අමුඩෙ වගේම ටයි කෝට් ඇඳලත් මම රඟපානවා

දිලිප් මනෝහර
නොවැම්බර් 11, 2021

රංගනයේ චරිත අතරින් ඔහු මෙරට වේදිකාවට, පුංචි තිරයට, සිනමාවට ඇලුම් කරන ප්‍රේක්ෂකයන්ට නවක මුහුණක් නොවුවද සැබෑ නමින් ඔහු යම් දුරකට පේ‍්‍රක්ෂකයන්ට නවකයෙක් විය හැකිය. හාපුරා කියා පාසල් ශිෂ්‍යයකුව හිදිමින් කොළඹ ලුම්බිණි රඟහල තම රංගන දිවියට තිඹිරිගෙය කොටගත් දිලිප් මනෝහර අද විවිධ වූ රංඟභූමිකාවන් ඔස්සේ මෙරට ප්‍රේක්ෂකයන් අතරේ ජනපි‍්‍රය චරිතයක් වී හමාරය. මේ ඔහු හා කෙරෙන සංවාදයකි.

- මට රඟපාන්න ලැබුණු සියලු ටෙලි නිර්මාණ ප්‍රාසංගික ටෙලි නාට්‍ය
- අද වෘත්තීමය නළුවෙක් බවට පත් වෙන්න ස්වඋත්සාහයෙන් ආපු ගමනක් මට තියෙන්නේ
- මට රංගනය වෙනුවෙන් ගුරුවරු නෑ මගේ ගුරුවරයා මම විතරයි
- තිරය තුළ මට නොලැබුණේ තවමත් භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයක්

දිලිප් මේ දවස්වල පුංචි තිරයේ සුලබ චරිතයක්?

ඔව්. ස්වාධීන රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වන අදුන්ගිර ටෙලි නාට්‍යයේ පේ‍්‍රමරත්න මම ඒ වගේම, හිරු නාළිකාව ඔස්සේ විකාශය වන මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ චිත්තරාජ මම. ඊට අමතරව මා මීට පෙර රඟ පෑ කලින් විකාශය වූ රන්තිලිවැව ටෙලිනාට්‍යයත් මේ දවස්වල නැවත විකාශය වෙනවා. ඒ වගේම තමයි.මම වසරකට වැඩි කාලයක් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කළ තේවාව වාර්තාමය වැඩසටහන නැවත මේ දවස් වල විකාශය වෙන්න පටන් අරන්.

ඔබ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ වේදිකාව ඔස්සේ?

වේදිකාව තමයි මගේ කලා දිවියේ තිඹිරිගෙය. 1989 දී මංගල දොඩංගොඩගේ ‘වියරු’ වේදිකා නාට්‍යයේ රඟපාමින් තමයි මම කලා ක්ෂ්‍රේත්‍රයේ දොරගුලු විවර කරගන්නේ.

ඔබේ රංගන දිවියේ හා පුරා කියා රඟ පෑ චරිතය වුණේ?

ඒ චරිතය මානසික රෝගියෙකුගේ චරිතයක් “පිස්සෙක්” කිව්වොත් තවත් නිවැරදියි.

ඒ වෙන කොට ඔබ පාසල් ශිෂ්‍යයෙක්?

මම අධ්‍යාපනය හැදැරූවේ හෝමාගම මධ්‍යමහා විද්‍යාලයෙන් පාසලේ දී මම සංගීත විෂයට තමයි වැඩි කැමැත්තක් දැක්වුයේ පසු කලෙක සුජාතා අත්තනායක මහත්මිය යටතේ මම පෞද්ගලිකව සංගීතය ඉගෙන ගත්තා.

සංගීතයට ඇලුම් කළ ඔබ රංගනශිල්පියෙක් වුණේ?

ඒක අහම්බෙන් සිදුවුණ දෙයක් මම කවදාවත් රංගනය කියන දේ කාගෙන්වත් ගුරුහරුකම් අරන් ඉගෙන ගත්තේ නෑ. මා තුළ ලොකු ආශාවක් තිබුණා රංගනයට. අන්න ඒ ආශාව මාව රංගන ශිල්පියෙක් කළා කිව්වොත් මම ගොඩක් නිවැරදියි.

මේ වෙන කොට ඔබ කොපමණ වේදිකා නාට්‍ය ප්‍රමාණයකට රංගන දායකත්වය එක් කරලා තියෙනවද?

වේිදිකා නාට්‍ය 11ක් මම රඟපාල තියෙනවා. මේ දවස්වල ජනක් ප්‍රේමලාල්ගේ සිව් නළු ගී සංජය ලීලාරත්න ගේ කරපිංචා ඕනෑ වේදිකා නාට්‍ය නිර්මාණ සඳහා දායකත්වය එක් කරලා තියෙනවා.

වේදිකා නාට්‍ය රංග ශිල්පියෙකු ලෙස ඔබ වඩාත් ජනප්‍රිය වුණේ මොන නාට්‍ය නිර්මාණය ඔස්සේ කියා ද හිතන්නේ?

ආනන්ද එස්. විජේසිරිගේ පුරවර සුන්දරී තුළින්.

දිලිප් ටික කාලයකට හදිසියේම වේදිකාවට සමු දෙන්නේ ඇයි?

1996 වසරේ මම විදේශ ගත වුණා. රැකියා කටයුත්තකට. නැවත මම 2001 වසරේ කලා ක්ෂේත්‍රයට එක් වෙනවා. සහය කලා අධ්‍යක්ෂවරයෙක් ලෙසින්. ඒ දියණි සහ නෙලුනිකා ටෙලි නාට්‍යයට.

ඔය අතරේ ඔබ කලා අධ්‍යක්ෂවරයෙක් ලෙසත් නිර්මාණ කරණයේ යෙදෙනවා නේද?

ඔව් මම ටෙලිනාට්‍ය රංගනයට අවතීර්ණ වුණාට පස්සේ වාලුකා ටෙලිනාට්‍යයේ කලා අධ්‍යක්ෂක ලෙස වැඩ කලා. මේ ටෙලි නාට්‍යයේම රංග ශිල්පියෙක් ලෙසත් මම දායකත්වය එක්කලා.

ඔබ වේදිකාවෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ කොහොමද?

කලා අධ්‍යක්ෂ වජිර පි‍්‍රයශාන්ත තමයි. මාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ. ටෙලි නාට්‍ය සහය කලා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් ඉන්න අතරේ රංගනයට මා තුළ තිබෙන ආශාව නිසා මට ටෙලි නාට්‍ය රංගනයේ දොරගුලු විවර වෙනවා.

ටෙලි නාට්‍ය රංගන දිවිය කොයි ආකාරයෙන් ද ඔබව වැලඳ ගන්නේ?

ජානක චමින්ද අත්තනායක අධ්‍යක්ෂණය කළ සේපාලිකා ටෙලි නාට්‍යයේ සහය කලා අධ්‍යක්ෂක වුණේ මම. මෙහිදී මගේ රංගන හැකියාව පිළිබඳ දැනගත්ත එතුමන් සේපාලිකා ටෙලිනාට්‍යයේ උණ්ඩියාගේ චරිතය රඟපාන්න මට භාරකලා. ඒ තමයි මගේ මුල්ම ටෙලිනාට්‍ය රංගනය.

මේ වන විට කොපමණ ටෙලි නාට්‍ය සංඛ්‍යාවක ඔබට රංගනයෙන් දායකවෙන්න ලැබිල තියෙනවද?

සංඛ්‍යාත්මකව කිව්වොත් ටෙලි නාට්‍ය හැත්තෑ තුනක්. හැබැයි මෙහි තියෙන විශේෂත්වය මට රඟපාන්න ලැබුණු සියලු ටෙලි නිර්මාණ ප්‍රාසංගික ටෙලි නාට්‍ය ලැබුණේ නෑ. කිසිදවසක ඒකාංගික ටෙලි රංගනයකට ආරාධනා ලැබිලා නෑ. ඒ වගේම තමයි ලැබුණු හැම චරිතයක්ම කතාව පුරා ගලා ගිය ප්‍රධාන භූමිකාවන්.

ඔබ රඟපෑ සියලු ටෙලි නාට්‍ය මේ වනවිට ප්‍රේක්ෂකයෝ රසවිඳල ද?

මම රඟපෑ ටෙලි නාට්‍ය අතරින් නිර්මාණ 65න් පමණ පේ‍්‍රක්ෂකයෝ රස විඳලා ඉතිරි නිර්මාණ ඔවුන් අතරට එන්න තියෙනවා.

ඔබේ රංගනය එක්කළ ටෙලිනාට්‍ය දම්වැලේ සුවිශේෂී වූ ඔබ හදගත් නිර්මාණ මොනවද?

අත්අම්මා ටෙලි නිර්මාණයේ සුදා ගුරුන්නාන්සේ, රන්බැඳි මිනිස්සු ටෙලි නිර්මාණයේ අංගම්රාළ

සිනමාවටත් ඔබ රංගනයෙන් එක්වෙනවා?

මේ වන විට චිත්‍රපට නමයක මම රඟපාල තියෙනවා. 2017 වසරේ වී සීවදාසන් අධ්‍යක්ෂණය කළ පාටක් නැති ආදරයක් චිත්‍රපටයේ රඟපාමින් තමයි මම සිනමා රංගනයට අත්පොත තැබුවේ.

රංගනයේ නියැලි චිත්‍රපට ඉදිරියේ දී තිරගතවෙන්න තියෙනවද?

ගිනියම් යාමය, නීලම්, විශ්ව, ගුත්තිල චිත්‍රපට ප්‍රදර්ශක පෝලිමේ තියෙනවා පේ‍්‍රක්ෂකයන් අතරට එන්න. ඩී.වී.ඩී. චිත්‍රපට 16ත් මම මේ වන විට රඟපාල තියෙනවා.

සිනමා රංගනයේ ඔබ වඩාත් කැපී පෙනුණේ මොන චරිතයන් ඔස්සේ කියල ද ඔබ හිතන්නේ?

ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ සොලී නායකයා, නිදහසේ පියා චිත්‍රපටයේ පියදාස සිරිසේන චරිතය මට විශේෂයි. ඉදිරියේ දී තිරගත වෙන්න තියෙන ගිනියම් යාමය සිනමා නිර්මාණයත් මගේ රංගනයේ තවත් සුවිශේෂී ලකුණක් වෙයි කියල මට හිතෙනවා.

ඔබේ රංගන දිවියේ ආගමනය ගැන ආපසු හැරී බලන කොට මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් තියෙනවා. අද මම වෘත්තීමය නළුවෙක් බවට පත් වෙලා මගේම ස්ව උත්සාහයෙන් ආපු ගමනක් මට තියෙන්නේ. රංගනය කියන දේ මම ඉගෙන ගත්තේ සමාජයෙන් ඇසෙන දකින් දේ ගැන මමම ඉගෙනගෙන මට රංගනය වෙනුවෙන් ගුරුවරු නෑ මගේ ගුරුවරයා මම විතරයි. ප්‍රේක්ෂකයෝ අපේ රඟපෑම් දැකලා මඟ තොටේ දී සුබ පතනවා. ඒක ලොකු ආශිර්වාදයක් මේ ගමන ඉස්සරහට යන්න. ඉදිරියටත් පුර්ණ කාලීනව රංගනයේ නියැළෙන්නයි මගේ ප්‍රාර්ථනය.

රංගනය තුළ ඔබට විවිධ වූ චරිත නිරූපණයට ඉඩ ප්‍රස්ථා විවර වෙන්න ඇති. ඒත් තවමත් නොලැබුණු චරිතත් තියෙනවා ද?

තිරය තුළ මට නොලැබුණේ තවමත් භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයක් අනෙක් සියලුම චරිත මට මේ වනවිට ලැබිලා තියෙනවා. මගේ කොණ්ඩය මට චරිත ගේන වාලම්පුරියක් මොනව කළත් දැන්නම් මම කොණ්ඩේ කපන්නේ නෑ. මොකද මීට පෙර කරපු නිර්මාණවල ඉතිරි කොටස් කරන්න තව දුරටත් කොණ්ඩේ ඕනෙ නිසා. මේ වෙන කොට අමුඩගහන චරිත අතරේ ටයිකෝට් චරිතත් මට ලැබිල තියෙනවා. අගස්ති මාලය ටෙලිනාට්‍යයේ ජීවක හා ජයකොඩි නිවුන් සහෝදරයෝ ලෙසිනුත් මට රඟපාන්න ලැබුණා.

ඔබ කකුල කැඩිලත් රඟපාපු නළුවෙක් කියලා කතාවක් තියෙනවා නේද?

ඒක මෙහෙමයි වෙන්නේ. අනුර අබේරත්නගේ මීදුම් කළුවර ටෙලි නාට්‍යයේ රඟපානකොට මාව ගලකින් ලිස්සලා වැටිලා කකුල දෙකට කැඩිලා ගියා. මාස අටක් හිටියා රෝද පුටුවට සීමා වෙලා. කකුල කැඩුණට පස්සේ බැන්ඩේඡ් එක දාල ඉස්පිරිතාලෙන් ගෙදර ආපු දවසේ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්තයා මට කතා කරලා එයාගේ අපේ ආදරේ නාට්‍යයේ චරිතයක් මට ලිව්වා. ඇවිත් රඟපාන්න කියලා. මම ඇත්තටම කැඩුණු කකුල බැන්ඩේජ් කරපු එක පිටින්ම ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවා. එදා ලක්ෂ්මන් පුෂ්පකුමාර මට ඒ කළ උපකාරය නිසා තමයි ඒ කාලය තුළ මම ජීවත් වුණේ.

ඔබේ රංගන දිවියේ අමතක නොවන චරිතත් ඇති?

මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය උද්දීපනය කළ පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. එක් අයෙක් ජනක චමින්ද අත්තනායක අනෙක් කෙනා ලක්ෂ්මන් පුෂ්පකුමාර

ලිපිනය සඳහන් කලොත් ඔබට ආදරය කරන පේ‍්‍රක්ෂකයන්ට තව තවත් ඔබට ළෙන්ගතු වෙන්න.

අංක 151, කොතලාවල, බණ්ඩාරගම 

චන්දන දයාසිරිවර්ධන 
සේයාරූ - නිශ්ශංක විජේරත්න