තරුවක් වෙන්න නම් කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ

සම්මානනීය රංගවේදිනී සංගීතා වීරරත්න
දෙසැම්බර් 23, 2021

සිය මුල්ම සිනමා කෘතිය වන "අස්වැසුම" සිනමාපටය සඳහා හොඳම අධ්‍යක්ෂනයට හිමි සරසවිය සම්මානය දිනා ගැනීමට සමත් සිනමා අධ්‍යක්ෂවරයා ලෙස බෙනට් රත්නායක හැඳීන්විය හැකිය. ඔහුගේ නවතම සිනමා පටය වන "කවුරුත් දන්නේ නෑ" දෙසැම්බර් මස 22 වෙනිදා (ඊයේ) සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ විය. රංගන ශිල්පිනී සංගීතා වීරරත්න එහි එක් ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කරන්නීය. බෙනට් රත්නායක සම්මානනීය වුණු "අස්වැසුම" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේද සංගීතා වීරරත්නයි. වසර විස්සකට පසුව නැවතත් ඇය ඔහුගේ සිනමා නිර්මාණයකට සම්බන්ධ වීම මෙහි විශේෂත්වයයි. මේ "කවුරුවත් දන්නේ නෑ" චිත්‍රපටය ගැන සහ වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඇය අප හා කියූ දෑය.

- මම පරිපාලනයට කැමති වුණාට දේශපාලනයට කැමති නැහැ
- මුදල් උපයන පරමාර්ථයෙන් කලාව කරන්න අවශ්‍ය නැහැ
- මිනිසුන්ට සමීප චරිතයක් ප්‍රතිනිරූපණය කරන්න වෙනවා නම් ඒ චරිතයේ වගකීම වැඩියි
- තාරුණ්‍යය නැති නම් කුමන ක්ෂේත්‍රයක වුවද අනාගතයක් නැහැ

ඔබ ප්‍රධාන චරිතයට පණ පොවන ඝරසර්ප චිත්‍රපටය තිරගත වුණේ 2018 වර්ෂයේ. වසර තුනකට පසුව නැවතත් රිදීතිරයෙන්? 

"කවුරුවත් දන්නේ නෑ" චිත්‍රපටය මම ගරු රඟපෑමක් කරන්නේ. සාමාන්‍යයෙන් චිත්‍රපටයක තිර රචනය මට ලැබුණාම රංගන ශිල්පිනියක් ලෙස මම බලන්නේ ලැබෙන චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් මොනවාද කියන දෙය සහ චරිතය දිවෙන කාලසීමාවට වඩා ඒ චරිතය ප්‍රේක්ෂකයාට කොයිතරම් දුරට කාවදිනවාද කියන දෙය. මේ චිත්‍රපටයේ තිර රචනය කියවපුවාම මේ චරිතය ගැන මට ලොකු ආසාවක් දැනුණා. මේ කතාව දිවෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක් ගැන. මිනිස්සුන්ගෙ හිත්වල තියෙන දේවල් "කවුරුවත් දන්නේ නෑ". බෙනට් රත්නායක මේ චරිතයට ආරාධනා කළාම මම එය බොහොම කැමැත්තෙන් භාරගත්තා ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ තියෙන කැමැත්ත නිසා. රිදී තිරය ඔස්සේ නිරූපණය කරන මේ චරිතයෙන් මිනිස්සුන්ට හරිම ලස්සනට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

"කවුරුවත් දන්නේ නෑ" චිත්‍රපටයේ ඔබේ චරිතය ආන්දෝලනාත්මකයි?

මේ චිත්‍රපටයේ මම නිරූපණය කරන්නේ අගමැතිවරියකගේ චරිතය. දේශපාලඥවරියකගේ චරිතයක් නිසා එය ආන්දෝලනාත්මක විය හැකියි. නමුත් රංගන ශිල්පිනියක් හැටියට මට මේ චරිතයට පණ පොවනවා කියන වගකීම අනිත් හැම චරිතයක්ම පාහේ රඟපාන වගකීමට සමානයි. මම හැම චරිතයකටම මට හැකි උපරිම සාධාරණය කරනවා. මිනිස්සුන්ට ඉතා සමීප චරිතයක් ප්‍රතිනිරූපණය කරන්න වෙනවා නම් ඒ චරිතයේ වගකීම අපිට වැඩියි. මේ චරිතයේ නම "තේජා මඩුගල්ල". මේ චරිතයට පිවිසෙන්න මට ඒ තරම් අපහසු වුණේ නැහැ. අපිට ලැබෙන චරිත එදිනෙදා දකින චරිත වෙන්න පුළුවන්, සමහර චරිත අපේ හිතින් මවා ගන්න වෙනවා. නමුත් තේජා මඩුගල්ල චරිතය මට හිතෙන් මවා ගන්න ඕනේ වුණේ නැහැ. ඒ චරිතයට සිදුවෙන සියල්ල එදිනෙදා අපි දකින සිදුවීම්. ඒ නිසාම ඉතාම පහසුවෙන් ඒ චරිතයට ප්‍රවිෂ්ට වෙන්න සහ චරිතය මුහුණදෙන සිදුවීම් නිරූපණය කරන්න පුළුවන් වුණා.

මෙහි අන්තර්ගත මත්ද්‍රව්‍ය මාෆියාව, මෙහෙයුම්, වැටලීම් ආදී උද්වේගකර අවස්ථා, සිදුවීම් සමඟ කාන්තා දේශපාලනඥවරියක් ලෙස ඔබ ගනුදෙනු කරන්නේ කොහොමද?

ඇත්තටම සමහර දේවල්වල තොරතුරු දැනගත්තාම මට හරි පුදුම හිතුණා මේ වගේ දේවල් වෙනවාද කියලා. පසුව ඒ ගැන කල්පනා කරද්දි එය පුදුමයකුත් නෙවෙයි කියලා හිතෙනවා. මම විශ්වාස කරන විදිහට දේශපාලනයට මේ මාෆියා කිසිවක් අදාළ වෙන්නේ නැහැ. එතැනට පත් නොවී දේශපාලනය කළ හැකි බවයි මගේ පෞද්ගලික මතය. දේශපාලනඥවරියක් ලෙස චරිතය මම රඟපාන කොට එවැනි චරිත මුහුණ දුන්නා කියලා හිතන අත්දැකීම්වලට මම මුහුණ දුන්නා.

ඔබ ප්‍රධාන චරිතය නිරූපණය කළ බෙනට් රත්නායකගේ "අස්වැසුම" චිත්‍රපටයට හොඳම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය ලැබුණා. වසර 20කට පසුව නැවතත් ඔහුගේ චිත්‍රපටයක ඔබ?

බෙනට් රත්නායක කියන්නේ හරි වෙනස් මාදිලියේ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ අස්වැසුම චිත්‍රපටයේ මම රඟපෑවේ මීට වසර විස්සකට ඉහතදී. ඒ කාලයට වඩා දැන් ගොඩක් වෙනස් හැමදෙයක්ම. මම ඔහු සමඟ අස්වැසුම රූගත කිරීම් කළේ 1999දී. වසර 21ක් ගත වන කොයිතරම් දේවල් අපේ වෙනස් වෙලාද කියලා හිතෙනවා. ඒ වෙනස බෙනට් අයියා තුළත් තිබුණා. මම තුළත් තියෙන්න ඇති. ඔහු "කවුරුවත් දන්නෙ නෑ" චිත්‍රපටයේදී රංගන ශිල්පිනියක් ලෙස මට ලොකු නිදහසක් ලබාදුන්නා. බෙනට් අයියා කියන්නේ මට හුඟක් සමීප අධ්‍යක්ෂවරයෙක්. එය වසර විස්සක් ගත වුණත් වෙනසක් නැහැ. ඒ නිසාම ඔහු සමඟ වැඩ කරන්න හරිම පහසුයි.

චිත්‍රපටයේ වගේ සැබෑ ජීවිතයේදී දේශපාලනයට ප්‍රවිෂ්ට වෙන්න අදහසක් නැද්ද?

මම කොහොමටත් පරිපාලනයට බොහොම කැමති කෙනෙක්. නමුත් දේශපාලනයට කියන්නේ පරිපාලනය විතරක්ම නෙමෙයි. දේශපාලනය කියන්නේ පරිපාලනය විතරක්ම නම් ඒක හරිම ෂෝක්. ඒත් දේශපාලනය ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. එතැනට යන්න බලාපොරොත්තුවක් මගේ නැහැ.

මේ පශ්චාත් කොරෝනා සමයේ කලා ක්ෂේත්‍රයේ යම් පිබිදීමක් දකින්න ලැබෙනවා නේද?

වර්තමානයේදී මම වෘත්තීයමය මට්ටමින් කලා ක්ෂේත්‍රයේ නොරැඳුණාට කලා ශිල්පිනියක් කියන එක මගේ හදවතේ තියෙනවා. මම කුමන ව්‍යාපාරය කළත් මැරෙනතෙක් මාව හඳුන්වන්න කැමති කලා ශිල්පිනියක් කියන නමින්. ඉතින් වසර දෙකකට ආසන්න කාලයක් වසංගතයක් නිසා අත්හිටුවා තිබුණු විවිධ කලා නිර්මාණ දැන් එළිදකිමින් පවතිනවා. ඒක හරිම සන්තෝසයට කාරණාවක්. කලාවේ යම් ආකාරයක පිබිදීමක් වුණොත් එය අද දවසේ සිනමාවට සහ කලාවට සම්බන්ධ වෙන තරුණ රංගන ශිල්පීන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කාර්මික ශිල්පීන් ආදී සියලුදෙනාට ලොකු ශක්තියක්. තාරුණ්‍යය නැති නම් කුමන ක්ෂේත්‍රයක වුණත් අනාගතයක් නැහැ. තාරුණ්‍ය වෘත්තිය මට්ටමෙන් සම්බන්ධ වෙන මේ වගේ ක්ෂේත්‍රයක හොඳ පසුබිමක් හැදෙන්න ඕනේ. එහෙම හැදෙන්න නම් හොඳ නිර්මාණ බිහි වෙන්න ඕනේ. සිනමා කර්මාන්තයේ නම් මීට පෙර හැදුණු තිරගත නොවුණු චිත්‍රපට තිරගත වෙන්න ඕනේ. මේ වකවානුවේ හැදෙමින් පවතින ඒ සිනමා උද්‍යෝගය ගැන මට හරි සතුටුයි.

චිත්‍රපට රාශියක් එක දිගට එළිදකින එක ප්‍රේක්ෂක රසවින්දනයට බාධාවක් කියලා හිතෙන්නේ නැද්ද?

කොහෙත්ම නැහැ. ඒක නිර්මාණකරුවන්ගෙ පාර්ශ්වයෙන් සාධාරණ නැහැ. නිර්මාණකරුවන් සෑහෙන්න මහන්සි වෙලා කරන චිත්‍රපටි එළිදකින තෙක් වසර ගණනාවක් තිස්සේ බලාගෙන ඉන්නවා. කොරෝනා වසංගතයත් සමඟ එම කාලය තවත් දීර්ඝ වුණා. එහෙම කාලය දීර්ඝ වෙන්න වෙන්න චිත්‍රපට පරණ වෙනවා. බොහෝ චිත්‍රපට ඒවා නිර්මාණය කරන වකවානුවේ සමාජීය පසුබිම සමඟ සකස් වන නිසා පරණ වෙද්දි ඒවායේ පවතින උද්වේගය නැති වෙනවා. ඒ නිසා මම හිතනවා චිත්‍රපටි රාශියක් වුණත් එකවර එළිදැකීම ගැටලුවක් නෙමෙයි කියලා. ඒ වගේම චිත්‍රපට රාශියක් තියෙන නිසා ප්‍රේක්ෂකයාට වුණත් තමන්ගේ රුචිය අනුව සිනමාපට තෝරගෙන රසවිඳීන්න පුළුවන්.

මේ වගේ වකවානුවක කෙනෙක්ට වෘත්තීය මට්ටමෙන් කලා ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න පුළුවන්ද? 

මේ වගේ වකවානුවක කලාවේ විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක වෘත්තීය මට්ටමින් රැඳීලා ඉන්න අමාරුයි. කොරෝනා වසංගතය නිසා සෑම ක්ෂේත්‍රයක්ම ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා. එය ආර්ථික ගැටලු කලාකරුවන්ට විතරක් නෙමෙයි තියෙන්නේ, හැමෝටම තියෙනවා. නමුත් සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට වඩා කලාකරුවා අර්බුදයකට පත් වෙනවා. මොකද කලාකරුවාට මුදල් ලැබෙන්නේ වැඩ තිබුණොත් පමණයි. එතැනදි කලාකරුවාට මූණදෙන්න වෙන අර්බුදය විශාලයි. වෘත්තිය මට්ටමින් කලාකරුවෙක් ලෙස ක්ෂෙත්‍රයේ ඉදිරියට යන්න හැම කෙනෙක්ටම බැහැ. ඒත් ප්‍රශ්න ගැටලු සියල්ල දරාගෙන ඉදිරියට යන අයත් නැත්තෙම නැහැ.

මේ කාලයේ කලා ක්ෂේත්‍රයට එන තරුණ පරපුර ගැන අනුකම්පා හිතෙන්නේ නැද්ද?

මේ වගේ කාලයක කොයි තරම් අපහසුතා මධ්‍යයේ වුණත් අත්හරින්නේ නැතිව කලාව තුළ රැඳීලා ඉන්න තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන්ට අනුකම්පා කරන්න ඕනේ නැහැ. ඔවුන්ව අගය කරන්නයි ඕනේ. ඒ සියලුදෙනා ගැන මට හරිම ආඩම්බරයි. එහෙම කලාව තුළ දිගටම රැඳී සිටීම තුළ පමණයි තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ කාලයක එසේ රැඳී සිටීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි.

කලාව අත්නොහළ තරුණ පිරිසට මොකක්ද කියන්න තියෙන්නේ?

තමන්ගේ වෘත්තියට තියෙන ආදරය නිසා මුදල් පසුපස හඹායන්නේ නැතුව කුමන ආර්ථික ගැටලු ආවාත් කලාව ඉදිරියේ තමන්ගේ හිස නමා ගෞරව කරන ඕනෑම ශිල්පියෙක් ශිල්පිනියකටම හදවතින්ම මම මගේ ගෞරවය පුද කරනවා.

කලාව අනිසි ලෙස ව්‍යාපාරයක් බවට පත් කරගත් පිරිසක් ඉන්නවා.

කලාව ව්‍යාපාරයක් තමයි. මෑතකදී සිනමාවත් කර්මාන්තයක් බවට පත් කළා. නමුත් ව්‍යාපාරය කියන දෙය එන්න ඕනේ ආර්ට් එකෙන් පසුව. කලාව තමයි අංක එක වෙන්න ඕනේ. ලස්සන කලා නිර්මාණයක් මඟින් මුදල් හම්බ කරන්න පුළුවන්. නමුත් මුදල් උපයන පරමාර්ථයෙන් කලාව කරන්න අවශ්‍ය නැහැ. හොඳ නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුව සහ ආශාවයි තියෙන්න ඕනේ. ඒ මඟින් මුදල් ඉපයූවාට ගැටලුවක් නැහැ. ඒත් දැන් ගොඩක් අය මේ දෙකම පටලවාගෙන ඉන්නේ.

වර්තමාන තරුණ පරපුරේ රංගන ශිල්පීන් ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතාවලට ඇගයීම් සම්මාන ලැබෙනවාත් අපි දකිනවා. නමුත් සිනමා තරුවක් වෙන්න නම් දක්ෂතාවය පමණක් තිබුණාට සෑහෙන්නේ නැහැ. තරු ගුණය තියෙන්න ඕනේ. අත්දැකීම්, කැපවීම එක්ක දක්ෂකම හදාගන්න පුළුවන්. නමුත් තරු ගුණය එහෙම හදාගන්න බැහැ. ඒක ආයාසයෙන් ආරෝපණය කරගන්නත් බැහැ. උදාහරණයක් විදිහට මම කිව්වොත් මෙන්න මේ නිළියට කැමති වෙන්න කියලා ඔයා කැමති වෙනවාද? නැහැනේ. ප්‍රේක්ෂකයාට රංගන ශිල්පියෙක් ගැන කැමැත්ත එන්නෙ නිරායාසයෙන්. මම රංගන ශිල්පීන් ගොඩක් දකිනවා. ඒත් තරු දකින්නේ අතළොස්සයි.

තරුවක් වෙන්න නම්?

කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. තරුවක් වෙන්නෙ උපතින්මයි. තරුවක් හදන්න බැහැ. විවිධ නාලිකාවල "ස්ටාර්" කියලා කොයිතරම් පිරිසක් හදලා තියෙනවාද? එතැනින් කීදෙනෙක් අද තරු හැටියට ඉන්නවාද? කියලා හොයලා බැලුවොත් මම කියන දෙය වැටහේවි. අදටත් විජය කුමාරතුංග හැමෝටම තරුවක්. ඒ නිසා තරුවක් හදන්න බැහැ. ඔවුන් බිහිවෙනවා.

සේයාරූ - දයාන් විතාරණ