වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
මට තවම දහඅටයි මාසයයි

ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. පුවත්පත් කර්තෘවරයෙකි. නවකතා රචකයෙකි. අපූර්ව ලේඛකයෙකි. කුමන අන්දමින් හැඳීන්වුවද අර්නස්ට් වඩුගේ නමින් ඔහුගේ අනන්‍යතාවයේ සලකුණ මෙරට පාඨකයින් අතර නොමැකෙන අයුරින් තබා හමාරය. මේ අපූරු මිනිසාගේ උපන්දිනය යෙදෙන්නේ අදවන් දිනයකය. එනම් ජනවාරි මස 13 වැනිදාය. ඔහු පවසන පරිදි ඔහුගේ ලියැවිලි මෙන් ඔහුද තවමත් තරුණය. යොවුන් ය. මෙරට පුවත්පත් කලාවේ වයසට නොයන වියපත් තරුණයා, කුමාර වඩුගේ නොහොත් අර්නස්ට් වඩුගේ සමඟ කළ අතීත මතකාවර්ජනයයි මේ.
උපන්දිනයක් එනවා කියන්නේ කෙනෙක් වයස්ගත වෙනවා කියන එකට.
මෙහෙමයි නිර්මාණි. කලාකාරයන්ගේ උපන්දිනය මනින්නේ උපන් දවස අනුවවත් කේන්දරය අනුවවත් නෙවෙයි. ඔවුන් කරන නිර්මාණ අනුවයි වයස මනින්නේ. මගේ වයස බලාගන්න මම අවසානයට නිකුත් කළ නවකතාව කියවන්න. එවිට මගේ වයස වැටහේවි. මට තවම දහඅටයි මාසයයි.
ඔබේ පුවත්පත් කලාවේ ආරම්භය ගැන කතා කරමු?
මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ සිනමා පුවත්පත්වලින් අහන ප්‍රශ්නවලට උත්තර ලියලා. ඒ දවස්වල පත්තරවලින් සිනමාව ගැන විවිධ ප්‍රශ්න අහනවා. කලා සඟරාව වගේම සෝමපාල රණවීර මහත්තයා පටන්ගත්ත චලන චිත්‍රය පත්තරේටත් එහෙම ප්‍රශ්නවලට උත්තර ලියලා දැම්මා. ආරියරත්න කහවිට, කරුණාසේන ජයලත්, ජයවිලාල් විලේගොඩ වගේ ලේඛකයන්ගේ සිනමා පිටු හරිම ජනප්‍රියයි. ඒවායේ අහන ප්‍රශ්නවලට පෝස්ට් කාඩ් පිරෙනකන් උත්තර ලිව්වා. මම මේ ගමන පටන්ගත්තේ ඒ පිටුවලින්. රුක්මණීදේවි, ෆ්ලොරීඩා ජයලත්, එඩී ජයමාන්න වගේ අය ජනප්‍රියම තරු වුණේ ඒ කාලේ. හාහා පුරා කියලා මගේ ලිපියක් පළ වුණේ කලා පත්තරේ. නළු නිළියන්ගේ විනෝදාංශ ගැන ලියන ලිපියක් මට ලියන්න පැවරුණා. මුලින්ම මම ලිව්වේ ගාමිණී ෆොන්සේකාගේ විනෝදාංශ ගැන. ඊට කලින් පොඩි පොඩි ලිපි පළ වුණා. ඒත් ප්‍රධාන ලිපියක් හැටියට පළ වුණේ ගාමිණී ෆොන්සේකා සමඟ කරපු සාකච්ඡාව. ඒ වගේම මාලිනී ෆොන්සේකාගේ මුලින්ම ලිපියත් ලිව්වේ කලා පත්තරේට.
සරසවිය පුවත්පත කියන්නේ අර්නස්ට් වඩුගේගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක්?
සරසවියට මාව යොමු කරන්නේ ආරියරත්න කහවිට මහත්මයා. ආරියරත්න කහවිට මහත්මයා එතකොට සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහත්මයාට කියලා තිබුණා දක්ෂ ළමයෙක් ඉන්නවා එයා ගැන හොයලා බලන්න කියලා. ඒ 1965දී සරසවිය බිහි වෙලා අවුරුද්දකින් විතර. සරසවිය කියන්නේ ඒ කාලේ ලංකාවේ ජනප්‍රියම පුවත්පත. ලේක්හවුස් එකෙන් මුද්‍රණය කරපු දිනපතා පුවත්පත්වලටත් වඩා සරසවිය හරිම ජනප්‍රියයි. මට එන්න කිව්වා විමලසිරි පෙරේරා මහත්මයාව මුණගැහෙන්න. ලේක්හවුස් එකේ විමලසිරි පෙරේරා මහත්මයාගේ ඔෆිස් කාමරයට යන එකත් ඒ කාලේ අපිට හරි ලොකු දෙයක්. මම ගියේ අලුත්ම කලා පුවත්පත් කලාපයත් අරගෙන. විමලසිරි පෙරේරා මහත්මයා පත්තරේ හොඳට බැලුවා. ඒකෙ මැද පිටුවේ තිබුණේ මම පුණ්‍යා හීන්දෙණිය ගැන ලියපු ආර්ටිකල් එකක්. ඒක කියවලා ඔහු සෑහෙන්න මාව අගය කළා. මම ලේක්හවුස් එකට ගියේ සිකුරාදා. මට සඳුදා ඉඳන් වැඩට එන්න කිව්වා. සරසවිය පුවත්පතේ වසර පහළොවක් මම වැඩ කළා. කලාකරුවන් බහුතරයක් මගේ හිතවතුන් වුණා සිනමා සාහිත්‍ය ක්ෂේත්රයේ අතිශය ජනප්‍රිය මාධ්‍යවේදියෙක් බවට මම ඒ කාලේ පත්වුණා.
සරසවියෙන් පසුව වඩුගේගේ නම පළවෙන්නේ මොන පුවත්පතේද?
ලේක්හවුස් එකෙන් මට විවිධ කැපිලි ආවා. ලේක්හවුස් එකෙන් මට ඉවත්වෙන්න යම් සිදුවීමක් බලපෑවා. එතකොට මම සිනමාස් සමාගමේ තිරනාටක රචකයෙක් ලෙස වැඩ කළා. සරසවියෙන් පසුව ආතර් යූ. අමරසේනගේ පුවත්පත් කීපයක නිදහස් ලේඛකයෙක් විදිහට ලිව්වා. ඊටපස්සේ මම බන්දුල පද්මකුමාර මහත්මයා ආරම්භ කරපු සරසි පුවත්පතේ විශේෂාංග කතුවරයා විදිහට වැඩ කළා. ප්‍රීතිරාජ් විරරත්න ඉරිදා දවසක ලාල් වීරසිංහයි ශෂි විජේන්ද්‍රයි එක්ක මාව මුණගැහෙන්න ගෙදර ඇවිත් ප්‍රීති මට පුවත්පත් ආයතනයක් පටන් ගන්න කියලා යෝජනාවක් කළා. "අපි එකතුවෙලා කලා පත්තරයක් කරමු" කියලා. මට එහෙම පුවත්පතක් පටන් ගන්න කිසිම අදහසක් තිබුණෙ නැහැ. ජාවත්තේ තමයි මුලින්ම පත්තරේ පටන්ගත්තේ. ඊටපස්සේ පත්තර ගොඩක් පටන්ගත්තා. "රස" මගේ පළවෙනි පත්තරේ. ඊටපස්සේ "සුවඳ" ඒක යෞවන යෞවනියන්ගේ පත්තරේ. ඊටපස්සේ බිරිඳ පත්තරේ. ඒ කාලේ වැඩියෙන්ම අලෙවි වුණු කාන්තා පුවත්පත ඒක. පිටපත් දෙලක්ෂයක් අලෙවි වුණා. ඊළඟට සුමියුරු, සංගීත පුවත්පත. "ජීවිතය" කියලා පත්තරයක් පටන්ගත්තා කතාන්දර සහ චිත්‍රකතා ඇතුළත්. දුවණි ඊටපස්සේ පටන්ගත්තා. ඊටපස්සේ සම්පත, කලාරස, කුමාරයා පුවත්පත් ආරම්භ කළා. මේ හැම එකක්ම ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය වුණු පත්තර.
මේ ආපු ගමන්මග දෙස නැවත හැරිලා බැලුවොත්?
අතිශයින්ම තෘප්තිමත්. කෙනෙක්ට ශතවර්ෂයකටවත් කළ නොහැකි ගොඩක් දේවල් මේ කාලයේදී මම කළා. ඉතාම සුළු තැනකින් ආරම්භ කරපු ගමන මම පුවත්පත් ආයතනයක් දක්වා රැගෙන ගියා. මුද්‍රණ වාර ලක්ෂ දෙක ඉක්මවූ පුවත්පත් මම බිහි කරලා තියෙනවා. මගේ ගම ගාල්ලේ. ඉගෙනගත්තේ මහින්ද විද්‍යාලයෙන්. ඉස්සර ගාල්ලට එන ඕනෙම කාලාකරුවෙක් ළඟට ගිහින් සමරුපොතේ අත්සන් ගන්න මම පසුකාලීනව ඒ සියලුදෙනාගේම පෞද්ගලික හිතවතෙකු වුණා. සම්මාන ඇගයීම් නොසෑහෙන්න ලැබුණා. ඊටත් වඩා වටින පාඨක පිරිසක් මට ලැබුණා. ඉතින් දරුවෝ, තව මොනාද මට නැත්තේ?
මේ ගමන තුළ කිරීමට නොහැකි වුණු හෝ අතපසු වුණු දෙයක් නැත්ද?
සිනමා, කාන්තා සහ යොවුන් පුවත්පත් ප්‍රධාන වශයෙන් මම ආරම්භ කළා. පුවත්පත් දහයකට වැඩි සංඛ්‍යාවක කර්තෘ ලෙස සේවය කළා. එකම එක දෙයක් කරන්න බැරි වුණා. ජාතික පුවත්පතක් බිහි කරන්න බැරි වුණා. ඒකට මම උනන්දු වුණේ නැහැ. දේශපාලන පොර පිටියෙ දේවල් වාර්තා කරන්න ඒ තරම් කැමැත්තක් නැහැ. එය පමණයි මට මඟහැරුණේ.
ඇයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ නැත්තේ?
මම චිත්‍රපටි ගණනාවක කතාව, දෙබස් සහ තිරරචනය රචනා කළා. චිත්‍රපට කීපයක සහාය අධ්යක්ෂවරයා ලෙස වැඩ කළා. විධායක නිෂ්පාදකවරයා ලෙස චිත්‍රපටවල කටයුතු කළා. අවස්ථා කීපයකදීම සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න ආරාධනා ලැබුණා. ඒවා නොයෙක් ලෙස මඟහැරුණා.
මෙරට සිනමාව කඩා වැටිලා කියලා සමහරු කියනවා.
හැමෝම කියනවා අපේ සිනමාව ඇද වැටිලා, නැවත සිනමාවක් බිහි වෙන්නේ නැහැ, නිකං ටිකට්පත් ලබා දුන්නත් මිනිස්සු චිත්‍රපට බලන්නේ නැහැ කියලා. එහෙම කියන්නේ සිනමාවේ ගමන්මඟ ගැන නොදන්න අය. මේ විසිඑක් වැනිදාට අපේ කථානාද සිනමාවට වසර 75ක් සපිරෙනවා. මේ වසර 75 තුළ අපි කොයිතරම් ව්‍යසනවලට මුහුණ දුන්නද? ඒ වසර 75න් 30ක්ම යුද්ධය තිබුණා. කොයිතරම් අර්බුදකාරි අවස්ථාවලට අපි මුහුණ දුන්නද? ඒත් සිනමාව නැති වුණේ නැහැ. අර්බුදකාරි අවස්ථාවල රංගන ශිල්පීන් එක්වෙලා චිත්‍රපට නිෂ්පාදනය කරපු යුගයක් අපිට තිබුණා. ඒවා අතිශය සාර්ථක වුණා. ප්‍රශ්න එනවා, ඒත් අපි ඒවාට පිළියම් හොයාගන්න ඕනෑ. කවදාවත් සිනමාව නැති වෙන්නේ නැහැ.
මාධ්‍යකරණය ඩිජිටල් වුණු යුගයක පුවත්පත් කලාවේ අනාගතය කොයිවගේ වේවිද?
කිසිම දවසක පුවත්පත් බිහිවීම නැති වෙන්නේ නැහැ. ඇමරිකාව වගේ දියුණු රටක වුණත් තවමත් ප්‍රධාන ජනමාධ්‍ය බවට පත් වී තියෙන්නේ පුවත්පත්. විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාලය තිබුණත් ඉතා ඉක්මණින් නිවැරැදි මූලාශ්‍ර ඉදිරිපත් කළ හැකි නිසා පුවත්පත් මාධ්‍ය නැති වෙන්නේ නැහැ. දැන් පුවත්පත් පවා ඩිජිටල් වෙලා. මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය දෙකම තාක්ෂණික විප්ලවය සමඟ අනුගත වෙනවා.
ඔබට ලස්සන පවුලක් ඉන්නවා.
මදාරා වඩුගේ මගේ දුව. මම හිතුවේ මම නැති කාලයක මගේ මාධ්‍ය ආයතනය ඇය භාරගනීවි කියලා. නමුත් මම ජීවතුන් අතර ඉන්න විටම මගේ මාධ්‍ය කලාව දැන් ඉදිරියට රැගෙන යන්නේ මගේ දියණිය. ඇගේ සැමියා ලංකාවේ ජනප්‍රියම නවකතාකරුවා. සුජීව ප්‍රසන්නආරච්චි. මට මිණිබිරියන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු මිණිබිරි ඉතා ඉහළ සාමාර්ථයන් සමඟ උසස් අධ්‍යාපනය හමාර කර වෘත්තියක නිරත වෙනවා. පොඩි මිණිබිරි තවම පාසල් අධ්‍යාපනය ලබනවා. ලොකු මිණිබිරී තව වසර දෙක තුනකින් විවාහ වේවි. ඒත් මම වයසට යන්නේ නැහැ. මම යොවුන් සීයා කෙනෙක් විදිහට ඉඳීවි.
ඉදිරියේදි අර්නස්ට් වඩුගේ තවත් තරුණ වේවිද නැතිනම් වයසට යාවිද?
කලාකරුවන් වයසට යන්නේ නැහැනේ. (සිනාසෙමින්) මගේ උපන්දිනය සමඟ මම අලුත්ම නවකතාවක් ලියන්න සූදානම් වෙනවා.
සේයාරූ - මාලන් කරුණාරත්න