සම්මානය ගන්න යන්න බැරි වුණාට සම්මානය මාව හොයාගෙන එයි

BAYELSA අන්තර්ජාතික සිනමා උලෙළේ සුනාමි වෙනුවෙන් හොඳම නිළිය දිනූ නිරංජනී ශන්මුගරාජා
නොවැම්බර් 4, 2021

 

රටේ නම කියද්දි මම එතැන හිටියා නම් අනිවාර්යයෙන්ම මගේ හිරිගඩු පිපෙයි

තවමත් සමහරු “කලාව කරලා කාටද හරි ගියේ?” අහනවා

හොඳම නිළියට නිර්දේශ වීම පවා සතුටක්

නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට සංවිධානය වූ ඕඒකඡ්ඹ්ඉඒ අන්තර්ජාතික සිනමා උලෙළේදී (ඕචරඥතඵච ධ්ජ්ජ්) සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සහ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ “සුනාමි” චිත්‍රපටය ඔක්තෝබර් 24 වෙනිදා සමත්විය. එහිදි උලෙළේ “හොඳම නිළිය” උදෙසා වූ සම්මානය නිරංජනී ශන්මුගරාජාහටත් ,”හොඳම අධ්‍යක්ෂ” උදෙසා වූ සම්මානය සෝමරත්න දිසානායකටත් පිරිනැමිණි. ශ්‍රී ලාංකිකයන් අත්විඳී දැවැන්තම ස්වභාවික ව්‍යසනය ලෙස සුනාමි ව්‍යසනය 2004 දෙසැම්බර් 26 වැනිදා ඇති විය. එයට වසර පහළොවක් සපිරෙද්දි සම්මානනීය සිනමා අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා විසින් සුනාමි ව්‍යසනය වටා ගෙතුණු කතා පුවතක් නැවත ප්‍රතිනිර්මාණය කරමින් "සුනාමි" නමින් ‍රිදී තිරය මත සිත්තම් කළේය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ නිරංජනී ශන්මුගරාජා හට මීට පෙරත් සුනාමි චිත්‍රපටය වෙනුවෙන් අන්තර් ජාතික ඇගයීම් ලැබී ඇත. ලැබුණු අන්තර් ජාතික සම්මානයේ සතුට බෙදාගන්න අප නිරංජනී ශන්මුගරාජා සමඟ පිළිසඳරක යෙදුණේ මෙලෙසිනි.

 

 

මේ කලබැගෑනි ඔක්කොම අස්සේ අන්තර්ජාතික සම්මානයක් ලැබුණා නේද?

අපි සාමාන්‍යයෙන් කියනවා ජීවිතේට ලොකු දුකක් හෝ ප්‍රශ්නයක් එන්නේ නොහිතන ලොකු සතුටක් දෙන්න කියලා. කොරෝනා වසංගතයත් එක්ක ලංකාවේ සිනමා කර්මාන්තය කඩා වැටිලා කලාකරුවො ගෙවල්වලට වෙලා වැඩ නැතුව ඉන්න කාලයක් මේක. ඒ පීඩා ඔක්කොම එක්ක ජීවිතේට චිත්‍රපටයක් බලන්නවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා අවිනිශ්චිත කාලෙක මේ වගේ සම්මානයක් ලැබීමත් මට ලොකු සතුටක්.

 

නිරංජනීට ලැබුණු සම්මානය ගැන ටිකක් කතා කරමු?

නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට සංවිධානය වූ ඕඒකඡ්ඹ්ඉඒ අන්තර්ජාතික සිනමා උලෙළේදී සුනාමි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියගේ සම්මානය මට ලැබුණේ. රටවල් 86ක සිනමා නිර්මාණ 1300කින් මේ තෝරාපත් කරගැනීම කරලා තියෙන්නෙ. ඇත්තටම සිනමා නිර්මාණ 1300කින් හොඳම නිළියට නාමයෝජනා ලැබීම පවා මට සතුටක්. මේ සම්මාන උලෙළේදි "සුනාමි" චිත්‍රපයට නාමයෝජනා නවයක් තිබුණා. හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය, වසරේ හොඳම චිත්‍රපටය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය ඇතුළු සම්මාන නවයකට නම් යෝජනා වෙලා තිබුණා. මේ සම්මාන උලෙළ 2020 පවත්වන්න නියමිතව තිබුණේ. පසුගිය අවුරුද්දෙ කොරෝනා ව්‍යසනය වගේම නයිජීරියාවේ දරුණු කෝලාහල ඇති වුණු නිසා සම්මාන උලෙළ කල්ගියා. ඒ නිසා ඇත්තටම මට මේ සම්මානය ගැන තිබුණු බලාපොරොත්තුවත් නැති වුණා. පසුව නැවත මේ සම්මාන උලෙළ පවත්වන්න තීරණය කළා. මේ සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලය පවා විවිධ රටවල චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නියෝජනය කළා. නැවත සම්මාන උලෙළ සංවිධාන කරද්දි ඒ වෙනකොට තිරගත කරපු අලුත් චිත්‍රපට ඇතුළත් කළා. ඒ වෙද්දි සම්මානය ගැන කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ. මට නාමයෝජනාවත් තියෙයි කියලා මම හිතුවේ නැහැ. මේ සම්මාන උලෙළෙදි නැවත හොඳම නිළියට නාමයෝජනා ලැබුණාම මම ඇත්තටම සතුටු වුණා. එහෙම වාතාවරණයකදි ඒ සම්මානය මට ලැබුණාම මගේ සතුට කොච්චරක්ද කියලා හිතාගන්න පුළුවන්ද?

 

මේ සම්මානය ගන්න ඔබට යන්න බැරි වෙනවා. කනගාටුද?

ගොඩක් දුකයි. ලංකාවේ තියෙන සම්මාන උලෙළකට පවා යන්න බැරි වුණාම අපිට දුක හිතෙනවා. අන්තර් ජාතික සම්මාන උලෙළකදී මගේ නමට කලින් මගේ රටේ නම කියන්නේ. නිරංජනී ශන්මුගරාජා කියන කෙනාට වඩා ශ්‍රී ලංකාව කියන නම තමයි එතනදි වඩා ඉස්මතු වෙන්නේ. මගේ නමත් එක්ක මගේ රටේ නම කියනවා මට අහන්න දකින්න ලැබෙන එකත් ලොකු වරමක්. මට තියෙන ලොකුම දුක ඒක. එතැන මම සිංහලද දෙමළද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. හැමෝම මගෙන් අහන්නේ ඔයා "ශ්‍රී ලංකන්ද?" කියලා. මට මේ සම්මාන උලෙළට යන්න ලැබුණා නම් මම යන්නේ මේ සම්මානය අතට ගන්නවටත් වඩා ලෝකේ වෙනත් රටක මගේ රටේ නමත් එක්කම මගේ නම කියනවා අහන්න සහ දකින්න. ඒ මොහොත විඳීන්න බැරි වුණ එක ගැන හරිම දුකයි. ඒ මොහොතෙ මම එතැන හිටියා නම් අනිවාර්යයෙන්ම මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.

 

ඒ වගේම තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් සම්මානයක් ලැබුණොත් මම ඒක ගන්න යන්න ඕනේ. නමුත් මේ සම්මානය මාව හොයාගෙන අපේ රටට එයි. ඒක වෙනම සතුටක් මට. ඒක වෙනම විදිහකට විඳීනවා.

 

මෑත ඉතිහාසයේ කලාකාරිනියො ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන ප්‍රවණතාවක් දකිනවා.

ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි සහ ශ්‍රී ලාංකික කාන්තාවක් විදිහට ආඩම්බරයි. යොහානි ඇතුළු කලාකාරිනියෝ රැසකගේ නම් දැන් ජාත්‍යන්තරයේ කියවෙනවා. ගැහැණු ළමයෙක් ලංකාව ඇතුළේ කලා ක්ෂේත්‍රයට එනවා කිව්ව ගමන්ම මිනිස්සු බලන්නේ අමුතු විදිහට. "කලාව කරලා කාටද හරි ගියේ?" කියලා අහන්නේ. තවමත් මගෙන් සමහරු එහෙම අහනවා. කලාව කරන ගැහැනිය දිහා මිනිස්සු බලන්නේ තුට්ටු දෙකට දාලා. කිසිම චාරයක් නැති සංස්කෘතියක් නැති පවුලක්වත් කන්න නුසුදුසු ගැහැනු මට්ටමට දාන්නේ. කලාව කියන්නේ මොකක්ද කියලා නොහිතා මිනිස්සු අපිට එක එක ලේබල් ගහනවා. ලංකාවෙ ඉන්න මිලියන විසි දෙකටම කලාව කරන්න බැහැ. කලා ක්ෂේත්‍රයට එන්න දෙවියන්ගෙ සහ ස්වභාව ධර්මයේ ආශිර්වාදය තියෙන්න ඕන. ගායිකාවකට ගායන හැකියාව තිබුණොත් විතරයි කලාවට එන්න පුළුවන්. නිළියකට ටිකක් හෝ රඟපාන්න පුළුවන් නම් විතරයි කලාව කරන්න පුළුවන්. කලාව කරන්න ගත්තාම අපි ළඟම ඉන්න අපිව හොඳීන්ම දන්න මිනිස්සු පවා අපි දිහා බලන්නෙ "මෙයාලට වෙන කරන්න රස්සාවක් තිබ්බෙම නැද්ද?" වගේ හැඟීමකින්. මේ අතර සමහරු කියනවා "කලාව කළාට මෙයාලා හරියට සල්ලි හම්බ කරගෙනත් නැහැ" කියලා. මේ හැමදෙයක්ම දරාගෙනයි ඉස්සරහට යන්නේ. "අනිත් අය මොකක් කියයිද" කියන වචන ටික ලංකාව වගේ රටක ජීවත් වෙන කාන්තාවො හැමෝගෙම වගේ ආත්මෙටම කාවැදිලා තියෙන්නේ. කාන්තාවො බයෙන් ඉන්නේ අනිත් අය තමන් කරන දේවලට මොනවා කියයිද කියලා. ඒ සියල්ලම පැත්තකින් තියලා මගේ ගමන මේක මම යන්න ඕනේ මෙතැනට කියලා හිතලා වැඩ කළොත් ඕනෑම කාන්තාවකට ලෝකයක් දිනන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න ගැටලුවලින් පීඩාවට පත්වුණු රටක කොහේදෝ ගමක හිටපු කවදාවත් නිළියක් වෙයි කියලා හීනෙන්වත් නොහිතපු මට ඉලක්කවලට යන්න පුළුවන් නම්, අන්තර් ජාතික සම්මානයක් ගන්න මට පුළුවන් නම් ඔයාලට බැරි ඇයි? කියලා මම සමස්ත කාන්තා ප්‍රජාවගෙන්ම අහනවා.

 

කොයිතරම් ජයග්‍රහණ ලැබුවත් ඒවා අවතක්සේරු කරන අයත් නැතුවම නෙමෙයි?

අපෝ අනන්තවත් ඉන්නවා. විශේෂයෙන් සමාජ මාධ්‍යවල ඒ වැඩේ වෙනවා. චිත්‍රපට ටික බලද්දි විනිශ්චය මණ්ඩලය නිදාගෙන ඉඳලාද අපිව තේරුවෙ කියලා අහපු අයත් මම දැක්කා. ඒවා දකිනකොට නම් ලොකු දුකක් දැනෙනවා. පෞද්ගලිකව කෙනෙක් අපිට අකමැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි මේ ජයග්‍රහණය ලැබුවෙ අපේ රටට. අපිට සුබ පතන්න ඕනේ නැහැ. ඒත් අපහාස කරන්න එපා. හැමෝටම තමන්ගේ ජීවිතේ කතාවක් තියෙනවා. ඒ ජීවිතවල තියෙන ගැටලු, පීඩා අපි දන්නේ නැහැ. අපිට පේන්නේ පිටින් ඉන්න කෙනාව විතරයි. කෙනෙක් ලබන ජයග්‍රහණයක් තුට්ටු දෙකට දාලා අපහාස කරනවා නම් ඒකෙන් පේන්නේ ඒ මිනිස්සුන්ගෙ මානසික මට්ටම සහ ඒ අය කොච්චර පහත්ද කියලා. මම ඉන්නේ ජයග්‍රහණය කරන ගමනේ. බනින අය ඒ තැනම ඉඳගෙන දිගටම බනීවි. ඒක මට ගැටලුවක් නැහැ.

 

මේ සම්මානය ඔබට ලැබුණේ සුනාමි චිත්‍රපටයට. එහි ඔබේ චරිතය ගැන කිව්වොත්?

2004 සුනාමිය දහස් ගණන් ජීවිත නැති කළා. මිනිස්සුන්ගේ දේපළ නැති කළා. දුකක් දුන්නා. 2020 සෝමරත්න දිසානායක මහත්මයාගේ ඒ සුනාමිය නැවත චිත්‍රපටයක් මඟින් ප්‍රතිනිර්මාණය කළා. සෝමරත්න දිසානායක මහත්මයාගේ සුනාමි චිත්‍රපටයේ කල්‍යාණි කියන ප්‍රධාන චරිතයට මම පණ පෙව්වෙ. කල්‍යාණි කියන්නේ සුනාමි ව්‍යසනයේදි තමන්ගේ වසර දෙකහමාරේ දරුවාව නැති කරගත් අම්මා කෙනෙක්. දරුවා නැති වුණාට හැම තත්පරයක්ම දරුවා ඉන්නවා කියන බලාපොරොත්තුව ඇතිව ජීවත් වන අම්මා කෙනෙක්.

 

කුච්චවේලි කල්‍යාණි කියන චරිතය ඔබට අභියෝගයක් වුණාද?

අනිවාර්යනේම ලොකු අභියෝගයක් වුණා. මම අම්මා කෙනෙක් නෙමෙයි. මට දරුවෝ නැහැ. ඒ නිසා කල්‍යාණි කියන මවගේ චරිතය මට ලොකු අභියෝගයක්. කල්‍යාණි කියන්නේ දරු දුක හඳුනන තමන්ගේ නැති වුණු දරුවා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අම්මා කෙනෙක්. මම හිතන්නේ රංගන ශිල්පිනියක්ට තියෙන ලොකුම අභියෝගය තමන් සැබෑ ජීවිතයේදී තමන් විඳලා නැති අත්දැකීමක් චරිතයක් ඔස්සේ නිරූපණය කිරීම. මම හිතනවා කල්‍යාණිට මම සාධාරණයක් ඉටු කළා කියලා.

 

ඔබේ අධ්‍යක්ෂවරයාත් මේ සම්මාන උලෙළේදි හොඳම අධ්‍යක්ෂණයට පිදුම් බලනවා.

සෝමරත්න සර් මේ චිත්‍රපටය වෙනුවෙන් මීට පෙරත් අන්තර් ජාතික සම්මාන දිනාගත්තා. පොඩි කාලේ සෝමරත්න සර් අධ්‍යක්ෂණය කරපු "සරෝජා" චිත්‍රපටය බලලා සිනමාවට ආස කරපු ළමයෙක් මම. ඒ කාලේ ඉඳලා සෝමරත්න දිසානායක කියන්නේ රට වෙනුවෙන් ඊළඟ මනුෂ්‍ය පරපුර වෙනුවෙන් චිත්‍රපට හදපු කෙනෙක්. ඔහුගේ වටිනාකමට තවත් වටිනාකමක් එකතු කරපු චිත්‍රපටයක් සුනාමි කියන්නේ. ඔහු ඉස්සර හදපු හැම චිත්‍රපටයක්ම වගේ බලපු ළමයෙක් වෙච්ච මට ඔහු නිර්මාණය කරපු දැවැන්තම චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ ‍රංගනය වෙනුවෙන් සම්මාන දිනාගන්න ලැබෙනවා. සම්මාන උලෙළේදි ඔහුගේ නම සමඟ මගේ නමත් කියවෙනවා. ඒක ඔහුගේ සිනමා රසිකයෙක් විදිහට සහ නිළියක් විදිහට මට ආඩම්බරයක්. තව තවත් සම්මානනීය චිත්‍රපට රැසක් හදන්න ඔහුට හැකි වේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව.

 

නිතරම ඔබව දිරිමත් කරන අයටත් කියන්න දෙයක් ඇති?

සිනමාවට එන්න කලින් මම හිටියේ වේදිකා නාට්‍යවල. එතැනදිත් මම විවිධ සම්මාන ලබනවා. මගේ පළවෙනි වේදිකා නාට්‍යයෙන් හොඳම නිළිය සම්මානය ලබන මම මගේ පළවෙනි චිත්‍රපටයේත් හොඳම නිළියට සම්මාන ලබනවා. අද ජාත්‍යන්තර සම්මානත් මට ලැබෙනවා. මගේ කලා ජීවිතයේ ජයග්‍රහණ ලබන හැම මොහොතකදීම මාව අගය කරපු අය මාව විශේෂ කරලා අගය කළා. ඒක විශේෂයෙන් දෙමළ ජාතික කාන්තාවක් නිසා මට ලැබුණේ. මොකද වර්තමානයේ ක්ෂේත්‍රයේ දෙමළ නියෝජනය අවම නිසා ලබපු හැම ජයග්‍රහණයකදීම හැමෝම මාව දිරිමත් කළා. අද මම අන්තර් ජාතික සම්මානය ගන්න කලින් වේදිකා නාට්‍යවලට සම්මාන ගත්තා. ඒ පුංචි ජයග්‍රහණයේ ඉඳලා මේ වෙනතෙක් මට ලැබුණු හැම දිරිමත් කිරීමක්ම හැම අගය කිරීමක්ම මට විශේෂයි. ඒ හැමෝම මට වැදගත්. මම මේ තැනට එන්න ඒ හැමෝගෙම අගය කිරීම්, දිරිමත් කිරීම් හේතුවක් වුණා.

 

ජීවිතේ ආපසු හැරිලා බැලුවොත්?

මට තාම හිතාගන්න බැහැ මේ මමමද කියලා. මේක කිව්වොත් මිනිස්සු මට හිනාවෙයි. මගේ ජීවිතේ මුල් කාලේ සැලසුමක් කියලා නාමයක් තිබුණේ නැහැ. මට පොඩි කාලේ සෞඛ්‍ය ගැටලු නිසා උසස් පෙළ හැදෑරුවත් විභාගයට ලියන්න බැරි වෙනවා. එතැන ඉඳන් මම අනාගතයට යන්නේ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක. ඊටපස්සේ මම කල්පනා කළේ මොකක්ද කරන්නේ කියලා. මගේ දක්ෂතාවයන්වලින් මොකක්හරි කරන්න ඕනේ කියලා කල්පනා කරද්දි මට ගායන හැකියාව තිබුණු නිසා ගායිකාවක් වෙන්න ඕනේ වුණා. මේ හීනයත් එක්කයි මම කොළඹ එන්නේ. මට තිබුණු ප්‍රධාන ගැටලුව මම දෙමළ තරුණියක් වීම. මම තාත්තා නැතුව හැදුණු ළමයෙක්. මට ක්ෂේත්‍රයට එන්න පවුලෙන් ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. යාළුවන්ගෙන් උදවු ලැබුණෙ නැහැ. මගේ ජීවිතේ මම ගොඩක් ද්‍රෝහීකම්වලට මුහුණදීලා තියෙනවා. ජීවිතේ කඩා වැටුණු තැන් අප්‍රමාණයි. ඒත් මම මේ ගමන යන්න බය වුණේ නැහැ. මුල ඉඳලාම ලොකුවට ජීවිතේ සැලසුම් කරලා ආපු ගමනක් නෙමෙයි මේක. මම මේ ගමන යන්න පටන් ගන්නේ අවුරුදු දහනවයෙන්. දැන් මට වයස තිස්දෙකයි. මේ වෙනකොට මට අන්තර් ජාතික සම්මානත් ලැබෙනවා. මේ ගමන මට තවම පුදුමයක්. මම ආසයි මගේ ජීවිතේ ඉතිරි කාලයේත් මේ වගේ නොහිතන විදිහෙ ජයග්‍රහණ ලබන්න. නොහිතන විදිහට පුදුමය පත් වෙන්න. මීට අවුරුදු විස්සකට තිහකට පස්සෙත් ඔයා මට කතා කරලා "අක්කේ ඔයා ලබපු ජයග්‍රහණය ගැන මොකද්ද හිතන්නේ?" කියලා අහනවාට මම ආසයි. එතකොටත් මට කියන්න මේ වගේම කතාවක් තියේවි.