රැජිනිගේ අලුත් චිත්‍රපටයට ගී ලියූ පොතුවිල් අස්මීන්

අස්මීන් දිනූ සම්මාන 30කට අධිකයි
නොවැම්බර් 4, 2021

 

දීපාවලී උත්සවයට සමගාමීව තිරගත වීමට නියමිත දකුණු ඉන්දියානු චිත්‍රපටයකට ප්‍රවර්ධන ගීතයක් නිර්මාණය කිරීමේ විරල අවස්ථාව ලාංකික කලාකරුවන් පිරිසක් විසින් හිමිකර ගෙන තිබේ. මේ චිත්‍රපටය ඉන්දියාවේ මෙන්ම ලංකාවේද අවධානය දිනාගෙන තිබේ. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන කොලිවුඩයේ සුපිරි නළු රජිනි කාන්ත් වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය වීම සුවිශේෂීය. මේ චිත්‍රපටය වන්නේ ‘අන්නාතේ’ ය.

ගීතය සඳහා පොතුවිල් අස්මින්, කන්දප්පු ජයන්තන්, ක්‍රිෂන් මහේෂන්, සහ රෝජා සිව කුමාර් යන ශ්‍රී ලාංකික කලාකරුවන් දායක වි ඇත.

ගීතයේ පදරචනය පොතුවිල් අස්මින්ගේය. ඔහු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් රූපවාහිනී සේවයේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරන්නෙකි. ප්‍රසිද්ධ දෙමළ කවියෙකු හා ගීත රචකයෙකු වන ඔහු ‘ගිරිවැසි පුර’ සිංහල චිත්‍රපටය වෙනුවෙන් දෙමළ ගීතයක් ද රචනා කර ඇත. ‘ වන්වේ’ ටෙලිනාට්‍යයේ දෙමළ ගීතය රචනා කර ඇත්තේද ඔහු විසින්ය. ‘අන්නාතේ’ චිත්‍රපටයේ ප්‍රවර්ධන ගීතය ලෙසින් ඔහු රචනා කර ඇති ගීතය ‘වර්රාරු වර්රාරු ‘අන්නාතේ’ නම් වේ.

කලා ක්ෂේත්‍රය තුළ ඔහු පොතුවිල් අස්මින් නමින් හඳුන්වනු ලැබුවද ඔහු අස්මින් උතුමලෙබ්බේය. අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ උපන් අයෙකු නිසා ඔහු හඳුන්වනුයේ සහ කලා කටයුතු වෙනුවෙන් නම භාවිත කරනුයේ පොතුවිල් අස්මින් ලෙසය. ගීත රචකයෙකු වශයෙන් ඔහු දෙමළ සිනමාවට පය තබන්නේ 2012 වර්ෂයේ දී විජය ඇන්තනී අධ්‍යක්ෂණය කළ ‘නාන්’ චිත්‍රපටයට ‘තබ්බෙල්ලාම් තබ්බෙඉල්ල’ ගීතය රචනා කරමිනි. එතැන් සිට ඔහු ගීත රචනා රැසක් ක්ෂේත්‍රයට දායාද කර ඇති අතර, දෙමළ කවියෙකු වශයෙන්ද නමක් දිනා ගෙන ඇත. සිය නිර්මාණ කාර්යයන් වෙනුවෙන් සම්මාන 30 ට අධික සංඛ්‍යාවක් ද දිනාගෙන ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

රැජිණි කාන්ත් රඟන නවතම චිත්‍රපටය වන ‘අන්නාතේ’ අධ්‍යක්ෂණය කර ඇත්තේ සිරුත්තෛ සිවා විසිනි.‘ සන්පික්චර්ස්‘ නිෂ්පාදනය කරන අන්නාත්තහි රැජිණි සමඟ නයන්තාරා ප්‍රධාන චරිත නිරූපණය කරති.

‘අන්නාතේ’ චිත්‍රපටය සඳහා වන ප්‍රවර්ධන ගීතය සංගීතවත් කර ඇත්තේ කන්දප්පු ජයන්තන් සමඟ ශ්‍රී ලාංකික දෙමළ රැප් ගායක ක්‍රිෂාන් මහේෂන් සහ රෝජා සිව කුමාර් විසිනි. ශබ්ද සංයෝජනය අරුන් කුමාරස්වාමිගෙනි.