ස්තුතියි ඔය දෙන්නට පිච්චිව මට දුන්නට

ජනවාරි 6, 2022

මාණික්කාවතේ පිච්චි,

උමා අසේනි

 

දෙදෙනෙකුගේ රෙකමදාරුව මත මාණික්කාවත ටෙලි සිතුවමේ පිච්චිගේ චරිතය උමා අසේනිට ලැබිණ.

"ඔය ළමයට මේ චරිතය කරන්න පුළුවන්දැ"යි අධ්‍යක්ෂ සුදත් රෝහණ ඇසූ පැනයට දෙවතාවක් නොසිතා ඇය හා කියා හිස සැලුවාය. එකී චරිතය බැරෑරුම් එකක් බවට ඇයට දැනුණේ පසුවය. නමුත් අභියෝගයන්ට අභියෝග කරන උමා මාණික්කාවතේ පිච්චි භාරගත්තේ ඉතාම ආදරයෙනි. ඇය නිර්දේශ කළ දෙදෙනා රංගන ශිල්පී ජගත් චමිල හා අංග රචනා ශිල්පී නාරද ධනංජි තොටගමුවයි. ඔවුනගේ වචනය මත සුදත් රෝහණ ඇයට මාණික්කාවතහි ප්‍රධාන චරිතයක්වූ පිච්චි භාර දුන්නේය. ඒ වන විටත් අධ්‍යක්ෂවරයා ඇගේ රංගනය දැක තිබුණේද නැත. නමුත් විශ්වසනීය නිර්දේශය මත පිච්චි චරිතය ලබාදුන්නේ ඇය හොඳීන් නිරූපණය කරාවි යැයි සිතාය. එය එසේම විය. ඒ පිච්චි නොහොත් උමා අසේනි අප හා කතා බහකට සූදානම් විය. ඇය ඊට මුලපිරුවේ මාණික්කාවත තමන්ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බව සඳහන් කරමිනි.

ඇත්තටම මට මේ අවස්ථාව ලැබුණෙ ජගත් චමිල අයියා සහ නාරද අයියා නිසා. ඔවුන්ගේ යෝජනාව මත සහාය අධ්‍යක්ෂවරයා මට සුදත් රෝහණ සර් හමුවෙන්න කියලා මේ දිනයක් දුන්නා. මං එදින ගිහිල්ලා ඔහු හමුවුණා. ඊට පස්සේ මාත් එක්ක විස්තර කතා කරලා තමයි මේ චරිතය කරන්න බාර දුන්නේ. ඒ විශ්වාසයට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේක මගේ රංගන ජීවිතයේ ලැබූ ලොකුම ලොකු අවස්ථාවක්. තවත් විදිහකින් කිව්වොත් මේක මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කියලා මම විශ්වාස කරනවා. මොකද මේ නාට්‍යයේ පිච්චි කියන්නේ අවුරුදු 18 ඉඳලා වයස අවුරුදු 77 වෙනකම් යන චරිතයක්. ලෙහෙසි පහසු වුණේ නෑ චරිතය නිරූපණය කරන්න. ඒ වගේම මේ වෙලාවේ තව දෙයක් මතක් කරන්න ඕනේ. අපි රූපගත කිරීම් කළේ බලන්ගොඩින් ඇතුළට වෙන්න තියෙන කල්තොට කියන අති දුෂ්කර ගම්මානයේ. ඇත්තටම අපිට අපි විදිහට ජීවත් වෙන්න ලැබුණේ නැහැ ඒ පරිසරය තුළ. අපි චරිත විදිහටමයි ජීවත් වුණේ. ජගත් චමිල අයියා ජගත් චමිලව අමතක කළා. මම මාව අමතක කළා. අනිත් අයත් එහෙමයි. සේරම අමතක කරල දාල අති විශාල කැපකිරීමක් කළා මේ නාට්‍යය වෙනුවෙන්. ගිය ජූලි මාසෙ ඉඳල අපි රූපගත කිරීම් නිසා මේ නාට්‍යයටම විතරක් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් ඒ අතරතුරදී අපට වෙනත් නිර්මාණ සඳහා යන්න බැරි වුණා. මේ වෙනුවෙන්ම අපි කැප වුණා. ඇත්තටම කැපවීමෙන් ප්‍රතිඵල දැන් තමයි අපිට බලන්න ලැබෙන්නේ.

 

ඔබ නිවේදිකාවක් ලෙසටත් දායකත්වය දක්වමින් සිටියා නේද?

ඔව්. මම මුලින්ම සම්බන්ධ වෙන්නෙ සිරස ආයතනයට. එහිදී සිරසාලින්දය, now showing වගේ වැඩසටහන් ගණනාවකට මට නිවේදිකාවක් විදිහට දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා. ඊට පසුව මම ජාතික රූපවාහිනියට එනවා. වර්තමානය වන විට නම් මම නාලිකාවක වැඩ කරන්නේ නැහැ.

 

රංගනයට මොනවගේ කැමැත්තක්ද තිබුණේ?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ. ඒ වගේම මම ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විදුහලේ. ඉතිං මට පාසලේදී වගේම විශ්වවිද්‍යාලය තුළත් විවිධ නිර්මාණ සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබුණා. කැම්පස් එකේදි අපි කරපු විද්දේ පඳුරට නාට්‍යයේ මම කළ චරිතයට අන්තර් විශ්වවිද්‍යාල සම්මාන උලෙළේදී හොඳම නිළියට හිමි සම්මානයත් ලැබුණා. මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ අනුරාධ සුබසිංහ අධ්‍යක්ෂණය කරපු ඉන්ද්‍රජාලික පෙම්වතිය වේදිකා නාට්‍යයෙන්. ඒ වගේම මට ටෙලි නාට්‍ය කිහිපයකට රංගන දායකත්වය ලබා දෙන්න ලැබුණා. තිළිණ බොරලැස්ස අයියගේ අවිකඳුළු තමයි මම රඟපාපු පළවෙනි ටෙලි නාට්‍යය ඒක තවම විකාශය වුණේ නැහැ. එහි ප්‍රධාන චරිතයක් මම නිරූපණය කළා. ඊට පස්සේ තිළිණ අයියාගෙම ආන්‍යා කියන නිර්මාණයට දායක වුණා. ඊට පස්සේ ඔහුගේම නෝ පාර්කින් ටෙලි නාට්‍යයටත් මම දායකත්වය ලබා දුන්නා. ඡතචජඬ බධඹද ඵබධපර, සිත නිවන කතා, බස් එකේ ඉස්කෝලේ,ආලියා වගේ මම රඟපාපු ටෙලි නිර්මාණ කිහිපය සඳහන් කරන්න පුළුවන්.

 

ඔබ ගී පද රචිකාවක් විදියටත් ජනප්‍රිය ගීත රැසක් රචනා කළා?

සනුක ගායනා කරන පෙරවදනක් ගීතය, ඊට පස්සේ නදීමාල් පෙරේරා ගයන මණිමේඛලා මම ලියූ ජනප්‍රිය ගීත. ජාතික රූපවාහිනියේ ඩබිං කරලා විකාශය වූ සසර කින්නරාවි නාට්‍යයේ ගීත රචනා කළා. හිරුෂී ජයසේන බාචි සුසාන් කියන කිරුළ වගේ ගීත කිහිපයක් තියෙනවා මම රචනා කරපු.

 

දැන් ඔබ නිවේදන වෘත්තියේ යෙදෙන්නේ නැද්ද?

ඒක ඉදිරියේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ. නමුත් රංගන ශිල්පිනියක් වගේම ගී පද රචිකාවක් විදිහට නම් දිගටම වැඩ කටයුතු කරගෙන යනවා.

 

ඉදිරියේදී ඔබ දැක බලාගත හැකි නිර්මාණ මොනවද තියෙන්නේ?

ඇත්තටම මම කලින් කිව්ව වගේ මේ මාණික්කාවත නාට්‍යය වෙනුවෙන් අපි කරපු කැපකිරීම නිසා මට ලැබුණු තවත් නිර්මාණ කිහිපයක්ම මඟ හැරගන්න සිදුවුණා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නන්නත්තාර නාට්‍යයට මට කතා කළා. චාමර ජනරාජ් පීරිස්ගේ අලුත් නාට්‍යයටත් කතා කළා. ඒ වගේ නිර්මාණ ගණනාවකට මට කතා කළා. නමුත් මේ නාට්‍යය නිසා මට ඒවට දින දෙන්නට බැරි වුණා. කනගාටුවක් නැහැ. ඉදිරියේ දී මෙම නිර්මාණයෙන් අනතුරුව තවත් නිර්මාණ සඳහා දායකත්වය ලබාදෙන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.

 

 

සේයාරුව - නිශ්ශංක විජේරත්න