මගේ ලොකුම සිහිනය සරසවිය හොඳම නිළිය වීම

උදාරි වර්ණකුලසූරිය
ජනවාරි 6, 2022

 

රංගනය කියන්නේ අපි හොයාගෙන ගිහින් ප්‍රගුණ කරන්න ඕනේ දෙයක්

 

මගේ පළමු දෙවන සහ තෙවන විකල්පයත් රංගන ශිල්පිනියක් වීමම තමයි

 

"මගේ පෙකණිය කපලා බුරිය උඩට එද්දි බුරියට සතයේ කාසියක් ගැටගහලා තාත්තා කියලා තියෙනවා "මගේ දුව ලොකු වුණාම මිස් ශ්‍රී ලංකා කරනවා" කියලා. ඒ නිසාම මම 2007දි වයස 19 සම්පූර්ණ වන විටම මිස් ශ්‍රී ලංකා තරගයේදී අනුතරග අංශ කීපයකින් ජයග්‍රහණය කළා. 2015 දී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමි වුණා. මගේ තාත්තාගේ සිහිනය සැබෑ වුණා. කවුරුහරි මගෙන් ඇහුවොත් මම රංගන ශිල්පිනියක් නොවුණා නම් කවුද වෙන්නේ කියලා මම කියන්නේ මගේ පළමු දෙවැනි සහ තෙවැනි විකල්පයත් රංගන ශිල්පිනියක් වීමම තමයි". ඒ වර්තමාන සිංහල සිනමාවේ වඩා කැපී පෙනෙන රංගන ශිල්පිනිය වන උදාරි වර්ණකුලසූරියයි. මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතරින් චිත්‍රපට හතකම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි. මේ ඇගේ චිත්‍රපට පෙළ පිළිබඳව සහ රංගනය පිළිබඳව උදාරි වර්ණකුලසූරිය සමඟ කළ පිළිසඳරයි.

 

අලුත් අවුරුද්ද උදාරිට කොහොමද?

ගොඩක් හොඳයි. හරිම සතුටින් අලුත් අවුරුද්ද ගෙවෙනවා. අවුරුදු එකහමාරකට පසුව මගේ දරුවා සහ සැමියා සමඟ ආදරෙන් ඉන්න පුළුවන් වුණා. අවුරුදු එකහමාරක් මම ඔවුන්ගෙන් ඈත් වෙලා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වෘත්තියට කැප වුණා. චිත්‍රපට අටක් එක දිගට නිර්මාණය කරන්න දායක වුණා. දැන් ටිකක් සැනසීමෙන් පවුලේ අය එක්ක මගේ සිංගප්පූරුවෙ ගෙදර සතුටින් ඉන්නවා. ඒත් මෙහෙ ලොකු කාලයක් ගත කරන්න වෙන එකක් නැහැ. රූගත කිරීම් කළ චිත්‍රපට ටික ඉදිරියේදී එළිදකින්න නියමිතයි. එතකොට ලංකාවට එන්න වෙනවා. මම හිතනවා මේක මටම වෙන් වුණු අවුරුද්දක් වේවි කියලා.

 

උදාරි වැඩියෙන් වැඩ කළේ කොරෝනා සමයේ නේද?

ඒක මම ඉතාම ධනාත්මක විදිහට භාරගත්තා. අනෙක් කලාකරුවන් කලාකාරිනියන්ට වෘත්තිමය වශයෙන් වැඩ අවම වනවිට ඒ අසාධාරණය ගැන කතා කරන විට මට ඒ ගැන කතා කරන්නවත් වෙලාවක් නැති තරමට මම ගොඩක් කාර්යබහුල වුණා. පෞද්ගලිකව කොරෝනා වසංගතය මට බාධාවක් වුණේ නැහැ. ඒක මගේ වාසනාවක් කියලා මම හිතනවා. ඒ නිසාම මගේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී මගේ නිර්මාණ එක දිගට බලා ගන්න පුළුවන් වේවි.

 

මොනවාද ඒ නිර්මාණ?

චිත්‍රපට අටක රූගත කිරීම් අවසන් කළා. වී. සිවදාසන්ගේ "දෙවෙනි යුද්ධය", බෙනට් රත්නායකගේ "කවුරුවත් දන්නේ නැහැ" (එය මේ වන විට තිරගත වෙනවා.), සරත් වීරසේකරගේ "ශ්‍රී සිද්ධා", ජැක්සන් ඇන්තනීගේ "එකගෙයි සොකරි", ජයන්ත චන්ද්‍රසිරිගේ "මිදුණු විශ්වය", සංජීව පුෂ්පකුමාරගේ "ආසු", මහාචාර්ය සුනිල් ආරියරත්නගේ "ක්ෂීර සාගරය කැලඹිණ", ජැක්සන් ඇන්තනීගේ "දේවි සම්බුලා" යන චිත්‍රපට ඉදිරියේදී එළිදැක්වෙන්න නියමිතයි.

 

මේ අතරින් චිත්‍රපට දෙකක්ම ජැක්සන් ඇන්තනීගේ?

ඔහු වැනි ගුරුවරයෙක්ගේ අධීක්ෂණය යටතේ රඟපාන්න ලැබීම මගේ භාග්‍යයක්. "එකගෙයි සොකරි" කියන්නේ ග්‍රාමීය පරිසරය සමඟ බැඳුණු ඈත අතීතය හා සම්බන්ධ සොකරි වගේ ගැමිනාටක ගැන කතාබහ කරන චිත්‍රපටයක්. මගේ රංගන පරාසය ගැන මම හිතාගෙන හිටියාට වඩා වැඩියෙන් ජැක්සන් ඇන්තනී මහත්මයා විශ්වාස කළා. "එකගෙයි සොකරි" චිත්‍රපටයේ රූපගත කිරීම්වලදි මටම වැටහුණා මගේ රංගනය කොයිතරම් දුරට යාවත්කාලීන වෙලාද කියන දෙය. රංගන ශිල්පිනියක් ලෙස මගේ වටිනාකම වැඩිදියුණු කළාට මම ඔහුට හිස නමා ආචාර කරනවා. ජැක්සන් ඇන්තනී කියන්නේ මොනතරම් ප්‍රායෝගික අධ්‍යක්ෂවරයෙක්ද කියලා ඔහු සමඟ වැඩ කරන විට වැටහෙනවා. ඔහුගේ දේවී සම්බුලා චිත්‍රපටය ද්විත්ව භාෂිත චිත්‍රපටයක්. සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම හඬ කැවීම් කළා වගේම රූපගත කිරීම් කරන විට භාෂා දෙකෙන්ම වචන උච්චාරණය කළා.

 

පසුගිය සමයේ කාගෙත් අවධානය යොමු වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ "ක්ෂීර සාගරය කැලඹිණ" චිත්‍රපටයට.

මම ඉතාම සතුටින් සම්බන්ධ වුණු චිත්‍රපටයක් එය. 2021 ජනවාරි පළමුවැනිදා ඉස්සෙල්ලාම සුනිල් ආරියරත්න මහත්මයාගෙන් මට මේ චිත්‍රපටයටයි ආරාධනාව ලැබුණේ. මම ගොඩක් සතුටු වෙනවා ඔහු වැනි දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න ලැබීම පිළිබඳව. "ක්ෂීර සාගරය කැලැඹිණ" චිත්‍රපටයේ මම රඟපෑවේ පුරම්භිකාගේ භූමිකාව. ඒක අතිදැවැන්ත නිර්මාණයක්. ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ, රවීන් කනිෂ්ක, මම එහි ප්‍රධාන චරිත නිරූපණය කළා. ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම නිර්මාණයට සම්බන්ධ වුණා. එය අධියථාර්ථවාදී චිත්‍රපටයක් නිසා ග්‍රැෆික් තාක්ෂණය භාවිත කරලා තියෙනවා. මම ඉක්මනින් එළිදකිනවා නම් කැමැති චිත්‍රපට ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නේ "ක්ෂීර සාගරය කැලැඹිණ" චිත්‍රපටය.

 

අපේ සිනමාවේ වෙනස් අත්හදාබැලීම් කරන අධ්‍යක්ෂවරයා, ජයන්ත චන්ද්‍රසිරිගේ "මිදුණු විශ්වය" ඔබට විශේෂයි.

ජයන්ත චන්ද්‍රසිරි "මිදුණු විශ්වය" චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ නිළියකගේ ජීවිත කතාවක්. ඒ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාන විට මට දැනුණේ ඒක මගේම ජීවිත කතාව කියලා. එය මගේ ජීවිතයට සමීපතම චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මිදුණු විශ්වය චිත්‍රපටය නරඹන විට වැටහෙයි රංගනය කියන්නේ මොකක්ද? එහි වෘත්තිමයභාවය මොකක්ද? කියන දෙය. රංගන කියන්නේ හැදෑරිය යුතු දෙයක් කියලා ඒ චිත්‍රපටය නැරඹුවොත් තේරුම් යාවි. ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපට බහුතරයක් ආධ්‍යාත්මයට අමතන, භාවික ප්‍රකාශනයන් වැඩි චිත්‍රපට. මිදුණු විශ්වය කියන්නෙත් එවැනි චිත්‍රපටයක්. ඒ භාව ප්‍රකාශනයන් වඩා සාර්ථකව ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා රූගත කිරීම්වලදී වගේම හඬ කැවීම්වලදී පවා ව්‍යායාම කරලයි වැඩ කටයුතු ආරම්භ කළේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා රඟපාන්නේ මම සහ උද්දික ප්‍රේමරත්න. චිත්‍රපටය මට පෞද්ගලික වෙනස් අත්දැකීමක් වෙන්නේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා දෙක කිසිම අවස්ථාවකදි එක විට මුණගැහෙන්නේ නැති එක. අතීතය සහ වර්තමානය යන කාල දෙකක සිට ආදරය කරන පෙම්වතුන් දෙපළක් ඒ කතාවේ ඉන්නේ. අපි දෙදෙනා චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී පවා එකට මුණගැහුණේ නැහැ. මම හිතනවා ඒ ප්‍රයෝගය චිත්‍රපටය වඩා සාර්ථක වෙන්න හේතුවක් වුණා කියලා.

 

මේ චිත්‍රපට අතරින් "ආසු" කියන්නේ අන්තර් ජාතික වශයෙන් කතාබහට ලක්වුණු සත්‍ය සිදුවීමක් පාදක කරගත් චිත්‍රපටයක්?

"ආසු" චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරට මම ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා එහි ප්‍රධාන භූමිකාව ලබාදුන්නාට. මෙම චිත්‍රපටයට මම හිතුවට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවම ලංකාවේ එය ප්‍රදර්ශනය නොකළත් අන්තර් ජාතික සිනමා උලෙළ කීපයක්ම නියෝජනය කරපු නිසා ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. මෑතකදී එහි විශේෂ දර්ශනයක් පැවැත්වුවා. එහිදී චිත්‍රපටය නරඹලා හැමෝම සංවේදී වුණා. එහි සාර්ථකත්වය ගැන මම සතුටු වෙනවා. කරූ ජයසූරි‍ය මහත්මයාගේ දියණිය වන ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාව මේ චිත්‍රපටයට පාදක කරගත්තේ. ඉන්දිරා කියන්නේ හැමෝටම ආදර්ශවත් මවක් බිරිඳක් සහ ගැහැනියක්. මේ චිත්‍රපටයේ පිටපත මට ලැබුණාට පසුව මාස ගණනාවක් මම පිළිකා රෝහලට ගිහින් ඔවුන්ව අධ්‍යයනය කළා. පිළිකා රෝගය වැලඳුණු රොගීන්ට මම ඇප උපස්ථාන කළා. ඔවුන්ට කීමෝ තෙරපි දෙනවිට ඔවුන් කොයිතරම් වේදනා විඳීනවාද, මරණාසන්න වනවිට ඔවුන්ගේ හැසිරීම කොහොමද කියලා මගේ ඇසින් දැකලා චරිතයට සූදානම් වෙලයි මම රූගත කිරීම්වලට ගියේ. මේ චිත්‍රපටය යම් කෙනෙක් සාර්ථකව දකිනවාද ඒ තරමට මම පිළිකා රෝගීන්ව අධ්‍යයනය කරලා ඔවුන්ගෙන් දේවල් ඉගෙනගෙන රඟපෑවේ. ඉන්දිරා ගැන බොහෝ දේවල් ඇගේ නැගණිය වන වෛද්‍ය ලංකා ජයසූරියගෙන් මම දැනගත්තා. ඇය කොයිවගේද, ඇගේ සැමියා සහ පවුලේ හිතවතුන් සමඟ බැඳීම, ඇය ඇගේ පියා සමඟ හුවමාරු කළ අවසන් වචනය ටික පවා මම ඇගෙ නැගණියගෙන් දැනගත්තා. අනෙක් චිත්‍රපටවලට වඩා මෙයට මගේ ශරීර පෙනුම පවා වෙනස් කරගත්තා. වේශ නිරූපණයට පැය 12ක කාලයක් වැය වුණා. වේශ නිරූපණය කළේ නාරද තොටගමුව. මේ චිත්‍රපටයේදී ඉන්දිරාගේ ස්වරූපයට සහ චරිතයට සමාන වෙන්න මම සෑහෙන්න උත්සාහ කළා. චිත්‍රපටය නරඹන විට හැමෝටම ඉන්දිරා ජයසූරිය කියන්නේ කවුද කියලා දැනේවි.

 

සරත් වීරසේකරගේ "ශ්‍රී සිද්ධා" ගැනත් කතා කරමු.

මේ චිත්‍රපටයේ රූපගත කිරීම් කරලා ටිකක කාලයක් ගිහින්. ඒ නිසා "ශ්‍රී සිද්ධා" චිත්‍රපටයත් තිරගත වෙන තෙක් මම බලාගෙන ඉන්නවා. එයත් ඉතිහාසය හා බැඳුණු කතාවක්. සරත් වීරසේකර කියන්නේ තම නිර්මාණ තුළින් ශ්‍රී ලාංකිකත්වය ගැන කතාබහ කරන නිර්මාණකරුවෙක්. ඔහු බොහොම පරිණත කෙනෙක් නිසා සැහැල්ලුවෙන් වැඩ කරන කෙනෙක්. මොන ප්‍රශ්නය ආවාත් එය සුදුසු ලෙස විසඳලා නිර්මාණය සාර්ථකව කරන්න වෑයම් කරන කෙනෙක් ඔහු.

 

මේ සියලු අත්දැකීම් එක්ක උදාරි රංගනය කියන දෙය දකින්නේ කොයි විදිහටද?

මම හිතාගෙන හිටියා නම් මම හොඳට රඟපානවා කියලා ඒක නෙමෙයි මගේ පරාසය කියලා මට මේ කාලයේදී වැටහුණා. රංගනය කියන්නේ නිරන්තර පුහුණුවීම් සමඟ සතතාභ්‍යාස කරමින් ප්‍රගුණ කරන්න ඕනේ දෙයක් කියන දේ මේ කාලයේදී මම වැඩකරපු අධ්‍යක්ෂවරුන් සියලුදෙනගෙන්ම මම ඉගෙන ගත්තා. ඔවුන්ගෙන් ලද පන්නරයෙන් මම ඉගෙනගත්ත දෙයක් තමයි රඟපෑමෙදි අපිට භාව ඉවසීම තියෙන්න ඕනේ කියන දෙය. කැමරාව ඉදිරියේ අපට හිතට ආපු සැණින් භාවික නිරූපණය කරන්න බැහැ. එය ඉතාම ඉවසීමෙන් නිරූපණය කරන්න ඕනේ. ඒ වගේම අකුරු අතර පරතරය, වචන අතර පරතරය, වචන උච්චාරණය මේ හැමදෙයක්ම මම ඉගෙනගත්තා. චරිතයක් රඟපාලා අපි හිතුවාට මේ තමයි රංගනය කියලා ඒක නෙමෙයි, රංගනය කියන්නේ අපි හොයාගෙන ගිහින් ප්‍රගුණ කරන්න ඕනේ දෙයක්.

 

ඔබ චරිතයකට ප්‍රවිෂ්ට වෙන්නේ කොහොමද?

මම පෞද්ගලිකව චරිතයකට ප්‍රවිෂ්ට වෙන්නේ ඒ චරිතයේ ඉතිහාසය වර්තමානය සහ අනාගතය ගැන විශ්ලේෂණයකින් පසුවයි. එම චරිතය පොඩි කාලේ හැදුණේ කොහොමද? මවුපියො කවුද? චරිතයේ රුචි අරුචිකම් මේ සියල්ලම මම පිටපත් රචකයා සමඟ ගොඩනඟනවා. ඒ වගේම චරිතයේ ඉලක්ක සහ ඒ චරිතයේ අනාගතය කොයිවගේද කියලා අදහසක් ගොඩනඟාගන්නවා. එවිට චරිතයට ප්‍රවිෂ්ට වෙලා ඒ චරිතය රඟපාන්න පහසුයි.

 

රංගන පුහුණු පාසලක අවශ්‍යතාව උදාරිට දැනෙන්නේ කොහොමද?

එය මේ රටට අත්‍යවශ්‍යයි. මහේන්ද්‍ර පෙරේරා, අනෝජා වීරසිංහ වගේ දක්ෂ ගුරුවරුන්ගේ රංගන පාසල් තියෙනවා. නමුත් ඒවා අන්තර් ජාතික වශයෙන් ප්‍රමිතිගත කරලා නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ අන්තර් ජාතික වශයෙන් අනුමත කළ එකම එක රංගන පුහුණු පාසලක්වත් අපිට තියෙන්න ඕනේ කියලා. මට නැතත් අපේ ඊළඟ පරම්පරාවකට හෝ රංගනය ගැන වැඩිදුර හදාරලා තැනකට එන්න එය රුකුලක් වේවි කියලා මම හිතනවා.

 

ක්ෂේත්‍රයේ සාදකතාවලදි උදාරිව දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්.

ඒක ඇත්ත. ජනප්‍රිය කෙනෙක් වුණාම නිතරම පෙනෙන්න ඉන්න ඕනේ කියන දෙය මිනිස්සු හදාගත්ත කතාවක්. රූගත කිරීම්වලට සහ සම්මාන උලෙළකට අමතරව මම අද වෙන තෙක් ක්ෂේත්‍රයට අදාළ වෙනත් කිසිම තැනකට ගිහින් නැහැ. උපන්දින සාද, මඟුල් ගෙවල්, මළ ගෙවල් කිසිම තැනකට මම ගිහින් නැහැ. එහෙම යන අයට දොස් කියනවා නෙමෙයි මේ. මම රූගත කිරීම්වලින් පසුව හැම තත්පරයක්ම මගේ පවුලේ අය සමඟ ගත කරන්නයි උත්සාහ කරන්නේ. එහෙම වුණා කියලා ප්‍රේක්ෂක ආදරේ සහ කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ගේ ආදරය මට අඩුවෙලත් නැහැ. පෞද්ගලිකව යාළුවො කියලා ආශ්‍රය කරන්න මට යාළුවොත් නැහැ. මගේ එකම යාළුවා මගේ සැමියා සහ දුව.

 

ක්ෂේත්‍රයේ ඔබ පැමිණි ගමන ගැන නැවත හැරිලා බැලුවොත්?

මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දාහතරක් වෙනවා. මේ කාලය ගැන හැරිලා බැලුවාම මට ගොඩක් සතුටුයි. දෙරණ මිස් ශ්‍රීලංකා වැඩසටහන ඔස්සේ මාව හැමෝම දැනගත්තා. මම ක්ෂේත්‍රයට ආවේ වෙළෙඳ දැන්වීම්වලින් සහ ගීත රූපරචනාවලින්. මගේ පළමු රංගනය වුණේ උදයකාන්ත වර්ණසූරියගේ "පායා එන්න හිරු සේ" චිත්‍රපටය. ඉන්පසුව "බොඳ මීදුම්" ටෙලිනාට්‍යයේ මම රඟපෑවා. ඉන්පසුව චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට දායක වුණා. මම ප්‍රේක්ෂකයන් අතරට වැඩියෙන්ම ගියේ ටෙලිනාට්‍යවලින්.

 

උදාරි පසුකාලීනව ටෙලිනාට්‍ය අත්හැරියේ ඇයි?

මම ටෙලිනාට්‍ය අත්හැරලා නැහැ. ටෙලිනාට්‍ය භාරගන්න එක තාවකාලිකව නතර කළා. ඒකට හේතුව තිරගත වෙන්න නියමිත චිත්‍රපට අටක් තියෙනවා. ටෙලිවිෂනයෙන් ප්‍රේක්ෂකයන් මාව නිතර දකින විට සිනමාපට නරඹන්න අවශ්‍යතාවක් නැති වෙයි කියන බය තියෙනවා. ඒ නිසා මගේ චිත්‍රපට තිරගත වෙන තෙක් තාවකාලිකව ටෙලිවිෂනයෙන් ඈත් වෙලා ඉන්න තීරණය කළා.

 

ඔබව රංගන ශිල්පිනියක් කරන්න කෙනෙක් හීන දැක්කා නේද?

මාව රංගන ශිල්පිනියක් සහ රූරැජිණක් කරන එක මගේ තාත්තගේ සිහිනයක්. මම අතදරුවා කාලෙ ඉඳලා මාව රූපසුන්දරියක් කරන්න ඔහු හීන දැක්කා. මගේ පෙකණිය කපලා බුරිය උඩට එද්දි බුරියට සතයේ කාසියක් ගැටගහලා තාත්තා කියලා තියෙනවා "මගේ දුව ලොකු වුණාම මිස් ශ්‍රී ලංකා කරනවා" කියලා. ඒ නිසාම මම 2007දි මගේ වයස 19 සම්පූර්ණ වන විටම තාත්තා ඇප්ලිකේෂන් දානවා මිස් ශ්‍රී ලංකා තරගයට. මම ඒ තරගයේදී අනුතරග අංශ

කීපයකින් ජයග්‍රහණය කළා. 2015 දී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමි වුණා. මගේ තාත්තාගේ සිහිනය සැබෑ වුණා. කවුරුහරි මගෙන් ඇහුවොත් මම රංගන ශිල්පිනියක් නොවුණා නම් කවුද වෙන්නේ කියලා මම කියන්නේ මගේ පළමු දෙවැනි සහ තෙවන විකල්පයත් රංගන ශිල්පිනියක් වීමම තමයි.

 

ඔබේ ඉලක්කවලට යන්න අතදුන් පියෙක් වගේම පසුව ඔබට හොඳ සැමියෙකුත් මුණගැහුණා නේද?

මට මගේ සැමියාව මුණගැහෙන විට වයස අවුරුදු 19යි. උදයකාන්ත මහත්මයාගේ "පායා එන්න හිරු සේ" චිත්‍රපටය රඟපාන්නෙත් මේ කාලයේදීමයි. චිත්‍රපටය තිරගත වන විට මම විවාහ වෙලා හිටියේ. මම ප්‍රේක්ෂකයන් ඉදිරියට යන විටම විවාහකයි. එය මගේ ප්‍රේක්ෂක ආදරයට ගැටලුවක් වුණේ නැහැ. මම වසර පහක් එක දිගට ජනප්‍රියම නිළිය සම්මානය ටෙලි සිනමා ක්ෂේත්‍ර දෙකෙන්ම. මම විවාහක රංගන ශිල්පිනියක් වීම මට ආශිර්වාදයක්. සැමියා ලබාදෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ. වෘත්තිමය වෛද්‍යවරයෙක් ලෙස ඔහුගේ වැඩත් කරගෙන මගේ රූපගත කිරීම්වලදී දරුවාව බලාගෙන ඇයට මම නැති අඩුව දැනෙන්න නොදී හොඳ පියෙක් සැමියෙක් විදිහට ලබාදෙන සහාය ඇත්තටම මට සෑහෙන්න වටිනවා.

 

උදාරි මෙතරම් දුර ආවේ දුවෙක්ට අම්මෙකුත් වෙමින්?

ඔව්. දැන් මගේ උසටම හරියන්න උස දුවෙකුත් ඉන්නවා මට. දුවගේ නම ශෙනාර්යා උමේලි විජේරත්න. දුව ඉපදුණේ සිංගප්පූරුවේදි. එයා අවුරුදු හතක් වෙනතෙක් ලංකාවේ මං එක්ක හිටියා. මගේ රූපගත කිරීම්, හඬ කැවීම් සියල්ල ගැන ඇයට හොඳ අවබෝධයක් තියෙනවා. එයා දන්නවා එයාගෙන් විය යුතු දෙය සහ නොවිය යුතු දෙය මොකක්ද කියන එක. මගේ දුවට දැන් අවුරුදු නවයක්. ඒ වයසට ඉතාම හොඳ අවබෝධයක් තියෙන දරුවෙක් එයා.

 

උදාරි අනාගතයේදී කොතැනට යයිද?

ලංකාව කියන්නේ තුන්වෙනි ලෝකයේ රටක්. එතැනින් ඔබ්බට යන්න ලංකාවේ ඉන්න ඉන්න හැම කලාකරුවෙක්ම වගේ මමත් හීනයක් දකිනවා. අන්තර් ජාතික වශයෙන් නමක් දිනා ගන්න මමත් කැමතියි. ඒ වගේම මගේ රංගන ජීවිතයේදී හොඳම නිළිය සම්මානය ගන්න එක මගේ ලොකුම හීනයක්. ඒකත් සරසවිය සම්මාන උලෙළකදීම ලැබෙන එක මට ඊටත් වඩා ජයග්‍රහණයක්. ඒ හීනයත් මම දකිනවා. මගේ පෞද්ගලික ජීවිතයෙන් මගේ දරුවාට හොඳ අනාගතයක් සහ මගේ පවුලට සුබසිද්ධියක් වෙනවට මම කැමැතියි.

 

සේයාරුව - තිලක් පෙරේරා