වඩා නිවැරැදි වේශ නිරූපණයද? අංග රචනයද?

ප්‍රවීණ අංග රචනා ශිල්පී වසන්ත විට්ටච්චි
දෙසැම්බර් 30, 2021

 

තිරයෙන් එපිට සහ මෙපිට දස්කම් දක්වන ශිල්පීන් අතළොස්ස අතරට ඔහු එක්වන්නේ මීට අඩසියවසකට ආසන්න කාලයකට පෙරය. වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන ක්ෂේත්‍රත්‍රයෙහිම තම චරිතය නිරූපණයටත් අන් චරිත ගොඩ නැඟීමටත් ඔහු ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. බොහෝ විට වේදිකාව සහ තිරය මත ඔහු නිරූපණය කරන චරිතවලින් අප ඔහුගේ රුව හැඳුණුවද ඔහුගේ නම අප හඳුනන්නේ තිරයෙන් පිටුපස ඔහු කර ඇති සම්මානනීය කාර්යයභාරය නිසාය. වසන්ත විට්ටච්චි නම කියූ පමණින් රංගන ශිල්පියකුත් අංගරචනා ශිල්පියකුත් යන භූමිකා දෙකක් අප සිහියට නැඟෙන්නේ එබැවිනි. අද සරසවියට ඔහු පවසන්නේ බොහෝ දෙනා වරද්දාගන්නා කරුණක් පිළිබඳවය. එය මුලින් හඳුන්වනවාට වඩා ඔහුගේ වචනයටම ඉඩදීම වඩා සුදුසු යැයි සිතමි.

වැරැදි නිවැරැදි කරන්නට පෙර දශක හතරහමාරකට අධික ඔබේ ගමන්මඟ කෙටියෙන් පවසමු?

මම පාසලින් ඉවත් වෙලා මුලින්ම එන්නේ රඟපාන්න, 1975 වගේ කාලේ. ඒ කාලේ රතු පැත්තට තිබුණු වැඩි බර නිසා රුසියානු භාෂාව ඉගෙන ගන්න ආසාවක් ඇති වෙලා සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයට එනවා. එහිදී නිමල් පතිරණ සහෝදරයාගේ 'රත්තෝ' නාට්‍යයේ ලූකස් ට රඟපානවා. මම නාට්‍ය බලලා තිබුණට විෂයයට කිසිම සම්බන්ධයක් නෑ. එකම අත්දැකීම පොඩි කාලේ වත්ත පල්ලැහැ අය්යලා අක්කලා එක්ක නටපු නාට්‍ය විතරයි. ඉතින් දැවැන්ත කලාකරුවන්ගේ ඇසුර සහ කලාව සැබැවින් දුටු නිසා, මට තේරුණා මෙය ඉගෙන ගෙන කළ යුතු දෙයක් බව.

එනිසා 1977 පමණ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට ඇතුළත් වුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් ධම්ම ජාගොඩ ගුරුතුමා ඇතුළු බොහෝ ප්‍රවීණයන්ගේ ඇසුරේ නාට්‍යකරණය හැදෑරුවා. කංකංබූරු, දිවසළු දිවමාලිගා ඇතුළු නාට්‍ය රැසක රංගනයට දායක වුණා. අද ප්‍රවීණයන් වූ බහුතරයක් සමඟ දැඩි මිත්‍ර සන්ධානයක් ගොඩනැඟුණා. එවක තරුණයකු වූ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ 'පැණි හටන' දිගු නාට්‍යය සහ 'ගොන්දෙන්නෙක්' කෙටි නාට්‍ය දෙක එකම වසරේ, එකම නිෂ්පාදකගේ හොඳම නාට්‍ය දෙක බවට පත් වුණා. මට එහි නිශ්චිත කාර්යයක් නැතත් මම නාට්‍යය සමඟ රටපුරා ගියා. එහි අංගරචනය කළේ දැනට ඒ ක්ෂේත්‍රයේ විදේශීය අත්දැකීම් බහුලම ශිල්පියා වන රන්ජිත් වික්‍රමසිංහ. දවසක් ඔහු මට කීවා 'බේස් එක එහෙම ගාලා පුරුදු වෙන්න' කියලා. දිනක් ඔහුම ඇහුවා ලංකාවේ දැනටත් ප්‍රවීණම සහ දැවැන්තම චරිතයක් බවට සලකන ශේෂා පලිහක්කාර ගුරුතුමාගේ චිත්‍රපටයක් තිබෙනවා වැඩකරන්න කැමැතිද කියලා. මට ඉබ්බා දියේ දැම්මා වගේ. 1980 'ආදර කතාව' සහාය අංගරචනා ශිල්පියා ලෙස එතුමාගේ සෙවණේ ගමන ඇරඹුවා.

ඒ අතර ආචාර්ය සාලමන් ෆොන්සේකාගෙන් රංගනය හදෑරුවා. ඒ වගේම ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු ආයතන මඟින් සංවිධානය කළ විදේශීය නාට්‍ය ගුරුවරුන් යටතේ වැඩමුළු රැසකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. එයින් ලැබූ පන්නරය රඟපෑමට පිටිවහලක් වුණා.

මුලින්ම අංගරචනයට දායක වුණේ?

මම මුලින්ම අංගරචනා කළේ සිනමාවට. මගේ පූරුවේ වාසනාවකට ශේෂා පලිහක්කාර මහත්මයාම නිෂ්පාදනය කළ 'සත්‍යග්‍රහණය' චිත්‍රපටයේ අංගරචනා අංශය බලා ගන්න කියලා ඔහු මට කීවා. ඒ වෙද්දි යුගාන්තය, ක්‍රිස්තු චරිතය, මංමුළා වැල්, මායා ආදියේ පලිහක්කාර මහත්මයාගේ සහාය ශිල්පියා ලෙස කටයුතු කර තිබුණා.

මම දවසක් 'මංනිලමේ' නාට්‍යය බලන්න ලුම්බිනියට යද්දි එහි අංගරචනා ශිල්පියා මඟදි හමුවෙලා ඔහුගේ මේකප් බඩු ටික දීලා 'වසන්ත මේ ටික අරගෙන යන්න මම විනාඩි පහෙන් එනවා' කියලා ගියා. මම ඒ ටික ඩ්‍රසිං රූම් එකේ තිබ්බා. ඒත් නාට්‍යය පටන්ගන්න ආසන්න වනතුරුත් ඔහු අවේ නෑ. නාට්‍ය කණ්ඩායම හිතුවේ මමයි සහාය ශිල්පියා කියලා. ඔවුන් මට කීවා මේකප් පටන් ගන්න කියලා. අන්තිමට අර ශිල්පියා ආවේ රෑ නවයහමාරට විතර ආපසු බඩු ටික ගෙනයන්නයි. ඒ තමයි මගේ පළමු වේදිකා අංගරචනය. ඉන්පසු දිගටම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා.

රූපවාහිනී පළමු රංගනය වුණේ 'කඩඉම' ටෙලි නාට්‍යය. පළමු ටෙලි නාට්‍ය අංගරචනයත් එක්තරා අහම්බයක්. සුමිත්‍රා පීරිස් මහත්මිය 'සස ජාතකය' නිර්මාණය කරද්දි පලිහක්කාර සර් හදිසි අවශ්‍යතාවකට දර්ශනතලයෙන් පිටත් වුණත් වෙලාවට එන්න බැරි වුණා. ටෝනි රණසිංහ මහත්මයා මට ශක්තිය දෙමින් කීවා 'නොදන්නා කෙනෙක්ව ශේෂා තියලා යන්නේ නෑනේ අපි වැඩේ පටන්ගමු' කියලා. ඒ වෙද්දි ඔහුගේ වැනිසියේ වෙළෙන්දා වැනි නාට්‍යවල මම වැඩ කර තිබුණ නිසා ඔහුටත් විශ්වාසයක් තිබෙන්න ඇති. පසුව සුමිත්‍රා පීරිස් මහත්මිය සහ විලී බ්ලේක් මහත්මයා රූපවාහිනියට කළ ජාතක කතා මාලාවෙම මට අංගරචනය වගේම රංගනයටත් අවස්ථාව ලැබුණා. පනස්වසරකට ආසන්න කාලයක් ක්ෂේත්‍ර දෙකේම නියැළෙන්නේ ඒ අත්දැකීම් සමඟ.

 

වේශ නිරූපණය, අංගරචනය සහ රූපලාවණ්‍යය (Makeup)  අතර වෙනස?

අපේ පැරැණි චිත්‍රපටවල බැලුවත් තිබෙන්නේ වෙස්ගැන්වීම කියලා. වර්තමානයේ වුණත් නාමාවලියේ සඳහන් වන්නේ වේශනිරූපණය කියලා. ඒත් වෙස්ගැන්වීමට හිසේ සිට පාදාන්තය දක්වා කරන්නා වූ සියලු වෙනස්කම් අයිතියි. උදාහරණයක් ලෙස කේශ නිර්මාණ ශිල්පියකුගේ කාර්යභාරය, ආභරණ නිර්මාණය, ඇඳුම් වස්ත්‍ර නිර්මාණකරණය, මෙවලම් නිර්මාණය (ර්‍ථපධනඵ) ආදි සියල්ල එකතු වුණාමයි කෙනකු වෙනස් වූ වේශයකට පරිවර්තනය වී වෙස් ගැන්වීමක් නැත්නම් වේශ නිරූපණයක් සිදුවන්නේ. 'අංග' කියන්නේ ඉරියවු. 'රචනය' කියන්නේ මතුකොට දැක්වීම. ඒ නිසා ඉරියවු ප්‍රක්ෂේපණය කර දැක්වීම සඳහා කරන්නා වූ විෂයය හඳුන්වන්නේ අංග රචනය ලෙසින්. එයට මුහුණ ප්‍රධාන කොට සම මත කරන්නාවූ වෙනස්කම් තමයි අයිති වන්නේ. එනිසා අප කරන විෂයයට 'සාධාරණ' හැඳීන්වීම තමයි 'අංගරචනය'. අනෙක් අතට රූපලාවණ්‍යය කියූ ගමන් ලස්සන කිරීම සඳහාද මේකප් කරන්නේ කියලා සමහරු සරලව හිතනවා. ඒත් සැලූනයක මනමාලියක් හැඩගන්වද්දි මනමාලිගේ ඉරියවු එයට අදාළ වන්නේ නැහැ. එහෙත් චරිතයක් නිර්මාණය කරද්දි අපි මුහුණේ කොටස් හයක් ගැන සැලකිලිමත් වෙනවා. ඇස්, කම්මුල්, තොල්, නහය, නිකට සහ නළල. මේ කොටස්වල කරන අඩුවැඩි කිරීම් අනුව කෙනෙකුව වෙනස්ම පෙනුමකට ගන්න පුළුවන්. මේ ඉරියවු මතුකොට දැක්වීම අදාළ වන්නේම ප්‍රාසංගික රංග කලාවටයි. එනිසා අංගරචනය අදාළ වන්නේත් ප්‍රාසංගික රංග කලාවටයි.

 

ඔබ මෙය කියන්නේ හැදෑරීම සහ අත්දැකීම මුල්කොටගෙන?

ඔවු. අප වැඩ කරන අතර කරන ප්‍රායෝගික අධ්‍යාපනය මෙහිදී ඉතා වැදගත්. මෑතක් වනතුරුම අපට තිබුණේ ගුරුවරයකුගෙන් ගෝලයකුට ශිල්පය ලබා දීමේ සම්ප්‍රදාය. එහිදී ගුරුවරයාගෙන් ගෝලයා ශිල්පය පමණක් නොවේ, අනෙකුත් ශිල්පීන්, ප්‍රවීණයන්ගේ ඇසුර, විනය, ශික්ෂණය, දැනහැඳුණුම්කම්, ඇවතුම් පැවතුම් මේ සියල්ල ඉගෙන ගන්නවා. එහෙත් පාඨමාලාවක් කර සහතිකය ලබාගෙන එළියට එද්දි අපි ගෙවන මුදලට ඉගෙන ගත් යමක් පමණයි. ක්ෂේත්‍රය හඳුනා ගන්න ලැබෙන්නේ ගුරුගෝල සම්ප්‍රදායෙන් නිසා එය බැහැර කළ හැකි දෙයක් නොවේ. ඉන්දියාවේ අදටත් සංගීතය, නර්තනය ආදි ප්‍රායෝගික විෂයයන් හැදෑරීමට ගුරුවරයකු වෙත යන්නෙකුට දිසාපාමොක් ක්‍රමයට උවටැන් කරගෙන තමයි ඉගෙන ගන්න වන්නෙ. අපේ පරපුරේ අයත් එවැනි ගුරුගෝල පදනමින් පැමිණි නිසා ලැබූ අත්දැකීම් අනුව අදටත් කිසි විටෙක දර්ශන තලයේදී ටී ෂර්ට්, සෙරෙප්පු බෑ. හොඳට ඇඳ පැලඳගෙන සපත්තු දාගෙන වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් හැසිරෙන්න ඕනෙ.

 

ඔබ වත්මන් පරපුරටද කියන්නේ?

යම් ආයතනයකින් වැඩක් කරගන්න වුණත් හොඳට ඇඳලා ගියොත් තමයි සැලකීමක් ලැබෙන්නේ. මම දැකලා තිබෙනවා සමහර දර්ශනතල සඳහා ගන්නා ඉහළ පැළැන්තියෙ නිවෙස්වලට ඇතැම් කාර්මික ශිල්පීන් කොට කලිසම්, ටීෂර්ට් කෑලි ඇඳගෙන ගියාම ප්‍රධාන දොරටුවෙන් නොගෙන කුස්සිය පැත්තෙන් එන්න කියන අවස්ථා. මේ ක්ෂේත්‍රය කලාත්මක වගේම කාර්මික අංශයටත් අයිතියි. ඒ නිසා එහි ගෞරවය පවතින ආකාරයෙන් සියලු දෙනා කටයුතු කළ යුතුයි.

 

වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය සඳහා අංගරචනයේ ඇති වෙනස්කම් ගැනත් කතාකරමු?

මුල්කාලේ කළු සුදු සිනමාව කීවට ඒ වර්ණ අතර අන්තරා 11ක් තිබෙනවා. ඒ මැද ඇත්තේ අළු පාට. ඒ නිසා අවශ්‍ය වර්ණය හඳුණා ගැනීමට තාක්ෂණික දැනුම අවශ්‍යයි. පිටපතක චරිතයේ කාල වකවානුව, භූගෝලීය පරිසරය, සමාජ පසුබිම, වයස, රැකියාව ආදි බොහෝ පැතිකඩ සිතීමට දැනුමක්, අධ්‍යයනයක් අවශ්‍යයි. අද කාලය ඉතිරි කරගැනීම සඳහා සමහරු කරන දේවල් නිසා අම්මයි දුවයි දෙන්නම එකවගේ. අංගරචනා ශිල්පියාගේ ප්‍රධාන කාර්යභාරය චරිතාංග අංගරචනයයි. රූපවාහිනියේදී නම්, ඍජු අංගරචනය, නිවැරැදි කිරීම, චරිතාංග කියන අංශ තුනම දැනගැනීම අවශ්‍යයි. ඉස්සර කැමරාශිල්පියා සමඟ කලින්ම චරිත අංගරචනා කර පිරික්සා බලනවා. දැන් තිබෙන වාතාවරණය අනුව එහෙම කරන්න පහසුකම් නෑ.

ඉස්සර ඉන්දියානු ආභාසයෙන් ලස්සන සුදු පෙම්වතා සහ පෙම්වතිය සමඟ කළු කැත දුෂ්ටයා චරිත සහිතව පැමිණි චිත්‍රපටවල බලපෑම අදටත් කොපමණද කීවොත් විශේෂයෙන් වර්තමාන නිළියන් උත්සාහ කරන්නේම සුදු වෙන්න. සමහර නාට්‍යවල හේනට ගිහින් දරකඩන චරිතය කරන ශිල්පිනියන් දම්පාට, රන්පාට අයිෂැඩෝ ගාගෙන ලස්සන වනතුරු තමන්ගේ මේකප් බඩු ටික දීලා බලාගෙන ඉන්න 'බජට් එකට ඔබපු මෙකප්මෑන්' ලා දැකලා තිබෙනවා. අපි තලෙළු වර්ණයට මෙතරම් බය ඇයි? කළු සම කැත නම් දකුණු අප්‍රිකානු රටවලින් රූපරැජිනියන් බිහිවන්නේ කොහොමද? ඒ වගේම මේකප් එකත් එක්ක බැඳුණු ලොකු දේශපාලනයක් තිබෙනවා.

මේ විෂයය නිවැරැදිව අධ්‍යයනය කළ අය එදා නම් සිනමාවේ කැමරා කාචවල වෙනස්කම් අවබෝධ කරගත යුතුයි. ඩිජිටල් කරණයට ලක් වූ පසු අපේ ඇසට පෙනෙනවාට වඩා දහගුණයක් අඩුවෙන් අංගරචනය කළ යුතුයි. එය සමේ වර්ණයට ගැළපිය යුතුයි. සිනමාවට වගේම රූපවාහිනියටත් ඒ සිද්ධාන්තය පොදුයි. ඉස්සර RGB  වර්ණ වෙනුවට දැන් CMYK  වර්ණ තිබෙන්නේ. වත්මන් ශිල්පීන් මේ වෙනස්කම් හොඳීන් අවබෝධ කරගත යුතුයි. පාඨමාලාවක සහතිකයකට මේ දැනුම ලඝු කරන්න බෑ. සහතිකය රැකියාවක් ලබා ගන්න සුදුසුකමක් වුවත් රැකියාව කරගෙන යෑමට ඇති හැකියාව ඉන් මනින්න බෑ. අනෙක විදේශ රටවලින් පුහුණුවක් ලැබූ පමණින් මේ දැනුම ලැබෙන්නෙත් නෑ.

 

ඔබ එහෙම විශේෂයෙන් කියන්නේ ඇයි?

අංගරචනය සම්බන්ධ විදේශ පුහුණුව අපේ ශිල්පීන් ලැබුවේ අද ඊයෙක නෙවෙයි. සිංහල සිනමාවේ පළමු අංගරචනා ශිල්පියා, රෙජී ද සිල්වා එන්නෙත් ඉන්දියාවේ ආර්ට් ස්ටුඩියෝහි පාඨමාලාවක් හදාරලා. ශේෂා පලිහක්කාර මහත්මයා ශාන්තිනිකේතනයෙන් ඉගෙන, ලන්ඩන් නුවර පාඨමාලා හදාරලා ලයිෂ්නර් කොස්මටික් ආයතනයේ ප්‍රවර්ධන නිලධාරියා බවට පවා පත්වනවා. සෝමබන්ධු විද්‍යාපති මහත්මයාට වේදිකා අංගරචනයේ දැවැන්ත වෙනස්කම් කරන්න ඔහුගේ විදේශීය අධ්‍යයනය වැදගත් වුණා. ක්ෂේත්‍රයට කරන දායකත්වය කියන්නේ එයයි. ඒ නිසා ශිල්පියකු කළ යුත්තේ තවත් ශිල්පියකුට අභියෝග කිරීම නොවේ ශිල්පයට අභියෝග කිරීමයි. අද ඇතැමුන් කරන්නේ තමන් ගැනම අධිතක්සේරුවක හිඳීමින් එකිනෙකාට අභියෝග කරගැනීම. එයින් සිදුවන්නේ තමතමන්ගේ මුග්ධභාවය ප්‍රදර්ශනය කිරීම මිස ශිල්පයේ නව හරඩතල සහ නව ශිල්පක්‍රම වර්ධය වීම නොවෙයි.

 

ඔබ මේ දිනවල යෙදෙන කටයුතු ගැනත් කියමු?

ස්වාධීන රූපවාහිනියේ සතියේ දිනවල මෙට්‍රො හීන සහ ස්වර්ණවාහිනියේ සති අන්තයේ වන්ස්අපොන් අ ටයිම් ඉන් කලම්බෝ පැති දෙකක චරිත දෙකක්. සමාජ තල දෙකක තාත්තලා දෙන්නෙක් ලෙස දකින්න පුළුවන්. තවත් අලුත් නාට්‍ය කිහිපයකම කටයුතු කෙරෙමින් පවතිනවා. වේදිකා නාට්‍ය කිහිපයකුත් මේ වෙද්දි වේදිකාගත වෙනවා.

ඒ වගේම රාජ්‍ය නාට්‍ය පාසලේ උපදේශකවරයකු ලෙස මෙන්ම මේ දැනුම ලබාගන්න කැමැති අයගේ ඉල්ලීම පරිදි ඔවුන්ට දැනුම ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා. අප සතු දැනුම අනාගත පරපුරට ලබාදෙන තවත් වැඩපිළිවෙළක් යොදන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. පටන් ගත්තාම ඒ ගැන සරසවියට මුලින්ම කියන්නම්.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න