දරපාන්ගේ භාර්යාව අනෝජා

-බුද්ධි රන්දෙණිය
ඔක්තෝබර් 21, 2021

ජාතික රූපවාහිනියේ මුතුහර නම් රූපවාහිනි වැඩසටහන තුළින් මෙරට කලා ලොවට දයාද වූ පිරිස් රැසකි. මෙවර අපේ කතා නායිකාවටද සිය කලා දිවියේ මූලික අඩිතාලම වැටෙන්නේ ඒ ඔස්සේය. තමන් අධ්‍යාපනය ලද පාසල වන ගල්කිස්ස උසස් බාලිකා මහා විද්‍යාලයෙන් නර්ථනය සාහිත්‍යය මෙන්ම විවිධ විෂයය බාහිර ක්‍රියාකාරකම්වලින් ලද පන්නරයත් කලාවේ ඇගේ මේ ගමනට බෙහෙවින් බලපෑ ප්‍රධාන සාධකයක් බවට පත් විය. දෙරණ රූපවාහිනියේ විකාශය වන සිඳු ටෙලි නාට්‍යයෙන් ඇය මේ දිනවල අපේ ආලින්දයට ගොඩ වන්නීය. ඒ දරපාන්ගේ බිරිඳ හෙවත් අනෝජා ලෙසයි. කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදි උපාධිධාරිනි කලාකාරියකි. ඇය බුද්ධි රන්දෙණිය නම් වන්නීය. සරසවිය සමඟ ඇය කළ ප්‍රථම කතා බහයි මේ.

 

ඉතින් කොහොමද?

ඉන්නවා ඉන්නවා හොඳීන් ඉන්නවා.

 

ඔයාට කොහොමද?

මමත් හොඳීන්.

 

මේ දවස්වල සිඳු ටෙලි සිතුවම තුළින් අපි ඔබව දකිනවා. ඒ ගැන විස්තර අහන්න තමයි මේ කතා කළේ. අපි කතා කරමුද?

හරි එහෙනම් මම සූදානම් අපි කතා කරමු.

කලාවේ මූලාරම්භය සිදු වන්නේ ඔබේ පාසලෙන්මද?

 

කලාවේ මූලාරම්භය සිද්ධ වෙන්නේ ඇත්තටම කිව්වොත් මගේ පෙර පාසලෙන්. ඉන් පසුව ප්‍රාථමික අධ්‍යාපනය ලැබුව මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ මට ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයයට ඇතුළු වෙන්න ලැබෙනවා. එකේ ඉගෙන ගන්න කොට නැටුම් තමයි කළේ. ඒ කාලේ විදුහලේ සාහිත්‍ය කලා ඇතුළු විවිධ උත්සව අවස්ථාවන්වලදි මම ප්‍රමුඛ වෙලා කටයුතු කළා. පාසලේදී විෂය බාහිර සෑම ක්‍රියාකාරකමකදම මම කෑපී පෙනෙන තත්ත්වයක හිටියා.

 

ඒ කියන්නේ ඔබ පාසලේදී කලා කටයුතුවලට ප්‍රමුඛ වුණාද?

අනිවාර්යනේම මම එවැනි ඕනෑම කටයුතුත්තකදි පෙරමුණ ගත්තා කියලා කිව්වොත් නිවැරැදියි. නර්ථනය, රංගනය, ගායනය, නිවේදනය යන සෑම අංශයකින්ම මම දක්ෂතා දැක්වූවා. ඊට පස්සේ මට ගම දුව කියලා නමකුත් පටබැඳීලා තිබුණා, නරි බෑනා නාට්‍යයේ රඟපෑම නිසා. චම්පා ශ්‍රියාණි කියන ප්‍රවීණ රංගන ශිල්පිනිය එවකට බිහි වෙලා තිබුණෙත් අපේ පාසලෙන්. ඉතින් ඔය කාලයේ මට කලාව ගැන ලොකු ආසාවක් ඇති වුණා. ඒ නිසා ඒ වැඩකටයුතුවලට මම වැඩියෙන් දායක වූණා කියලයි මට හිතෙන්නේ.

 

බුද්ධි උසස් පෙළට කළේ මොනවාද?

මුලින්ම මම උසස් පෙළට වාණිජ්‍ය විෂයය ධාරාව හදාරලා විභාගයට පෙනී සිටියා. කලාවට තිබුණු ආසාව නිසාම නැවත වරක් නාට්‍ය හා රංග කලාව නැටුම්ද ඇතුළුව කලා විෂයන්වලින් උසස් පෙළ විභාගයට මූහුණ දුන්නා.

 

ඔබට ඒ අවස්ථාවේදී ලැබුණු ප්‍රථිපල කොහොමද?

ඒ පාර මම කලා විෂයයන්වලින් උසස් පෙළ සමත් වෙලා කොළඔ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයට තේරෙනවා. ඊට පස්සේ මම නට්‍ය හා රංග කලා විශේෂවේදි උපාධිධාරිනියක් වෙලා තමයි විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ.

 

ඊට අමතරවත් ඔබ මීට අදාල පුහුණුවීම් හැදැරීම් රැසක් සිදු කළා නේද?

ඔව්. මම පාසලෙන් හා මුතුහර වැඩසටහනෙන් පවා විශාල පන්නරයක් ලැබුවා. මේ වෙලාවේ එවකට මුතුහර වැඩ සටහනේ අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ ලලිතා සිරිබද්දන නැන්දා මට ලබා දුන් සහයෝගය ගැනත් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මම නිර්මාණි රංගායතනයෙන් නිහාල් පෙරේරා ගුරුපියාණන් යටතේ නර්ථනය හැදැරුවා. ඒ ලැබූ පුහුණුව, විනය අදටත් ජිවිතයට ආශිර්වාදයක් ඒ වගේම පමුණුවේ ජි. විමලසේන ගුරු පියාණන් යටතේ පහත රට නර්තනය හදාරලා ලංකාවේ ගම්මඩු පූජෝත්සවයකට කලඑළි මංගල්‍යයක් කළ පළමු සහ එකම ශිල්පිනියන් තිදෙනාගෙන් කෙනෙක් මම. හැබැයි පසු කලෙක සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ නරථන පීඨයේ සරසවි වරම් අහිමි වෙන්නත් ඒක හේතුවක් වුණා. ප්‍රවීණ රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ මහත්මියගේ අභින ප්‍රසංග කලා අධ්‍යයන ආයතනයට මම ඇතුළත් වෙලා එහිදි පුහුණුවීම් හැදැරීම් කළා. අනතුරුව මට ඇක්ට් ෆෝ ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂ නාලින්ද ප්‍රේමරත්න මහතාගෙන් කලාව හුදු විනෝදාස්වාදයකට එහා ගිය සමාජ ප්‍රගමනය උදෙසා වන නාට්‍ය කලාව ප්‍රමුඛ කර ගත් හැදැරීම් හා ප්‍රායෝගික පුහුණුවීම් කරමින් වැඩිදුරට ඉගෙන ගන්නත් අවස්ථාව ලැබුණා.

මීට අමතරව කැළණිය විශ්වවිද්‍යාලයෙන් සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයකින් මනෝ විද්‍යා උපදේශනය හා මනෝ ප්‍රතිකාර පිළිබඳවත් හදාරලා තියෙනවා. ළමා සංවර්ධනයට අදාළව විදෙස් පුහුණුවක් පවා මං ලබලා තියෙනවා.

 

ඔබ රැකියාවකත් නිරත වුණා නේද?

ඔව්, මම පෞද්ගලික ආයතනයක සහාය ගණකාධිකාරිණියක් ලෙස කෙටි කලක් රැකියාව කළා.

 

දැන් එයින් ඉවත් වෙලාද ඉන්නේ.

ඔව්, දැන් මම පූර්ණකාලිනව රංගනයට අදාළ වන වෘත්තියක තමයි නිරත වෙන්නේ. ඇඩ් ප්‍රෝ සංවාද මණ්ඩප නාට්‍ය සංවිධානයේ උපදේශිකාවක් ලෙස.

 

බුද්ධි මේ සංවිධානයෙන් විදෙස් රටවල් රැසකට පවා ගිහින් බොහෝ අත්දැකීම් ලබා ගත්තා නේද?

මට රටවල් කිහිපයකට යන්නත් විදෙස් ආචාර්යවරුන් යටතේ ඉගෙන ගන්න පවා මේ ඇක්ට් ෆෝ ආයතනය හරහා අවස්ථාව ලැබුණා. ඒ ඒ රටවල වෘත්තිමය නාට්‍ය හා රංග කලාව ගැනත් සමාජ ප්‍රගමනය උදෙසා නාට්‍ය හා රංග කලාව කෙසේ විය යුතුද යන්නත් ළමා අධ්‍යාපනයේදී කලාව භාවිතය පිළිබඳවත් දැනුම්වත්වීම් හා පුහුණූවීම් ලබමින් ප්‍රායෝගික හා අත්දැකීම් රාශියක් එහිදී මට ලබා ගන්න පුළුවන් වුණා. ඒ අයුරින් මම ලබාගත් දැනුම මේ වන විටත් අනාගත පරපුර වෙනුවෙන් දායාද කරමින් වැඩකටයුතු කරගෙන යනවා.

 

 

ඒ කටයුත්ත ඔබ අතින් සිදු වෙන්නේ කොහොමද?

අප ආයතනයේදී ලබා දෙන මනෝ විද්‍යා උපදේශන සේවයන්ට අමතරව මේ වන විට ශ්‍රි ලංකාව පුරාම විවිධ ම්ට්ටමේ පිරිස් වෙනුවෙන් පෞරුෂ වර්ධනය හා නායකත්ව පුහුණුව, මානසික සෞඛ්‍ය නඟා සිටුවීමේ වැඩමුළු ආදිය පවත්වමින් මට හැකි උපරිමයෙන්ම ඒ කාර්යය ඉටු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ රටේ අනාගත පරපුරුවලට අයත් වන පිරිස් මෙලෙස ඒ වෙනුවෙන් පෙළ ගස්වමින් ඉතා කැමැත්තෙන් තමයි මම මේ කාර්යය තව දුරටත් කරගෙන යන්නේ.

 

බුද්ධි දැනට නිර්මාණවල ඉතා අඩුවෙන් නේද දකින්න ලැබෙන්නේ. ඊට හේතුව කුමක්ද?

ගොඩාක් අවස්ථා නෑ. ලැබෙන අවස්ථා කිහිපයත් තෝරා බේරා ගන්න වේලා තියෙනවා. අපේ රටේ වෘත්තීය මට්ටමින් නළු නිළියෝ හිටියට ක්ෂේත්‍රයේ ඒ රැකියාවට වෘත්තිමයභාවයක් නෑ. වෙන රටවල තියෙන වෘත්තිමය අයිතිවාසිකම් වෘත්තිමය හැටියට පිළිගැනීම වෘත්තිමය රැකවරණය මේ මොකුත් නෑ. ඒ නිසා රංගනය වෘත්තියක් හැටියට කරන්න අපහසු වෙලා තියෙනවා. චිත්‍රපට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් තියෙනවා. ඒවාට සම්බන්ධ වෙලා ඉන්න හැම වෘත්තිකයෙක්ම ළඟ බලාගෙන කාලෙට ගැළපෙන යමක් කරලා ස්ථාවරභාවයක් ගොඩනඟාගෙන පුළුවන් තරමක් රැදෙන්න උත්සහා කරනවා. අධ්‍යක්ෂකවරුන්ගේ, නිෂ්පාදකවරුන්ගේ, නළු නිළියන්ගේ හා තාක්ෂණ ශිල්පින්ගේ සංගම් වෘත්තීය එකමුතු යන මේ සියල්ල එකම සංවිධාන ජාලයක් ලෙසින් පෙනී සිට මේ වෘත්තීය ස්ථාවරභාවය ගොඩ නඟා ගන්න උත්සහා කරන්නේ නෑ. අද රංගනයේ යෙදෙන බෙහොමයක් දෙනාට නිසි වටිනාකමක් ඇගයීමක් නෑ. මිනිසෙකුගෙන් කිසියම් සේවයක් ලබා ගත්තාම ඔහුට ඒ වෙනුවෙන් වෙහෙසුණු, දහඩිය වේලෙන්න කලින් අදාළ වේතනය ගෙවීම් කළ යුතුයි කියලයි කියමනටත් කියලා තියෙන්නේ. එහෙම තමයි ලබා දුන් සේවය පිළිබඳව තෘප්තිමත් වෘත්තිකයෝ බිහි වන්නේ. අද ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න බොහොමයක් ශිල්පි ශිල්පිනීන්ට යම් නිර්මාණයකට දායක කර ගන්න කතා කළාම ඒ අයට සාධාරණ නිශ්චිත මුදලක් ගෙවන්නටද කැමැති වෙන්නේ නෑ. එකඟ වුණත් වේලාවට ඒ මුදල ලබා ගන්න නිර්මාණයෙන් පස්සේ සෑහෙන අරගලයක් කරන්න වෙනවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. කර්මාන්තයක් හැටියට ස්ථාවර වෙන්න අදාළ නිර්ණායක ක්‍රමවේදයන් ගොඩ නඟලා අපිත් ඒ අනුව අනුගත වෙලා වැඩ කරන ක්‍රමයක් සකස් කරගන්න ඕනේ. ලෝකයේ මෙතෙක් සිදු වුණ සෑම ව්‍යසනයකටම පස්සේ හැම ක්ෂේත්‍රයකම වෙනස්කම් සිදු වෙලා තියෙනවා. හෙට දිනයේ අපේ රටේ මේ විදිහටම සිද්ධ වේවි. ඒක සුබවාදි වෙයිද කියන්න මං දන්නේ නෑ. ඒත් අපි එහෙම කරගන්ඩ ඕනේ.

 

මේ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බවද ඔබ මෙයින් කියන්නේ?

එහෙමත් වෙනවානම් වඩා හොඳයි. මේ ආශ්‍රිත කටයුතුවල නියැළෙන සෑම අංශයකම පිරිස් එකට එකතු වුණොත් මේ වැඩේ කරන්න පුළුවන් වඩා පහසුවෙන්. ලෝකයේ අනෙකුත් බෙහෝ රටවලත් එහෙම තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ.

 

ඔබ සිඳු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ප්‍රදීප් මානවඩු කියන සිඳු ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයා තමයි මට ඒ සඳහා කතා කරන්නේ. ඔහු මගේ සමකාලීන සහෝදර රංග ශිල්පියෙක්. අපි මීට පෙරත් එකට එක්ව බොහෝ වැඩකටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම ඔහුව හොඳීන් දන්නවා. මේ අවස්ථාවේදී මම සිඳු ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ජානක සිරිවර්ධන මහතා සහ ඔහුගේ නිෂ්පාදන ආයතනය හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂතුමා වන තිලිණ බොරලැස්ස මහතාවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේ ආයතනයක් එක්ක මට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබීමත් මම ලබපු ලොකු භාග්‍යයක් කියලත් හිතෙනවා. අපි හැමෝටම වගේ නිසි ඇගයීමක් හා වටිනාකමක් ලබා දෙමින් ඔවුන් නිර්මාණයකදි හැමෝටම හොඳීන් සලකනවා.

 

දර පාන්ගේ බිරිඳට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

ඔව් දරපාන්ගේ බිරිඳ හෙවත් අනෝජාට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ ඈත ගම්වල පිරිස් විතරක් නොවෙයි කොළඹ හතේ නගර ආශ්‍රිත පිරිසගෙන් පවා ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ගොඩාක් දෙනා මාව පාරෙදි වුණත් දැක්කාම ඒ චරිතය නමින්ම කතා කරලා ලබාදෙන ප්‍රතිචාර හරිම වටිනවා. ගොඩාක් සතුටුයි ඒ ගැන. සාමාන්‍යයෙන් ගමක හැම පැත්තක් පිළිබඳවම ජිවිත අවබෝධයෙන් ජීවත්වෙමින් යන චරිතයක් තමයි අනෝජා හෙවත් දර පාන්ගේ බිරිඳ කියන චරිතය තුළින් පෙන්නුම් කරන්නේ.

 

බුද්ධිට අදටත් නොලැබුණු රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිත තියෙනවාද?

මට එකම විදිහේ චරිත තමයි ලැබිලා තියෙන්නේ. ඒවා බොහෝ විට සුදු චරිත හෙවත් සාමාන්‍ය චරිත. ඊට වඩා වෙනස් කළු චරිත කරන්න මම ගොඩාක් කැමැත්තෙන් ඉන්නවා. උදාහරණයක් ලෙස කිව්වොත් ගැමි චරිත ඒ ආශ්‍රිත දඩබ්බර, සැරපරුෂ කඨෝර දිවියකට අදාළ චරිත රඟදක්වන්නත් ආසාවෙන් ඉන්නවා.

 

සැබෑ ජිවිතයේදීත් බුද්ධි සැරපරුෂද?

කවුද එහෙම කියන්නේ (ඇය සිනාසෙයි) අපේ ගෙදරිනුත් දන්නවා මම එහෙම නෑ කියලා. මං ඇත්තටම එහෙම සැරපරුෂ කෙනෙක් නොවෙයි.

 

දැන් බුද්ධි ඔහොම තනියම හිටියා හොඳටම ඇති නේද? විවාහයක් කරගන්න අදහසක් නැද්ද?

එහෙම දෙයක් කරගන්නත් ඕනේ ඉස්සරහට බලමු.

 

ඇයි තවමත් ඒකට ප්‍රමාද?

ඒ සදහා මට ගැළපෙන මං සිතන පතන විදිහේ කෙනක්ව මට තවම ලැබිලා නෑ ඒකයි.

 

බුද්ධි ඔබ ඔය හිතන් ඉන්න විදිහේ කෙනෙක් ජිවිත කාලෙටම නොලැබුණොත්

ප්‍රශ්නයක් නෑ. දිගටම මේ හිටපු විදිහට තනිවම ජිවත් වෙනවා. විවාහයක් ජිවිතයට අත්‍යවශ්‍යයි කියලා මට නම් හිතෙන්නේ නෑ. අද එහෙම නැතුව තනිවම ජිවත්වෙන අයත් අපේ සමාජයේ ඉන්නවනේ.

 

අවසාන වශයෙන් බුද්ධිට යමක් කියන්න ඇති නේද?

මම ඉන්නේ මහරගම පමුණුව ප්‍රදේශයේ. අම්මයි, තාත්තායි, මල්ලියි සමඟ අපි කුඩා ව්‍යාපාරයක් කරගෙන තමයි ජිවත් වෙන්නේ. මැරෙන්න මොහොතක් තියලා හරි ලංකාවේ ඉන්න නළු නිළියන් ඇතුළු පිරිසට වෘත්තීය මට්ටමින් එහි වැඩකටයුතු කරන්න වැඩපිළිවෙලක් හැදෙනවා නම් එය සිදු වෙනවා මට දකින්න ලැබෙනවා නම් ඒක තමයි මගේ ජිවිතයේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ. ඒ වගේම අවසාන වශයෙන් මට මේ විදිහට කතා කරපු සරසවිය පුවත්පතටත් ඔබටත් ප්‍රේක්ෂක ජනතාවටත් ගොඩාක් ස්තුතියි.