වැඩ්ඩෝ එක්ක හැප්පෙන්න ඉගෙන ගන්න ඕනෑ

රජිත රොඩ්රිගෝ
නොවැම්බර් 25, 2021

සරසවිය පත්තරය නිසා නළුවරම් නිළිවරම් හිමිකරගත් බොහෝ දෙනෙක් අප කලා ක්ෂේත්‍රයේ කොතෙකුත් ඇත්තාහ. එවන් වූ පිරිස් අතරින් අද කලා ක්ෂේත්‍රයේ නම් දැරූ සම්මානීය වූ විශිෂ්ට ගණයේ කලාකරුවන් ද නැතුවා නොවේ. අසූව දශකයේ සරසවිය පත්තරයේ පළ වූ නළු නිළියන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් පිළිබඳ දැන්වීමකට නළුවකු වීමේ අපේක්ෂාවෙන් චිත්‍රපට නළුවන් තේරීමේ පරීක්ෂණයකට ඉදිරිපත් වූ රජිත රොඩ්රිගෝ තම රංගන සිහිනය සැබෑ කරගත්තේ මෙරට සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘මමයි රජා’ චිත්‍රපටයේ රංගනයට එක්වෙමිනි. වසර විසි පහකට පසු යළිත් රංගනයට එක්ව ඇති රජිත එදා සහ අද තම රංගන ජීවිතයේ තොරතුරු බෙදා හදා ගත්තේ මේ අයුරින්.

මීට දශක දෙක තුනක් ආපස්සට ගොස් රජිතගේ රංගන ජීවිතයේ කූටප්ප්‍රාප්තිය ගැන කතා කළොත්?

මගේ පාසල කොළඹ රාජකීය විද්‍යාලය. පාසලේ වේදිකා නාට්‍යවල තමයි. මගේ රංගනයේ ආරම්භය. ලයනල් රන්වල සර් තමයි මගේ වේිදිකා නාට්‍ය ගුරුවරයා වුණේ. රංගන හැකියාව මගේ ඇගේ තිබුණත් මම ගොඩක් ආස කළේ හමුදාවට එක්වෙන්න. අම්මයි තාත්තායි කිව්වේ හමුදාව නැතුව උඹ කැමති වෙන ඕන ජොබ් එකක් කරපන් කියල තමයි.

හමුදාවට යන එක වැළකෙන කොට ඔබ නළුවෙක් වෙන ආශාවට මුලිකත්වය දුන්නා ද?

නැහැ. නළුවෙක් වෙන අදහස මට හිතට එන්නේ අහම්බෙන් මගේ යාළුවෙක් තමයි මේ අදහස මගේ හිතට දාන්නේ. දවසක් මට නුගේගොඩ හංදියේ ඇවිදගෙන යනකොට මගේ හිතවතෙක් වූ ජයන්ත ගමගේ හමුවුණා. ඔහු බිස්නස් කරන කෙනෙක්. මගේ තොරතුරු එහෙම කතා කරන අතරේ මගේ යාළුවා කිව්වා මචං උඹේ පෙනුමත් එක්ක උඹට හරියන්නේ නළුවෙක් වෙන එක. මේ සැරේ සරසවිය පත්තරේ චිත්‍රපටයකට නවක නළුවන් නිළියන් අවශ්‍යයි කියලා දැන්වීමක් දාල තියෙනවා. උඹත් ගිහින් ට්‍රයි එකක් දාපන් කියලා.

යාළුවගේ කීමට නළුවෙක් වෙන්න ගියා?

ඔව් ඒ කාලේ නළු නිළියන්ට සමාජයේ ඉහළ තැන. චිත්‍රපට එහෙම හොඳට දුවන කාලේ 1987 ඒ දවස මට අද වගේ මතකයි. ඉන්ටවිව් එක තිබුණේ සෝනියා දිසා මහත්මියගේ ගෙදර මම යනකොට ඉන්ටවිව් එකට ආපු ගෑනු, පිරිමි තරුණ පිරිස් පාර දිගේ පෝලිම් ගැහිල මමත් ඉතිං මේ පෝලිමකට එකතු වුණා. ඒ අවට පිරිස් ආ නළුවෙක් වෙන්න ද ආවේ කියල උපහාසාත්මකව අපිට විහිළුත් කළා. ඔය අතරේ මම පෝලිමේ ඉන්න කොට සෝනියා දිසා මහත්මියගේ ගෙදරට සුනිල් ටී මහත්තයා ආවා. එයා ආවෙත් අපිව ඉන්ටවිව් කරන්න. ඒ ඇවිත් වාහනයෙන් බහින ගමන් ඇවිත් ඉන්න අය දෙස සුනිල් ටී මහත්තයා හොඳට බැලුවා. එහෙම බලල ඈත ඉඳල මට අත වනා කතා කළා. මම ළඟට ගියා. මගෙන් විස්තර ඇහුවා මාව අරන් ගියා සෝනියා දිසා මහත්මිය සුනිල් සෝම පීරිස් මහත්තයා ළඟට ගිහින් ස්ක්‍රීන් ටෙස්ට් එකක් කළා. තුන්දෙනාම මාව තෝරගන්න කැමති වුණා.

අපිව ඉන්ටවිව් කරල තිබුණේ එයාලගේ අලුතෙන්ම කරන්න යන චිත්‍රපටයකට ගන්න. ඒත් ඒ වෙන කොට එයාලගේ ෂූටින් කර කර හිිටිය මමයි රජා චිත්‍රපටයට මාව ගත්තා.

රජිතගේ හා පුරා කියා සිනමා රංගනය වුණේ මොන වගේ චරිතයක් ද?

මමයි රජා චිත්‍රපටයේ වේටර් කෙනෙක්ගේ චරිතයක්.

ඊට පස්සේ ඔබට චිත්‍රපට රංගනයට ආරධනා ගලා ආවා?

ඔව්. ප්‍රධාන පෙළේ නළු නිළියන් හඳුනාගන්න ලැබුණා. වගේම චිත්‍රපට රංගනයටත් මට ආරධනා එන්න ගත්තා. කලා අධ්‍යක්ෂ ලයනල් සිල්වා මාව විජය කුමාරතුංගට හඳුන්වා දුන්නා. විජය අයියා ඔහුගේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය වූ සමාව චිත්‍රපටයට මාව ගත්තා. මම ඒ චිත්‍රපටයේ නීතිඥයකුට තමයි රඟපෑවේ. සිංහයන්ගෙත් සිංහයා, සුරනිමල, ඇසළ සඳ පාලම යට ඇතුළු චිත්‍රපට 12ක් විතර මට එක දිගට රඟපාන්න ලැබුණා.

චිත්‍රපට රංගනයේ වගේම ටෙලි නාට්‍ය රංගනයටත් ඔබ යොමු වෙනවා නේද?

මගේ මුල්ම ටෙලිනාට්‍ය රංගනය වුණේ ගම් පෙරළිය. තිස්සගේ යාළුවා විදිහට තමයි මට රඟපාන්න ලැබුණේ. මේ ටෙලිනාට්‍ය පුරා මට ප්‍රවීණ නළු නිළි පිරිසක් සමඟ වැඩ කරන්න ලැබුණා.

මානෙල් වානගුරු, ආනන්ද වික්‍රමගේ, ලියෝනිකොතලාවල, විජයරත්න වරකාගොඩ, සඳුන් විජේසිරි, අශෝක පිරිස් මේ වගේ විශාල පිරිසකගේ අත්දැකීම් ලබමින් මට රඟපාන්න ලැබුණා.

මේ වෙන කොට දුර ගමනක් යන්න නම් රංගනය කියන දේ හදාරන්න ඕනෙ කියල ඔබ අදහස් කරනවා?

මෙහෙම රඟපාන කොට මට දැනුණා. වැඩ්ඩෝ එක්ක හැප්පෙන්න නම් රඟපෑම කියන දේ තවත් ඉගෙන ගන්න ඕනෙ කියලා මම ගියා. ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ ඉගෙන ගන්න. එතුමාගේ අවසාන පුහුණු කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න මම වාසනාවන්ත වුණා.

රංගනයේ අත්දැකීම් ලබන අතරේ ඔබට ප්‍රධාන භූමිකා සඳහාත් ආරාධනා ගලා ආවා නේද?

ප්‍රධාන චරිතය රඟපෑ මගේ මුල්ම ටෙලි නාට්‍ය වුණේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ නිෂ්පාදනය කළ සුදත් සේනාරත්න අධ්‍යක්ෂණය කළ ටිකිරි නිලමේ ටෙලි නාට්‍යය.

වේදිකාවටත් ඔබට ආරාධනා ආවා නේද?

සිරිල් ආරියපාලගේ ‘සීමා’ වේදිකා නාට්‍යයේ තමයි මම මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑවේ.

අනුව දශකය වන විට ඔබ රංගනයේ යම් ස්ථාවරයකට පත්වෙලා සිටි වකවානුවක් නේද?

ඒ වෙනකොට රංගනය මගේ වෘත්තිය බවට පත්වෙලා තිබුණේ. ඒත් 95 දී විතර වන විට ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිර්මාණය වීම ක්‍රමයෙන් අඩුවන බවක් දකින්නට ලැබුණා. ඒ නිසාම මම කල්පනා කලා ඒ වනවිට අවුරුදු දහයක් විතර අඛණ්ඩව කරගෙන ආ මගේ කලා ජීවිතයට විරාමයක් දෙන්න. ඒ නිසාම මම රංගන ජීවිතයට සමුදීලා ගෘහනිර්මාණ ශිල්පියෙක් ලෙස ඩුබායිවල වසර දෙකක රැකියාවට ගියා.

නැවතත් ඔබ දිගු කාලයකට පසු රංගනයට එක් වෙනවා නේද?

ඩුබායි වල රැකියාවට ගියහම සම්පුර්ණයෙන්ම රංගනය කියන දේ මගෙන් ඈත් වුණා. එහේ අවුරුදු විස්සක් විතර දිගටම රැකියාව කළා. නැවතත් මම ස්ථිර වශයෙන්ම ලංකාවේ පදිංචියට එන්නේ 2016 වසරේ අගභාගයේ. ඒ බව ආරංචි වෙන මගේ හිතවතුන් ආයෙත් මට කලාවට එන්න ආරාධන කළා.

යළිත් රංගනය ඇරඹුවේ මොන වගේ නිර්මාණ ඔස්සේද ?

විමල් දේශපි‍්‍රය තමයි මට මුලින්ම ආයෙත් රඟපාන්න ආරාධනා අරගෙන ආවේ. සරත් වීරසේකරගේ ශ්‍රී සද්ධා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කදිරදේව ශ්‍රී ලාල් පි‍්‍රයදේවගේ ‘අපට සැදුණ අපේ ලෝකයේ’ චිත්‍රපට වල මට රඟපාන්න ලැබුණා. මෙයින් ශි‍්‍ර සිද්ධා, කදිරදේව චිත්‍රපට ඉදිරියේ දී තිරගත වන්නත් තියෙනවා.

ටෙලි නාට්‍ය කිහිපයකත් මට රඟපාන්න මේ වනවිට අවස්ථාව ලැබිල තියෙනවා.

ජී. නන්දසේනගේ ‘දෙව්ලිය’, ‘රැයෙහි’, ධනුෂ්ක ගුණතිලකගේ ‘රේස්’ මේ දවස් වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන හිතුවක්කාරි ටෙලි නාට්‍යයෙත් මම රංගනයේ නියැළෙනවා. 

නැවතත් ඔබ වේදිකාව පිය මැනලා වගෙයි.

කමල් විජේතුංග ගේ චෞර සමාගම වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයකට මම සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල නාට්‍යයේ පුහුණු වීම් කරනවා. දෙසැම්බර් 05 වැනිදා වේදිකාගත වෙන්නයි තියෙන්නේ.

අද ඔබ වෘත්තිය ලෙස යළිත් රංගනය තෝරගෙන ද?

නෑ. කොහෙත්ම නෑ. ආත්ම තෘප්තියට පමණයි. මම රඟපාන්නේ රඟපෑම වෘත්තිය කරගත්තොත් ජීවත් වීම අද ලොකු ගැටලුවක්.

තෝරාබේරාගෙන ද අද නිර්මාණ වෙත රංගනයෙන් දායක වෙන්නේ?

මම හැම තිස්සේම තෝරගත්තේ මට යමක් කළ හැකි හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ ඇති නිර්මාණ විතරයි.

අද කලාක්ෂේත්‍රය දිහා බලන කොට මොකද හිතෙන්නේ?

ඉස්සර දර්ශන තලයට ගියහම හරිම විනෝදයි. අද ඒ තත්ත්වය කොහෙත්ම නෑ. නළු නිළියෝ කොහාට හරි වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. අද රඟපාන්න ගියහම සමහරවිට පිටපතක් නෑ. දෙබස් ටික මේකයි කියනවා චරිතේ මෙහෙම වෙන්න ඕනෙ කියනවා. එදයි අදයි කියන්නේ හරියට අහසට පොලොව වගේ.

රජිත ප්‍රධාන පෙළේ නළු නිළියන් රැසක් සමඟ අත්දැකීම් බෙදා ගත් නළුවෙක් නේද?

මම ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. දෙනවක හාමිනේ, ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ, අනෝජා වීරසිංහ, ජීවන් කුමාරතුංග, ක්ලීටන් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, ලීනාද සිල්වා, අශෝක පීරිස්, මේ වගේ ගොඩක් පිරිසක් සමඟ රඟපෑමේ අවස්ථාව මට උදා වුණා.

රංගනය නිසාම නේද ඔබේ ජීවන සහකාරියත් ඔබට ලැබෙන්නේ?

මගේ බිරිය ශෂිකා ඇයත් නිළියක්. ඇතුගල පාමුල ටෙලි නාට්‍යයේ මමත් ඇයත් රඟපානවා. ඒ ටෙලි නාට්‍යයේ මගේ පෙම්වතිය වුණේ ශෂිකා එතැනදි තමයි අපි දෙන්නා අතර සම්බන්ධයක් ඇති වෙන්නේ. අන්තිමට ඒ සම්බන්ධය කෙළවර වන්නේ අපි දෙන්නාගේ විවාහයත් සමඟ.

පවුලේ තොරතුරු එහෙම කොහොමද?

දුව මන්දාරා විශ්වවිද්‍යාල අධ්‍යපනය ලබනවා. පුතා ශක්ති සොෆට්වෙයා ඉංජිනේරුවෙක්. බිරිය ශෂිකා අපේ විවාහයත් සමඟ රංගනයෙන් ඈත් වුණා. ඇය අද හොඳ ගෘහණියක්.

ලිපිනය මතක් කළොත්?

56/3, අටවෙනි පටුමඟ, අරලිය උයන, දෙපානම, පන්නිපිටිය.