භවතරණය සමඟ සිනමාවට එන සජීව් ක්ෂත්‍රීය රාජපුත්‍ර

දෙසැම්බර් 16, 2021

මේ දිනවල කලා ලෝකයට වෙනස්ම මූණක් එකතුවෙලා. බොහෝ දෙනා විමසන්නේ කව්ද ඒ ඉන්දියානු පෙනුමක් ඇති තරුණයා කියලා. භවතරණය චිත්‍රපටය නැරඹූ අයෙක් ඒ ඔහුගේ ප්‍රථම රංගනය යැයි නොසිතනු ඇත. භවතරණයේ පුලස්ති වගේම සතියේ දිනවල රාත්‍රී 9.30 ට සිරස නාලිකාවේ විකාශය වන පියාඹන මූණිස්සම් හි ශාක්‍ය බස්නායක වෙන්නෙත් ඔහුමයි. ව්‍යාපාරික ලෝකයේ ඉහළින් ම දිදුළන නමක් දිනූවෙක් වූ ඔහු භවතරණය හා නිදහසේ පියා චිත්‍රපට හා පියාඹන මූණිස්සම් නිෂ්පාදනයෙන් දායක වෙනවා.රාජපුත්‍ර ප්‍රඩක්ෂන් හරහා විවිධ කලා කෘතිවලට නිෂ්පාදනයෙන් සම්බන්ධවන ඔහු නමින් සජීව් ක්ෂත්‍රීය රාජපුත්‍ර. භවතරණය හා පියාඹන මූණිස්සම් ගැන වගේම තවත් බොහෝ දේ කියන්නට ඔහු සරසවියට ගොඩ වුණේ මෙලෙසින්.

ව්‍යාපාරිකයෙක් වුණ ඔබ කොහොමද කලාවට එන්නේ?

ඒක අහම්බයක්. මගේ අසනීප තත්ත්වයකට ලංකාවට බෙහෙත් ගන්න ආ වෙලාවක භවතරණය අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ අපේ තාත්තා (මගේ බිරිඳගේ පියා ඩඩ්ලි සිරිසේන) මුණගැහෙන්න එනවා. ඒ වෙලාවේ මමත් එතැන සිටියා. අසනීප තත්ත්වය නිසාම මම රැව්ල සහ කොණ්ඩයත් වවාගෙන සිටියේ. මාව දැකලා දේවින්ද මගෙන් ඇහුවා මගේ චිත්‍රපටයේ චරිතයක් තියෙනවා. ඒ චරිතයට මගේ හිතේ හිටියේ ඔයා වගේ කෙනෙක් අපි රඟපාමුද කියලා. ඒ මොහෙතේ මම එය ප්‍රතික්ෂේප කළා. මාස දෙකකට පමණ පසුව මගේ අසනීප තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරුණායින් පසුව නැවත ඔහු මගෙන් විමසුවා ' මල්ලි රඟපාමු ද? ' කියලා. කතාවේ සාරාංශය හා මේ චරිතය පිළිබඳ ඔහු පැහැදිලි කිරීමෙන් අනතුරුව මම කැමැති වුණා රඟපාන්න.

රඟපානවා වගේම නිෂ්පාදනය කරන්නෙත් ඔබ?

ඔව්. මුලින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සිටියේ වෙන අයෙක්. නමුත් ඒ කාර්යය ඔහුගෙන් ඉටු නොවුණ නිසා එයට මට සහ මගේ අම්මාටත් තාත්තාටත් අවස්ථාව ලැබුණා. මගේ අම්මා ශිරාණි කැප්පෙටිපොළ. තාත්තා වීරසිංහ ක්ෂත්‍රීය රාජපුත්‍ර. ඒ දෙදෙනත් අපේ රටේ ඉතිහාසයට බොහොම ඇල්මක් දක්වනවා.

භවතරණය අවුරුදු අටකට පසුවයි සිනමාහලට එන්නේ. මෙය පිළිණු වෙලා කියලා හිතුණේ නැද්ද?

මේ නිර්මාණය තුළ අපේ ඉතිහාසය හා දේශපාලනය යන දෙකම කතා කෙරෙනවා. මේවා පිළුණු නොවන මාතෘකා. ඒ නිසා පිළුණු නොවුණා කියන්න හැකි වුවත් මෙය නිර්මාණයක් විදිහට ගෙන බැලුවොත් එය ප්‍රදර්ශනයට හොඳටම කල් වැඩියි. මොකද මේ චිත්‍රපටයත් නිමැවෙන්නේ ඓතිහාසික කතා තුළින් චිත්‍රපට කරන්න ගත්ත කුසපබා චිත්‍රපට ප්‍රදර්ශනය වූ කාලයේමයි. කොහොම වුණත් භවතරණ වගේ නිර්මාණයක් නැවත නිෂ්පාදනය කරන්නේ නෑ.

පියාඹන මූණිස්සම් හි ශාක්‍ය ගැනත් නොකියාම බෑ?

චරිතය කුමක් වුවත් එය අල්ලා ගැනීම කියන තැනයි වැදගත් වෙන්නෙ. ශාක්‍ය ගැන කතා කරද්දි මගෙන් අහන්නේ මෙහෙම ඇමැතිවරු ඉන්නවද කියලා.ඇත්ත ජීවිතේ එහෙම ඇමැතිවරු දැකලා නෑ කියලා බොහෝ දෙනෙක් මටම කියනවා. මම කිව්වා මේ ඉන්නේ බලාගන්න කියලා (සිනාසෙමින්). ඒ වෙනස පෙන්වන්නනේ මෙවැනි නිර්මාණ කරන්නේ. අපේ රටේ දේශපාලනය ගැන කැත අදහසක්නේ කිතෙන්නේ මිනිසුන්ට. එය මට හොඳටම තේරුණේ මේ නිර්මාණයට ලැබෙන කමෙන්ට්ස්වලින්. අපේ රටේ හැංගිලා ඇති අවංක සේවයක් කරලා ලොකු වෙනසක් කරන්න පුළුවන් දක්ෂ දේශපාලනඥයන් රැසක්. ඒ අයට පොඩි බලපෑමක් පොඩි අභිප්‍රේරණයක් මේ චරිතය තුළින් ලැබෙනවානම් එයයි මගේ බලාපොරොත්තුව. ශාක්‍ය වගේ චරිත ඉන්නවා. මම දැකලා තියෙනවා.

පුලස්ති සහ ශාක්‍ය ඔබට අනූව?

චරිත දෙක හාත්පසින් වෙනස්. පුලස්ති ඉතාම අහිංසක, කැලෑවල වයිල්ඩ් ලයිෆ් මැගසින් එකකට පින්තූර ගන්න සාමාන්‍ය පුද්ගලයෙක්. ශාක්‍ය බස්නායක වෙනස්ම චරිතයක්. මම පෞද්ගලිකව ශාක්‍යට ළඟයි. නමුත් පුලස්තිගේ චරිතයට මට අත්දැකීම් ලැබෙනවා මම අවුරුදු හතක් අසනීපෙන් නැඟිටින්න වාඩිවෙන්න බැරුව තිබුණ වේදනාව, දවසට පෙති නවයක් වේදනා නාශක ගන්නවා. කොන්දට දවස් දෙකකට සැරයක් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා නහර බ්ලොක් වෙනවට. එය හරිම අඳුරු කාලයක්. ඒ කාලේ බිස්නස් කළා. බොහෝ දේ කළා. ලෝකෙට පේන්න හිනාවුණා. නමුත් වේදනාවත් එක්ක එන තනිකම පුලස්ති ගොඩනඟන්න මට ඉවහල් වුණා. විශේෂයෙන්ම කියන්න ඕන මට ස්ක්‍රිප්ට් එක කියවගන්න පුළුවන් වුණේ නෑ. මට සිංහල කතා කරන්න පමණයි පුළුවන්. නමුත් අධ්‍යක්ෂ සහ සහය අධ්‍යක්ෂගේ නොමද උදවු නිසා ඔවුන්ගේ පැහැදිලි කරදීම් හොඳීන් මට වටහාගැනීමට හැකි වූ නිසා මම මේ චරිතය නිරූපණය කළා. එය සාර්ථකයි කියලා මට දැනෙනවා.

සජීව්ගෙන් ඇත්තම ශාක්‍ය කෙනෙක් බිහිවෙයිද?

(සිනාසෙමින්) තවම එහෙම තීරණයක් අරන් නෑ. ඒ ගැන හිතලත් නෑ. බලමු අනාගතේ මේ අදහස් වෙනස් වෙන්නත් පුළුවන්නේ.

ඔබ නිෂ්පාදනයට එන්නේ?

මම නිෂ්පාදනයට එන්නේ ව්‍යාපාරික ඇසෙන් බලලා නෙවෙයි. මම බැලුවේ නිර්මාණාත්මක අසෙන් විතරයි. මට ව්‍යාපාරික ඇසෙන් මේ දෙස බලන්න අවබෝධයක් තිබුණෙත් නෑ. නිෂ්පාදකයෙකුට මේ කර්මාන්තයෙන් ගොඩ එන්න හරිම අමාරුයි. මම කියන්නම ඕනෙ නිර්මාණකරුවන්ට නිෂ්පාදකවරු රැකගන්න කියලා.

ඔබේ පවුල ව්‍යාපාරික පවුලක්. විශේෂයෙන්ම ඔබේ මාමණ්ඩි (බිරිඳගේ පියා) ඩඩ්ලි සිරිසේන ලංකාවේ දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරික ලෝකයෙන් සම්පූර්ණ පරිබාහිර කලාව කරන එක ගැන දෝෂාරෝපණයක් නැද්ද?

තාත්තා නම් කියුවේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්න කියලා. ඒවට ෆෝකස් වෙන්න කියලා. නමුත් මගේ අම්මත් බිරිඳගේ අම්මත් දෙදෙනාම හරිම කැමැත්තෙන් බලනවා.ඒ අම්මලගේ තාත්තලගේ වෙනස. රඟපෑම දුටුවට පසුව ඔවුන් සියලුදෙනාම කියන්නේ රඟපාන්න කියලා. දාන් රාත්‍රී 9.30 වෙනකම් ඔවුන්ට ඉවසිල්ලක් නෑ. ඔවුන් සතුටුයි. මගේ බිරිඳ හා දරුවනුත් පියාඹන මූණිස්සම් හි ඉන්නවා. මේ වැඩ කරගෙන යන්න බිරිඳගෙන් ලැබෙන සහයෝගය නම් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඇය හොඳ යෙහෙළියක් මට.

රාජපුත්‍ර ප්‍රඩක්ෂන් ඊළඟ නිර්මාණය?

ජපානයේ සකුරා කියලා ටෙලිසීරිස් එකක් නිර්මාණය කරන්න සැලසුම් කරගෙන යනවා. එය ලංකාවේ අය සම්බන්ධ කරගෙන කරන දෙයක්. ඒත් එක්කම ඉන්දියාවේ දෙමළ චිත්‍රපටයක් නිර්මාණයට කතා කරගෙන යනවා මේ දිනවල. මේ වනවිට රාජපුත්‍ර ප්‍රඩක්ෂන් රුපියල් මිලියන තුන්සීයක් වෙන් කරලා තියෙනවා ඉදිරි නිර්මාණ කටයුතු සඳහා.

ඔබේ පෙනුම ඉන්දියානුවෙකුට සමානයි කියලා බොහෝ දෙනෙක් කියනවා ඇති?

ඔව්. බොහෝ දෙනෙක් කියනවා. ඇත්තටම මට ඉන්දියානු සම්භවයක් තියෙනවා මගේ පියාගේ සීයා ඉන්දියාවේ රාජස්ථාන්වල. ඔහු ලංකාවට ඇවිත් මෙහේ පදිංචි වෙනවා. නමුත් මම ඉපදෙන්නේ මෙහේ. මගේ අම්මත් මොනරවිල කැප්පෙටිපොළ පරම්පරාවේ කෙනෙක්. මගේ පවුලට ලොකු ඉතහාසයක් තියෙනවා.

ලැබුණ හොඳම ප්‍රතිචාරය?

භවතරණයෙහි මට රඟපාන්න තිබුණේ මේ රටේ කලා ලෝකයේ දැවැන්ත චරිත සමඟ. මම කලින් කරපු වැඩක් නොවෙයිනේ මේක. දවසක් මම එක එක දර්ශනයක් රූ ගත කරලා මොනිටර් එකේ ප්ලේ බැක් එක බලන වෙලාවේ මාලනි ආන්ටි ( මාලිනි ෆොන්සේකා) දුවගෙන ඇවිත් එයත් බැලුවා මොනිටර් එක. ඊට පස්සේ එළියට ගිහින් මගෙන් ඇහුවා ඔයා ඇත්තටම පළවෙනි පාරටද මේ රඟපාන්නෙ කියලා. මම ඔව් කිව්වා. ඔයා ඩයලොග් ඩිලිවර් කරපු විදිහ මම අහන් ඉදලා තමයි මොනිටර් එක බලන්න ගියේ ඔයා කොහොමද රඟපෑවේ බලන්න ඉතාම විශිෂ්ටයි රඟපෑම කියලා කිව්වා. එය නම් මට ලැබුණු හොඳම ප්‍රතිචාරයට වඩා අභිප්‍රේරණය කිව්වොත් හරි.

සේයාරුව - නිශ්ශංක විජේරත්න