ප්‍රවීණයෙකු මගේ ගීතයක් ගායනා කිරීම තමයි මගෙ එකම හීනය

නවක ගී පද රචක නුවන් ප්‍රියංග
ඔක්තෝබර් 28, 2021

 

 

ඔබේ නම සඳහන් කළොත්?

මම නුවන් ප්‍රියංග හපුහෙට්ටි.

 

ඔබ ගී පද රචනයට තමයි දක්ෂ?

ඔව්.

 

කොහොමද ඒ සඳහා යොමු වෙන්නේ?

මම මුලින්ම පත්තරවලට කවි ගීත එහෙම ලිව්වා. ඊට පසුව මම දන්න හිතවත් කෙනෙකු වන ජනක කැටපෙආරච්චිට පළමු ගීතය රචනා කළා. ඒක 'නිවනට යන්නට' යනුවෙන් නම් කොට ඇති ගීතයක්. එය සංගීතවත් කරලා දුන්නේ ෂාන් චතුරංග කියන හිතවතා.

 

ඊට පසුව ඔබ රචනා කළ ගීත ගැන සඳහනක් කළොත්?

මට අහම්බෙන් ලක්ෂ්මන් හිල්මි මහත්මයාව මුණ ගැසුණා. ඔහු තමයි මගේ ගමනට ලොකු සවියක් ශක්තියක් වුණේ. මගේ ගී පද රචනාවක් දැකලා ඔහු මට නිරන්තරයෙන්ම ගීත ලබා දෙන්න කියලා ඇරැයුම් කළා. නව පරපුරේ ගායක ලසිත් චාමර ගයන 'ප්‍රේම සිත' සහ 'නෙතු මානයේ' ගීත එහෙම නිර්මාණය වූ ඒවා. ඊට පස්සේ 'ආදරෙයි බට්ටියේ' කියලා ලසිත් චාමරම ගයන ගීතයක් රචනා කළා. ඒක සංගීතවත් කළේ සමන්ත කුමාර. ඊට අමතරව රසික සංජීව කියලා කෙනෙක් 'අප්පච්චී' නැමැති මම ලියපු ගීතයක් ගායනා කළා. ශාන් චතුරංග තමයි මියුසික් කළේ. ඊයේ පෙරේදා රචනා කළේ උදිත් ලෝචන ගයන 'ගමආරච්චි' කියන ගීතය. ඒක සංගීතවත් කරලා දුන්නා ලක්ෂ්මන් හිල්මි. මේ අතරෙන් ගීත කිහිපයක් විශේෂයෙන් ලසිත් චාමර ගයන ගීත ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය වෙනවා.

 

ඔබ ප්‍රවීණ අයට ගීත රචනා කරලා නැද්ද?

ඇත්තටම ප්‍රවීණ අයට මම සින්දු ලබාදෙන්න කතා කළා. හැබැයි ඒ බොහෝ දෙනෙක් මගෙන් සල්ලි ඉල්ලුවා ගීත ගායනා කරනවා නම්. දැන් එහෙම සිස්ටම් එකක්නේ හැදිලා තියෙන්නේ. ඇත්තටම මට එහෙම දෙන්න හැකියාවක් නැහැ. මගේ ගී පද රචනයන් ගන්නවා නම් එක මට කරන උදව්වක් වේවි.

 

ඔබේ ගම් පළාත කොහෙද?

මගේ ගම මතුගම බොරලුගොඩ. වර්තමානයේ පදිංචි වෙලා ඉන්නේ මීගහතැන්නේ.

 

මොකක්ද ඔබේ වෘත්තිය?

මම ආරක්ෂක අංශයේ රැකියාවක නිරත වෙනවා.

 

ඔබේ පාසල සඳහන් කළොත්?

මම ඉස්කෝල දෙකකට ගියා. එකක් ඉඟුරුදලුව කනිෂ්ඨ විද්‍යාලය. අනිත් පාසල අතලේ මහ විදුහල.

 

ඔබ රචනා කරන ගී පද වලට මිලක් තියෙනවාද?

ඇත්තටම මම මෙච්චර කල් ලියපු ගීත වලින් මං ශත පහක් උපයලා නෑ. මම ඔක්කොම සින්දු නොමිලේ තමයි දිලා තියෙන්නේ. හැබැයි ලක්ෂ්මන් හිල්මි මහත්මයා මගේ ගීතවලට වටිනාකමක් ලබා දුන්නා. ඔහු යම්කිසි මුදලක් ලබා දුන්නා මං කියන ගී පද රචනාවලට.

 

මොනවද අනාගත බලාපොරොත්තුව?

ප්‍රවීණ අයෙකු මගේ සින්දුවක් කියන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

මගේ ගමනට සහාය දුන්නට මිත්‍ර රුවන් මධුසංඛට සහ සිරන්ත ප්‍රගීත්ට ස්තූතියි.