායක හාමදුරුවෝ නොවෙයි. රහල් බුලත්සිංහල කියලා කෙනෙක්.

නාඩගම්කාරයෝ නාට්‍යයේ මේ හාමුදුරුවන්ගේ චරිතයට ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයා තමයි මට ඒ සඳහා කතා කළේ. එතකොට ඔය නාට්‍යයේ තිර රචක සද්ධා මංගල සුරිය බණ්ඩාර නිෂ්පාදක චාමර සමරවික්‍රම යන මහතුන් ගැනවත් මම දැනන් හිටියේ නෑ. මුලින්ම මේ චරිතය වෙනුවෙන් වෙන කෙනෙක් තමයි තෝරගෙන හිටියේ. පස්සේ ඒ අයම තීරණය කරලා තියෙනවා හාමුදුරුවන්ගේ චරිතයට මාව උචිතයි කියලා.

 

මේ දවස්වල නායක හාමුදුරුවන්ට ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද?

මගේ ජීවිත කාලය තුළ මං රැකියා දහයක් කරලා තියෙනවා. ඔය කාලේ අතරතුර මම නිර්මාණවලට දායකත්වය ලබාදීම ටිකක් අඩුවුණා. කොහොම වුණත් මං දායක වුණු නීතිඥවරයකුගේ චරිතයත් ජනපි‍්‍රයතම ටෙලි නාට්‍යක් වන ස්වාධීන රූපවාහිනියේ (ධ්ඊව්) කෝපි කඩේ පොඩි මහත්තයාගේ චරිතයත් මට සුවිශේෂයි. ඒවාට ලැබුණු ප්‍රතිචාරත් ඉහළයි. ඔය අතරේ වර්තමානයේ ඊටත් වඩා දහස් ගුණයකින් වැඩි ප්‍රතිචාර නාඩගම්කාරයෝ එකේ හාමුදුරුවන්ගේ චරිතයට තවමත් මට ලැබෙමින් පවතිනවා. ඇත්තටම ඒකට ස්තූතියි කරන්න ඕනේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධා මංගල සුරිය බණ්ඩාර හා චාමර සමරවික්‍රම යන මහතුන්ට කැමරා ශිල්පී ප්‍රභාත් මහතා, කාර්මික සංස්කරණ යන ශිල්පීන් සියලු දෙනාටමත් මේ දවස්වල නාඩගම්කාරයෝ නරඹන ලක්ෂ සංඛ්‍යාත පේ‍්‍රක්ෂකයින් සියලු දෙනාමත් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලබාදෙනවා ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

 

චරිතය රඟපාද්දී අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇතිනේද?

මම තරුණ කාලේ මගේ බිරිඳ වන රංගන ශිල්පිණි සුසිලා කෝට්ටගේ එක්ක මෝටර් සයිකලයක යනකොට වෑන් රථයකින් අපිව හප්පලා මගේ කකුල තුනට කැඩුණා. ඉතිං මම ඔය කාලේ ඉඳලා මෝටර් සයිකල් වල යන්න බයයි ඊට පස්සේ කොහොමත් මෝටර් සයිකල්වල යන්නෙම නැතුව අත් හැරියා. මේ නාට්‍යයේ චරිතේ හැටියට හාමුදුරුවන්ට වඩින්න ලොකු ලොකු වාහන නෑ. මං අධ්‍යක්ෂණකට කිව්වා පුළුවන්නම් මට පොඩි කාර් එකක් වගේ මේ සඳහා දෙන්න කියලා. ඔහු කිව්වා පිස්සුද බං මෝටර් බයිසිකලයක් තමා ඒකට තියෙන්නේ. හරි විදියට බැලුවොත් මේ ගමේ පසුබිමත් එකක් ෆුට් සයිකලයක් තමයි හාමුදුරුවන්ට වඩින්න වෙන්නේ කියලා. ඉතිං කොහොම හරි පළමු වරට ඒකේ රූගත කිරිමේ දී මෝටර් සයිකලය දිහා මං හැරිලවත් බලන්නේ නැතුව ඒකට ගොඩ වුණා. පළමු වරට මට ඒක අපහසු වුණත් රාළහාමි මාවත් ඒකේ නංවාගෙන දෙවන තුන්වන වරටත් ඊට පස්සේ දිගටම යනකොටත් මට ඒක ගාණක්ම නැතුව හරි ගියා මොකද මෝටර් සයිකල් හසුරුවන්න රාළහාමි හැබෑ දක්ෂයා.

අනිත් එක තමයි මම මේ චරිතයට සිවුර ඇගේ පොරව ගන්න ඉස්සෙල්ලා බුදුන් වැඳලා චීවරයටත් තුන් වරක් වැඳලා බොහොම ගරු ගම්භීරව විශිෂ්ට විදිහට තමා ඒක ඇඟේ දා ගන්නෙත්. සාමාන්‍යයෙන් ඒ කාලය තුළ කටයුතු කරන්නෙත්, සිවුරක් ඇගේ දා ගත්ත උතුමෙක් සුවපත් වේවා කියලා කිව්වත් ඒකත් ප්‍රමාණවත් කියලා මම අහලා තියෙනවා. මං අද සමාජයේ දැකලා තියෙනවා සමහර මිනිස්සු හාමුදුරුවන්ට බනිනවා. අනේ මේ හාමුදුරුවෝ සිවුරක් දාගෙන මෙහෙමද හැසිරෙන්නේ මේවද කරන්නේ කියලා. මං මේ පැවිදි චරිතය කරන කාලය තුළ මගේ සිත, කය, වචනය යන තුන් දොර පාලනය කර ගන්නවා ඉන් අනතුරුවත් මං සාමාන්‍ය ජිවිත කාලය තුළත් ඒ විදියට තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මං මේකේ රඟපාන කාලය තුළ මේකට දායක වෙලා ඉන්න තරුණ ගෑනුු ළමයෙකුට විහිළුවට වචනයකින්වත් කතා කරන්නේ නෑ. මං ඒ තැනට දැන් පුරුදු පුහුණු වෙලා ඉවරයි. සමහරු කියනවා මේක හරිම අමාරු වැඩක් කියලා ඒක කාලයක් පුරුදු පුහුණු වුණාම ප්‍රශ්නයක් නෑ. මං මේ හාමුදුරුවන්ගේ චරිතය රඟපෑමේ කටයුත්ත ඉවර කළාම නැවතත් තුන් වරක් චීවරයට වැඳලා තමයි කලා අධ්‍යක්ෂකවරයාට සිවුර භාර දෙන්නේ මේක මට ජිවිතේට අමතක වෙන්නේ නෑ.

 

ඒ කියන්නේ සැබෑ ජිවිතේ රහල් බුලත්සිංහල සහ නාඩගම්කාරයෝ හී නායක ස්වාමීන්වහන්සේගේ චරිතයත් බොහෝ සෙයින් සමානද?

නැහැ නාඩගම්කාරයෝ හාමුදුරුවෝ සුපේෂල ශික්ෂාකාමී විනයධර ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් මම ගිහියෙක් ඒත් මට හිතෙනවා මමත් ඒ හාමුදුරුවෝ වගේ දැන් හැසිරෙන්න හිතන්න හුරුවෙමින් ඉන්නවා කියලා.

 

අද දහමට අනුව ජීවත්වෙන ගිහි පැවිදි බොහෝ අතළොස්සක් දෙනා අතර ඔබත් සැබෑ ජීවිතයේ දී දහම අකුරටම පිළිපදින කෙනෙක් බව පෙනී යනවා ඔබටත් ජීවිතයේ අවසාන කාලයේ මහනදම් පුරන්න ඕනේ කියලා අදහසක් තිබුණා නේද?

ඔව් මට මීට පෙර මුල් කාලයේ ඒ වගේ අදහසක් තිබුණා. දෛවෝපගත ලෙස ජීවිතයේ අවසාන කාලයේ වයසට ගිහිල්ලා අලකොලංග මැතිතුමා පැවිදි දිවියට ඇතුළත් වෙන්න පින් කරලා තිබුණා. මමත් මුල් කාලයේ ඒ මහතා සමඟ දහම් කරුණු ගැන සාකච්ඡා කළා. පසුව ඔහු පැවිදි දිවියට ඇතුළත් වෙලත් මට තව දුරටත් ඒ ගැන කරුණු කාරණා කියලා දෙනවා. මට ඒ සම්බන්ධව පොත්පත් පවා එවලා තියෙනවා. අවසානයේ මට කීවා ඔබට මං වගේ පැවිදි දිවියට ඇතුළත් වෙලා කටයුතුª කරන්න ඕනේ කියලා අදහසක් තිබුණනේ දැන් එයට කාලය ඇවිල්ලා කියලා. මගෙත් ඉස්සර එහෙම අදහසක් තිබුණට පස්සේ දැන් ඒක වෙනස් වුණා. දුල්ලබේන පබ්බජ්ජම් (සිවුරක් දැරීම දුර්ලබයි) කියන්නේ ඒකනේ. මේ ජිවිතයේ ඉදිරි කාලෙත් ගිහිව සිට මං වත්පිළිවෙත් රකිමින්ම දැහැමි දිවිපෙවෙතක් ගත කරමින් ඉන්නවා. ගිහිව සිටීම නිවන් දැකීමට බාධාවක් නොවන බවත් මම දැන් දන්නවා.

 

මේ දවස්වල නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ විතර ද රඟපාන්නේ?

තව නිර්මාණ දෙකක වැඩකරන්න භාර ගත්තත් ඒ දෙකේම මේ කොරෝනා අවදානම නිසා රූගත කිරීම් කටයුතු නැවැත්තුවා. ඒ නිර්මාණවල නම් වත් තවම හරියට නෑ. දැනට රූගත කිරිම් කරන ජගත් මනුවර්ණ මහතාගේ අලුත්ම නිර්මාණය “කොඩිගහ යට” එහි පියාගේ චරිතය රඟපානවා. ඒ පියා මැරිලා. පියා ඇවිත් පුතාට කතා කරනවා. පියාගේ ඒ කතා කිරීම ඇහෙන්නෙත් පියාගේ රූපය පෙනෙන්නෙත් පුතාට විතරයි. ඒක පේ‍්‍රත භූත ආත්ම චරිතයක් නොවෙයි. පුතාගේ මමෝ භ්‍රාන්තියක් පේ‍්‍රක්ෂකයන්ට මේ නාට්‍යයත් අමුතුම අත්දැකීමක් වේවි.

 

නාඩගම්කාරයෝ නායක හාමුදුරුවෝ සැබැවින්ම පැවිදි උතුමන්ට මෙන්ම ගිහි අයට ද කදිම ආදර්ශයක් සපයනවා. ඇත්තටම ඒ අයුරින් කටයුතු කරන ස්වාමීන්වහන්සේලා අද ලංකාවේ පන්සල්වල වැඩ ඉන්නවාද?

ඕන තරම් වැඩ ඉන්නවා. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ ගරුතර කැකුණවල වනරතන හාමුදුරුවෝ. උන්වහන්සේ දැන් නම් අධිකරණ සංඝනායක හිමිනමක්. ඒ වගේම මම බුද්ධ ශාසන අමාත්‍යංශයේ වැඩ කරන කාලේ ලංකාවේ පන්සල් කිහිපයකටම ගිහින් තියෙනවා. එවැනි හිමිවරු ඕන තරම් ඉන්නවා. පසුකාලෙක මහඉලුප්පල්ලම කියන ප්‍රදේශයේ සිරික්කුලම ගමේ පිහිටි බොහොම දුෂ්කර ගම්මානයක පිහිටි පන්සලකට මම ගියා. ඒ පන්සලෙත් වැඩ ඉන්න සංඝරත්න හාමුරුවෝ මේ අයුරින්ම වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේ නමක් උන්වහන්සේ මට හමුවුණා. ඒ පන්සලේ අඩුපාඩු නම් එමටයි. ඒ ස්වාමීන්වහන්සේගෙන් මං ඇහුවා ඔබ වහන්සේගේ පන්සලට කෙරෙන්න ඕනේ මොකක්ද කියලා. එවිට ඒ හාමුදුරුවෝ මට පිළිතුරු දුන්නා මටවත් පන්සලටවත් මොකුත් ඕන නෑ. මහත්තයෝ මෙන්න මේ ගමේ ඉන්න මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඔවුනට මොනාහරි දෙයක් ලබාදෙන්න කියලා. ඉතිං ඒ ගමේ මිනිස්සු හරිම දුප්පත් ඒ හාමුදුරුවොත් සැප පහසුකම් අපේක්ෂා කරන්නේ නෑ. අද ලංකාවේ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලා කොටස් තුනකට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්.

01.ආරණ්‍යවාසීව බණ භාවනායෝගීව වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා

02.ජනතාවගේ කටයුතුවලට යම් දායකත්වයක් ලබාදෙමින් ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් පන්සල්වල වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේලා

නාඩගම්කාරයෝ එකේ ස්වාමීන්වහන්සේ අයත් වන්නේ මේ කියපු තුන්වෙනි ගණයේ ස්වාමීන්වහන්සේ නමක් ලෙසයි.

 

දැන් ඔබේ වයස කියන්න කැමතිද?

ඔව් පුළුවන් මං වයස කියන්න අකමැති නෑ. මොකො මං වයස හංගලා ආයෙ කසාදයක් බඳින්න යෑ. මම ඉපදුණේ 1953 මැයි මස 26 වැනිදා.

 

ඔබේ බිරිඳ මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ ප්‍රවීණ රංග ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මිය ඔබ දෙපළගේ පවුල් ජිවිතය කොහොමද ඒ ගැනත් යමක් කියමු.

ඔව් අපි දෙන්නා බොහොම සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා. ඕනෑම කෙනෙක් විවාහ වුණාම දෙන්නා දෙමහල්ලෝ අතර රංඩු සරුවල් තියෙනවා. යම් යම් දේවල්වලට අපි දෙන්න අතරෙත් එහෙම වෙනවා. මම එයාට මොනවා හරි දේකට තරහා ගියාම ඒ වෙලාවට එයා කියන දේවල් අහගෙන මම නිශ්ශබ්දව ඉන්නවා. මට තරහා ගිය විට එයත් ඒ විදියට නිශ්ශබ්දව ඉන්නවා. මං මේ ගැන යමක් කියන්න ඕනේ අද බොහෝ දෙනාගේ පවුල් ජිවිත තුළ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක් තමයි දෙන්නට දෙන්නා හොඳ අවබෝධයෙන්, ඉවසීමෙන්, කාරුණිකව කටයුතු කරන ස්වභාවය අවම වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්න වැඩි වෙලා. අපි ජීවත්වෙලා ඉන්න මේ කෙටි කාලේ හොඳ අවබෝධයෙන් දැහැමෙන් සෙමෙන් කටයුතු කරමින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ වගේම තමන් අදහන ආගම දහමට අනුව ඒ සඳහා වැඩි නැඹුරුවක් වෙනවා නම් ඉතාම වටිනවා. එකිනෙකාට ගරු කරන්න අගය කරන්න එකිනෙකාට සවන් දෙන්න ඒ ඇති.