ලෝකයෙත් කාන්තාවන් අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ අඩුවෙන්

හෙළ සිනමා කිවිඳිය ආචාර්ය සුමිත්‍රා පීරිස්
ජනවාරි 20, 2022

ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව ඇය සහභාගි වූ පළමු සම්මුඛ සාකච්ඡාව මෙය වේ.

සිංහල කථානාද සිනමාව නිල වශයෙන් ආරම්භ වන්නේ 1947 ජනවාරි මස 21 වැනිදා කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගත කිරීම සමඟිනි. හෙට දිනයේදී (ජනවාරි 21) සිංහල කථානාද සිනමාව 75 වැනි විය සපුරන්නේය. එදා මෙදාතුර සිංහල කථානාද සිනමාවේ නිර්මාණය වූ සිනමා නිර්මාණ රැසකි. ඒවා අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන්ද බොහොමයකි.

හෙළ සිනමා කිවිඳීය ලෙසින් විරුදාවලි ලද ආචාර්ය සුමිත්‍රා පීරිස් නාමයද මේ අතර විශේෂ වේ. හෙළයේ මහා සිනමාවේදියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදරණීය බිරිය වන ඇය සිංහල සිනමාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ සම්මානනීය සිනමාවේදිනියකි.

පළමු සංස්කරණ ශිල්පිනිය ලෙසින් සිංහල සිනමාවට පැමිණි ඇය පසුව අධ්‍යක්ෂවරියක ලෙසින් ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ, වෛශ්ණාවි වැනි චිත්‍රපට සිනමාවට දායාද කළාය. සිංහල සිනමාව නව දිශාවකට ගෙන ගිය රේඛාව, සන්දේශය, ගම්පෙරළිය වැනි චිත්‍රපට සමඟ ඇයගේ සබඳතාවද සුවිශේෂය. සිංහල කථානාද සිනමාවට 75 වසරක් සපිරෙන අවස්ථාවේදී ඇය එම අතීතය දෙස හැරී බැලුවේ මෙලෙසිනි. 

සිංහල කථානාද සිනමාවේ ආරම්භය ඔබ එදා අත්වින්ඳේ කෙසේද?

සිංහල කථානාද සිනමාව ආරම්භ වන විට මට වසර අවුරුදු දහයක් විතර ඇති. ඒ කාලයේ විශාල තිර මත එළිමහනේ චිත්‍රපට ප්‍රදර්ශනය කළා. ඒ කාලයේ පවුලේ පසුබිමත් පාසල් කාලයත් නිසා මට නම් එවැනි අවස්ථාවක් විඳ ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් ප්‍රංශයට යාමත් සමඟ විදෙස් සිනමා අත්දැකීම් විඳ ගන්න ඉඩ පසුකම් ඇති වුණා. මම මුල්වතාවට සිංහල චිත්‍රපටයක් නැරඹුවෙත් ප්‍රංශයේදීයි. 1956 වසරේදී ඩොක්ටර් පීරිස් රේඛාව චිත්‍රපටය රැගෙන ප්‍රංශයට ආවා. මම මුල්වතාවට සිංහල චිත්‍රපටයක් විදියට නැරඹුවේ රේඛාව චිත්‍රපටයයි.

බොහෝ දෙනෙකුගේ අදහස තාත්විකත්වයට ළඟ සිනමාව ආරම්භ වෙන්නෙ රේඛාව චිත්‍රපටයෙන් බවයි?

රේඛාවට පෙර මෙරට නිර්මාණය වූ සිංහල චිත්‍රපට බොහොමයක් දකුණු ඉන්දීය අභාසය තිබූ බව හැමෝම දන්නා කරුණක්. මටත් රේඛාව බලන විට සිංහල සිනමාව ගැන ලොකු ආසාවක් ඇති වුණා. කවදා හරි මටත් මේ වගේ නිර්මාණයක් කළ හැකි වේවි යන සිතිවිල්ලත් ඇති වුණා. ඇත්තටම ඩොක්ටර් පීරිස් ගොඩක් මහන්සි වෙලා රේඛාව චිත්‍රපටය නිර්මාණය කරලා තිබුණා. චිත්‍රපටය නරඹලා අවසානයේ එතුමා හමු වූ පසු පැවසුවේ සිනමාව ගැන ඉගෙන ගන්න නම් එංගලන්තයට යන්න කියලයි.

හැටේ දශකය වැඩි ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක්වූ චිත්‍රපට ප්‍රදර්ශනය වූ සමයක්. ඉන්දීය ආභාසයෙන් මිදී නිර්මාණය වූ කලාත්මක චිත්‍රපට රැසක්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා අධ්‍යක්ෂණයන්?

රේඛාවෙන් පසු ඩොක්ටර් පීරිස්ගේ චිත්‍රපටය වූ සන්දේශය චිත්‍රපටය ප්‍රේක්ෂකයන් ළං කරගත් චිත්‍රපටයක්. මුල්වරට මට ඩොක්ටර් පීරිස් සමඟ කටයුතු කරන්න ලැබුණේ සන්දේශය චිත්‍රපටයට සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙමිනුයි. ඩොක්ටර් පීරිස් හොදින් හඳුනා ගන්න ලැබුණෙත් සංදේශය චිත්‍රපටයේ කටයුතු සමඟින්. සන්දේශය චිත්‍රපටයේ රංගන ශිල්පිනියන් වුණු කාන්ති ගුණතුංග, අයිරාංගණි සේරසිංහ වැනි අය හැරුණාම තිරය පිටුපස එකම කාන්තා චරිතය වුණේ මම. හැබැයි එහෙම කියලා මට වෙනසක් දැණුනේ නැහැ. ඇත්තටම එදා අවම පහසුකම් යටතේ චිත්‍රපටයේ කටයුතු කෙරුණු ආකාරය මට අද වගේ මතකයි. රූගත කිරීම් සිදු කළේ දුෂ්කරතා රැසක් මධ්‍යයේදීයි. එදා නවාතැන් ගන්න අද වගේ සුවපහසු හෝටල් තිබුණේ නැහැ. නමුත් හැමෝම එක වගේ සහයෝගයෙන් කටයුතු කළා. ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත වගේ චිත්‍රපට හදනකොට ප්‍රේක්ෂකයෝ කොහොම හිතයිද කියලා අපි පූර්ව විනිශ්චයක හිටියේ නැහැ. අපි ඒ චිත්‍රපටවල තේමාවන්ට සමීපව අපේ ඇතුළත තිබුණු අදහස් ප්‍රකාශ කරන්න උත්සහ කළා. ප්‍රේක්ෂකයන් ඒවා ආදරයෙන් වැලඳ ගත්තා.

කාන්තාවක ලෙසින් තිරය පිටුපස කටයුතු අසීරු වෙන්න ඇති?

හැම කටයුත්තක්ම සිදු කෙරුණේ අසීරුතා මධ්‍යයේයි. ඒ කාලයේ සිනමාවට ගෑනු කෙනෙක් සම්බන්ධ වෙනවා කියන එකත් පුදුමයි. නිළියෝ වගේ නෙවෙයි තිරය පිටුපස කාන්තා නියෝජනයක් තිබුණේ නැති තරම්. ඒ කාලයේ මම වෙලාවක් අවේලාවක් බලන්නේ නැතුව චිත්‍රපට වැඩවලට යන එන කොට මේ ළමයා මොනවා කරනවාද ? කියලා වට පිටාවේ අය පවා බලන්න ඇති. මට නම් එදා ලොකු විශේෂයක් දැනුණේ නැහැ. චිත්‍රපට කණ්ඩායමේ අය පවා කාන්තාවක් කියා මට ලොකු විශේෂයක් කළේ නැහැ. ඔවුන්ට මම තාක්ෂණික කණ්ඩායමේ අයෙක් පමණක් වුණා. 

ලෝක සිනමාවේ පරිච්ජේදයක් වෙන් කරන්නට සමත් වූ ගම්පෙරළිය මෙරට සිනමා වංශ කතාවේ විශේෂ නිර්මාණයක්?

මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ ගම්පෙරළිය නවකතාවෙන් නිර්මාණය කළ ගම්පෙරළිය චිත්‍රපටය ඩොක්ටර් පීරිස්ගේ චිත්‍රපට අතරින් මා කැමතිම චිත්‍රපටයයි. බොහෝ දෙනෙක් නිධානය චිත්‍රපටය එතුමන්ගේ හොඳම සිනමා කෘතිය බව කීවත් මට දැනෙන්නේ ගම්පෙරළිය සෑම අතින්ම ඉහළ චිත්‍රපටයක් බවයි. මට මතකයි එදා ගම්පෙරළියේ ජිනදාසගේ චරිතයට ගාමිණි ෆොන්සේකා තෝරා ගැනීම ගැන මාර්ටින් වික්‍රමසිංහ මුලින් විරුද්ධ වුණා. නමුත් චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ගාමිණි චරිතයට ඉටු කළ සාධාරණය දුටු ඔහු සිය විරුද්ධත්වය ඉල්ලා අස්කර ගත්තා. ඒ විතරක් නෙවෙයි අනුලා, නන්දා, පියල් වෙතින් දකින්නට ලැබුණේ එදා සමාජයේ සැබෑම චරිතයි. සිංහල සිනමාවේ සංස්කෘතිය සහ එකල සමාජය පිළිබිඹු කළ චිත්‍රපටයක් විදියට ගම්පෙරළිය චිත්‍රපටයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙන්න මේ හැම දෙයක්ම හේතු වෙන්න ඇති.

70 දශකය සිංහල සිනමාවේ ඉතාමත් සුවිශේෂී කාල සීමාවක්?

ඒ කාලය වන විට රූපවාහිනිය එහෙම අපේ රටට ඇවිත් තිබුණේ නැහැනේ. ජනතාවගේ රසවින්දනයට තිබුණේ ගුවන්විදුලියයි. සිනමාවයි. ඒ වන විට චිත්‍රපට සංස්ථාව පිහිටුවීමත් සිංහල සිනමාවේ සුවිශේෂි අවස්ථාවක්. රූප මාධ්‍යයට ඇති ඇල්ම සමඟ සිනමාවට බොහෝ දෙනෙක් ළං වුණා. සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී යන්න එය හේතු වෙන්න ඇති. ඒ වගේම සමාජ, දේශපාලන නැඹුරුව සහිත සිනමා නිර්මාණ බිහිවන්න පටන් ගත්තෙත් ඒ කාලයේදීයි. ඩී. බී. නිහාල්සිංහ, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර වැනි සිනමාව ගැන උනන්දුවක් දක්වමින් සිනමාව හදාරපු පරම්රාවක් ක්ෂේත්‍රයට පිවිස සිටීමත් දකින්න පුළුවන්. පතිරාජගේ සිනමා නිර්මාණ බොහොමයක දකින්න ලැබුණේ දේශපාලන නැඹුරුවක්.

70 දශකයේ අග භාගයේ සිට ඔබතුමියත් සිංහල සිනමාවට අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. අසූව, අනූව දශකයන්ගෙන් පසු දෙදහස් නවය දක්වා දිවෙන මෙම කාලය තුළ අධ්‍යක්ෂවරියක් ලෙස ඔබ අත්විඳී වෙනස කුමක්ද?

මේ කාලයේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඕනි කියලා කවදාවත් මම හිතුවේ නැහැ. හැබැයි පිටපත් රචනය කරලා, හොඳීන් සැලසුම් කරලා ඒ සියල්ල සිදු වුණා. ගැහැනු ළමයි තිර රචනයේදී පිරිමි චරිත අඩුවෙන් තමයි යෙදුණේ. කාන්තාව සමාජයේදී මුහුණ දෙන තත්ත්වයන් ගෙන හැර දැක්වීම එතැනදී මගේ අතින් ප්‍රමුඛ වුණා. මා අතින් අධ්‍යක්ෂණ වූ හැම චිත්‍රපටයකින්ම ඒ වෙනස දිස් වෙන්න එය හේතු වෙන්න ඇති. අනික ඉතින් ඒ කාලේ අපි වුවමනාවට චිත්‍රපට හැදුවා මිසක් දැන් වගේ සිනමා උලෙළ ඉලක්ක කර ගෙන නම් චිත්‍රපට හැදුවේ නැහැ. ඒ වගේ පහසුකම් මුල් කාලයේ වැඩිය තිබුණේ නැහැ. 

එදා මෙදාතුර සිංහල සිනමාවේ අධ්‍යක්ෂණයේදී කාන්තා දායකත්වය අල්පයි නේද?

සිංහල සිනමාවේ විතරක් නෙවෙයි, ලෝක සිනමාවේ තත්ත්වය ගත්තත් එහෙමයි. පසුගිය වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී මුල්වරට ආසියානු සම්භවයක් ඇති කාන්තාවක් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. එම සම්මානය දිනාගත් දෙවැනි කාන්තාව ඇයයි. ඒක හොඳ ප්‍රවණතාවක්. තිරය පිටුපසදී කාන්තාවකට වඩා සුදුසු සංස්කරණය බව මගේ අදහසයි.

අපේ රටේ නම් සංස්කෘතිය, සමාජ පසුබිම වැනි දේ නිසා කාන්තාවන් බොහොමයකට ලැබෙන අවස්ථා අඩුයි. පවුල, දරුවන් වෙනුවෙන් ඇයට කැප වෙන්න සිදු වෙලා. ඒ වගේම වර්තමානය වන විට පවුල ආර්ථික අතින් සවිමත් කරන්නත් ඇය දායක වෙනවා. අධ්‍යක්ෂණයෙන් නොවුණත් රේණුකා බාලසූරිය වැනි දිරිය කාන්තාවන් නිෂ්පාදයෙන් අතිශය භාරදූර කාර්යයක නියැළෙන ආකාරය දකින්න පුළුවන්.

75 වැනි විය සපුරන සිංහල කථානාද සිනමාවේ නව පරම්පරාව ගැන ඔබේ අදහස?

ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැනි අධ්‍යක්ෂවරුන්ගෙන් පසු තවත් අලුත් පරම්පරාවක් දැන් ඇවිත් ඉන්නවා. මෝටර් බයිසිකල් වැනි චිත්‍රපට සමඟ ශමිර රංගන නාඔටුන්න වගේ නවකයන් අපට එතැනදී හමු වෙනවා. ලෝක සිනමාව ගත්තත් වර්තමානය වන විට බොහෝ නිර්මාණකරුවන් වගේම ප්‍රේක්ෂකයන් පවා සිටින්නේ නිර්මාණය කර ගත් මනඞකල්පිත, පිටසක්වළ ලෝක වල. බැට් මෑන්, සුපර් මෑන්, ස්පයිඩර් මෑන් වගේ සුපිරි වීරයන් තමයි ඔවුන් අගයන්නේ. ඒ සමඟ වර්තමානය වන විට තාත්වික, කලාත්මක සිනමාවට තිබෙන්නේ මොනවගේ ඉඩක්ද යන්නත් සිතා බැලිය යුතුයි.


හෙළ සිනමා කිවිඳියට සාහිත්‍ය චක්‍රවර්තී ගෞරව සම්මාන උපාධිය

ශ්‍රී ලාංකේය සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ අන්තර්ජාතික සිනමාව තුළ ශ්‍රී ලාංකේය සිනමාවට සුවිශේෂී ස්ථානයක් හිමි කර දීම සඳහා කළ අනුපමේය දායකත්වය වෙනුවෙන් හෙළ සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස් වෙත කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සාහිත්‍ය චක්‍රවර්තී ගෞරව සම්මාන උපාධිය පිරිනැමීය.

පසුගිය 15 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කැලණිය විශ්වවිද්‍යාලයේ 121 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ ඇයට මෙම ගෞරව සම්මාන උපාධිය පිරිනැමූහ.

සේයාරුව - නිශ්ශංක විජේරත්න