මට 36යි, එයාට 22යි ගයාන් පෙරේරා අනාවරණය කරයි

Daddyලා එක්ක Reunion Concert එකක් කරනවා
පෙබරවාරි 3, 2022

ලංකාවට ආපු එක සංගීතයට කිසිසේත්ම අදාළ නැහැ

 

ඇයි කළේ, බොරුකාරි, නීල කඳුගැටේ, චන්ද්‍රයන් පිදූ, ඉරිදාට පල්ලියෙදි, රෑක එක රෑක.... මේ ගීත සවන් වැකෙන විට ඔබට ඔහුව මතක් වෙනවා ඇති? කලක් මෙරට ගීත ක්ෂේත්‍රය වෙනස්ම මානයකට රැගෙන ගිය සංගීත කණ්ඩායම් අතර ඩැඩී සංගීත කණ්ඩායමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එහි නායකයා ගයාන් පෙරේරා. ඔහු ප්‍රමුඛ ඩැඩී කණ්ඩායම තැනූ ගීත එකල රසිකයන් අතර ජනප්‍රිය විය. පසුව ක්ෂේත්‍රයෙන් ඈත්ව වසර අටක කාලයක් ඇමරිකාවේ විසූ ගයාන් පෙරේරා තම පියා වන සුනිල් පෙරේරාගේ වියෝවෙන් අනතුරුව ලංකාවට පැමිණ ඇත. ඉතා සුළු කාලයකින් ගීත ක්ෂේත්‍රය තුළ නැවතත් කැපී පෙනෙන චරිතයක් බවට පත්ව ඇති ගයාන් අලුත් ගීතයක්ද නිර්මාණය කර හමාරය. දිගු කලක නිහැඬියාවකින් අනතුරුව තම හඬ අවදි කළ ගයාන් පෙරේරා සරසවියට පැවසූ තතු මෙසේයි.

ගයාන් ලංකාවට එද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා නේද?

ඔව් වෙනස් වෙලා. ඒත් ලොකුවට වෙනස් වෙලා තිබුණේ නැහැ. භෞතික වශයෙන් බැලුවොත් පාරවල් හැදිලා, කොළඹ බිල්ඩින් ටිකක් හැදිලා තියෙනවා. ඒවා දැක්කාම නම් ශෝක්, මරු කියලා හිතෙනවා.

 

ඔබේ තාත්තාගේ (සුනිල් පෙරේරා) අහිමිවීම මුළු ලංකාවටම දැනුණා. එය ඔබට බලපෑවේ කොහොමද?

තාත්තා නැති එක දුකයි. තාත්තා නැති වුණාම ලොකු වගකීම් සම්භාරයක් එකතු වුණා මගේ ජීවිතේට. තාත්තා නැතිවෙනකොට මම ලංකාවෙ නෙමෙයි ඇමරිකාවේ හිටියේ. එහෙ වසර අටක් හිටියා. ලංකාවේ පදිංචියට එන්න මට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. තාත්තාගේ නැති වීම සමඟ ඒ සියල්ල වෙනස් වුණා. තාත්තාගේ අහිමිවීම් එක්ක මම ලංකාවට එන්න තීරණය කළා. එහෙ වැඩ කටයුතු ඔක්කොම මඟ දාලා ලංකාවට පදිංචියට එන්නේ කොහොමද? සහ පවුලේ අයව බලාගන්න එන්නෙ කොහොමද? කියන දේවල් මගේ ඔලුවෙ වැඩියෙන්ම තිබුණේ. මිනිස්සු ඉපදෙනවා මැරෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. කොරෝන නිසා තව කී දෙනෙකුගේ මව්පියෝ නැති වෙන්න ඇද්ද? තාත්තා නැතුව දුකයි. නමුත් මරණය කියන එක අපි කාටත් පොදුයි.

 

ගයාන් ඇමරිකාව දාලා ලංකාවට ආවේ තාත්තගේ බැට්න් එක අතට ගන්නද?

තාත්තාගේ බැට්න් එක අතට ගන්න අදහසකින් නෙමෙයි මම ආවේ. ප්‍රධාන වශයෙන් පවුලේ අයව බලාගන්න මම ආවේ. සංගීත ක්ෂේත්‍රයේ තාත්තගේ අඩුව පුරවන්න ඕනේ කියන බලාපොරොත්තුවකින් නෙමෙයි මම ආවේ. මම ලංකාවට ආපු එකට සංගීතය කිසිසේත්ම අදාළ නැහැ.

 

ඔබ ඇවිත් ඉතා සුළු කාලයකින් ජිප්සීස් සංගීත කණ්ඩායම සමඟ වැඩ කරන්න පටන්ගත්තා?

ඇත්තටම ඒක මෙහෙමයි වුණේ. මම ජිප්සීස් සංගීත කණ්ඩායමට සම්බන්ධයක් නැහැ. එහි කළමනාකරණය පැත්තෙන් මමයි අයියයි සම්බන්ධයි. ඒත් මම එහි සාමාජිකයෙක් නෙමෙයි. මම ලංකාවට ඇවිත් සහභාගි වුණු මංගල උත්සවයක ජිප්සීස් සංගීත කණ්ඩායම ප්ලේ කළේ. එහිදී මට සින්දුවක් කියන්න ආරාධනා කළා. එහි වෙනත් සංගීත කණ්ඩායමක් හිටියත් මම ගිහින් සින්දු කියනවා. මම ජිප්සීස්ලාගේ ස්ථීර සාමාජිකයෙක් නෙමෙයි. කාගෙ හරි ආරාධනාවක් ලැබුණොත් ජිප්සීස්ලා එක්ක ගීතයක් ගයන්න මම ගායනා කරනවා.

 

ගයාන් ඉතා සුළු කාලයකින් ගීතයකුත් කළා නේද?

ගීතයේ නම "හිතෙන තරම්". එහි තනුව සහ පදරචනය කළේ මම. සංගීත අධ්‍යක්ෂණය චරිත අතලගේගෙන්. ඒකේ රැප් කොටස ගායනා කරන්නේ මනසික් කියලා රැප් ගායකයෙක්. මේ ගීතයට අපි රූපරචනාවක් නිර්මාණය කළා. එය අධ්‍යක්ෂණය කළේ භාරත හෙට්ටිආරච්චි. ජනප්‍රිය නිළියක් වන අනුරාධා එදිරිසිංහයි මමයි එහි රඟපාන්නේ.

 

අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම ගීතයක් කළේ වසර ගාණකට පසුව. ගීතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. ආදරය සම්බන්ධයෙන් ගොඩක් හැඟීම්බර ගීත මම මීට කලින් ගායනා කරලා නැහැ. මේක විරහව සම්බන්ධ ගීතයක්. ඒ නිසා මේක ටිකක් වෙනස් වැඩක්. මේ ගීතයේ ගායනයටත් වඩා රංගනයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම නළුවෙක් නොවුණත් මගේ රංගනය හැමෝම අගය කරනවා.

 

ගයාන්ටත් ගීතයේ වගේ විරහව සම්බන්ධයෙන් පෞද්ගලිකව අත්දැකීම් ඇති?

අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ ඇති වුණු සබඳතා නැති වෙලා යද්දි ඒ හැඟීම් වචන වෙනවා. ඒ කම්පනය නාදමාලාවක් බවට පත් වෙනවා. අපි නිර්මාණයක් කරද්දි එළියට එන්නේ අපේ ජීවිතයේ අත්දැකීම්වල සමිශ්‍රණයක්.

 

ගයාන් "ඩැඩී" කණ්ඩායම සමඟ ගායනා කළ ගීත තවමත් ජනප්‍රියයි. "ඩැඩී"ලා එක්ක නැවත එක්වෙන්න අදහසක් නැද්ද?

නැවත ඩැඩී කණ්ඩායමේ ස්ථීර සාමාජිකයෙක් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් ඔවුන් එක්ක "Reunion Concert" එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන මේ වන විටත් කතාබහක් පවතිනවා.

ඒ කියන්නේ ගයාන් පෙරේරා නැවත කණ්ඩායම්ගත වෙන්නේ නැහැ?

නැහැ. මම මින් ඉදිරියට තනි පුද්ගලයකු වශයෙන් සංගීත ක්ෂේත්‍රයේ ඉන්නේ. මම වැඩ කරපු ඩැඩී කණ්ඩායමට හෝ ජිප්සීස් කණ්ඩායමට නැවත සම්බන්ධ වෙන්නේ නැහැ. ඒත් ඒ අය සමඟ වැඩ කරයි.

 

සුනිල් පෙරේරාගේ ශෛලියේ ගීතයක් කරන්න අදහසක් තියෙනවාද?

කොහෙත්ම නැහැ. මට කවදාවත් එහෙම හිතිලාවත් නැහැ. එහෙම නම් අපේ පටන්ගැන්මෙන්ම අපි ඒ වගේ ගීත කරනවා. ඇඟට එන්න සින්දුවක් හදනවා හැරෙන්න කවුරුවත් වගේ ගීත හදන්නේ නැහැ. ඒ නිසාම අපේ එක එක සින්දු එක එක විදිහයි. මස්සිනා, බොරුකාරි, චන්ද්‍රයන් පිදූ, ඇයි කළේ, ටිකෙන් ටික මේ හැම ගීතයක්ම එකිනෙකට වෙනස්.

 

තාත්තාගේ ගීත ගයන්න ආරාධනා එනවා ඇති?

සෑහෙන්න ආරාධනා එනවා. ඉස්සරත් ආවා. මම ඒවා භාරගන්නේ නැහැ. මම කියන්නේ මගේ සින්දු. මට හිතුණොත් මම තාත්තාගේ ගීතයක් ගායනා කරයි. ඒත් කවුරුත් කියන්න කිව්වාට මම කවදාවත් තාත්තාගේ ගීත කියන්නේ නැහැ. තාත්තාගේ ගීත මගෙන් ඉල්ලුවම මට ඒක මදිකමක්. එතකොට මට හිතෙනවා මම තවත් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියලා. මම දන්නවා තාත්තට ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරෙයි කියලා. නමුත් මට තාත්තාගේ ගීත කියලා ජනප්‍රිය වෙන්න අදහසක් නැහැ. තාත්තා වුණත් අපිට කිව්වේ, "මගේ සින්දු කියන්න. ඒකට කමක් නැහැ. නමුත් එතකොට ඔයාගේ අනන්‍යතාව නැති වේවි" කියලා. ඒක මට තාත්තාගෙන් ලැබුණු හොඳම අවවාදයක්.

 

ගයාන් අවසානයට යුග ගායනාවක් කළේ රයිනි චාරුකා එක්ක "නීල කඳුගැටේ". ඒ වගේ යුග ගීයක් කියන්න බලාපොරොත්තුවක් නැද්ද?

යුග ගායනාවක් කරන්න බලාපොරොත්තුවක් තිබුණා මට. ගොඩක් දක්ෂ ගායිකාවන් රැසක් ඉන්නවා ක්ෂේත්‍රයේ. උමාරියා, උමාරා, අශාන්ති, රයිනි, කාංචනා අනුරාධි මේ හැමෝම හොඳයි. ගැළපෙන යුග ගීතයක් ලැබුණොත් මම ගායනා කරයි.

 

දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?

මට පෙම්වතියක් ඉන්නවා. එයා ලංකාවේ කෙනෙක්. ඇය තවම ඉගෙනගන්නවා. විවාහය ගැන නම් තවම හිතලා නැහැ. මගේ පෙම්වතිය තවම පොඩියි. ඇයට වයස 22යි. මට 36යි.

 

ඉදිරි ඉලක්ක මොනවාද?

හොඳ ගීත නිර්මාණ කීපයක් කරලා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මම ක්ෂේත්‍රයේ හිටපු නැති කාලයටත් හරියන්න හොඳ අලුත් ගීත කීපයක් කරන්න ඕනේ. ඒ වගේම මගේ ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණුකොට ගෙදර අයවත් බලාගෙන කාලා බීලා ඉන්න තමයි මට ඕනේ.