වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ජනප්‍රිය වෙන්නේ ටික කාලයයි

ගුවන්විදුලියේ ගායන ශිල්පිනියක ලෙස ප්‍රකට ස්වර්ණලතා කවීශ්වර පිළිබඳව විශේෂ හැඳීන්වීම් අවශ්‍ය නැත. මියුරු ගීත ගොන්නකට හිමිකම් කියන හඬක් ඇයට හිමිය. ඇයගේ දියණිය වන ස්නේහා අංජානි මවගේ අඩිපාරේ යමින් මේ වනවිට ගායන ක්ෂේත්‍රයට පිවිස ඇත. විසි දෙහැවිරිදි තරුණියක් වන ඇය ස්වතන්ත්‍ර ගීත කීපයක්ද ගායනා කර හමාරය. පසුගියදා ඇගේ නවතම ගීත ද්විත්වයක් එළිදැක්වූවාය. ඒ පිළිබඳව සහ කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳ තතු ස්නේහා අංජානි සරසවියට පැවසුවේ මෙසේය.
ස්නේහා ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ කොහොමද?
මම සින්දු කියන්න පටන් ගත්තෙ වයස අවුරුදු පහේදී විතර. පොඩි කාලේ අම්මා (ස්වර්ණලතා කවීශ්වර) එක්ක ගීත කීපයක් ගායනා කළා. 2017දී මම ගුවන්විදුලි සරල ගී ගායන ශිල්පී වැඩසටහනේ සරල ගී ගායිකාවක් ලෙස ඒ පරීක්ෂණයෙන් සමත් වුණා. ඉන්පසුව අපි අපේ ස්වතන්ත්‍ර ගීත ගුවන්විදුලියට ලබාදෙන්න ඕනේ. මම 2017දී මගේ පළමු ගීතය කළා. ඒ "සිහිනය මියැදුණා" ගීතය. සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග, ලිව්වෙ සංජීව අල්විස්. "හීන අරන් නුඹ ආවත්" කියන්නේ මගේ දෙවැනි ගීතය. එයට රූපරචනාවක් නිර්මාණය කළා. ඒ ගීතය සංගීතවත් කළෙත් දර්ශන වික්‍රමතුංග, ලිව්වේ අමිල දිසානායක. මගේ තුන්වැනි ගීතය සිනාවූ හදවතේ. දුලී ගුණවර්ධන ලියලා, දර්ශන වික්‍රමතුංග සංගීතවත් කරපු ගීතයක් ඒක. මගේ හතර වැනි ගීතය "මා සිතූ තරම් ආදරේ", ලිව්වේ සුගත් සෝමවීර. ඒ ගීතය සමාජ ජාලාවල ජනප්‍රිය වුණා.
ඔබ යුග ගීතයක් ගායනා කළා නේද?
2020දී ගායන ශිල්පී චන්දන ලියනආරච්චි මහත්මයා එක්ක මම යුග ගීතයක් ගායනා කළා. ඒ ගීතයේ නම "අඳුරට කලියෙන්". මේ ගීතයත් ගොඩක් ජනප්‍රිය වුණා. එය සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග, ලිව්වේ රසික ඩී. දුමින්ද.
ඔබේ මවුපියන් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත.
මගේ අම්මා විශාරද ස්වර්ණලතා කවීශ්වර. තාත්තා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සංස්කාරක හා සම්බන්ධතා නිලධාරීන් රෝලන්ඩ් ඩයස්. මම මුල් කාලයේදී අම්මාගේ ගීතත් ගායනා කළා. නමුත් මට අම්මාගේ ගීත කියලා ජනප්‍රිය වෙන්න ඕනේ කමක් තිබුණේ නැහැ. මට ඕනේ වුණේ අම්මාගේ ගීතත් ගායනා කරන අතර මගේම ගීත නිර්මාණය කරලා ඒ තුළින් ක්ෂේත්‍රයේ දන්න හඳුනන ගායිකාවක් වෙන්න.
ස්නේහා ජනප්‍රිය රැල්ලට අකමැති කෙනෙක්ද?
මම ජනප්‍රියත්වය උදෙසා ගීත ගායනා කරන කෙනෙක් නෙමෙයි. සුභාවිත ගීතය පමණක් අනුගමනය කරන කෙනෙක් මම. මගේ අලුතෙන්ම එළිදක්වපු ගීත ජනප්‍රිය රැල්ලෙ වුණාට එහි වචන පවා හොඳට තෝරා බේරාගෙන ගායනා කළේ.
ඔබේ නවතම ගීත නිර්මාණ මොනවද?
පසුගිය දිනවල මම ගීත දෙකක් එළිදැක්වූවා. ගීතය මල් පිපෙන වස්සානේ සහ ස්නේහයේ. මල් පිපෙන වස්සානේ කියන්නේ ආදර ගීතයක්. ඒක ලිව්වේ ශාමිලා හුසේන්, සංගීතවත් කළේ සුදත් හෙට්ටිආරච්චි. මේ ගීතයට රූප රචනාවක් නිර්මාණය කළා. ස්නේහයේ ගීතය ලිව්වේ අමිල දිසානායක, සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග.
නව පරපුරේ ගායිකාවන් වගේ වෙනස් නිර්මාණ අත්හදා බලන්න අදහසක් නැද්ද?
මම මගේ අලුත් ගීත දෙකම දෙකම සුභාවිත ගීතයෙන් ටිකක් බැහැර වෙලා නව රැල්ලට ගැළපෙන ආකාරයට නිර්මාණය කළේ.
සංගීතය කොයිතරම් දුරට හදාරලා තියෙනවාද?
සංගීත විශාරද දක්වා ගායන හා වාදනය යන අංශ දෙකෙන්ම හදාරලා තියෙනවා. මම උසස් පෙළ කලා අංශයෙන් ඉගෙන ගත්තේ. එහිදී සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. ඉදිරියටත් සංගීතය වැඩිදුරටත් හදාරමින් වෘත්තිය ගායන ශිල්පිනියක් ලෙස ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.
කලාවේ කටුකත්වය කුඩා කල සිට දන්න කෙනෙක් ලෙස ඇයි මේ වෘත්තියම තෝරාගත්තේ?
මම කලාවට හරි ආදරෙයි, සංගීතයට ආදරෙයි. ඒ නිසයි මේ ක්ෂේත්‍රය වෘත්තියක් ලෙස තෝරගත්තේ. අම්මාගේ සංගීත කලායතනයේ වැඩකටයුතු ටිකත් ඉදිරියට කරගෙන යන ගමන් සංගීතය වෘත්තියක් ලෙස කරගෙන යනවා. කලායතනයේ උසස් පෙළ දක්වා සහ භාත්ඛණ්ඩේ විෂය මාලාව ඉගැන්වීම් කටයුතු කරනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
මට ඕනේ ජනප්‍රිය ගායිකාවක් වෙන්න නෙමෙයි. මිනිස්සුන්ගේ හිතේ රැඳෙන ප්‍රශස්ත මට්ටමේ ගායිකාවක් වෙන්නයි මට ඕනේ. ජනප්‍රියත්වය පවතින්නේ හරිම කෙටි කාලයයි. ඒත් අපි ගුණාත්මක වැඩක් කළොත් සදාකාලිකව ඒ ගැන මිනිස්සු කතා කරනවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න