ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ

විශාරද නිහාල් ගම්හේවා
දෙසැම්බර් 2, 2021

 

නිර්මාණකරණයෙන් මෙන්ම ගුරුවරයෙකු වශයෙනුත් මම උපරීමයෙන් තෘප්තිමත් 

මේ නාමයත් සමඟ අසූව දශකයේ අගභාගයේ මෙන්ම අනූව දශකය තුළ අපට මතක් වනුයේ යෞවනයේ රිද්මයත් සමඟ එකල සංගීත ලොව එළිය කළ ජාතික තරුණ සේවා සභාව හා එයට අනුබද්ධ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයයි. එම යුගයේ කලා ක්ෂේත්‍රයේ, විශේෂයෙන් සංගීත ක්ෂේත්‍රයේ නව යුගයක් උදා කරමින් රට වටා සිටින දක්ෂ තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔප් නැංවූ ආයතනයක් වශයෙන් ජාතික තරුණ සේවා සභාවට මෙන්ම බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. එහි උපදේශකවරයා වූයේ විශාරද නිහාල් ගම්හේවාය.

‘මම ඉන්දියාවේ ගිහින් සංගීතය හදාරල ලංකාවට ඇවිත් ඉන්න කොට තමයි තරුණ සේවා සභාවට සංගීත උපදේශකවරයෙකු බඳවා ගන්න බව දැනගත්තේ. ඒකට මම අයදුම් කළා. බහුතරයක් දෙනා මේ සඳහා අයදුම් කරල තිබුණා. මේ අය අතරින් වැඩිම ලකුණු ලබාගෙන මම තේරී පත්වුණා. මම සම්බන්ධ වෙන්න කලින් තරුණ සේවා සංගීත කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කළේ ෂර්ලි වෛජයන්ත. නමුත් උපදේශකවරයෙක් විදියට මුලින්ම පත් වුණේ මම. බෙල්වුඩ් නිකේතනයේ මුලින්ම සංගීත පාඨමාලා ආරම්භ කළේ මම. ගුරු විද්‍යාලවල සිටි සංගීත උපදේශකවරුන්ගේ සහාය ද අරගෙන තමයි මේ පාඨමාලාව අපි සකස් කළේ.’

නිහාල් ගම්හේවා 1983 වසරේ දී මෙම ආයතනයට සම්බන්ධ වීමෙන් පසු එහි අධ්‍යාපනය ලත් තරුණ තරුණියන් වෙනුවෙන් විධිමත් සංගීත අධ්‍යාපන පාඨමාලා සකස් කරමින්. ඔවුන් උත්පත්තියෙන් රැගෙන ආ හැකියා, දක්ෂතා ඔප මට්ටම් කරමින් ඔවුන්ට ශාස්ත්‍රීය වශයෙන් ලැබිය යුතු සංගීත ඥානය ලබා දෙන්නට ද උත්සුක වූයේය. දිවයිනේ සතර දිග් භාගයෙන් පැමිණෙන තරුණ තරුණියන් අතරින් අති දක්ෂයන් ස්වල්ප සංඛ්‍යාවක් තෝරාගෙන පවත්වාගෙන ගිය මෙම ව්‍යාපෘතිය එවක මෙරට ගායන ක්ෂේත්‍රයට නවක ගායක ගායිකාවන් මෙන්ම වාදන ක්ෂේත්‍රයට නවක වාදන ශිල්පීන් ද බිහි කරන තෝ තැන්නක් බවට පත් වී ජනාදරය දිනා ගත් ස්ථානයක් විය. බෙල්වුඩ් නිකේතනයෙන් ක්ෂේත්‍රයට එක් වූ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සිට ඔහු පුරා වසර ගණනාවක් එහි උපදේශකවරයා වශයෙන් කටයුතු කළේය.

විවිධ තරාතිරමේ තරුණ තරුණියන් රාශියක්. පාලනය කරමින් ඔවුන් තුළ මනා සංයමයක් ඇති කරමින්, දැඩි විනය නීති සංග්‍රහයක් තුළ කළමනාකරණය කළ ආයතනයක් ලෙස එය එකල ප්‍රකට වූ අතර බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර නිහාල් සර් ප්‍රකට වූයේ ‘හරි සැරයි’ ලෙසටය.

‘බෙල්වුඩ් නිකේතනය පිහිටා තිබුණේ මහනුවරනේ. හරිම ලස්සන පළාත. මුල් කාලයේ රූපවාහිනි ලොකේෂන් සඳහාත් භාවිත කළේ මේ ස්ථානය. ඒ හින්දාඒ කාලේ බෙල්වුඩ් රූපවාහිනි ගම්මානය කියලත් මේක හැඳින් වූවා. බෙල්වුඩ් නිකේතනයෙන් පිටවුණ පළමු කණ්ඩායමේත් උපදේශකවරයා වුණේ මම. මුල්ම කණ්ඩායමේ හිටිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, දමයන්ති ගමගේ, ධම්මිකා කරුණාරත්න, තේජා අමරසිංහ හිටියා. මම එනවත් එක්කම චන්ද්‍රලේඛා එළියට ගියා. ඒ වෙනකොට එයාට ක්ෂේත්‍රයේ නමක් හැදිලා ඉවරයි. ‘කොහොම වුණත් පාඨමාලාව පටන් ගත්ත මුල් කාලයේ ළමයි 200ක් විතර හිටියා. ඊට පස්සේ ළමයි 300 දක්වා වැඩි වුණා. වර්තමානය වන විට නම් මම හිතන්නේ කි‍්‍රයාත්මක නෑ. පැවතුණු වාතාවරණයත් එක්ක එහෙම වෙන්න ඇති.”

90 දශකයේ මුල භාගය තුළ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට නොසිතූ විරූ ජනපි‍්‍රයත්වයත් ඇති වූයේ ඉන් ජාතික තලයට බිහි වූ ජනපි‍්‍රය ගායක ගායිකාවන් නිසාය. ඒ සියලු දෙනාම තම තමන්ගේ ගමන් මාර්ගය තුළ උඩුගම් බලා පියවර මැන්නේ ඒ සඳහා අවශ්‍ය වන සියලු ශක්තීන්ගෙන් ඔවුන් පෝෂණය කළ ගුරුවරයෙක් ඔවුනට සිටි නිසාය. තම හැකියාවන් වඩා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය ශාස්තී‍්‍රය දැනුම මෙන්ම නව නිර්මාණකරණය සඳහා පිවිසෙන්නට අවශ්‍ය අත්වැල ද ඔවුනට නිරතුරුව ලබා දෙන්නට නිහාල් සර් ඇප කැප වී සිටියේය.

‘ඇත්තටම ඒ කාලේ මට තිබුණේ පැය 24 රැකියාවක්. දවසේ කොයි මොහොතත් ඒ වෙනුවෙන් කැප කරන්න මම බලාගෙන සිටියා. ඒ හින්ද තමයි ඒ කාලේ අර තරම් තරුණ ගායක ගායිකාවන් රැසක් ක්ෂේත්‍රයට දායාද කරන්නට මට හැකියාව ලැබුණේ. අන්තිමටම දායාද වුණු ගායක දෙපළ වුණේ චන්දන ලියනාරච්චිය සහ පි‍්‍රන්ස් උදය පි‍්‍රයන්තයි. ඉන් පස්සේ බෙල්වුඩ් එකෙන් ගායන ශිල්පීන් බිහි වුණේ නෑ. මම 1997 බෙල්වුඩ් නිකේතනයෙන් සමු අරන් කොළඹට ආවා. ඊට පස්සේ මම තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව ආරම්භ කළා. ඒකට මහන්සි වුණා මිසක් මට බෙල්වුඩ් දිහා බලන්න වුණේ නෑ. හැබැයි තුරුණු ශක්ති හරහා තවත් අලුත් ගායක ගායිකා පිරිසක් බිහි කළා. සශිකා නිසංසලා, සුභානි හර්ෂණී වැන්නෝ බිහි වුණේ එතැනින්.”

නිහාල් ගම්හේවා මෙරට ගායක ගායිකාවන් බිහි කරලන්නට මුල් වූවා සේම, අපේ සංගීත ක්ෂේත්‍රයට අනඟි ගී තනු නිර්මාණ බිහි කරලන්නට ද මුල් වූයේය. එවක බිහි වූ සෑම ගායක ගායිකාව ඒ අතර ඔහුගේ ගී තනු ගායනා නොකළ අයෙක් සොයාගත නොහැකි විය. එසේම ඒ ගී තනු එකී ගායකයා හෝ ගායිකාව ජනපි‍්‍රයත්වයේ ඉහළම තලයට නංවා ලීමට ද සමත් වූ ගී තනු විය.

“ගී තනු නිර්මාණ නම් මේ වෙනකොට දාහකට අධික ප්‍රමාණයක් කරල ඇති. ඉන් ජනපි‍්‍රය තලයේ ඒවා 250ට වැඩි මිසක් අඩු නැතුව ඇති.

මගේ ජීවිතේ නිර්මාණකරණයෙන්. මෙන්ම ගුරුවරයෙකු වශයෙනුත් මම උපරීමයෙන් තෘප්තිමත් කෙනෙක්. නමුත් මම ඉගෙන ගත්තේ, ප්‍රගුණ කළේ සිතාර් වාදනය. මම හිතන්නේ ලංකාවේ අද සිතාර් වාදනයක් අහන්න තැනක්වත් නෑ. මගේ ජීවිතේ මම තෘප්තිමත්ම කාර්ය තමයි මම ප්‍රගුණ කරපු සිතාර් වාදනය. ගුරුවරයෙකු හැටියට මගෙන් ඉගෙනගත් ශිෂ්‍යයෝ අද ඉතාම ඉහළ තැන්වල ඉන්නවා දකිනකොට මට ලොකු සතුටක් ඇතිවෙනවා. ගායකයත්, වාදකයත් ආචාර්ය, මහාචාර්ය, කථිකාචාර්යවරුන් රැසක් ඒ අතර ඉන්නවා. මගේ නිර්මාණ සිහිපත් කළොත් චන්ද්‍රලේඛා පෙරේරාට කරපු ‘හද දෙවොල් පිළිරුව් දේ. සුදුවත හැඳලා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සමඟ ‘ආදරේ නම් ඇයි මෙතරම්, චන්දන ලියනාරච්චිගේ, පොල් රැප්පාවේ. සඳ කුමාරියක්්, ඇහැළමල් පිපෙනා, පි‍්‍රන්ස් උදය පි‍්‍රයන්තගේ. පෙම්වතුන් සිනාසේ ආදී ජනපි‍්‍රය වුණු ගීත රාශියක් තිබෙනවා.

‘ඇහැළ මල් පිපෙනා

දෙවට දිගේ

ඔබ පියමැන්නා

පුන් පෝයදාට සඳ විලසින්

මුහුණ පෙනෙන්නා

(චන්දන)

පෙම්වතුන් සිනාසේ...

අප කඳුළු සලන්නේ

දෙතැනක හිඳ තනි වී

විසඳුම් සොයනු කෙසේ...

(පි‍්‍රන්ස්)

සඳ කුමාරියක්් දීගෙක යනවා

රබන් සුරල් හඬ පැතිරෙනවා.

වැනි ගීත අදත් ගීත ශ්‍රාවකයින් අතර අතිශයින්ම ජනපි‍්‍රයය. මේ ගීත හඬවල් ශ්‍රාවකයින් අතර නිබඳ රැව් පිළිරැව් දෙන්නට විශේෂම හේතුවක් වූයේ විශාරද නිහාල් ගම්හේවා විසින් නිර්මිත මියුරු තනුය. එකල බිහි වූ බොහෝ ගායකයින් වෙනුවෙන් ඔහු නිර්මාණය කළ ගී තනු එකී ගායකයින් ජනප්‍රියත්වයේ ඉහළ තලයේ රඳවා තබන්නට සමත් වූයේය.

නිහාල් සතු වූ මේ සුවිශේෂී දක්ෂතාවයන් ඔහු සතු වන්නට ඇත්තේ ඔහුගේ පරම්පරාවෙන් පැවති දක්ෂතාවය ලෙසින් වන්නට ඇතැයි ඔහු විශ්වාස කරන්නේය. ලංකාවේ පළමු නාඩගම් ගී ගායන ශිල්පිනියක වූ සුමනා පෙරේරා ඔහුගේ මිත්තණියය. මිත්තණියගේ ආභාසයෙන් ඔහුගේ මවට ද ගායන හැකියාව පිහිටා තිබූ අතර ඔහුගේ පියාට ද යම් ගායන හැකියාවක් තිබුණු බව ඔහුට මතකය. එහෙත් පියා ගේ අභිප්‍රාය වූයේ ඔවුන්ට ඉහළට ඉගැන්වීම මිස කලාවට සම්බන්ධ වනවා දැකීම නොවේය. එකල ඔහුගේ පියා පැවසුවේ ‘කලාකරුවෙකුට ගෑනියෙක්වත් දෙන්නේ නැති බවය. ඒ නිසාම ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ වාණිජ විෂය ධාරාවෙන්ය. මුල් කාලයේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට ඔහු ඉතා කැමැත්තෙන් සිටියේය. එහෙත් පසු කලෙක සංගීත අධ්‍යාපනයට යොමු වූ ඔහුට සිය ගුරුවරයාගේ මඟ පෙන්වීමෙන් ඉන්දියාවේ බරණැස විශ්ව විද්‍යාලයෙන් තව දුරටත් සංගීතය හැදෑරීමේ භාග්‍යය උදා විය.

කෙනෙකුගේ දෛවය කාටවත් තීරණය කළ නොහැකිය. තමන් ලැබූ පාසල් අධ්‍යාපනයට අනුව නිහාල් ගම්හේවා බැංකුකරුවකු වූවේ නම් මේ තරම් අලංකාර, ජනපි‍්‍රය ගී තනු මෙරට සංගීත ක්ෂේත්‍රයට නොලැබෙනු ඇත. එසේම ඔහු නිසා කලා ලෝකය තුළ බැබළෙන චරිත කිසි දා නොපැමිණෙනු ඇත. ඔහු බැංකුකරුවකු නොවී සංගීතඥයෙකු වීම පිළිබඳ අද සතුටු වන්නේ ඔහු පමණක් නොවේ. ඔහුගේ මියුරු ගී තනු ශ්‍රවණය කරනු ලබන්නා වූ සුවහසක් ගීත ශ්‍රාවකයෝ සියලු දෙනාම අද ඒ වෙනුවෙන් සතුටු වන්නෝය.

මේ දිනවල විශ්‍රාම සුවයෙන් නිවෙසේ පසුවන ඔහු තමන් උගත් සංගීත ඥානය වත්මන් පරපුර වෙත නිර්ලෝභීව බෙදා දෙන්නේය. එසේම නවක ගායක ගායිකාවන් වෙනුවෙන් ඔහු අදද ගී තනු නිර්මාණය කරන්නේය. එදා රෝයි පීරිස් වෙනුවෙන් තම ප්‍රථම ගී තනු නිර්මාණය වූ,

මා දෑසේ වේදනා - ඔබ දෑසේ පෙම් සිනා

ගීතය හැදු ඔහු අද දහස් ගණන් මියුරු තනු නිර්මාණයන්හි හිමිකරුවා වෙමින් ජීවිතයේ සැදෑ සමය තෘප්තිමත්ව ගෙවා දමන්නේය. මෙවන් මියුරු තනු නිර්මාණ තව තවත් නිර්මාණය කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !

 

 

 

සේයාරුව - නිශ්ශංක විජේරත්න