මිහිරාවී ලොව ගී රජදහනේ නැළවෙමු මා මිහිරේ ඔබ පා සෙවණේ ගී ගයනෙමි

සනත්- මල්කාන්ති අඩසියවසක යුගදිවි සැමරුම වෙනුවෙනි
දෙසැම්බර් 16, 2021

 

විවාහයකට සැබෑ අර්ථයක් ලැබෙන්නේ අද සුබ නැකතින් පෝරුවට නැඟ හෙට විත්තිකූඩුවෙන් බැස දෙපසට යෑමෙන් නොවේ. සියයට සියයක් සම්පූර්ණ නොවන මිනිසුන් අතර තමන්ට වඩාත් ගැළපෙන, වඩාත් ආදරය කරන, වඩාත් අවබෝධය සහිත මෙන්ම එකිනෙකාට වඩාත් ගෞරව කරන පුද්ගලයා සමඟ දුක සැප, සිනහව කඳුළ එක ලෙස දරාගෙන දිවි ඇති තුරු එකමඟක යෑමෙනි. වෙසෙසින් කලාකරුවන් යුවළකට මෙය අභියෝගයක් වන්නේ කාර්යබහුලත්වය මෙන්ම ඒ දෙදෙනාටම වෙන‌ වෙනම ආදරය කරන පිටස්තරයන් ද බහුල වන නිසාය. ඒ සියලු දේ සම සිතින්, උපේක්ෂාවෙන් දරාගෙන සිය යුග දිවියේ අඩසියවස සපුරන සනත් - මල්කාන්ති යුවළගේ සෙනෙහසින් පිරි කැදැල්ලට අපි ගොඩ වුණෙමු.

 

මනාව අමදින ලද ගෙවත්ත දෑලේ පිපුණු මල් දෙස බලමින් යන අප එන බවට සංඥා කළේ කළුනි නම් සුනඛ සුරතලාය. ඉන්පසු අපට පෙර ගමන් පෙරහර සැදුණේ බළල් සුරතලුන් නව දෙනෙකුගෙනි. සුපුරුදු සෙනෙහසින් මුව පිරි සිනාවෙන් සහ ආදර වදන්වලින් අප පිළිගත්තේ ගායිකා මල්කාන්ති නන්දසිරිය. සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි පියාණන් තවමත් සුදානම් වෙමින් සිටින බව ඔවුන්ගේ දියණිය විශාරද නිශාදි අනුරාධා ගෙතුළ සිට දිවවිත් අපට පැවසුවාය. ඒ සියල්ලේ කැටිව ඇත්තේ කුටුම්භයක උණුසුම් සෙනෙහස බව ඕනෑ කෙනෙකුට හැ‌ඟෙනු නියතය.

දියණිය පියාණන් කැටුව එනතුරු මව කිරිල්ලියක මෙන් අප සමඟ දොඩමළු වූවාය.

 

'අපි ඇවිත් ඉන්නේ ජීවිතේ විශාල සන්ධිස්ථානයකට. අනිද්දාට (18) අපේ විවාහයට අඩසියවසක් ගෙවුණත් අපි දෙදෙනාම හදවතින් තාම තරුණයි.' කිංකිණි පරදන සිනාවක්ට ඈ වදන් පෙළ ගසයි.

'මේ පනස් වසර තුළ මුහුණ දුන්නු දුක සැප, ප්‍රශ්න ගැටලු ආදි සියල්ල අපි කවදාවත් අසුබවාදීව ගත්තේ නෑ. ඒ අප දෙදෙනා අතර තිබෙන ළෙංගතු කම, ආදරය සහ අවබෝධය නිසා. මේ වගේ ස්වාමියෙක් ලබන්න මම හරි වාසනාවන්තයි.'

හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි පුතු‌ගේ මුව 1942 පෙබරවාරි 15වැනිදා ගොතටුව නගරයේ ව්‍යාපාරිකයකු වූ විලියම් පෙරේරා සහ දෝන එමලින් කටුගම්පොල මවුපියන් දුටුවේ පවුලේ මද්දුමයා ලෙසය. පාසල් සමයේ ක්‍රීඩාවටද දක්ෂ වූ ඔහු තුදුස් වියේ සිටම ගුවන්විදුලියට සම්බන්ධ වී සිටියේය. මඩවල එස්. රත්නායක, කරුණාරත්න අබේසේකර වැනි එවක ප්‍රවීණයන් සමඟ ඇසුරත් ඩී. ආර්. පීරිස් ගුරුතුමාගෙන් තබ්ලා වාදනය හැදෑරීමත් නිසා සංගීතයටම කැප වූ ඔහු එකුන්විසි විය වන විට භාරතය බලා පිටත්වූයේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය.

 

මේ අතර ඉංග්‍රීසි කවියෙකු මෙන්ම මැසෙන්ජර් නම් කතෝලික පුවත්පතේ කර්තෘ ලෙස වසර 45ක් සේවය කළ මාධ්‍යවේදී හැරිසන් පීරිස් සහ රෙජිනා පීරිස් කිවිඳීයගේ දෙටු දියණිය වූ මල්කාන්ති පීරිස් වයස අවුරුදු දහයේ පමණ සිට ගුවන් විදුලි ළමා මණ්ඩපයේ ගායිකාවක ලෙස ගී ගැයුවේ මවගේ උනන්දු කිරීම මතය. කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, ඩීඩී ඩැනී, හේමසිරි ප්‍රනාන්දු වැනි ප්‍රවීණයන්ගේ නොමඳ සහාය මේ කුඩා දැරිවිට නිරන්තර ලැබිණි.

"මම අවුරුදු 17 වනතුරුත් එහි හිටියා. ගුවන්විදුලිය මගේ මහ ගෙදර වගේ. ශ්‍රීමතී සහ ලාලනී සෝමසිරි යසපාල පෙරේරා රෝහණ සිරිවර්ධන මගේ යාළුවෝ. දවසක් ශ්‍රීමතී කතාකළා වෙසක් නාට්‍යයක ගීත කියන්න. ඉන්දියාවේ ඉඳන් ආව ශ්‍රේෂ්ඨ සංගීතඥයන් පිරිසක් සංගීතය කරනවා කියලා. එදා මම ගියේ ෂර්ට් එකයි වොලිබෝල් ගහන ඩිවයිඩඩ් ස්කර්ට් එකයි ඇඳලා. කාපට් එක මත ලස්සන කඩවසම් තරුණයෙක් සර්පිනාව ගැහුවා. තවත් අය සරෝජය, එස්රාජය වාදනය කළා. මට වාඩිවෙන්න නංගී කීවාම මම බකස් ගාලා වාඩි වුණා. මගේ සාය උඩ ගියා. ඒත් මට ගාණක් නෑ. මොකද වයසින් වැඩුණත් අපේ හිත් ළමා ගතියෙන් පිරිලා තිබුණ නිසා. හැබැයි මම දැක්කා ඒ අය රහසින් යමක් කතාවෙනවා." මල්කාන්ති පවසන්නේ දෙනෙත් කාන්තියෙන් පුරවමිනි. ඒ ඇසුවේ කුමක්දැයි ඔහුගේ මඳ සිනහවෙන් සැරසූ මුවින් යුතුව හෙමින් සීරුවේ අපට කීවේ සංගීත් නිපුන් සනත්ය.

"මේ පොඩි කෙල්ලට සින්දු කියාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ කියලයි අපි කතා වුණේ. විමලධර්ම ජයවීර කීවා ළමා පිටියේ ඉන්න දක්ෂම ගායිකාවක් මම ගෙනාවේ කියලා."

ඉතිරිය මල්කාන්තිගෙනි. "මම ඒ වෙද්දි සංගීතය, රාග තියා ස්වර මුකුත් දැනගෙන හිටියේ නෑ. හැබැයි පල්ලියේ ගීතිකා ගායනා කරන්නයි ගුවන් විදුලියේ රුක්මණී දේවිගේ සින්දු කියන්නයි දැනගෙන හිටියා. අම්මා මේ ගීත අහගෙන ඉඳලා ගෙදර ගියාම ඇහුවා 'හරි ලස්සන තනු නේද පුතේ. ඒවා හැදූ කෙනාගේ නම මොකක්ද?'

මට එහෙම අවධානයක් නෑ, එනිසා මම ටිකක් කල්පනා කරලා මතක් වුණම කීවා, මමී එයාගේ නම විශාරද කියලා. එහෙනම් ඉන්දියන් කෙනෙක් වෙන්න ඇති නේද කියල මමීත් පිළිගත්තා."

ඒ විශාරද නමැත්තා සති දෙකකට පසුව මල්කාන්ති පීරීස්ගේ ගෙදර පැමිණ ඔහුගේ වැඩසටහනක ගී ගයන්නට සහභාගී කරවන ලෙස මවුපියන්ගෙන් අවසර ඉල්ලීය. එවිටය ඔවුන් මේ විශාරදගේ සැබෑ නම සනත් නන්දසිරි බව දැනගත්තේ.

"ඒ වෙද්දි මම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් සහ විශිෂ්ට ශ්‍රේණියේ නාට්‍ය ශිල්පිනියක් නිසා විමලධර්ම ජයවීරගේ කාලගෝල දික්තලා රඟපානවා. නාට්‍යය දුර දර්ශනවලට යද්දි සනත් සමඟ කතා බහ කරන්න ලැබුණා.

සනත්ට පළමු සරල ගී වැඩසටහන සඳහා අවස්ථාවක් ලැබුණ විට යුග ගීයක් ගයමු කියලා ළමා පිටියේ මගේ හිතවතා ප්‍රේමකීර්ති ද අල්විස්ගේ දෙවැනි ගීත නිර්මාණය කරවා ගත්තා.

විමලධර්ම ජයවීර ලියූ ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යද්දී ඈ මට හමු වූවා, නැසී ගිය බණ්ඩාර කේ. විජේතුංග ලියූ මහද පෙම්විලේ සමඟ ගැයූ අපේ යුග ගීය වුණේ ප්‍රේම කීර්ති ලියූ

මිහිරාවී ලොව

ගී රජදහනේ නැළවෙමු

මා මිහිරේ ඔබ පා සෙවණේ ගී ගයනෙමී ගිත තුනයි. එහෙම ලීවේ එයාට මොනවා හරි දැනිලා වෙන්නත් ඇති." ඇය කෝල සිනාවක් පා සිය සැමියා දෙස බලද්දී ඔහු සුපුරුදු මන්දස්මිතියෙනි.

ඕනෑම පෙම්පුවතක මෙන් මෙයටද දැඩි බාධා එල්ල විය. ඉන් ප්‍රධාන වී ඇත්තේ ඇය දැඩි කතෝලික පවුලක තරුණියක වීම නිසා දැඩි බෞද්ධ පවුලක තරුණයකු වූ ඔහුගේ පවුලේ විරෝධයයි. දිනක් ගුවන්විදුලියේ අවිදිමින් යන අතර තීරණාත්මක දෙබසකි.

'සමහරු කතා කියනවා අපි දෙන්නා වැඩිපුර කතා කරනවා කියලා?'

'මටත් කියනවා අය්යා ඕවා ගණන් ගන්න එපා'

'ඒක නෙවෙයි. දැන් ඔය කතා ඇත්ත වුණොත් මොකද නංගී හිතන්නේ?'

'මගේ හිතේ අයියා ගැන ලොකු ගෞරවයක් තරමටම ආදරයකුත් තියෙනවා'

 

පෙම් සටන්වලට සහාය වන්නෝද වෙති. මෙහි සහායකයා සනත්ගේ බාල සොහොයුරකු වූ නිමල් චන්ද්‍රසිරිය. ගුවන්විදුලියේ ඔහුට අවස්ථා ලබා දෙන මේ අක්කාගේ ගුණ නිතර ගෙදරදී වැයීමට ඔහු වගබලා ගත්තේය. අවසානයේ ඔවුන්ගේ මව පැවසුවේ සනත්ගේ ලොකු අය්යාගෙන් අවසර ලබාගන්නා ලෙසය. ඒ වන විට අම්පාර උහන විද්‍යාලයට පළමු ගුරු පත්වීම ලබා සිටි සනත් සති අන්තයේ මල්කාන්ති ද කැටුව ලොකු අය්යා හමුවට ගියේය.

'මේ වැඩේ පටන් ගත්තෙත් මගෙන් අහලද?' සැරෙන් විමසුවත් ඔහු අකමැත්තක් පෙන්නුවේ නැත.

වාසනා වේවා! පින්බර කුමරිය කුල කුමරිය වී මංගල මල් නැකතේ...

සතුටින් දිදුළන දෑසින් යුතුව මල්කාන්ති නන්දසිරි වූ දිනය මෙනෙහි කරන්නීය.

"අපි සිංහල සිරිත් විරිත් අනුව පෝරුවේ චාරිත්‍රත් කතෝලික ක්‍රමයට පල්ලියේ ආශීර්වාදයත් ලබාගෙන 1971 දෙසැම්බර් 18 වැනිදා උත්කර්ෂවත් උත්සවයක් සමුද්‍රා හෝටලේ පවත්වමින් රුක්මණී‌දේවි, ඩොමි ජයවර්ධන, මාලිනී ෆොන්සේකාගේ සිට කලාකරුවන් විශාල පිරිසකගේ ආශීර්වාදය මැද අතිනත ගත්තා. මම මගේ ස්වාමි පුරුෂයාට ගොඩක් ගරු කරන්නේ එයා මට ආගම වෙනස් කරන්න කීවෙ නෑ කවදාවත්." ඇගේ ගෞරවය දෑස් කෙමිවලින් ඉතිර දෙකොපුල් දිගේ රූරා යද්දී හිස ඔහුගේ උරතලයට බර වූයේ ඉබේටමය. සිය බාහුව ඇගේ කරවට යවා සනසමින් ඔහු එය පිළිගත්තේය.

 

සංවේදීබව වළකමින් මම ඇසුවෙමි.

ඒත් දෙන්නාගෙම ප්‍රථම ප්‍රේමය නෙවෙයිනේ මේ නේද?

සනත් නන්දසිරි සිනහවකින් ප්‍රතිචාර දැක්වූයේ එය අනුමත කරන විලාසයකිනි. මල්කාන්ති නන්දසිරි වක්කඩ කැඩුවා සේය.

"බොරු කියන්න බෑනේ රත්තරනේ ඔයාට. මම නුගේගොඩ ශාන්ත ජෝසෆ් කන්‍යාරාමයට පස්සේ කෝට්ටේ ශාන්ත තෝමස් මිශ්‍ර පාසලට ගියා. එහිදී ළපටි පාසල් ප්‍රේම තිබුණා. ඒත් මම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව නිසා ඒවාට කැමැත්ත දෙන්නත් බයයි. හැබැයි මට මගේ ස්වාමියාගේ ආදරය හරියට හඳුන ගන්න පුළුවන් වුණේ ඒ පුංචි අත්දැකීම් නිසා."

ජීවිතය යනු සතුට පමණක් උරුම වන්නක් නොවේ. දෑස් කවුළුපත් පලා කඳුළු කැට වෑහෙන අවස්ථාද එයි.

"අපි බැඳලා හරියට අවුරුද්දකදි අපට දරුවෙක් ලැබුණා. ඒ පුතෙක්. රත්තරන් කඳක්. මගේ මහත්තයා වගේ උසමහත බබෙක්. ඒත් එයා දවස් තුනෙන් නැති වුණා. අපි දෙන්නා මානසිකව බොහොම වැටුණා. හැබැයි වැඩි කාලයක් අපට එහෙම ඉන්න දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ නෑ. මගේ මැණික අනුරාධා දුව අපට ලැබුණා. ඒ හැත්තෑ හතරේ ආදරවන්තයින්ගේ දිනයේ. තාත්ති දුවලට හරිම ආදරේ නිසා එයාට මුළු ලෝකෙම ලැබුණා වගේ ඒක".

සනත් නන්දසිරිගේ මුවද සතුටින් පිරිණි.

"මගේ උපන්දිනේට කලින් දවසෙම මල්කාන්තිගෙන් ජීවිතේ ලොකුම තෑග්ග ලැබුණා."

"ගමාරිය අය්යාගෙන් ගත් අකුරු ටිකත් අරගෙන ගියාම 'නිශාමනී අනුරාධා' නමත් එක්ක රෝහලෙන් ගෙදර එන්න වාහනේ ගෙනාවේත් කරුණාරත්න අබේසේකර අය්යා. ඊට කාලෙකට පස්සේ බුද්ධදාස ගලප්පත්ති ලස්සන සින්දුවක් ලියලා දුන්නා 'දූ අනුරාධා' කියලා මගේ මැණිකට" කියමින් මව පිරුණු සෙනෙහසින් දියණිය සිපගත්තාය.

 

සිය මවුපියන්ගේ යුගදිවියේ දශක හතරක පමණ ඉතිහාසයක් ඇයටද මතකය.

"අම්මලාගේ අවිවේකීම කාලයේ තමයි මම ඉපදුණේ. මාව බලා ගන්න පුංචිලා එහෙම හිටියත් මේ දෙන්නා ගෙදර දොර වගකීම් කිසිම විදහකින් අතපසු කළේ නෑ. තාත්තා උදේ හතරට ගෙදර ආවත් හයට නැඟිටලා මාවත් ඉස්කෝලෙ දාලා කැම්පස් යනවා. පාසල් ගිය වසර 13 ඇතුළත දවස් කීපයක් හැර පාසල් ගෙනගියේත් ගෙනාවේත් තාත්තා. අපි එද්දි කෑම බීම හදලා පිළිවෙළට තියන්නේ අම්මා. කොතරම් අවිවේකී කීවත් සති අන්තයේ විනෝද ගමන් යනවා. හවස්වරුවට මිතුරන් හමුවෙනවා. යාළුවන්ගේ අවශ්‍යතාවලදි ඉදිරිපත් වුණා. මඟුල්ගෙවල්, මළගෙවල් දානගෙවල් මඟහරින්නෙත් නෑ. ඒ වගේම ගෙදර විහිළු තහළු කරගෙන, ක්‍රිකට් මැච්, රියැලිටි තරග, මෙගා ටෙලි නාට්‍ය පවා බලමින් ඉන්න වෙලාවත් හදාගන්නවා. ඒකේ ගෞරවය දෙන්නටම අයිතියි. මොකද දෙන්නාගේ එකඟතාවයෙන් මිස ඒ තුලනාත්මකබව රඳවගන්න බෑ.

පිටරට සන්දර්ශනවලට ගිය කාලවලට අද වගේ ආපසු බලන්න යූටියුබ ආදිය නැති නිසා හැම කතාංගයකම අකුරක් නෑර ලියා තියන දැඩි වගකීම මට පැවරුණා. (ඇය සිනාසෙයි) පසු කාලීනව මම යූටියුබයේ ගැළපෙන යමක් පෙන්වූවොත් හරියට අගය කරනවා. ඒ ශිල්පීන්ට කතා කර අගයනවා. හැමදාම පත්තර බලනවා. කිසි දේකට වෙලාව නෑ, බෑ කීවෙ නෑ. (මව දෙස බලා)

තාත්තා කැමතිම දේ ඉටු කළාට අම්මට වෙනම ගෞරවයක් ලැබෙනවා. තාත්තට ඕනෙ ගෙදර සෙනඟ පිරිලා ඉන්න. කන්න බොන්න දෙන්න. ගෝලයෝ වගේම නුගේගොඩ පොළට එන අය පවා 'සනත් අය්යලෑ ගෙදර' තේකක් බීලා යන්න එනවා. අම්මා කවදාවත් ඒ අය කරදරයක් ලෙස සැලකුවේ නෑ. ගේට්ටුව අරිනකොටම තාත්තා කියනවා 'ටුටු අන්න අහවල් අය එනවා' කියලා.

 

මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ඔවුන් සිනාගස්වමිනි. මේ සංවත්සරේට ඔය ටුටු-තාත්ති කතාව හෙළි කරමු නේද?

"ටුටු කියන්නේ බබා කියන තේරුමින්. අම්මා- ටුටු, නිර්මලා පුංචි- චුට්ටම් බබා, නිරංජලා පුංචි -බබා, සකුන්තලා පුංචි- බේබි. මනෝජ් මාමාලාට එහෙම කීවේ නෑ."

අනුරාධා එය පහදද්දී නමේ හිමිකාරිය හේතු කීවාය.

"අපේ පප්පා (තාත්තා) භාෂා හදාරලා තියෙනවානේ. අප්‍රිකානු භාෂාවකින් තමයි බබාට ටුටු කියන්නේ. සනත්ට මම මුලින්ම අය්යා කීවා. පස්සේ 'සන්තෝ' කීවා. දුවගෙන් පස්සෙ 'තාත්ති' කීවා. ඒත් දුව අපට අම්මා, තාත්තා කියලා නිවැරැදිවයි අමතන්නේ."

යළිත් අනුරාධාගේ කතාවය.

"අම්මයි තාත්තායි දිහා බලලා ඉගෙන ගන්න බොහෝ දේවල් අපේ පරපුරට තිබෙනවා. මම ගියේ මියුසියස් විද්‍යාලයට. බෞද්ධ දර්ශනය පිළිපදිනවා. කතෝලික වතාවත් පවා දන්නවා. ඉස්ලාම් සහ හින්දු ආගම්වලත් හොඳ දේවල් පිළිගන්නවා. එනිසා මම සර්වාගමික.

මේ දෙන්නාගේ වයස් පරතරය අඩු නිසා එකට වයසට ගියත් අම්මගේ අපහසුතා පසෙකලා තරුණ කෙල්ලෙක් වගේ ස්වාමි භක්තියෙන් තාත්තාගේ අවශ්‍යතා බලනවා. ඒ වගේම වත්තපිටිය, අපේ සුරතලුන් ගැනත් බලනවා. කිසි දෙයක් මඟ නොහරින පුදුම ආත්ම ශක්තියකින් අම්මා වැඩ කරන්නෙ. අනෙක දෙදෙනාගේම ක්ෂේත්‍රයේ හැටියට ඔවුන්ට ඇලුම් කරන සහ ජීවිතවලට එබිකම් කරන, ඒවාට ඇතුළු වන්න උත්සාහ කරන පිරිස අනන්තවත් මම දැක තිබෙනවා. තාත්තාටත් අතිශයින් ප්‍රේම කළ කාන්තාවන් වගේම අම්මාව අගය කළ පිරිමි පාර්ශ්වය යන දෙපිරිසම පවුලේ හිතවතුන් බවට පත් කරගන්න දෙදෙනාටම හැකි වුණා. ජීවිතේ හැලහැප්පීම් ගැටුම් නැති පවුලක් නෑ. ඒත් කිසිදවසක දෙදරීමක් ඇති නොවුණේ ඒ අවබෝධය සහ කළමනාකරණය නිසා. අපේ පරපුරේ ඉක්මන් තීරණ ගෙන විවාහ දෙදරන අවස්ථා වැඩියි. ඒ වගේම මටත් මගේ මහත්තයා (නිරෝෂන් බණ්ඩාර) සමඟ බිඳෙන්න හේතුවන ඡායාවනුත් තියෙන්න ඇති. ඒත් අම්මලා දුන් ආදර්ශයට ස්තූතිවන්තවන්න අපි අපේ ජීවිත හදාගත්තා. ඒ හැම දේටම අධ්‍යාපනය, ආගමික හැදියාව වැනි හැමදේටම වඩා එකිනෙකාට දක්වන ආදර තමයි පළමුවැනි. මට ඔයා ඕනෙ කියන දේ දෙදෙනාටම තියෙන්න ඕනෙ. මම අදටත් මේ දෙන්නාගේ ඒ බැඳීම දකිනවා. තාත්තා තිස්සෙම මට පුතා පුතා කියලා අඬගහනවා. ගියාම අහන්නේ 'අම්මා කෝ?' කියලා. තාත්තා කෑමට මැළි නම් අම්මා කවනවා.

 

එහි විස්තරය මල්කාන්ති නන්දසිරිගෙනි.

"දැන් සමහර වෙලාවට මගේ මහත්තයා නැඟිටලා එන්න කම්මැළියි. වෙලාවකට ආවේගශීලී වෙනවා. ජීවිතේ දශක හතක් ගෙවලා ඇඟේ පතේ ඇතිවන අපහසුතායි, පුළුවන් කාලයේ උපරිමයෙන් වැඩ කිරීමයි ඒකට හේතු වෙන්න පුළුවන්.

(ඇඟේ හඬ බිඳී යන්නේ අතීතයේ සුන්දර මතකයන් සිහි වීමෙන් යැයි මට සිතේ)

තමන්ගේ ස්වාමියාගේ ශාරීරික දුර්වලතා නිසා ඇතිවන මානසික ආතතියේදී බිරිඳක් කොතරම් ඉවසන්න ඕනෙද කියලා දන්නවාද? ඉතින් මම කියනවා 'තාත්ති මම රසට කිරි රොටි හැදුවා තාත්ති... කමුද?'

'මට බැහ්.'

'එහෙනම් ගෙනත් කවන්නද?'

'හ්ම්'

(ඒ කතාව අසන ඔහුටද පහළ වන්නේ මඳ සිනහවකි.)

ඇත්තෙන්ම දැන් කම්මැළියි කියලා අපි හිතුවට ජීවිතේ මුල් කාලේ වුණ මහන්සියට එයා දැන් විවේකයක් ගන්නවා හා සමානයි. අවුරුදු කාලෙට දවසට සන්දර්ශන පහකට රට පුරා ගියත් තමන්ම වාහනය එළවගෙන යනවා."

"මම ඩ්‍රයිව් කරන්න හරි කැමැතියි. ඒ ගමන්වලදි ඇසූ රස කතා පොතකුත් මම ලීවා." අතරමැදින් ඔහු කියයි.

අපි ජීවිතේ ලබන්න ඕනෙ සියලු සතුට, සැප සම්පත් ලැබූ යුවළක්. අප්‍රිකානු රටවල් හැරුණාම ලෝකේ නොගිය රටක් නෑ. ඒ රටවල සිංහල ගීත රසිකයන් සතුටු කළා. ඒ පිනම මදිද? මගේ ආගමේ තැන්වලට එක්කගෙන යන්නේ මගේ මහත්තයා. අපි දෙදෙනාගේ 25 වැනි විවාහ සංවත්සරයටත් ඉන්දියාවේ වන්දනාවේ ගිහින් අපට හාමුදුරුවරු ආශීර්වාද කළා. අපේ රටේ අසරණම මිනිසා සිට ජනපතිවරු දක්වා සියලුම තලවල අයගේ පැසසුමට ලක් වුණා. ඒ අයගේ විශ්වාසය අපි කඩලා නැති නිසා ආදරය දිනා ගන්න පුළුවන් වුණා. අපේ ආදරය විතරක් නෙවෙයි අපි ජීවත්වන පිළිවෙළත් සමාජයට ආදර්ශයක් වුණා. කොහේ ගියත් අපි දෙදෙනා එකට අත්වැල් බැඳන් හිටියා. මම දන්න බොහෝ තැන්වල මහත්තයා වෙනම යනවා. නෝනා තවදිහාක යනවා. ඒත් අපි දෙන්නා හැමවිටම යන තැනක ගියේ එකටමයි.

(ඇය කියන සියල්ල ඔහු හිස වනා අනුමත කරන සෙයකි)

මේ වයසට ගිහිනුත් මම ලස්සනට කැපී පෙනෙන විදිහට අඳීන්න ආසයි. මම චාම් නැතුවට විචචූර්ණ කෙනෙකුත් නෙවෙයි. මම දෝණිටත් ඇඳුම් තේරුවේ එහෙම. හැබැයි අරපිරිමැස්මෙන් වැඩ කරන්නෙ. අපේ ලෝකෙ පටන් ගත්තෙම ප්‍රභාවත් දේවලින්. ඒත් දුව මම වගේ දිදුළන දේවලට එතරම් කැමැති නැහැ. සමහර පිරිමි කැමැති නෑ නෝනා කැපිලා පේනවාට. ඒත් මගේ ස්වාමියා ඊට හාත්පසින් වෙනස්. අපි දෙන්නා ඇඳුම් අඳීන්නෙත් ගැළපෙන විදිහට.

අපි ළමා මණ්ඩපයේ ඉන්න කාලේ කලාකරුවකුට හිරයක් වත් දුන්නේ නෑ හිඟන්නෝ කියලා. ඒත් අමරදේව මාස්ටර්, ආචාර්ය වික්ටර් රත්නායක සහ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි කියන අයගෙන් පස්සේ අද වෙද්දි කලාකරුවන් හොඳ පැවැත්මකින් ඉන්න පුරුදු වෙලා තිබෙනවා. කලාකරුවකුට තමන්ගේ හදවත වගේම ඇඳුම පවා පිරිසුදුව ලස්සනට ඉඳීම වැදගත්."

(ඇය පවසන්නේ සියුම් අභිමානයකින් කඳ කෙළින් කර අසුනේ සැකසෙමිනි.)

තමන් උගත් රජයේ සංගීත විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ පුරෝගාමියකු වූ මගේ මහත්තයා අද ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේම කුලපතිධුරය දරනවා. අපි එතැනට ගියේ පියවරෙන් පියවර. කලාකරුවා හොඳ පැවැත්මෙන් හිටියොත් තමයි රට හොඳ තැනකට යන්නේ. අද කලාකරුවන්ට අවස්ථා වැඩියි. උගත්කම වැඩියි. සශ්‍රීක ජීවිත ගත කරනවා. ඒ කාලේ අතළොස්සකට තමයි වාහනයක් තිබුණේ. අපි දෙන්නගේ මුල්ම අභිප්‍රාය වුණේ ගෙයකටත් වඩා වාහනයක්. මහත්තයාගේ ශරීර ස්වභාවය නිසාදෝ කැමතිම බෙන්ස්වලට. ඒ වගේම බඳ පටි සහ සපත්තුවලට හරි ආසයි. (ඇය එසේ කියද්දී ඔහු සැන්ඩ්ල්ස් දැමූ සිය දෙපා දෙස බැලුවේ අපට හොරෙනි)

ඒත් කාලය සමඟ සමහර දේවල් වෙනස් වෙනවා. මහත්තයා කිසිම දෙයක් ගැන තණ්හාවක් නැති කෙනෙක්. හැබැයි ගැහැනියක් විදිහට මට පොඩි තණ්හා ගතියක් තිබෙනවා. ඒත් ජයගන්න බැරි දේවල් මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එය අපේ දියුණුවේ රහස වන්නත් පුළුවන්. අපි වසර 50ක් පුරා හොඳ සශ්‍රීකව මේ තරම් දුරක් ආවේ අපේ ශක්තියෙන්. හැබැයි අපේ ඕනෑම අවශ්‍යතාවකදි අපි දෙන්නාගෙම සහෝදර සහෝදරියන් අපට ශක්තියක් වුණා. අපිට අපි ගැන සතුටුයි. මම දැන් යාච්ඥා කරන්නෙ එකම බලාපොරොත්තුවකින්. ඒ අපේ පවුලේ ලොකුම ශක්තිය මගේ මහත්තයා අතුළු හැමෝම ලෙඩදුක්වලින් මුදවා දෙන්න කියලා විතරයි.

 

අඩසියවසක් සපුරන ඔවුන්ගේ විවාහ දිවියේ ඒ පැතුමන් ඉටුවේවා කියා සුබ පතමින් අපි සමුගත්තෙමු.

පසුව ලියමි

දෙමාල්ලන් පිටව ගිය පසු අනුරාධා අපට රහසින් යමක් කීවාය. පවතින වාතාවරණය අනුව උත්සව ගන්න එක නම් සුදුසු නෑ. ඒත් අම්මා හැමෝටම කන්න බොන්න දෙන්න ආස කෙනෙක් නිසා අපේ යූටියුබයයි, එෆ්බී පිටුවයි කරන අයගෙත් සහයෙන් මේ විරල අවස්ථාවට ඉතාම සීමිත ළඟම නෑ හිතවතුන් පිරිසක් කැඳවන්න හිතාගෙන ඉන්නවා. තාත්තාගේ රසකතා පොත මුද්‍රණය කරන්නත් ඕනෙ. බලමු මගේ සිහිනය සැබෑ වෙයිද කියලා.

අපි ඇයගේ සිහින ද සැබෑ වේවා'යි පතමු!

 

 

සේයා රූ - නිශ්ශංක විජේරත්න