වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
මගේ නම ජනප්‍රිය දෙවියන්ගෙ ආශිර්වාදය නිසා

ඇය අපට දකින්නට ලැබෙන්නේ ඉඳහිටය. නමුත් ඉඳහිට හෝ රඟපාන චරිත මතක හිටින චරිතයක් බවට පත් කිරීමට ඇය සමත් වන්නේ සිය රංගන හැකියාව තුළිනි. එක දිගට ඇය රඟනොපෑවත් ඇයට ඇති ජනප්‍රියත්වය අඩුවක් වන්නේද නැත. මේ රංගන ශිල්පිනිය ගංගු රොෂානායි. ගංගු රඟපෑ චිත්‍රපටයක් මේ දිනවල තිරගත වේ. එය නිම්හිම් ය.
නිම්හිම් චිත්‍රපටයේ රාධිකා පිළිබඳ කතා කරන්නටයි මා පළමුවෙන් ඔබට ඇරැයුම් කරන්නේ?
චිත්‍රපට අධ්යක්ෂ මිචෙල් ෆොන්සේකා මට මේ චරිතය සඳහා ආරාධනා කරන්නේ. ඔහු මට පිටපත ලබා දුන්නා චරිතය ගැන කියලා. රාධිකා කියන්නේ දෙමළ තරුණියක්. ඇය බොහොම අහිංසක කෙනෙක්. ඉතාම අහිංසක චරිතයක්. මට හිතුණා මේ චරිතයට මට හොඳීන් පණ පොවන්න පුළුවන් වේවි කියලා.
ඔබ ඉඳහිට රඟපාන නිළියක්?
නැහැ. මම වැඩ කරගෙන යනවා. අදටත් එහෙමයි. සමහර නිර්මාණ එන්න ප්‍රමාද වෙනවා. නිම්හිම් චිත්‍රපටයත් එහෙමයි. මේ චිත්‍රපටය නිර්මාණය කළේ 2018දී පමණ. ආවේ 2021නෙ.
නමුත් ඔබ ටෙලිනාට්‍ය සඳහා දායකත්වය ලබා දෙන්නේ ඉතාමත් සීමිත විදිහට?
ටෙලිනාට්‍යවලට ඇරැයුම් එන්නේ ඉතා අඩුවෙන්. මම දන්නේ නෑ එහෙම වෙන්නේ ඇයි කියලා.
මෙහෙම ඇහුවොත්, ඇත්තටම ඔබට නිර්මාණ සඳහා ලැබෙන ඇරැයුම් සංඛ්‍යාව අඩු වෙලාද තියෙන්නේ?
ඒකට මට හරි උත්තරයක් දෙන්න අමාරුයි. නමුත් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මට පමණක් නෙවෙයි, බොහෝ විට නළු නිළියන්ට ලැබෙන ආරාධනා සංඛ්‍යාවේ අඩුවීමක් තියෙනවා. ඒක පොදු කාරණයක්. අනෙක මම තව දෙයක් දකිනවා. බොහෝ විට අද වැඩ කරන්නෙ කණ්ඩායම්ගතව. එහෙම කණ්ඩායමක ඉන්නවා නම් දිගටම වැඩ තියෙනවා.
ඔබ පිළිබඳ ක්ෂේත්රය තුළ දුර්මත තියෙනවද?
මම දන්නේ නෑ එහෙම තියෙනවද කියලා.
මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?
ඇත්තටම සිනමා නිළියක් විදිහට ඉස්සරහට යන එක තමයි බලාපොරොත්තුව. නමුත් මට ගොඩක් කැපිලි තියෙනවා කියලා මම දන්නවා. මම ලොකු බලසම්පන්න නිළියක් නෙවේ. බලසම්පන්න අයට කැපිලි අඩුයි. නමුත් අපි වගේ සාමාන්‍ය නිළියන්ට බොහෝ කැපිලි තියෙනවා.
ඔබ වැඩිය රඟනොපෑවත් ඔබගේ නම ප්‍රේක්ෂකයා අතර ඉතාම ජනප්‍රියයි. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ.
මට හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා. එයාලා මම කරන නිර්මාණ බලලා මට කමෙන්ට් කරනවා. ඒ නිසා මට හිතෙන්නේ මගේ නම ගොඩක් මිනිස්සු අතර ජනප්‍රියයි. එහෙම වෙලා තියෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන නිසා කියලා මම විශ්වාස කරනවා.
සේයාරුව - යූ.කේ.අබේරත්න