මට කතා කරන්න ඒක මට මහමෙරක්

බුද්ධි වික්‍රම
දෙසැම්බර් 30, 2021

 

කුමාරිහාමි ටෙලි නිර්මාණයේ “මෝසස්” තාරාදේවි ටෙලිනාට්‍යයේ “සිරිසේන” අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ “කැන්දලන්ද” ට බොහෝ සේ ආදරය කළ ප්‍රේක්ෂකයන්ට බුද්ධි වික්‍රම කිසිදා අමතක නොවනු ඇත. පුංචි තිරය, වේදිකාව මෙන්ම සිනමාවේද මතක හිටින චරිත බොහෝමයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එක්වූ බුද්ධි වික්‍රම මේ වනවිට දැඩි සේ රෝගාතුරව ඇඳට සීමා වී සිටීම ඔහුට ආදරය කළ සුවහසක් ප්‍රේක්ෂකයන්ට නෙතට කඳුළක් උනන සෝචනීය ආරංචියකි. එදා තිරය ආලෝකමත් කළ බුද්ධි අද මේ නිවහනේ සයනය මත වැතිර කල් ගෙවනුයේ පවුලේ සාමාජිකයන්ගේ රැකවරණය මතය. කවදත් කලාකරුවන්ගේ දුකේදී මෙන්ම සැපේදීත් නිරතුරුවම ඔවුන් සමඟ කුලුපගව ඉන්න සරසවිය පත්තරය මේ ප්‍රවීණ කලාකරුවාගේ සුවදුක් සොයා ඔහුගේ නිවහනට ගොඩ වැදුණේ ප්‍රවීණ රංගවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මඟපෙන්වීම ඔස්සේ.

මට මොකුත් කරගන්න බෑ. මම අසරණ වෙලා ඉන්නේ. අද මම උඩබැලි අතට ඇද උඩ. මගේ අතක් එහෙම පිටින්ම පණ නෑ. නැඟිට ගන්න බෑ. හැරෙන්න කරන්න බෑ. පාකින්සන් රෝග තත්ත්වය මාව එහෙම පිටින්ම ගොදුරු කරගෙන. යාළුවෝ වුණත් මට කතා කරන්නේ නෑ. මම හරි ආසයි යාළුවෝ මට කතා කරනවා නම් කවුරුහරි ඉඳලා හිටලා කතා කළොත් මට ඇඬෙනවා. බලන්න ඇවිත් කතා කරන කොට මට සතුට වැඩි කමට ඇඬෙනවා. මේ තත්ත්වයට පත්වෙලා මම ගෙවන ජීවිතයේ වේදනාව දන්නේ මම විතරයි. මට ඒ වේදනාව තුරන් කරගන්න තියන එකම සැනසීම මට මගේ යාළුවෝ කතා කරන එක. මාව බලන්න ඇවිත් වචනයක් හරි කතා කරන්න. ඒ ලබන මානසික සතුට මට මහමෙරක්. ඒත් කෝ ඒ යාළුවෝ ඇයි මට කතා නොකරන්නේ ඇයි මාව බලන්නවත් එන්නෙ නැත්තේ. සතිස්චන්ද්‍ර එදිරිසිංහ ලූෂන් බුලත්සිංහල , අනුර බණ්ඩාර රාජගුරු, මොරින් චාරුණී, රමණි සිරිවර්ධන, මාලි ජයවීර, පී‍්‍රති රන්දෙණිය, හයසින් විජේරත්න, ප්‍රදීපා ධර්මදාස මාව බලන්න ආවා. අනේ මාව බලන්න එන්න. ඒක මට සතුටක්. මට කෑම එපා. සල්ලි එපා මාව බලන්න එන්න ඒ ඇති.

අපහසුවෙන් වුවද බුද්ධි එසේ කියාගෙන යයි. ඔහුගේ තනි නොතනියට ඔහුට අද සෙවණැල්ල වී සිටින්නේ ආදරණීය බිරිය අයිරාංගනීත් එකම දුව කුෂ්ලානිත් පමණි. අයිරාංගනී ද මේ වනවිටත් පසුවන්නේ ආතරයිටීස් රෝගී තත්ත්වයෙනි. එහෙත් ඇය මේ ස්වාමියා වෙනුවෙන් තමහට හැකි උපරිමයෙන් ආවතේව සිදු කරනුයේ තමන්ගේ රෝගී තත්ත්වය ගැනවත් නොසිතාය. අප එහි යන විටත් අයිරංගනී තම කකුල් දෙකේ බෙහෙත් ගැල්වූ වෙලුම් පටි වලින් ඔතාගෙන අමාරුවෙන් වුවද බුද්ධි වික්‍රමගේ අවශ්‍යතා වෙනුවෙන් වෙහෙසෙන අයුරු දැකගත හැකි විය.

මේ තත්ත්වයට පත් වුණාට පස්සේ මාවත් හුඟාක් ලෙඩ වුණා. මගෙත් දැන් කල්පනාව අඩුයි. මටත් මෙයාව උස්සන්න කරන්න අපහසුයි. දුව කුෂ්ලානි තමයි හැමදෙයක්ම හොයල බලලා කරන්නේ. මෙයාගේ දකුණු අත කොහෙත්ම පණ නෑ. තනියෙන් නැඟිටින්න, ඉඳගන්න බෑ. කලින් එයාගේ වැඩ එයාම කරගත්තා විල් චෙයා එකෙන් ගිහින්. දැන් එහෙමත් නෑ ඇදටම සීමා වෙලා.

බුද්ධිගේ බිරිය අයිරාංගනී එහෙම කියන කොට තාත්තාගේ රෝගී තත්ත්වය ගැන කියමින් අපිත් සමඟ එකතු වූණේ බුද්ධිගේ එකම දරුවා කුෂ්ලානි දුව.

තාත්තිට මුලින්ම 2013 වසරේ බයිපාස් සැත්කමක් කළා. ඊට පස්සේ තුවාලයක් ඇති වෙලා සෑහෙන කාලයක් බෙහෙත් කළා. කුකුලේ නහර ගැට ගැහිලා ලේ ගමනය අඩු වෙලා තාත්තා ටිකෙන් ටික රෝගී වෙන තත්ත්වයක් ඇති වෙන්න පටන් ගත්තා. අවුරුදු පහක විතර ඉඳලා මේ තත්ත්වය ටිකෙන් ටික ඇති වෙමින් තිබුණ. තාත්තාගේ කකුල් පණ නැතිව ගියා. ඊට පස්සේ තාත්තා රෝද පුටුවට සීමා වුණා. අවුරුදු තුනහමාරක් විතර තාත්තා රෝද පුටුවෙන් තමයි ගෙයි එහෙ මෙහෙ ගියේ. තාත්තාට පුළුවන් හැටියට රෝද පුටුවෙන් ගිහින් තාත්තාගේ වැඩ තනියෙන්ම කරගත්තා. දවසක් තාත්තා රෝද පුටුවට නඟින්න ගිහින් විසිවෙලා ගිහින් බිත්තියේ වැදිල වැටුණා. ඒ වැටීමේදී තාත්තාගේ උකුල් ඇටය පැනල තිබුණා. දැන් තාත්තා ඇදට වැටිල මාස හතරක් විතර ඇති. ඒ වැටීමත් එක්ක කතා කරන එක පැහැදිලි නැති වුණා. කෑම කන එක අඩු වුණා. දැන් තාත්තා දියර වර්ග විතරයි බොන්නේ. හැම කෑමක්ම තාත්තාට දැන් දෙන්නේ බ්ලෙන්ඩ් කරලා. හපල කන්න දැන් තාත්තට බෑ. පාන් කෑල්ලක් ඇරෙන්න බත් වුණත් අපි තාත්තාට දෙන්නේ බ්ලෙන්ඩ් කරල. දියර විදියට.

සිනෙස්ටාර් පදනමෙන් ගොඩක් උපකාර ලැබුණා. ජයන්ත ධර්මදාස මහත්තයා රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයයි පෞද්ගලිකව මැදිහත් වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. නවලෝක රෝහලේ කාර්ය මණ්ඩලයෙන් උපරිම සහයක් උපකාරයක් තාත්තාට ලැබුණ. ඔපරේෂන් එකක් කරනවා නම් රුපියල් ලක්ෂ අටක් විතර යනවා. ඒත් තාත්තාගේ අසනීප තත්ත්වය වගේම ඇගේ තියෙන දුර්වල භාවය නිසා එවැනි දේකට යන එක වෛද්‍යවරු අනුමත කරන්නේ නෑ. මමත් ඒකට කැමති නෑ. දැන් තාත්තට වයස අවුරුදු 83ක්.

නොසිතූ මොහොතක පියා අසනීප වීමත් සමඟ ආර්ථික දුෂ්කරතාත් ඇති නේද?

නැතුවා නොවෙයි. තාත්තාගේ බෙහෙත්වලට මුදල් අවශ්‍යයි. සිංහල බේත් වගේම, ඉංගී‍්‍රසි බේතුත් කරනවා. 2015 පස්සේ තාත්තා රඟපෑවෙත් නෑ. මට මතක හැටියට ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ චිත්‍රපටයක තමයි තාත්තා අන්තිමට රඟපෑවේ. ගාල්ල මහින්ද විද්‍යාලයේ තාත්තාගේ යාළුවෝ තාත්තාගේ අසනීප තත්ත්වය දැනගෙන මුදලින් උදව් උපකාර කළා. චැනල් සී නාළිකාවේ තාත්තාගේ වැඩසටහනක් විකාශය වීමත් සමඟ නොදන්නා බෝහෝදෙනෙක් මුදලින් උදව් කළා. දැනට ඉතාලියේ ඉන්න තාත්තාගේ රසිකාවක් වන මංගලිකා ඇන්ටි තාත්තාට බේත් ගන්න මුදල් ආධාර එව්වා. සුදත් රෝහණ මහත්තයාත් අපිට කලා සංධානය හරහා ගොඩක් උදව් කළා. සංස්කෘතික අමාත්‍යාංශය තාත්තා වෙනුවෙන් උදව් උපකාර කළා. මේ වසරේ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්තයත් ආයතනයේ කාර්ය මණ්ඩලයත් ගෙදරට ඇවිත් තාත්තගේ සුවදුක් බලල ගියා. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ඩඩ්ලි සිරිසේන, සංජීවනී වීරසිංහ, දිල්හානි ඒකනායක, රංජන් රාමනායක තාත්තාට බෙහෙත් ගන්න මුදලින් පවා උදව් කළා.

තාත්තිගේ කල්පනාව සම්පූර්ණයෙන් අඩු වෙලා නෑ. එයාට හොඳට මතකය තියෙනවා. ඒත් එයාට තියන ලොකුම ප්‍රශ්නය එක තැන ඉන්න එක. හරි ආසයි කවුරු හරි බලන්න එනවා නම්. දවස් ගණන් කියවනවා බලන්න ආපු අය ගැන. රෝද පුටුවෙන් එහෙට මෙහෙට ගිය දවස්වල ටෙලිවිෂන් එක හරි බැලුවා. ඒත් දැන් ඇදටම සීමා වෙලා නිසා උඩුබැලි අතට ඉන්නවා හැරෙන්න වෙන ක්‍රමයක් නෑ. ඒ අමාරුව තාත්තාට තදින්ම දැනිල තියෙනවා. බලන්න ආපු අය ගැන ප්‍රතිකාර කරන්න එන දොස්තරලටත් කියනවා ඒ තරම් එයාට ඒ හිතාදරයන්ගේ කතාබහ බේත්වලටත් වඩා වටිනවා.

තාත්ති අසනීප වෙලා එක්තැන් වෙලා ඉන්නවා කියල දැනගත්ත බොහෝ දෙනෙක් තමන්ට පුළුවන් හැටියට ද්‍රව්‍යවලින් මුදලින් අපට උදව් කළා. ඒ හැමෝටම ගොඩක් පිං. ස්තූති වෙත්වා.

36/2/2 , සුවහස් පෙදෙස, මාලපල්ල, හෝමාගම ලිපිනය සඳහන් නිවස්නයේ වෙසෙන බුද්ධි වික්‍රමට කතා කරන්න අවශ්‍යය නම් 0777220070 ජංගම දුරකතනයට ඇමතිය හැකිය. කවරෙකුට හෝ බුද්ධි වෙනුවෙන් මූල්‍යමය උපකාරයක් කිරීමට අවශ්‍ය වෙතොත් ලංකා බැංකුව කොට්ටාව ශාඛාවේ ගිණුම් අංක 74075621ට එම මුදල් පරිත්‍යාගයන් සිදු කළ හැකිය.

 

සේයා රූ - නිශ්ශංක විජේරත්න