මටත් ඉරණම්කාරයෙක් කොතැනක හරි ඇති, එයා වෙලාවට එයි

-ශලනි තාරකා විජයබණ්ඩාර
නොවැම්බර් 11, 2021

 

කොච්චර සම්මාන අරගත්තත් වැඩක් නැහැ එළියට බැස්සාම මිනිස්සු ආදරේ නැත්නම්

මම ඕනෑම වේදනාවකින් පීඩා විඳලා කාලයකට පසු යථාවත් වන කෙනෙක්

 

තරුණයෝ කරන වෙනසට බය පිරිසක් කලාවේ ඉන්නවා

 

තව අවුරුදු පහකින් තරුණ චරිත රඟපාන්නේ නැහැ

 

 

එකවර නිර්මාණ කීපයක චරිත කීපයක් රඟපාලත් මම හොඳම නිළිය ලෙස සම්මානනීය වුණා

 

ඉගෙන ගෙන ක්ෂේත්‍රයට එන දක්ෂ අය පව් කියලා හිතෙන්නේ නැද්ද?

 

 

ඇය පිළිබඳව අමුතුවෙන් හඳුන්වාදීම් අවශ්‍ය නැත. වර්තමාන කලා ක්ෂේත්‍රයේ තාරකා නෙත් ඇත්තී ඇයයි. මල් සිනා සලන්නී ඇයයි. 2019 රයිගම් ඊඥතඥ'ඥඵ සම්මාන උලෙලෙහිදී වසර 24කට පසුව වාර්තා අලුත් කරමින් ටෙලි සම්මාන රාත්‍රියක හොඳම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මාන ද්වයම හිමි කරගත්තේ ඇයයි. ශලනි තාරකා විජයබණ්ඩාර නම් නව පරපුරේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය ඇයයි. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතය සහ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන "චලෝ" ටෙලිනාට්‍යයේ චලෝගේ චරිතය යන කැපී පෙනෙන චරිත නිරූපණය කරන ශලනි තාරකා හට සමඟ ඇගේ කලා කටයුතු සහ වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳ කතාබහකට සම්මුඛ වූයෙමු.

මේ දිනවල ලංකාවෙ කාර්යබහුලම රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක් නේද ඔබ?

මම එහෙම හිතනවා. ඒත් මේ අවුරුද්දේ අනිත් අවුරුදුවලට වඩා ටිකක් කාර්යබහුල වුණා. වැඩ වැඩි වුණා. මම මටම කියලා ගෙයක් ගත්තා. තමන්ටම කියලා ගෙයක් ගන්න එක හැම කෙනාගෙම හීනයක්. කාලයක් තිස්සේ ඒ හීනය හැබෑ කරගන්න මහන්සි වුණා.

 

කොරෝනා වසංගතයත් එක්ක ඒ වගේ හීනවලට යන එක අභියෝගයක්.

කොරෝනා නිසා හැමෝටම තියෙන අපහසුතා අපිටත් තියෙනවා. ඒත් මොකක්හරි වාසනාවකට මට කලා ක්ෂේත්‍රයේ වැඩ අඩුවුණේ නැහැ. ඒ නිසාම මට මගේ පෞද්ගලික ජීවිතේ කටයුතු ටික කරගන්න පුළුවන් වුණා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් වසර එකහමාරක් විතර පරිස්සම් වෙලා ඉඳලා අවසානයේදි මටත් වැලඳුණා. ඊට පෙර හතර පස් වතාවක් නීරෝධායනය වුණා. අවසානයේ එක් පිරිසකගේ වගකීම් විරහිතකම නිසා අපිටත් කොරෝනා හැදුණා. තවමත් එහි ප්‍රතිඵල විදිහට සුළු ආබාධ තියෙනවා.

 

කාලයකට පසුව ශලනිගේ චරිතයට යම් මට්ටමකට සමාන චරිතයක් ලැබුණා නේද?

ඔව්, ඒ "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතය. ස්නේහාගේ චරිතය යම්තාක් දුරට මගේ චරිතයට සමානයි. සමහර ජවනිකා මට රඟපාන්න ලේසියි. සිදුවීම් වෙනස් වුණාට ඒ හැඟීම් දන්න නිසා මට පහසුයි ඒ චරිතය ගොඩනඟන්න. හිටපු ප්‍රේමවන්තයා මියගිය ඒ ප්‍රේමය හිතේ තියාගෙන තවමත් ළතැවෙන තරුණියක් ස්නේහා කියන්නේ. මගේ ජීවිතේ වුණු යම් යම් සිදුවීම් නිසා ඒක මටත් සමීපයි. නමුත් සිදුවීම් වෙනස්. ඒ නිසා මට ස්නේහාව ටිකක් ළඟයි. ඒත් මම එකම දෙයක එළඹගෙන කාලය වැය කරන කෙනෙක් නෙමෙයි. ස්නේහා කියන්නේ එකම දෙයක් මත්තෙම වෙහෙසෙන පිරිමින්ට වෛර කරන එක තැන ජීවිතේ රඳවා.ගෙන එයාගෙන්ම පළිගන්න කෙනෙක්. මම එහෙම නෙමෙයි. මම ඕනේම වේදනාවකින් පීඩා විඳලා කාලයකට පසු යථාවත් වෙන කෙනෙක්. මම රංගනයේදී ආයෙමත් ආදරවන්තියගේ චරිතයක් කරනවා. පසුගිය කාලේ මට ලැබුණෙම ටිකක් සම්හාව්‍ය ගණයේ චරිත සහ වෙනස් චරිත. මේ ටෙලිනාට්‍යය ඇතුළේ තියෙන ගුප්තම චරිතය තමයි ස්නේහා. ඇත්තටම කිව්වොත් ටෙලිනාට්‍යයේ ඉන්න දුෂ්ඨයන්ටත් වඩා වෙනස් ගුප්ත චරිතයක් ස්නේහා. එයා හරියටම කවුද කියන එක තවම ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නේ නැහැ. මේ ටෙලිනාට්‍යයේ නම "කියාදෙන්න ආදරේ තරම්" නිසා මම හිතනවා ඇය ආදරේ හොයන ආදරේ දෙන්න කැමති තරුණිය කියලා. ඇය ආදරේ අහිමි වුණු තරුණියක්. ඇය ආදරේට වෛර කරනවා. එහෙත් ස්නේහා ආදරේට ලෝභයි කියලා මම දන්නවා.

 

මේ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?

මට මේ චරිතයට ආරාධනා කළේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක සහ පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමාඅරච්චි. මේ දෙපළ සමඟම මම වැඩ කරන්න ආසාවෙන් හිටියේ. මේ මම වැඩ කරන මහේෂ් අයියාගේ පස්වැනි පිටපත. ධනුෂ්ක අයියත් එක්ක මීට කලින් මට දිගටම වැඩ කරන්න හම්බුණේ නැහැ. මහේෂ් අයියාගේ පිටපත් කොහොමත් හරිම රහ ආදරේ උතුරන්න තියෙන පිටපත්. සමාජයේ නිතර ගැවසෙන චරිතයි ඔහු කතාවලට අන්තර්ගත කරන්නේ.

 

ස්නේහාගේ චරිතය ප්‍රේක්ෂකයන් ඉතාම ආදරෙන් වැලඳගත්තා?

මේ චරිතය නොහිතන විදිහට ප්‍රේක්ෂකයෝ වැලඳගත්තා. මුලින්ම ටෙලිනාට්‍යයට සම්බන්ධ වනවිට මම හිතුවේ නැහැ මේ ටෙලිනාට්‍යය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. අන්තර්ජාලයට ගියත් සාමාන්‍ය ජීවිතයේ වුණත් වයස් භේදයකින් තොරව හැමෝම මේ චරිතයට ආදරෙයි. සමස්තයක් ලෙස ප්‍රේක්ෂකයෝ හැමෝගෙම ආදරේ දිනාගත්ත ටෙලිනාට්‍යයක් බවට "කියාදෙන්න ආදරේ තරම්" පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ටෙලිනාට්‍යයට වෙනම රූපරචනාවක් සහිත ගීතයක් නිර්මාණය කළා. පැය හතක් ඇතුළත යූටියුබ් එකේ ට්‍රෙන්ඩින්ග් වුණා මේ ගීතය. හරිම සහයෝගයෙන් අපි හැමෝම මේ ටෙලිනාට්‍ය කණ්ඩායම එක්ක වැඩ කරන්නේ. අපි කොයිතරම් හිතවත් ද කියනවා නම් අපි හැමෝටම අපි නැතුව බැරි තරම්. ඒ නිසා වෙන්නැති මේ ටෙලිනාට්‍ය මේ තරම් සාර්ථක වෙලා තියෙන්නේ.

 

ස්නේහාගේ චරිතය ඉදිරියේදී කොයිවගේ වෙනස් වෙයිද?

ස්නේහා හරිම ගුප්තයි. එයා පිටතට තමන්ගේ හදවත පෙන්වන්නේ නැති කෙනෙක්. එයා අභ්‍යන්තරයේ ලොකු දෙයක් සඟවගෙන ඉන්න කෙනෙක්. ස්නේහාගේ මුහුණේ හැඟීම් පෙන්වන්නෙත් නැහැ. එයා දුක නම් දුක පෙන්වනවා, තරහා නම් තරහා පෙන්වනවා, හිනාවෙන්නෙත් හරි අඩුවෙන්. කලාතුරකින් ස්නේහා හිනාවෙන්නෙ. එයා මොනවාද හංගගෙන ඉන්නේ? ඉදිරියේදී එයා කොහොමද වෙනස් වෙන්නේ? මේ හැමදෙයක්ම ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී බලාගන්න පුළුවන්.

 

ස්නේහා වගේම ශලනි තාරකාත් දැන් ආදරේ කරන්න පටන් අරන්ලු.

එහෙම එකක් තවම නැහැ. ඇත්තටම මට ඒ ගැන හිතන්න කාලවේලාවත් අවමයි. එහෙම ආදරේ කරනවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් වෙනම වේලාවක් වෙන් කරන්න ඕනේ. මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒක ටිකක් අමාරුයි සහ මම විවාහය කියන කාරණාවට ඉක්මන් වෙන්නේ නැහැ. අපේ ජීවිතයට කෙනෙක් එන්න ඉන්නව නම් ඒ කෙනා හරිම වෙලාවට එයි. මටත් ඉරණම්කාරයෙක් කොහෙහරි ඇති. එයා වෙලාවට එයි. ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතනවා.

 

මිනිස්සු පරිණත වෙද්දි තමන්ගෙ සහකාරයා ගැන ඕනාවට වඩා දේවල් හොයනවාලු.

අනිවාර්යයෙන්ම ඒක වෙනවා. පරිණත නොවූ කාලයේ පවා යම් කිසි ආකර්ෂණයක් තියෙනවා නම් විතරයි අපි කෙනෙක්ට කැමති වෙන්නේ. කොච්චර හොඳ මිනිස්සු හිටියත් යම්කිසි දෙයකට ආකර්ෂණයක් නැතිනම් අපි ඒ කෙනාට කැමති නැහැ. ඒත් දැන් ඊට වඩා ජීවත් වෙන්න පහසු ලේසි පුද්ගලයාව හොයන්නේ. සමාජ මතයක් තියෙනවා "කෙනෙක් නැතුව ජීවත් වෙන්න බැරි නම් ඒ ඒ කෙනාවම කසාද බඳීන්න" කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. ජීවත් වෙන්න නැතුව බැරි කෙනා නෙමෙයි, ජීවත් වෙන්න පුළුවන් කෙනා එක්කයි අපි ජීවත් වෙන්න ඕන.

 

වාර්තා අලුත් කරමින් එකම සම්මාන උලෙළක සම්මාන දෙකක් ශලනිට ලැබුණා. ඒ කීර්තිය එලෙසටම පවත්වාගෙන යන එක ලේසි නැහැ.

ඇත්තටම එක අමාරු වැඩක්. එකම සම්මාන උලෙළක හොඳම නිළියට සහ ජනප්‍රියම නිළියට සම්මානනීය වෙනවා කියන එක අහම්බයක්. ඒක පවත්වාගෙන යනවා කියන එක ලොකු අභියෝගයක්. නමුත් ඒ සම්මාන දෙකම හැම අවුරුද්දෙම ගන්න ඕනේ කියලා දෙයක් මට නැහැ. ඇත්තටම මම ජනප්‍රිය නිළිය සම්මානය අත්හැරපු එකක්. පසුගිය අවුරුද්දේ ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණේ මම බලාපොරොත්තු නොවුණු අවස්ථාවකදි. මම හිතනවා ජනප්‍රියම සම්මානය අලුත් අයට ලැබිය යුතු දෙයක් කියලා. ඔවුන්ගේ පාර හදාගන්න ඔවුන්ව මිනිසුන් හඳුනාගන්න ඒ සම්මානය ඔවුන්ට වටිනවා. ජනප්‍රියම සම්මානය ජනතා ඡන්දවලින් ලැබෙන නිසා ඒ ගැන තීරණය භාර වෙන්නත් ජනතාවටමයි. ඒත් එකම නිළිය එක පිට එක දිගට ජනප්‍රිය සම්මානය ගන්න ඕනෙ කියල නියමයක් නැහැ. ඒත් ලැබිය යුතු නම් ඒ දෙය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කොච්චර ජනප්‍රිය සම්මාන අරගත්තත් වැඩක් නැහැ එළියට බැස්සාම මිනිස්සු ඒ කලාකරුවාට ආදරේ නැත්නම්. නමුත් මම උත්සාහ කරනවා හැම වසරේම හොඳම නිළියට නිර්දේශ නාමයන් අතරට යන විදිහට වැඩ කරන්න.

තරුණ පරපුර දක්ෂ නැහැ කියන චෝදනාව කාලන්තයක් තිස්සේ කලා ක්ෂේත්‍රයේ පවතිනවා. ශලනිත් ඒ තරුණ පරපුර නියෝජනය කරන්නේ?

තරුණ පරපුර අදක්ෂයි කියලා කාටවත් කියන්න බැහැ. මේක තුළ දක්ෂයෝ ගොඩක් ඉන්නවා. සමහරවිට අපිටත් කලින් හිටපු වැඩිහිටි පරපුරටත් වඩා දක්ෂ අය ඉන්නවා. ඔවුන් කලා පවුල්වලින් පැමිණි අය නෙමෙයි. සහජයෙන්ම දක්ෂතාවය සහ හැකියාව අරගෙන පැමිණි අය. මෙතැන තියෙන ප්‍රශ්නය ඒවා ඔපමට්ටම් කරන්න නිර්මාණ නැති එක. සමහර අවස්ථාවල මම දකිනවා හොඳ සිනමා නිර්මාණවලට අධ්‍යක්ෂවරු රඟපාන්න බැරි අයව තෝරගෙන චරිත ලබාදෙනවා. නමුත් ඔවුන්ට වඩා ඒ චරිතවලට සාධාරණයක් කරන්න පුළුවන් රංගන ශිල්පීන් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. තරුණ පරපුර දක්ෂ නැහැ කියලා බැණ බැණ ඉඳලා වැඩක් නැහැ. ඔවුන්ට හොඳ නිර්මාණ ලබා දෙන්න ඕනේ ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න.

ඊළඟ පරම්පරාව සකසන කාර්යභාරයට ඔබේ දායකත්වය කොහොමද?

සහයෝගයෙන් වැඩ කරන සියලුම දෙනාට මම මගේ සහයෝගය ලබාදෙනවා. ක්ෂේත්‍රයට ආපු ගමන්ම බොරු ලොකුකම් දාන අයත් ඉන්නවා. එහෙම අයට නම් අපිට බලෙන් උදවු කරන්න බැහැ සහ ඔවුන් අපි කියන දේවල් අහන මානසිකත්වයක නෙමෙයි. නමුත් ක්ෂේත්‍රයට ඇවිත් හරියට වැඩ කරන තමන්ගේ අඩුපාඩු හදාගෙන රංගන හැකියාව වැඩිදියුණු කරන කණ්ඩායමක් ඉන්නව. එහෙම අයට මම අනිවාර්යයෙන්ම උදව් කරන්න මම කිසිම වෙලාවක පසුබට වෙන්නේ නැහැ.

 

තවමත් තරුණයන්ට රංගනය ගැන ඉගෙනගන්න හරිහැටි තැනක් නැහැ නේද?

පිටරටවල වගේ දැවැන්ත රංගන පාසල් ලංකාවේ නැහැ සහ එහෙම කියන්න තරම් දැවැන්ත කලා ක්ෂේත්‍රයක් ලංකාවේ නැහැ. හැට හැත්තෑව දශකයේ අපේ සිනමාව ඉන්දියාව හා සමාන වුණාට දැන් අපිට තියෙන්නේ හරිම දුප්පත් සිනමාවක්. ඒ වගේම ලංකාවේ රංගන පාඨමාලාත් සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. අධ්‍යක්ෂණය ගැන ඉගෙනගන්න තැන් පවා අවමයි. ඒවායින් ඉගෙනගෙන අලුත් වැඩක් කරලා ක්ෂේත්‍රයට එන අයට ක්ෂේත්‍රයට එන්න ඉඩදෙන්නේ නැහැ. අධ්‍යක්ෂණය ගැන ඉගෙනගත්ත අලුත් අධ්‍යක්ෂවරු නිර්මාණය කරපු චිත්‍රපට පෙන්වගන්න විදිහක් නැහැ. කොරෝනා පැත්තක තියලා බැලුවොත් ඊට පෙරත් චිත්‍රපට නිර්මාණය කරපු අලුත් අධ්‍යක්ෂවරුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒත් ප්‍රවීණයන්ගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා ඉතා සුළු කාලයකින් තිරගත කරනවා. එයින්ම පේනවා ක්‍රමවේදයේ මොකක්හරි වැරැද්දක් තියෙනවා කියලා. ඒ වගේම රංගනයටත් අතිශය දක්ෂයො එනවා. සමහරවිට ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, මහේන්ද්‍ර පෙරේරා වගේ චරිත මේ ක්ෂේත්‍රයට එනවා. නමුත් කොච්චර ඉගෙනගෙන ආවත් ඒ දක්ෂතා හැකියා පෙන්වා ගන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මාසෙට චිත්‍රපට තිරගත කරන්නේ එකක් හෝ දෙකක්. ඒ ඉඩකඩ ප්‍රවීණයන්ට දීලා ඔවුන්ගේ චිත්‍රපටවලටත් දක්ෂතා නැති අය සම්බන්ධ කර ගත්තොත් අර ඉගෙන ගෙන එන දක්ෂ අය පව් කියලා හිතෙන්නේ නැද්ද?

 

ක්ෂේත්‍රයේ තරුණ අධ්‍යක්ෂවරු ගැන ඔබේ අදහස?

අතිශයින්ම දක්ෂ වෙනස් විදිහට හිතන තරුණ අධ්‍යක්ෂවරු කීප දෙනෙක් මේ වන විට ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. වෙනස් ආකාරයකට ලියන, රූගත කිරීම් කරන තරුණ අධ්‍යක්ෂවරු ඉන්නවා. ඒ වගේම එන්න බලාගෙනත් ඉන්නවා. ඔවුන් නිර්මාණය කළ කෙටි චිත්‍රපටවලින් පේනවා ඔවුන්ගේ දක්ෂතා. මම හිතනවා ඔවුන් ඉදිරියේදී මේ ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරයි කියලා. තරුණයො කරන ඒ වෙනසට බය පිරිසකුත් ඉන්නවා.

 

කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා නේද?

ඔව්, මම නිරෝධායන සමයේ නිකං ගෙදරට වෙලා හිටපු නිසා වැඩක් කරන්න අවශ්‍යතාවය තිබුණු නිසා කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඊට පෙර මම ජංගම දුරකතනයෙන් කෙටි චිත්‍රපටයක් කළා. මගේ හොඳම යාළුවො දෙන්නාම ඉන්නේ පිටරටවල. මුළු ලෝකයම එකම වසංගත තත්ත්වයකට මුහුණ දෙන්නෙ. රටවල් තුනේ ඉන්න අපි තුන්දෙනා වසංගත තත්ත්වයට මුහුණ දෙන ආකාරය ජංගම දුරකතනයෙන් පටිගත කරලා සංස්කරණය කළා. ඒකේ නම "ඛ්ධපඥදබඪද". ඉන්පසුව මට ලැබුණා "ර්චඬඥභන" කෙටි චිත්‍රපටයේ පිටපත. ඒක නිරෝධායන කාලයේ ගෘහස්තව රූගත කිරීම් කළේ. රූගත කිරීමවල අවසානය වනවිට නිරෝධායන කාලයත් අවසන් වුණා. ඒ නිසා අපි තීරණය කළා බොහොම අඩු කාර්ය මණ්ඩලයකින් කෙටි චිත්‍රපටය නැවතත් රූගත කරනවා කියලා. පූජන දන්දෙණිය සහ අනුරාධා එදිරිසිංහ මාත් එක්ක චරිත නිරූපණය කළා. ප්‍රියන්ත විදානපතිරණගේ පිටපත. කැමරාකරණය දක්ෂ කැමරා ශිල්පියෙක් වන කුලරුවන් ගමගේ. සංගීත අධ්‍යක්ෂණය කළේ පසන් ලියනගේ. චිත්‍රපටය සංස්කරණය කළේ ශාන් ද අල්විස්.

 

ශලනිගේ ඊළඟ වෙනස් වැඩේ මොකක්ද?

නිර්මාණ තෝරා ගනිද්දී ලැබෙන හැමදේම මම භාරගන්නේ නැහැ. අලුත් වැඩ කිහිපයක් භාරගෙන තියෙනවා. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. මම එකම කාලයකදී එක හා සමාන චරිත රඟපාන්නේ නැහැ. මට බයයි චරිත එකිනෙක පැටලෙයි කියලා. කාලයකට කලින් ක්ෂේත්‍රයේ රඟපාපු අය එක චරිතයක් කරලා ටික කාලයක් ඉඳලා තව චරිතයක් රඟපාන්නේ. නමුත් ලංකාවේ තියෙන ආර්ථික තත්වයත් එක්ක රංගන ශිල්පීන් බහුතරයකට චරිත දෙක තුනක් එකවර රඟපාන්න වෙලා තියෙනවා. සමහරු ඒකට අපිට චෝදනා කරනවා. ඒත් මාසෙටම එක වැඩක් කරලා අපිට ඉන්න බැහැ. කලාව විතරයි අපේ එකම ආදායම. එහෙම එකවර චරිත කීපයක් රඟපාලත් මම හොඳම නිළිය ලෙස සම්මානනීය වුණා. එහෙම හොඳ චරිත කීපයක් එකවර රඟපාන අලුත් දක්ෂයෝ ගොඩක් ඉන්නවා. මටත් හැමදාම තරුණ චරිත කරන්න බැහැ. මගේ වයසත් එක්ක තව අවුරුදු පහක් තරුණ චරිත කරන්න පුළුවන්. එතැනින් එහාට මට තරුණ චරිත කරන්න බැහැ. එතැනින් එහාට මම තරුණ පෙම්වතියගේ චරිත භාරගන්නෙත් නැහැ. අලුත් අයට බැට්න් එක දෙන්න ඕනේ.

 

 

ඡායා - දුමිල කල්ප