මගේ රංගන ජීවිතයේ අවාසනාවන්තම සිද්ධිය එයයි

ලීනා ද සිල්වා හෙළිකරයි
ඔක්තෝබර් 28, 2021

 

19 වැනි වියේදී සිනමාවට ප්‍රවේශ වූ ඇය මේ වන විට චිත්‍රපට 50 ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.

 

මා කිසිදා සම්මානයකට පාත්‍රා වුණේ නැහැ. ජීවිතයට එක්වරක් ලැබෙන යාවජීව සම්මාන පවා මට නොලැබුණේ ඇයි ද කියා කියන්න මම දන්නේ නැහැ.

 

සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂය ලෙස කවුරුත් පිළිගන්නා ලෙස්ටර් පීරිස් ගේ ‘රේඛාවේ’ රඟපෑමට මට ආරාධනා කළා

 

මගේ පණත් හරි මුනුපුරු මිනිබිරියන් හතරදෙනාත් හරි

ඔබේ ලාලිත රූපේ -

සෝබන දේහේ

නාරිලතාවක සිරි ඉතිරේ

ඔබේ ආදර මුහුණේ

නැඟෙන සිනාවේ

ජීවනයේ මිහිරස ගෙන දේ

1960 තිරගත වූ ජබීර් ඒ. කාදර් නිෂ්පාදනය කළ සුන්දර බිරිඳ විත්‍රපටයේ සිය පෙම්වතියගේ රූප සොබාවට වගීකෘත වූ පෙම්වතා තිරයේ පෑ පෙම් රැඟුම් පෙම්වතියගේ හදවතට ගෙන දුන්නේ ප්‍රේමණීය හැඟුමකි. එදා තිරයේ පෙම් රැඟුම් පාමින් ඔවුන් ගැයූ ප්‍රේම ගීතය ඔවුන් දෙදෙනාගේ ජීවන රඟමඩලේ සදාතනික ප්‍රේම ගීතය බවට පත්විය.

ඇය ලීනා ද සිල්වාය. ඔහු රවීන්ද්‍ර රූපසේනය. ඇය 50 දශකයේ සිංහල සිනමාවේ ජන ප්‍රසාදයට දිනගත් විශිෂ්ට රංගන ප්‍රතිභාවයෙන් යුත් සිනමා ලෝලීන්ගේ ගෞරවාදරයට පත් වූ රංගන ශිල්පිණියකි. 19 වැනි වියේදී සිනමාවට ප්‍රවේශ වූ ඇය මේ වන විට චිත්‍රපට 50ට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.

ලීනා ද සිල්වාගේ සිනමා ආගමනය සිදු වුයේ අහම්බෙනි. නර්ථනයට උපන් හපන්කම් ඇත්තියක වූ ඇය ශේෂා පලිහක්කාරගේ නැටුම් පන්තියේ නර්ථනය හැදැරීම ආරම්භ කළේ වයස අවුරුදු 12 දීය. වසර 02ක්ම ගෙවිණි. වාසනාව ඇය සොයා පැමිණියේය. අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ නර්ථන අංගයක් නිර්මාණය කිරීමට ශේෂා පලිහක්කාරට අවස්ථාවක් ලැබීමත් සමඟම ශේෂා, ප්‍රධාන නර්ථනයට තෝරා ගත්තේ පන්තියේ දක්ෂතම සිසුවිය වූ ලීනා ද සිල්වාය. රූගත කිරිම් සිදුකළේ කඳාන එස්.එම්.නායගම්ගේ චිත්‍රාගාරයේ දී ශේෂා පලිහක්කාර නර්ථන නිර්මාණය කළ ‘ලංකා මාතා‘ ගීතයට ලීනා ඉදිරිපත් කළ නර්ථනය ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය.

මේ වකවානුවේ ජබීර් ඒ. කාදර් සිය නිෂ්පාදනය වන ‘සුරතලී‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට නිළියක් සොයමින් හිටි අවදියයි. ලීනාගේ නර්ථනය පිළිබඳ පැහැදුණු අහංකාර ස්ත්‍රී ප්‍රධාන චරිතය රඟ පෑ රවින්ද්‍ර රූපසේන තමා සමඟ සුරතලී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට ලීනාගේ නම යෝජනා කළේය. මේ ඇරඹුමත් සමඟ චිත්‍රපට 10ක ප්‍රධාන නිළි චරිතය සඳහා ගිවිසුම අත්සන් කිරීමේ වාසනාව ඇයට උදාවිණි.

සුරතලී, සුනීතා, සුන්දර බිරිඳ, නළඟන, සුලලිත සෝබනී යන චිත්‍රපට වල ඇගේ පෙම්වතා වූයේ ද රවින්ද්‍ර රූප සේනය. සුජාගේ රහස අමතක වුණා ද, සොහොයුරෝ, රන්රස ලීනා ප්‍රධාන චරිතය රඟ දැක් වූ අනෙකුත් චිත්‍රපටයි.

ලීනා වෙසෙන්නේ කැනඩාවේ ටොරෙන්ටෝ හි තම එකම දියණිය පුර්ණා ගේ කැදැල්ලේය. ඇගේ එකම පුතු බිමල්ගේ පදිංචිය ද කැනඩාවේ ටොරන්ටෝ නගරයයි. දරු මුණුබුරන්ගේ ආදරණීය සෙනෙහස ඇගේ ජීවිතයේ සැඳෑ සමයට ලබා දෙන්නේ නොමඳ සතුටකි. ප්‍රීතියකි.

එළැඹෙන ඔක්තෝබර් 30 වැනි දින ජීවන ගමනේ 85 වැනි සැතපුම් කණුවට පියමං කරන ලීනා ද සිල්වා ගේ ජීවන තොරතුරු අලළා මෙම ලිපිය සැකසෙන්නේ ඇගේ 85 වැනි ඡන්ම දිනයට සරසවිය පුවත්පතෙන් ඇයට පිදෙන තිලිණයක් ලෙසිනි.

වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ ලීනා ද සිල්වා මා හට සම්බන්ධ කර දුන්නේ ඇගේ දියණිය පුර්ණාය.

 

ඉතිං කොහොමද ලීනා අක්කේ?

සැපෙන් සනීපෙන් සතුටින් ඉන්නවා. මගේ පුතා දුව -ලේලී, බෑණා මුනුබුරු මිනිබිරියන්ගේ රජ දහනේ කිරුළු පළන්, කුමරිය මමයි.

මගේ මතකය වසර ගණනක් අතීතයට ගියා. මතකද ලීනා අක්කව මුණ ගැසෙන්න මම මරදාන පන්සල පාරේ ඔයාගේ ගෙදර ආවා?

ඔව් මම කොළඹ මරදානේ ඉපදීලා කොළඹ හැදුණු වැඩුණු කොළඹ කෙල්ලෙක්. අපේ මහ ගෙවල් මරදානේ මාලිගාකන්ද පාරේ. මම ඉගෙන ගත්තේ ආනන්ද බාලිකාවේ. මට අක්කලා දෙන්නයි අයියායි. මම බඩපිස්සී තාත්තා සයිමන් ද සිල්වා. කාගෝබෝඩ් ඩිස්පැච් සමාගමේ අධිකාරිවරයෙක්. අම්මා ඇලිස් දෙල්පචිත්‍ර, ගෘහණියක්.

ඔබ සිනමාවට ප්‍රවේශ වුණේ නර්ථන අංගයකින්. ඔබ දක්ෂ නර්ථන ශිල්පිණියක් නේද?

පාසල් අවදියේ පටන් නර්ථනය, රංගනය, ගායනය, චිත්‍ර ඇදිමට මෙන්ම ක්‍රීඩාවටත් දක්ෂතා දැක් වූ සිසුවියක්. පාසලේ විවිධ ප්‍රසංග සියල්ලටම මාව තෝරා ගන්නවා. මම පාසලේ කු‍වේණිට රඟපෑවා ඒ රංගනයෙන් පසු පාසලේ සිසුවියන් අතරත් ගුරුවරුන් අතරත් මම අතිශයින් ජනප්‍රියත්වයක් දිනාගත්තා. ලස්සනට චිත්‍ර අඳීන්න පුළුවන්. පාසලේ ක්‍රීඩා නායිකාව මම. මේ සියලු බාහිර ක්‍රියාකාරිත්ව මධ්‍යයේ මම ඉගෙන ගැනීමටත් දක්ෂයි. පාසලේ කාගෙත් ආදර ගෞරවයට පාත්‍රා වුණා. ඒ නිසා පාසල් සමය සුන්දරයි. අපට නර්ථනය ඉගැන්වුයේ පණී භාරත සර් සහ වසන්ත කුමාර සර්. චිත්‍රකර්මය වැඩිදුර හදාරන්න. හේවුඩ් එකට ගියා. නර්ථනය වැඩිදුර හැදුරුවේ ශේෂා පලිහක්කාර ගෙන්. පාසල නිමවෙලා දින පහේම සවසට මට පෞද්ගලික පංති තිබුණා. ඒ නිසා මම කාර්ය බහුල කෙනෙක් වුණා.

 

රංගනයට, නර්ථනයට දක්ෂ නිසා චිත්‍රපට රංගනයටත් ඇල්මක් තිබුණා ද?

පුංචි සන්ධියේ අම්මලා අපිව චිත්‍රපට බලන්න එක්කන් ගියේ නැහැ. මට අහම්බෙන් අහංකාර ස්ත්‍රී රඟපාන්නට ලැබුණට පස්සේ මට අවස්ථාවක් ලැබුණ කැලෑ හඳ චිත්‍රපටය නරඹන්නට. මට එම චිත්‍රපටයේ ඩේසි අක්කා (රුක්මණී දේවි) ගේ රඟපෑම දැකලා මම ඩේසි අක්කට පිස්සු වැටිලා හිටියේ. භාරතයේ නර්ගීස්ගේ චිත්‍රපට බලලා පිස්සුව ඩබල් වුණා. ඩේසි අක්කා නිසා චිත්‍රපට කෙරෙහි තිබුණු ඇල්ම වැඩිවුණා.

 

ඔබ අහංකාර ස්ත්‍රී රඟපාද්දී පාසල් සිසුවියක්. පාසලේ මුල්ගුරුතුමියගේ අවසර ලැබුණා ද?

මම නර්ථනය සඳහා පමණක් පෙනී සිටි නිසා පාසලින් අවසර ගත්තේ නැහැ. මම රඟ පෑ බව කිසිවකු දැන ගෙන සිටියේත් නැහැ. චිත්‍රපටය තිරගත වූ පසු මගේ - නම - ගම - සියලු විස්තර සමඟ මගේ පින්තුරයක් දිනමිණ පත්‍රයේ පළ වුණා. ඒ විස්තරය පාසලේ ගුරුවරියක් දැකලා මුල්ගුරුතුමියට කියලා විදුහල්පතිතුමිය අපේ තාත්තා ගෙන්වලා මාව රඟපෑමට නොයවන ලෙසට අවවාද දුන්නා. මටත් තරවටු කළා. ඒ සිද්ධියෙන් පසු පාසලේ ගුරුවන්ගෙන්, සිසුවියන්ගෙන් ආදර සැලකිල්ල මට නොලැබී ගියා. මම වරදක් කළ හැඟීමක් ඔවුන් තුළ තිබුණ අහංකාර ස්ත්‍රී රඟපාලා ගුරුවරුන්ගේ අප්‍රසදයට ලක් වූ නිසා මම තවදුරටත් රඟපාන්නට බිය වුණා. ඒ බිය නිසා මම ජීවිතයේ වාසනාවක් අහිමි කර ගත්තා.

මොකක්ද අහිමි කරගත් වාසනාව?

සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස කවුරුත් පිළිගන්නා ලෙස්ටර් පීරිස් ගේ ‘රේඛාවේ‘ රඟපෑමට මට ආරාධනා කළා. ප්‍රින්සිපල්ට තිබෙන බියට මට ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. අදටත් මගේ රංගන ජීවිතයේ අවාසනාවන්තම සිද්ධිය එයයි. ඊට පසු කිසිම දිනක ලෙස්ටර් පිරිස්ගේ චිත්‍රපටයක රඟපාන්නට මට අවස්ථාවක් හිමි වුයේ නැහැ. ලෙස්ටර් පීරිස්ගේ චිත්‍රපටයක රඟපෑමෙන් රංගන ශිල්පියකුට නිසි වටිනාකමක් ලැබෙනවා. ඒ සියල්ල මට අහිමි වුණා. මේ අවාසනාවන්ත සිද්ධිය මතකයට නැගෙන විට මට දැනෙන්නේ අමිහිරි වේදනාවක්.

 

ඔබේ ජීවන සහකරු රවීන්ද්‍ර රූපසේන සිනමාවට සොයා දුන්න ‘සුරතලීය‘ ඔබයි. ඔබ දෙදෙනාගේ ආදරය - විවාහය ගැන කතා කළොත්?

සුරතලී චිත්‍රපටයේදී තමයි අපි දෙදෙනා මුණ ගැසුණේ. සුරතලී රූගත කිරීම් සිදුකළේ ඉන්දියාවේ. මම මාස 06ක් අම්මා එක්ක ඉන්දියාවේ නතර වෙලා හිටියා. මට සුරතලී හී පෙම් රැඟුම් පාන්න සිදුවුණේ රවීන්ද්‍ර එක්ක. මට මුල් කාලේ පෙම් රැඟුම් රඟපාන්න බයයි. ලැජ්ජයි, සබකෝලය නිසා ඉතා අපහසු තත්ත්වයක පත්වුණා. සුරතලී නිසා තමයි රසිකයා මාව හඳුනාගත්තේ. ප්‍රථම චිත්‍රපටයෙන්ම මම ජනප්‍රිය වුණා.

අපි දෙදෙනා ආදර වන්තයින් බවට පත් වුණේ සුනීතා චිත්‍රපටයෙන්. ‘මෝරලා ප්‍රේම ගීතේ ආදරේ මිහිරි පැවේ තමා ප්‍රේම ලෝකේ සැබෑ ජීවිතේ‘ සුනීතා හී මේ යුග ගීතය ගයද්දී අපි ආදරණීය පෙම්වතුන්. අපේ ප්‍රේමය රහසක්. කාටත් හෝරා ආදරය කළේ. මම ආදරය කරද්දී මට අවුරුදු 20යි. මම බය වුණා. අනිත් අයට දැනගන්නට ලැබේවි කියා. 1960 නොවැම්බරයේ 11 වැනිදා අපි විවාහ වුණා. අපේ ගෙදරයි විවාහ මංගල්‍යය පැවැත්වුයේ. විවාහයෙන් පසු අපි දෙහිවලට පදිංචියට ආවා.

 

ඔබේ දරුවන් ?

පුතා බිමල් දුව පුර්ණා. පුතා ආනන්දයේ දුව ගෝතමී බාලිකාවේ අධ්‍යාපනය ලැබුවේ. පුතා දුව දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. පුර්ණා පංතියේ පළවැනියා. සුජාගේ රහස චිත්‍රපටයේ පුර්ණා ජීවරාණිගේ දුව ලෙස රඟපෑවා. ඒ වන විට දුවට මාස 06යි. දුවට රඟපෑමට ආරාධනා ලැබුණා. ඒත් දුව කැමැති නැහැ. දුවට අවශ්‍ය වුණේ අධ්‍යාපනය හොඳීන් හදාරන්නට. රවින්ද්‍ර රජයේ සේවකයෙක්. වාරිමාර්ග දෙපාර්මේන්තුවේ ප්‍රධාන ඩ්‍රාෆ්ට්ස්මන් ලෙස රැකියාව කළා. හොඳ ආදායම් මාර්ගයක් තිබුණ නිසා අපි දෙදෙනාම දරුවෝ දෙදෙනාගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් රඟපෑමෙන් ඉවත් වුණා.

 

ජීවන ගමනේ ඔබගේ අත්වැල රවින්ද්‍ර ඔහුගේ හදිසි වියෝව නිසා ඔබ විශාල කඩා වැටීමකට ලක් වන්නට ඇති?

සත්තකින්ම. බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණේ. අපි උත්සවයකට ගිහින් නිවෙසට ඇවිත් පැය භාගයක් වත් ගියේ නැහැ. රවින්ද්‍රට දැඩි පපුවේ වේදනාවක් ආවා. රෝහලට ගෙන යද්දී ඔහු නැති වුණා. 1978 දී රවින්ද්‍ර නැති වෙද්දී පුතායි දුවයි පොඩියි. මම අතිශයින්ම කම්පනයට පත්වුණා. දුක දරාගන්න බැරිව වේදාවෙන් කල් ගෙව්වේ මගේ අත්වැල ගිලිහුණා. පවුලේ බර මට කර ගහන්න සිද්ධ වුණා. රවින්ද්‍ර මිය ගොස් වසරක් ගෙවෙන තුරු මම කිසි දෙයකට සම්බන්ධ වුණේ නැහැ.

වසර ගණනාවකට පසු ඔබ නැවත රංගනයට ප්‍රවිෂ්ට වුණේ. සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර චිත්‍රපටයෙන් නේද?

දවසක් ශ්‍රියා රත්නකාර ශ්‍රී සඟරාවට මගෙන් ලිපියක් ලබා ගන්නට අපේ නිවෙසට පැමිණි අවස්ථාවේ මගෙන් ඇසුවා නැවත රඟපාන්නට කැමැති ද කියලා. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා කියා මම ඇයට පැවසුවා. ඇය ඒ පුවත ශ්‍රී සඟරාවේ පළකර තිබුණා. එය දුටු මිලිනා සුමතිපාලගේ දියණිය මිලිනා සුමතිපාලට මෙය පෙන්වා තිබුණා. ඒ මඟින් සුමිත්‍රා පීරිස් මා මුණ ගැසි ඇගේ ගඟ අද්දර චිත්‍රපටයේ චරිතයක් සඳහා මා තෝරා ගත්තා. ලෙස්ටර් පීරිස්ගේ රේඛාවේ රඟපැමේ වරම මට ගිලිහි ගියත් සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර මගේ සිනමාවේ දෙවැනි උපතයි. දෙවැනි අදියරේ චිත්‍රපට 40 ක පමණ රඟපාන්නට අවස්ථාව සැලසුණා.

 

සිනමාව පමණක් නොව පුංචි තිරය, වේදිකාව ඔබ ජයගත් රංගන ශිල්පිණියක්?

මම ශේක්ස්පියර් සහ තට්ටු ගෙවල් වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ.එස්.පී. ලියනගේගේ හිමි අහිමි, රංජන් ද සිල්වාගේ සුදු පරවියෝ උදාගිර ආදී ටෙලිනාට්‍ය කිහිපයකට දායක වුණා.

මා දන්නා තරමින් ලීනා ද සිල්වා ස්වක්‍රීය රංගන කෞශල්‍ය උදෙසා කිසිම සම්මානයකට පාත්‍රා නොවූ නිළියක්?

ඔව්. මම කිසිදා සම්මානයකට පාත්‍රා වුණේ නැහැ. ජීවිතයට එක්වරක් ලැබෙන යාවජීව සම්මාන පවා මට නොලැබුණේ ඇයි ද කියා කියන්න මම දන්නේ නැහැ. ජයවිලාල් විලේගොඩ දිනමිණ පුවත්පතේ විචාරයක් ලියා තිබුණා. මම රඟපෑ නළඟන චිත්‍රපටයේ චරිතය එම වසරේ සියලු චරිත අබිබවා ඉදිරියෙන් තිබුණා කියා. ජයවිලාල් නළඟන චිත්‍රපටය මගේ රඟපෑම අගය කරමින් කළ ඒ විචාරය මා ලද හොඳම සම්මානයයි. එය මට දෝතින් පිදෙන සම්මානයකට වඩා වටිනවා.

 

ඔබ කැනඩාවේ පදිංචියට ආවේ කොයි කාලයේ ද?

පුතයි දුවයි හොඳීන් A/L පාස් වුණා. පුතාට මෙට්ට්‍රො පොලිටන් එකේ රැකියාවක් ලැබුණා. දුව කොරියන් එම්බසි එකේ රැකියාව කළා. මේ අතර පුතාට අවස්ථාවක් ලැබුණා කැනඩාවේ රෝයල් බැංකුවේ රැකියාව ලැබුණා. පුතා රට යද්දී මටයි දුවටයි එක පොරොන්දුවක් දුන්නා. අපි දෙන්නව කවදාවත් තනි නොකර කැනඩාවට ගෙන්වා ගන්න බවට. පුතා ගිහින් අවුරුදු දෙකකට පසු මමයි දුව පුර්ණාවයි කැනඩාවට ගෙන්වා ගත්තා. අපි තුන්දෙනා එක තැන ජීවත් විය යුතුය යන අවශ්‍යතාවය මට තිබුණා. රවින්ද්‍ර මිය ගියාට පසු බිමල් පවුලේ බර කරට ගත්තා. මාව සහ පුර්ණාව තනි නොකර අපි දෙන්නව ආදරයෙන් රැක බලා ගෙන ජිවත් කරවීමේ අවශ්‍යතාවය බිමල්ට තිබුණ නිසායි ඔහු අපිව තනි නොකර කැනඩාවට ගෙන්වා ගත්තේ. බිමල් විටෙක මට තාත්තා කෙනෙක්.

 

ආච්චි අම්මා කෙනෙක් දරුවන්ටත් වඩා මුනුපුරු, මිනිබිරියන්ට ආදරණීයයි. ඔබත් එලෙසමයි කියා මට හිතෙනවා.

ඔව් බිමල්ට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. බිමල් විවාහ වුණේ මාතලේ සැන්ඩ්‍රා නමැති තරුණියක් සමඟ ඒක යෝජිත විවාහයක්. මමයි ලංකාවට ආපු වෙලාවේ විවාහ යෝජනාව ගෙනාවේ. බිමල් පදිංචි වෙලා ඉන්නේ පුර්ණාගේ නිවෙසට ඉතා කිට්ටුව. බිමල්ගේ සහ පුර්ණාගේ විවාහ සිදුවුයේ ලංකාවේ, හොලිඩේ ඉන් හෝටලයේ.

පුර්ණා රැකියාව කරන‍්නේ කැනඩාවේ ඡ්රඥ ට්තචඵඵ සමාගමක කළමණාකාරිණියක ලෙස. ඇගේ සැමියා අසජිත් රැකියාව කරන්නේ කැනඩාවේ තැපැල් දෙපාර්තමේන්තුවේ. පුර්ණාට පුතාලා දෙන්නෙක් ඉන්නවා. බිමල් සහ පුර්ණා වැනි දරු‍වෝ දෙදෙනෙක් ලබන්න මම වාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ ලේළි - බැණා හරිම හොඳයි මට හරිම ආදරෙයි. මුණුපුරන් හැම වෙලේම ඉන්නේ මාව වටකරගෙන ආදරයෙන් සෙනෙහසින්. මගේ පණත් හරි මුනුපුරු මිනිබිරියන් හතරදෙනාත් හරි. දරුවෝ දෙන්නාගේ පවුල් දෙක නිතරම එකතු වෙනවා. උපන් දින සාද අපි නිතරම පවත්වනවා.

 

විදෙස් රටවල පදිංචි අය නිවාඩුවට වෙනත් රටවල සංචරණය කරනවා. ඔබත් සංචාරයේ අත්දැකීම් විඳලා ඇති නේද?

ඔව් මගේ අයියා ඇමරිකාවේ, අක්කා ඕස්‍‍ට්‍රේලියාවේ. මම නිතරම ඒ රටවල් දෙකට ගියා. ඉතාලිය, ප්‍රංශය, පර්මනිය, ඕස්ට්‍රියාව, කියුබාව, නවසීලන්තය, මැක්සිකෝව ඉන්දියාව වැනි රටවල් ගණනාවක සංචාරය කරලා විවිධ අත්දැකීම් සුන්දර ස්ථාන නරඹා තිබෙනවා.

 

මවට දුවක මිස වෙන කවරෙක් ද?

සත්තකින්ම මගේ දුව පුර්ණා තමයි දෑස මෙන් මාව රැක බලා ගන්නේ මට වේලාවට කන්න බොන්න දීලා. අවශ්‍ය සියලුම කළමනා සපයා දෙන්නේ පුර්ණා. මාව නාවන්නෙත් දුව. හැම මොහොතේම මම ගැන අවධානයෙන් ඉන්නේ. ඕනැවටත් වඩා මාව ආරක්ෂා කරනවා. මට හරිම ආදරෙයි. පුර්ණා විතරක් නොවෙයි පුතත් මට පණ වගේ ආදරෙයි.

එදා මම පුර්ණගේ අම්මා -

පුර්ණ මගේ දුව

අද පුර්ණා මගේ අම්මා -

මම පුර්ණාගේ දුව

ආදරණීය ලීනා අක්කේ

දීර්ඝ කාලයක් නීරෝගීව

යෙහෙන් වැජඹෙන්නට

ඔබට වාසනාව උදාවේවා

සුබ උපන් දිනයක් !

 

 

 

සේයාරූ - දයාන් විතාරණ