වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
හැමෝටම මාව හොල්මනක් වගේ පෙනේවිද දන්නේ නැහැ

- රූගත කිරීම්වලදි ඔහුට මගේ වැරැදි පේනවා වැඩියි.
- ගමේ කටකතාවල හැටියට ඇත්තටම ඒ බංගලාවේ හොල්මන්ලු
මාෂි සිරිවර්ධන කියන්නේ වර්තමාන සිනමාවට අලුතින් හඳුන්වාදුන් තරු අතර කැපී පෙනෙන තරුවක්. පසුගිය වසරේ තිරගත වුණු ඊඩඥ ව්ඥඹඵනචනඥප චිත්‍රපටය හරහා සිනමාවට ප්‍රවිෂ්ට වන ඇය ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ. මේ දිනවල තිරගත වන නවතම චිත්‍රපටය වන "නිහඬ සෙවණැලි" චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයක් නිරූපණය කරන මාෂි සිරිවර්ධන සමඟ චිත්‍රපටය පිළිබඳව සහ ඇගේ කලා කටයුතු ගැන සාකච්ඡා කළා.
ලොක්ඩවුන් කාලසීමාවෙන් පසුව තිරගත වුණු පළමු චිත්‍රපටයේම ඔබ ඉන්නවා.
කොරෝනා වසංගතයත් එක්ක ගෙදර ඉන්න පුරුදු වෙලා දැන් ආයිමත් කාලයකට පසුව හැමෝටම අලුත් චිත්‍රපටයක් නරඹන්න අවස්ථාව තියෙනවා. නිහඬ සෙවනැලි කියන්නේ අද්භූත චිත්‍රපටයක්. ඒ වගේම තාරුණ්‍යයේ විනෝදකාමී බව සහ සැහැල්ලුව හරිම ලස්සනට පෙන්වන චිත්‍රපටයක්. ඒ හැමදෙයටම වඩා මේ චිත්‍රපටයේ කතා තේමාවෙන් පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා.
නිහඬ සෙවණැලි චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන කිව්වොත්?
මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා නිරූපණය කරන්නේ යෞවන යෞවනියන් කීපදෙනෙක්. ඔවුන් විනෝද චාරිකාවක් සඳහා රක්ෂිත වනාන්තරයකට යනවා. ඒ අතරින් මම හොඳම යාහළුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ කලින් පෙම්වතිය සහ අනෙක් කෙනාගේ වර්තමාන පෙම්වතිය. පුබුදු චතුරංගගේ වර්තමාන පෙම්වතියගේ චරිතය මට කරන්න තියෙන්නේ. නමුත් ඇයට නිතරම මතක් වෙන්නේ ඇගේ කලින් පෙම්වතාගේ පැරණි මතකයන්. ඔහුත් ඒ විනෝද චාරිකාවට සම්බන්ධ ඇගේ බිරිඳ සමඟ සම්බන්ධ වෙනවා. ඔවුන් දෙදෙනාගේ ආදරය දිහා බලාගෙන හිත රිද්දගන්න පෙම්වතියකගේ චරිතය තමයි මට කරන්න තියෙන්නේ.
කොහොමද ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. චිත්‍රපටයේ මංගල දර්ශනයේදීත් අපිට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. වසංගත කාලයක වුණත් අපහසුතා මැද්දේ බොහෝදෙනා චිත්රපයට ගිහින් බලලා තිබුණා. මේ චිත්‍රපටයට බහුතරයක් තරුණ ළමයි කැමති වෙයි කියල මම හිතනවා. මොකද තාරුණ්‍යයේ චමත්කාරය, අද්භූතජනක සිදුවීම්, කුතුහලය මේ ඔක්කොම තියෙන චිත්‍රපටයක් නිහඬ සෙවණැලි කියන්නේ. අපේ සිනමාව රඳාපවතින්නේ ප්‍රේක්ෂකයෝ නිසා. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අපිට ගොඩක් වටිනවා.
චිත්‍රපටයේ මාෂි පෙම්වතිය වෙන්නේ තමන්ගේ සැබෑ ජීවිතයේ පෙම්වතාගේමයි.
පළමු වෙනි වතාවට මමයි පුබුදුයි මේ වගේ එකට එකම චිත්‍රපටයක පෙම්වතුන් විදිහට රඟපාන්නේ. ඒක හොඳ අත්දැකීමක්. මටත් එයා එක්ක එකට රූගත කිරීම්වලට යන්න ලැබුණා. ඒත් මේ චිත්‍රපටයේ අපි දෙන්නා ඉන්නේ ඇත්ත ජීවිතයේ ඉන්න විදිහට නෙමෙයි. නිතරම රණ්ඩු වෙන, ඉරිසියාව, දුක, කලකිරීම්, ඝට්ටන සමඟ යන බැඳීමක් ඒක. පුබුදු ඒ චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් කරන්නේ. නපුරු පෙම්වතෙක්ගේ චරිතයක්. පුබුදුගේ ඒ චරිතය චිත්‍රපටය හරහාම විතරයි බලාගන්න පුළුවන්. එයා ඇත්ත ජීවිතයේ එහෙම නැහැ. එයා හරි සුන්දර මනුස්සයෙක්. ඒ නිසා වෙනස් අත්දැකීමක් ඒක. පුබුදු කියන්නේ දක්ෂ නළුවෙක්. එයා එක්ක එකට රඟපාන්න බය හිතුණා. මගේ ස්වාමි පුර්ෂයා වුණාට එයා ගෙදර ඉන්න විදිහට නෙමෙයි රූගත කිරීම්වලට ගියාම ඉන්නේ. මගේ අඩුපාඩු ඔහුට පේනවා වැඩියි. මම ක්ෂේත්රයේ අත්දැකීම් අවම නවකයෙක්. ගෙදර ඉඳලා පිටපත කියවන තැන ඉඳලා රූගත කිරීම් අවසන් වෙනතෙක් පුබුදු මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.
අද්භූත චිත්‍රපටයක රඟපාන්න ලැබුණු අත්දැකීම කොහොමද?
මම කැමතියි විවිධ අවස්ථාවලට. ඒ අවස්ථාවලට සැබෑ ජීවිතයේ මුහුණදෙන්න බැරි නම් චිත්‍රපටයකින් හෝ ඒ අත්දැකීම ලබාගන්න මම කැමතියි. ඒත් මම අද්භූත චිත්‍රපටි වලට ගොඩක් බයයි. නිහඬ සෙවණැලි චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණා පරණ බංගලාවක. ඒ ගමේ කටකතා තිබුණා ඒ බංගලාවේ ඇත්තටම හොල්මන් ඉන්නවා කියලා. ඒ පැත්තට තනියම යන්න එපා කියලා පුවරු පවා ගහලා තිබුණා. ඒ නිසා අපිට හොල්මන් කියන හැඟීම ඇත්තටම දැනුණා. ඒ මුළු පරිසරයේම තිබුණා පොඩි අද්භූත ගතියක්. අපේ කාර්ය මණ්ඩලයේ කීපදෙනෙක්ම විවිධ දේවල් දැක්කා කියලාත් කිව්වා. ඒ හැරුණුකොට චිත්‍රපටය රූගත කිරීමේදී අපිට තියෙන්නේ ලස්සන සුන්දර අත්දැකීම් ගොඩක්. අපි රඟපෑවේ ඒ මොහොත විඳීන ගමන්. පුබුදුත් මාත් එක්ක එතන හිටපු ඔක්කොම තරුණ අය. රොෂාන් රණවන, තරුකා වන්නිආරච්චි, ධනංජි තාරුකා, හරිත් වාසල අපි ඔක්කොම යාළුවෝ.
හොඳම යාළුවො එක්ක රූගත කිරීම් කරපු නිසා මාෂිට අකරතැබ්බ වෙන්නත් ඇති?
ඔක්කොම අය මාව තමයි බය කළේ. එතැන හිටපු අයගෙන් පොඩිම එක්කෙනා මම. ඒ නිසා හැමෝම මාව තනියම කැලේ දාලා දුවන අවස්ථා ගොඩක් තිබුණා. කැලේ එක රූගත කිරීමක් තිබුණා පිඹුරෙක්ව දැකලා බය වෙන එකක්. ඒකට තමයි මම ගොඩක් බය වුණේ. වැඩිපුරම කැලේ රූගත කිරීම් කරන්න තිබුණු නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා.
ඉදිරියේදි තිරගත වෙන්න නියමිත "යුගාත්‍රා" චිත්‍රපටයේත් ඔබ කරන්නේ අද්භූත චරිතයක්.
චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරපු යුගාත්‍රා චිත්‍රපටයේත් මම ඉන්නේ හොල්මන් චරිතයකට. මෙහෙම ගිහින් හැමෝටම මාව හොල්මනක් වගේ පෙනේවිද දන්නේ නැහැ. චිත්‍රපටි හතරක් රූගත කළා. එතැනින් දෙකක්ම මට ලැබුණේ අද්භූත චරිත. චන්න පෙරේරා මහත්මයාගේ යුගාත්‍රා චිත්‍රපටය තුළිනුත් ලොකු වෙනසක් සමඟ නැවුම් අත්දැකීමක් හැමෝටම ලබාගන්න පුළුවන් වේවි. ඒ චිත්‍රපටයත් ප්‍රේක්ෂකයෝ අතරට අනිවාර්යයෙන්ම යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
පුබුදු එක්ක ගෙවන ජීවිතය කොහොමද?
ඇත්තටම හරි සුන්දරයි. අපි ජීවත් වෙන්නෙ හරි සරලව. අපි යාළු වෙලා හිටපු කාලයට වඩා අපේ බැඳීම වැඩි වුණේ අපි විවාහ වුණාට පසුව. හරිම සතුටින් ආදරෙන් අපි ජීවත් වෙනවා.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
දැනට චිත්‍රපට තුනක පිටපත් ලැබිලා තියෙනවා. ඒවා කියවලා දින නියම කරගෙන තිබුණා රූගත කිරීම්වලට. ඒත් කොරෝනා නිසා රූගත කිරීම් ටිකක් කල් ගියා. ටෙලිනාට්‍යවලට නම් ආරාධනා ගොඩක් ලැබෙනවා. නමුත් මගේ උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුවෙන්න බලාපොරොත්තු වෙන් නිසා ඒවා භාරගත්තේ නැහැ. ඒ වගේම මගේ කැෆේ එකත් මතක් කරන්න ඕනේ. පළමු වෙනි කොරෝනා සමයේ තමයි මම ඒක ආරම්භ කළේ. ඒ වැඩකටයුතුත් අධීක්ෂණය කරමින් පවතිනවා.
ඡායාරූප - පමෝද් නිල්රූ