මගේ පෙම්වතාව හොයලා දුන්නේ ඔහුගේම නෝනා

පොදු Season 2 ටෙලිනාට්‍යයේ දුෂී මිෂෙල් දිල්හාරා
පෙබරවාරි 10, 2022

දෙරණ නාලිකාවේ විකාශය වුණු “පොදු” ටෙලිනාට්‍යය විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් ටෙලිනාට්‍යයකි. එහි දෙවැනි දිගහැරුම “පොදු සීසන් 2” ලෙසින් ජනවාරි මස සිට විකාශය වෙමින් පවතියි. ෂර්මිලා ධර්මරාසා ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයක් සහ දෙරණ නාලිකාවේ නිෂ්පාදනයක් වන මෙම ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ නව පරපුරේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වන මිෂෙල් දිල්හාරා ය. ඇය මීට පෙර කළ චරිතවලට වඩා වෙනස් ආකර්ෂණීය චරිතයක් පොදු ටෙලිනාට්‍ය ඔස්සේ මවන්නීය. මේ චරිතය පිළිබඳව සහ ඇගේ කලා කටයුතු ගැන මිෂෙල් දිල්හාරා අප සමඟ බොහෝ දෑ පැවසුවාය.

මිෂෙල් නැවතත් කැපී පෙනෙන චරිතයක් සමඟ පුංචි තිරයට ඇවිත්? 

ඒ පොදු සීසන් 2 ටෙලිනාට්‍යයෙන්. ජනවාරි 29 සිට සෑම සතිඅන්තයකම එය විකාශය වෙනවා. එහි දුෂීගේ චරිතය මම රඟපාන්නේ. මම රඟපාපු අනෙක් චරිතවලට වඩා එය ටිකක් වෙනස් චරිතයක්. ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය මට මේ සඳහා ආරාධනා කරන්නේ. මේක ටිකක් වෙනස් වැඩක් නිසා ආසාවෙන් භාරගත්තා.

දුෂීගේ චරිතය කොයි වගේද?

දුෂී කියන්නේ ඇමැති කෙනෙකුගේ දුවෙක්. එයා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. එයා කෙලින් කතා කරන, සමාජයේ ගොඩක් දේවල් වෙනස් කරන්න උත්සාහ කරන කෙනෙක්. දුෂීට මුණගැහෙන පුද්ගලයකු නිසා ඇගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ ටෙලිනාට්‍ය තුළ ඇය තුන් ආකාරයකට වෙනස් වෙනවා. මේ කතාව තුන්කොන් ආදර කතාවක්. දුෂී කියන්නේ එහි එක් කෝණයක්.

පොදු සීසන් 1 විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් නිර්මාණයක්. සීසන් 2ත් ඒ වගේ වේවිද?

දැනට ලැබෙන ප්‍රතිචාර අනුව සීසන් 2ත් එහෙම ජනප්‍රිය වේවි කියල මම හිතනවා. සීසන් 1 එකේ රන්දික සහ ළහිරුණි එක් වෙලා ආදි - නිලූ කියන චරිත දෙක හරි ලස්සනට ගොඩනැඟුවා. පොදු සීසන් 2 වෙනස්ම ආකාරයකට නිර්මාණය කරන්න එහි අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා මහත්මිය උත්සාහ කළා. කලණ ගුණසේකර, මම, ඓශ්වර්යා, රන්දික, ළහිරුණි මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත කරන්නේ. පොදු සීසන් 1 හා සම්බන්ධ කතාවක් මෙය. දැනට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් හොඳයි. මම වැඩිපුර කළේ ගැමි චරිත, අහිංසක චරිත, නිහඬ චරිත. නමුත් මේ ටෙලිනාට්‍යයේ මගේ චරිතය, හැසිරීම, කතා විලාසය සම්පූර්ණයෙන් වෙනස්. මේ නිර්මාණයට නළු නිළියන් තෝරා ගැනීම කළේ ගයත්‍රි හීනටිගල මහත්මිය. ගයත්‍රි කියන්නේ කලණ ගුණසේකරගේ බිරිඳ. මේ කතාවේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ඔහු. මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න විශේෂම හේතුව වුණේ එහි නළු නිළි පිරිවර. කලණ ගුණසේකර, රන්දික ගුණතිලක, උමයංගනා වික්‍රමසිංහ ඇතුළු දක්ෂ නළු නිළියන් පිරිසක් මෙහි චරිත නිරූපණය කරනවා. ඒ වගේම මම පළමු වතාවට අධ්‍යක්ෂවරියක් සමඟ වැඩ කරන්නේ.

ෂර්මිලා ධර්මරාසා සමඟ වැඩ කරපු අත්දැකීම ගැන කතා කරමු?

ෂර්මිලා ධර්මරාසා කියන්නේ මෙතෙක් කල් ලංකාවේ වාණිජ ටෙලිනාට්‍යවල නොදුටු අලුත්ම මානයක් සොයාගෙන යන අධ්‍යක්ෂවරියක්. දකුණු ඉන්දියානු චිත්‍රපටවල තියෙන සෞන්දර්ය, උද්වේගය, රිද්මය හැමදෙයක්ම මේ ටෙලිනාට්‍යයට ඇය අන්තර්ගත කරන්න උත්සාහ කරලා තියෙනවා.

කලණ ගුණසේකර කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සමඟ වැඩ කරපු අත්දැකීම කොහොමද?

පළමු වතාවට මම කළණ අයියා එක්ක වැඩ කරන්නේ. ඔහු කළින් රඟපාපු හැම එකක්ම වගේ හොඳට මතක හිටින චරිත. ඒ හැම චරිතයකටම වඩා මේ චරිතය සම්පූර්ණයෙන් වෙනස්. මම හිතන්නේ ටෙලිනාට්‍යයක පළමුවරට ඔහු රෝමාන්තික චරිතයක් රඟපාන්නේ මේ තුළින්. ඔහු සමඟ දෙබස් පුහුණු වීම්වලදි පවා රඟපෑවත් රඟනොපානවා වගේ දැනෙන්නේ. එය ඔහුගේ අනෙක් රංගන ශිල්පියාට ලොකු පහසුවක්. කළණ අයියා ඒ චරිතය තුළ දිගටම ජීවත් වුණා. ඔහු රොමෑන්ටික් සීන් එකක් කරන්න කිව්වොත් ඒක කරනවා. ගහගන්න කිව්වොත් ඒක කරනවා. ඔහුට එක ක්ෂණයෙන් අවශ්‍ය චරිතයට අවතීර්ණය වෙනවා.

රූගත කිරීම්වලදී අමතක නොවන සිදුවීම් වෙන්න ඇති?

පොදු ටෙලිනාට්‍යයේ ගීතයක රූගත කිරීම් කරද්දි මටයි කලණ අයියාටයි තිබුණා ගින්දර වළල්ලක් ළඟ නටන්න. ඒ ඉදිරිපත් කිරීම හරිම භයානකයි. මමත් කොණ්ඩෙ කඩාගෙන හිටියේ. චුට්ටක් හරි ගෑවුණොත් අපි දෙන්නාම පිච්චෙනවා. ඒ අත්දැකීම මට අමතක වෙන්නේ නැහැ.

මිෂෙල්ගේ සමාජ සේවා වැඩ කටයුතු ගැනත් හැමෝම කතාබහ කරනවා.

මම සමාජ සේවා වැඩ පටන්ගත්තේ අවුරුදු පහළොවේ ඉඳලා. ඒ කියන්නේ ක්ෂේත්‍රයට එන්න කලින්. මගේ සමාජ සේවා ව්‍යාපෘතිවලට සමාජ අදෘශ්‍යමානතාව, දේශගුණික වෙනස් වීම්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වගේ මාතෘකා තෝරාගත්තේ. සමාජ අදෘශ්‍යමානතාව ගැන මම පොතක් ලිව්වා, "සමාජ අදෘශ්‍යමානතාව මිත්‍යාවක් නොවේ පවතින්නක්" කියලා. ඒ සඳහා මට අන්තර් ජාතික සම්මානත් ලැබුණා. මම විශ්වවිද්‍යාල ළමයි සමඟ එක් වෙලා දේශගුණික වෙනස් වීම් සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති කරනවා. මම උපයන මුදල්වලින් 60%ක් මම සමාජ සේවා කටයුතු සඳාහා යොදනවා. මම දැනට වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් ආරම්භ කරලා තියෙනවා. එය නඩත්තු කරන්නේත් මගේ මුදලවලින්.

පොඩි ගෑනු ළමයෙක් මේ හැම දෙයක්ම සමඟ කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් කරගෙන ඉන්න එක ලේසි නැහැ?

අපි කරන හැමදෙයක්ම තීරණය වෙන්න අපි මත. අපි කරන දේවල් සහ අපි ගන්නා තීරණ මත. තමන්ට යම්කිසි තැනකට යන්න ඉලක්කයක් තියෙනවා නම් බාධක මඟහැරලා අපි අපේ ගමන යන්න ඕනේ. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහක් විතට වෙනවා. මට තවමත් මගේ මවුපියන්ගේ සහයෝගය, උපදෙස්, අවවාද ලැබෙනවා. ඒ සියල්ල සමඟ මම මේ ගමන යන්නේ.

මිෂෙල්ට ලැබුණු සම්මාන ගැන කතා කරමු?

රංගනයෙන් මට මුලින්ම සම්මාන ලැබුණේ 2019 රයිගම් ටෙලි සම්මාන උලෙළෙන්. එහි හොඳම නැඟී එන නිළියගේ සම්මානය සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ මම රඟපාපු අයෝමාගේ චරිතයට ලැබුණා. ඉන්පසුව ඒ ටෙලිනාට්‍යයටම සුමති සම්මාන උලෙළේ සහ රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නැඟී එන නිළියට සම්මාන ලැබුණා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් ආරම්භ කළා. මගේ දෙවෙනි පොත ලියමින් පවතිනවා. ඊට අමතරව මනෝවිද්‍යා අංශයෙන් උපාධිය හදාරනවා. ඒ වගේම විශ්වවිද්‍යාල සහ පාසල් සමඟ මම කරන සමාජ සේවා ව්‍යාපෘති ඉදිරියටත් කරගෙන යන්න උත්සාහ කරනවා. ටෙලිනාට්‍යවලින් වගේම සිනමා නිර්මාණවලිනුත් කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්නයි මට ඕනේ.