මගේ ජීවිතේ ලොකු ඉලක්ක නෑ

ප්‍රවීණ රංගවේදී නදීකා ගුණසේකර
ඔක්තෝබර් 21, 2021

 

 

කීන දම් මිටක් අරන් ආවා මගේ නංගෝ...

කාටවත් නෙවෙයි නඟාටයි ඒ ආ නංගෝ...

 

සිනමා ලෝලීන්ගේ සන්තානයේ 'දං චූටි' ට ඇති ආදරය දශක හතරකට පසුවත් එක සේ නොඅඩුව පවතින්නේ ඇගේ රංග කෞශල්‍යය, රූසපුව නිසා පමණක් නොව ඇයටම ආවේණික වූ සුරතල් කතා විලාසය නිසාය. අසූව දශකය ආරම්භ වනවාත් සමඟම කාංචනා ලෙස රිදී තිරය හැඩ ගැන් වූ ඇය කලාත්මක මෙන්ම ජනාකර්ෂණීය සිනමාව එක ලෙස හැඩ කරමින් බැද්දේගම, වජිරා, චංචල රේඛා, රිදී නිම්නය, බිත්ති හතර, බට්ටි, යහළු යෙහෙළි, චායා, අහිංසා මෙන්ම චෙයරියෝ ඩොක්ටර්, අඟර දඟර, ආදි පනහකට අධික නිර්මාණ ඔස්සේ එදා මෙදාතුර රසික පරම්පරාවල හදවත්වලට සමීප වූවාය. නැඟී එන නිළිය, හොඳම සහාය නිළිය, හොඳම නිළිය වෙනුවෙන් සරසවිය සම්මාන සහ ජනාධිපති සම්මාන දිනා ගැනීම දක්වා ගමන් කළේ රිදී තිරයේ නිරූපණයන්හි ඈ සඵත කළ ප්‍රබලත්වය සහ තාත්විකත්වයයි. පුංචි තිරයේ ද ඇයගේ රංගනය සම්මානනීය වූ බවට හිමි අහිමි වෙනුවෙන් ඕසීඅයිසී උන්ඩා හොඳම නිළිය සම්මානය ලැබීම සාක්ෂියකි. මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාව සහ සංස්කෘතික අමාත්‍යාංශය නියෝජනය කරන වගකිව යුතු තනතුරු දරමින් ඇය සිනමා කලාවේ හා කර්මාන්තයේ ප්‍රගමනය, අනාගතය උදෙසා මහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටින්නීය. ඒ ආදරණීය නදීකා ගුණසේකර ප්‍රවීණ රංගවේදිනිය සරසවිය වෙත කැඳවන්නේ ඔබ වෙනුවෙන් ඇගේ වත්මන් තතු විත්ති විමසන්නටය...

 

 

* කොහොමද නදීකා අක්කා මේ දවස් ගෙවුණේ? මම සුපුරුදු පැනය අසමි. ඇය සිය ආවේණික හඬ අවදි කරයි.

මේ කාලේ නංගී... මට එළියට යන්න බැරි වුණා, පාටි නැති වුණා කියලා දැනුණෙ නෑ. ගෙදර ඉද්දි වැඩ ගොඩයි. මගේ නංගි ගංගාත් ඇවිත් හිටියා. කොරෝනා සමයේ අපි කතා වුණා ඇයි මේ තරම් අපි කුස්සියේ උයන පිහන වැඩ කරන්නේ කියලා. කොච්චරද කීවොත් අපේ පෑන්ට්‍රි එකත් ලොකු කරන්න සිදු වුණා. (සිනාසෙමින්) මගෙ දුව තෙනුකිත් ගෙදරනෙ, එයා කන්න දේවල් හොයනවා. ඉතින් අපි උයනවා.

මගේ දින චර්යාවත් පටන්ගන්නේ පහන පත්තු කරලා තේ හදලා. ඒකත් එක එක්කෙනාට එක එක විදිහට ඕනෙ. පැළවලට වතුර දාලා සමහර විට මහන කාමරේට යනවා. සෙනුකිට දැන් අවුරුදු 17ක් වෙනවා මම හිතන්නේ මුළු ජීවිත කාලෙම සාප්පුවකින් අරගෙන ඇඳලා ඇත්තේ ඇඳුම් පහක් විතර. අනෙක් ඔක්කොම මම මහලා දීපුවා. යාළුවෝ මට හිනා වෙනවා මම ඒ කාලේ ඇන්දා වගේම දිග සායවල්, බෝරිච්චි අත් දාපු හැට්ට අන්දන්නේ කියලා. මම කියන්නේ දරුවා ළමා වයසෙදි ළමා විදිහට හිටියාම හොඳයි. එයා තරුණ වයසට එද්දි කැමැති මෝස්තර කරයිනේ. අනෙක... ගෙදර ලස්සන කරන්න, පැළ හිටවන්න මම ආසයි. මට 'ඩොගීස්ලා' හයකටයි එළියෙන් ආපු දෙන්නෙකුටයි සලකන්නත් තියෙනවා. මම මුහුණු පොතටත් යනවා. සමහර විට ඒක කාලය කන වැඩක්ද කියලත් හිතෙනවා. වෙලාවකට හිතෙනවා ගෙදර ඉන්නවාට වඩා එළියට ගිහින් එද්දි මහන්සි අඩුයි කියලා. මොකද එතැන සියලු දේ අත ළඟට ලැබෙනවා. විෂයය පිළිබඳ සාකච්ඡා කිරීම විතරයිනේ අපට තිබෙන්නේ. (යළිත් ඇගේ කිංකිනි සිනහවෙන් මගේ දෙසවන් පිරේ)

 

*ටීවී එහෙම බැලෙන්නේ නැද්ද?

ඒ ගැන දුක හිතෙනවා. රිදී ටීවී එකේ පරණ චිත්‍රපටයක් බලනවා මිසක අනෙක් නාළිකා නොබලන තරම්. චිත්‍රපටවල වුණත් මම ආස සුන්දරත්වය දකින්න. කටුකත්වය කමක් නෑ. ඒත් ප්‍රචණ්ඩත්වයට මම හරිම අකමැතියි. සමහර නාළිකාවල පෙන්වන දෙමළ චිත්‍රපට ගහ ගන්නවා, මරා ගන්නවා... මම කවදාවත් අනුමත කරන්නේ නෑ විශේෂයෙන් දෙමළ සිනමාවේ දෙනෝදාහක් බලාගෙන ඉද්දි කපන කොටන ඇදගෙන යන ඒවා. අපි දැකලා තිබෙනවා, ඉන්දියානු සංස්කෘතියේ තිබෙන සුන්දරත්වය. ඒත් මේ චිත්‍රපටවල ප්‍රචණ්ඩත්වය අපේ සමාජයට දෙන පණිවිඩය මොකක්ද? ලොකු කුඩා හැමෝම එකට ඉඳගෙන බලද්දි ඒ අයගේ මනසට ඇති වන බලපෑම!

 

*ටෙලි නාට්‍ය?

මෙහෙම කීවාට තරහ වෙන්න එපා. මම බලන්නෙ නෑ. හේතුව මෙගා කියන සංකල්පයේ මම නෑ. කතාවක් කොටස් පනහකට සියයකට යනකොට අපට මුලත් මතක නෑ. මම ඉන්නේ කතාවක්, කතාවක් විදිහට මිසක් ගුවන් කාලය ආවරණයට ගෙතීම සුදුසු නෑ කියන මතයේ. යශෝරාවය, දූදරුවෝ වගේ ටෙලිනාට්‍යත් එක දිගට විකාශය වුණානෙ. ඒවායේ දෙමළ හෝ හින්දි නාට්‍යවල වගේ ගෙදරටත් මඟුල් ගෙදර යන්න වගේ ඇඳගෙන එහෙම නෙවෙයිනේ හිටියේ. චරිතයට ගැළපෙන ඇඳුම් පැලඳුම්, කතාබහ, අවස්ථාවට, චරිත ස්වභාවයට ගැළපීමක් තිබුණා. සිනමාව තුළ ලැබූ අත්දැකීම සහ මගේ පුරුද්දත් ඒක නිසා රූපරාමුවට නොගැළපෙන දේවල් දකිනකොට කනගාටු හිතෙනවා.

මම රඟ පෑ ටෙලි නාට්‍යයක කලා අධ්‍යක්ෂ කීවා, 'අක්කා කළු හැට්ටයක් මහගත්තොත් ඕනෙ එකකට අඳීන්න පුළුවන්' කියලා.

මම 'බෑ' කීවා.

අපි චිත්‍රපටවල හෝ හිමි අහිමි වගේ ටෙලි නාට්‍ය කරන කාලේ වුණත් ඒ චරිතවලට අවශ්‍ය ඇඳුම් හදලා දුන්නා. එහෙම නොවුණාම වන හානිය මේ අය තේරුම් ගන්නේ නෑ. කොතරම් දක්ෂ නළුවෙකු හෝ නිළියක වුණත් චරිතයේ ස්වභාවය අඳීන පලඳීන විදිහෙන් පෙන්නුම් කරනවා. අවස්ථාව අනුව වර්ණ භාවිතය චරිතයේ භාවයන්ට ගැළපෙන්න ඕනේ. අපි යසෝමා (1997) ෂූටින් කළේ මාරවිල. අපි නැවතිලා හිටිය හෝටලයට අහම්බෙන් මංගල සමරවීර හිටපු ඇමැතිතුමා ආවා. එතකොට ඇමැතිවරයෙක් නෙවෙයි ඔහු. ඒකේ ඇඳුම් නිර්මාණය කරගත්තේ මම. යසෝමා කතාවේ මුල් කාලය, කසාදය, විවාහය බිඳවැටීම, තනිවීම මේ හැම අවස්ථාවකම ඇන්ද සාරි, ඒවායේ පාට එහෙම ඇල්බම් එකේ තිබුණා. ඒකට මොහාන් නියාස් වගේම බුද්ධි (කීර්තිසේන) අය්යාත් එකතු වුණා ඔහුත් නිර්මාණ ශිල්පියෙක්නේ. මංගල මහත්මයා ඇල්බම් එක බලලා කීවා, මේක බැලුවාම මුළු කතාවම මගේ ඔළුවට ඇවිත් ඉවරයි කියලා. ඒක මම හිතන්නෙ සම්මානයකට සමානයි.

 

(ඇය යළි මෙගාවලට එයි)

අනෙක මෙගා ටෙලිනාට්‍යවල නළුනිළියන් රඟපාන විදිහ, දවසකට කරන දර්ශන ගාණ ගැන එහෙමත් මම අහලා තිබෙනවා. මුල්ම කාලේ ඒ නිසාම අතහැරුණු ටෙලි නාට්‍ය දෙකක් විතර තිබෙනවා.

ඉස්සර ශිල්පියාට මහන්සියි කියලා දැනෙනවා නම් බල කරන්නේ නෑ. හොඳම උදාහරණය තමයි තිලක් (වේහැල්ල) අය්යා, එයා හරි ඉක්මනින් වැඩ කරන කෙනෙක්. ඒත් ශිල්පියෙක් මහන්සියි කියලා කිව්වොත් කවදාවත් අනේ තව සීන්ස් දෙකක් තියෙනවා කියන්නේ නෑ. කාටවත් නොදැනෙන විදිහට අපි මේ සීන් එකෙන් පස්සෙ පැකප් කරමු කියනවා. මොකද මේ වැඩේ සෙලෝලොයිඩ් පටයට ගියාට පස්සේ කිසිම හේතුවකට ඒක මකන්න බෑ. ඒක මට ගාමිණී (ෆොන්සේකා) අය්යා කීවේ සරසවිය චිත්‍රාගාරයේදි චංචල රේඛා ඩබිං කරද්දි. මම කීවා 'රිහර්සල් එක නම් හොඳට ආවා අය්යා, ටේක් එක මට එච්චර හිතට හරි නෑ' කියලා. ඔහු මට කීවේ 'මේ පටිගත වුණාම කවදාවත් දෙයක් මකන්න බැරි නිසා ගතවන කාලය ගැන නොහිතා කරන දේ හරියට කරන්න' කියලා. අද ඉතින් ආර්ථික පසුබිම එහෙම බලපානවා තමයි. ඒත් අපි නිර්මාණය හෑල්ලු කරන්නේ ඇයි?

 

* ඒත් අද ටෙලිනාට්‍ය බොහොම ජනප්‍රියයි?

දවස ගාණේ පෙන්වන නිසා ගෙවල් අස්සේ ඉඳගෙන කන්නේ බොන්නෙත් නැතිව, බලන නාට්‍ය තිබෙනවා. එහෙම වෙන්නේ වෙන විනෝදාස්වාදයට මාධ්‍යයකුත් නැති නිසානේ මේ රටේ. හැබැයි ඒ නිර්මාණවල ගුණාත්මකබවත් තිබිය යුතුයි. ඒක වාණිජ ද කලාත්මක ද කියන බෙදීමේ මගේ ජීවිතේ කිසිම දවසක සිනමාවෙදිවත් තිබුණේ නෑ. ඒ නිසාම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේම ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ එක්ක වැඩ කරද්දි මම ලෙනින් මොරායස්, සේන අය්යා, සුනිල් සෝම පීරිස් වගේම දයා විමලවීර වගේ ඕනෑම අධ්‍යක්ෂවරයකු එක්කත් වැඩ කරනවා.

 

අපේ වාණිජ සිනමාවත් කඩා වැටුණේ තිබ්බා ගැහුවා ක්‍රමයට චිත්‍රපට හදන්න බෙඩ්ෂීට් එක මේස රෙද්දට දාලා හරි වැඩ කරපු නිසා. ඒක මම ලැබුව අත්දැකීමක්. මම කීවා මට නම් බෑ මේ රටම දන්න චයිනීස් බෙඩ්ෂීට් එක මෙසෙට දාගෙන කෑම කන්න කියලා. සමහර විට නුසුදුසු දේවල් තිබුණාම මම හිමීට ගිහින් කලා අධ්‍යක්ෂට කියනවා. මොකද මම ආවා, රඟපෑවා ගියා නෙවෙයි, මුළු නිර්මාණයම ගොඩ යන්න ඕනෙනෙ අපි සම්බන්ධ වෙන.

මට මතකයි යහළු යෙහෙළි කරද්දි රාත්‍රී දර්ශනයක් නතර කළා. එරල් කෙලී තමයි කලා අධ්‍යක්ෂ. ඒ කතාවේ පොල් කඩලා වෙඩි තියලා, අඬන්නේ කවුද කියලා අහන දර්ශනයේ ආන්ටි සුමිත්‍රාට (සුමිත්‍රා පීරිස්) අවශ්‍ය වුණේ, ගමේ ඉන්න ලොකුම ඉස්කෝලෙ මහත්තයාගේ ඒ ලස්සන වලව්වේ තිබිය යුතු ගෘහභාණ්ඩ, ඒ අය භාවිත කළ රෙදි මොනවාද කියන දේ ඒ කාමරයේ හරියටම තිබෙන්නයි. එය නොගැළපුණු නිසා සියලු දෙනා සූදානම්ව ඉද්දි එතුමිය ෂූටින් එක නතර කළා. ඒක තමයි විය යුත්තේ. මොකද පස්සේ ඒ දර්ශනය වහන්න හෝ වෙනස් කරන්න බෑනේ. එදා තිබුණු ඒ ගැඹුර පසුකාලීනව නැතිව ගියා, සිනමාව ටිකෙන් ටික කඩා වැටුණා නේද?

 

*ඇත්තටම සිනමාවට වුණේ මොකක්ද?

නවක අධ්‍යක්ෂවරුන්ගෙ රැල්ලක් එනවානේ ලෙස්ටර් පීරිස්, ඩී.බී. නිහාල්සිංහ, තිස්ස අබේසේකර වගේ අයගෙන් පස්‌සේ. ඔවුන් කතා කළ විෂයයන් පවා වෙනස් වුණා. ඒ වගේම කලාත්මක කියන වචනයේ හිර වුණා. සාර්ථක වුණු චිත්‍රපටත් තිබුණා. ඒත්, කවුරු කොහොම කීවත් ලාංකික ජන සමාජයේ ඒ පරණ නළු නිළියන් සහ චිත්‍රපට ඉදිරිපත් කළ ක්‍රමවේදය පිළිගන්න පරම්පරාව තවම ඉන්නවා.

ඔය ගැන අපේ කමිටුවලම සමහරු කීවා සිනමා ශාලාවලට ගිහින් බලන පුරුද්ද නෙවෙයි දැන් තිබෙන්නේ, සියලු ආශ්චර්යයන් දුරකථනයෙන් බලන්න පුළුවන් කියලා. හැබැයි, සිනමාව කියන මාධ්‍යය ශාලාවකට ගිහින් බලද්දි තිබෙන වින්දනය සහ ෆෝන් එකෙන් බලද්දි තිබෙන වෙනස අලුත් පරම්පරවේ අය සිනමා ශාලාවලට නොයෑම නිසා නොදන්නවා වෙන්න පුළුවන්. ඒ අය ෆෝන් එකෙන් සිංහල චිත්‍රපට බලනවා කියලා නම් මම හිතන්නේ නෑ. අනන්තයට ගිය පහත් ආස්වාදජනක චිත්‍රපට තමයි බහුතරයක් බලන්නේ. අපට කලින් දුරකථන ආව රටවල සිනමා ශාලා සියල්ල වැසෙන්න එපැයි නැත්නම්? ඒත් අද ෂොපිං කම්ප්ලෙක්ස්වල කොපමණ ශාලා තිබෙනවාද? දුරකථනයෙන් ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියන අවුරුදු දහ අටේ දහ නවයේ පරපුරේ අයගෙ ජීවිත සහ මානසිකත්වය මොන තත්ත්වයේද කියන දේ ගැනත් හරිම දුකයි. ඒ දේට උත්තර බඳීන්න මට බැරි ඔය දේ කරන්නේ මවුපියන් දැනුම්වත්ව නිසා. හැබැයි අපේ ගෙදර ඒ තත්ත්වය මම ඇති කරලා නෑ.

 

*ජංගම දුරකථනවලට සිනමාව එන්න කලිනුත් අපේ සිනමාව හිටියේ අර්බුදයක?

මම ජාතික චිත්‍රපට සංස්ථාවේ 2008 වගේ සිට කටයුතු කරනවානේ. සහරාන්ගේ ප්‍රහාරය සහ කොවිඩ් නිසා පහුගිය කාලේ සිනමා ශාලා වැහුණා. ශාලා යාවත්කාලීන වෙලා තිබුණේ නෑ වගේ නොයෙක් හේතු තිබුණා තමයි. හැබැයි ඊට කලින් ඉඳන් කොයි රජය පැමිණියත් සිනමාව කලාවක් සහ කර්මාන්තයක් ලෙස ඇත්තටම තේරුම් නොගැනීම තමයි දිගින් දිගටම සිනමාව දුර්වල වීමට හේතුව.

සිනමාවට ආදරය කරන නිෂ්පාදකවරුන් චිත්‍රපටයක් කළාට එය ප්‍රදර්ශනයට ගියාම එයට තිබෙන අඩුපාඩුකම් එමටයි. අපේ වගේ රටක කොයි තරම් නිෂ්පාදකවරු ආවත් වැඩක් නෑ හොඳ නිර්මාණ ඇති වීමත් අවශ්‍යයි. හොඳ නිර්මාණ කරන්න තිස්ස අබේසේකරයන් ඉන්න කාලේ දුන් ණය ක්‍රමයේදි පවා වාණිජ සිනමාව වෙනුවෙන් ලොකු ආයෝජන කෙරුණේ නැහැ. අපි වරද්දගත්ත තැන එතැනයි. පොඩි සෙනඟක් ඉන්න මේ රටේ විනෝදාස්වාදයක් ලැබෙන චිත්‍රපටවලටයි බහුතරයක් රසිකයන් කැමැති කියන දේ අපි තේරුම් ගත යුතුයි. කලාව කර්මාන්තයක් වශයෙන් රැකගන්න තිබෙන අවස්ථාව ගිලිහෙනකො‌ට සමහර අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකයකු හොයාගෙන ඔහුට අවශ්‍ය විදිහට නිර්මාණ කරන්නත් සිදු වුණා. එක්තරා කාලයක හින්දි සිනමාව අනුකරණය කිරීම සමඟත් අපේ කඩා වැටීම ඇරඹුණා. ඊට පස්සේ අධ්‍යක්ෂවරුත් එනවා සම්මානත් ලැබෙනවා ඒත් ඒ නිර්මාණ ලාංකික ප්‍රේක්ෂකයා හඳුනාගත්තාද යන්න ප්‍රශ්නයක්. අපට රසිකයාගේ වින්දනය වෙනස් කරන්න බෑ. දුක්බරම දේ, සිනමාව කියන්නේ කෙනෙකුගේ හිතේ තිබෙන දේවල් සේරම කීම නෙවෙයි ඒවා ප්‍රේක්ෂකයන් පිළිගනීද කියන දේ හිතපු නැති එකයි.

 

*එකම හේතුව එයද?

පසුගිය කාලය පුරා ආර්ථික ව්‍යුහයේ සහ දේශපාලනයේ වෙනස් වීම් මත චිත්‍රපට සංස්ථාවේ වුණත් කරන දේවල් ඒ අනුව වෙනස් වුණා. ජයන්ත ධර්මදාස සභාපතිතුමා සමඟ වැඩ කළ කාලේ සිනමා ශාලා නැති ප්‍රදේශවල, දඹුල්ල වගේ ආර්ථික මධ්‍යස්ථානයක් සහිත, කොටුව වගේ රෑ එළිවන තුරු සෙනඟ ගැවසෙන ස්ථානවල මිනි තියෙටර්ස් හදන්න උත්සාහ කළා. ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිතුමාත් එයට බොහෝ සහාය දුන්නා. ඒත් ආණ්ඩු මාරු වෙනකොට ආපහු මුලට වැටෙනවා. පෞද්ගලික සිනමා ශාලා හිමියන් ආසන පන්හයසියයේ විශාල සිනමා ශාලා වහලා දානවා. ඊට හරියන්න පොඩි ශාලාවක්වත් හැදෙන්නේ නෑ. හැබැයි මේ කර්මාන්තයෙන් යැපෙන විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ නිසා තමයි ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා කීවේ සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කරන්න කියලා. මොකද බැංකු ණයක් හෝ යම් පහසුකමක් ගන්න අපහසු වන්නේ සිනමාව කලාවක් විතරයි කියලා ඉන්න නිසා. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. මණ්ඩලයට බෙදා දුන්නට පස්සේ ආයතනයක් ලෙස චිත්‍රපට සංස්ථාවට සල්ලි නැති වුණාට ඉස්සර භාණ්ඩාගාරයේ පුදුම විදිහට මුදල් තිබුණු ආයතනයක් මෙය. කෙටිකාලීන ඉක්මන් තීරණ ගෙන රජයේ කුඩා ව්‍යාපෘතියක් ලෙස පොඩි සිනමා ශාලා පනහක් හැදුවොත් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවා.

අපේ ආර්ථික ව්‍යූහය තුළ සිනමාවට දුන් තැන ඉතාමත්ම අඩුයි. මට කවුරු දොස් කීවත් කියන්න ඕනෙ, නළු නිළියන් තමන්ගේ දේශපාලන වේදිකාවලට ගෙන්වා ගෙන ප්‍රයෝජන ගත්තාට ඔවුන් සිනමාව, කලාව පිළිබඳ දුන් ලියුම්වලට ප්‍රතිචාර දැක් වූ ආකාරය පිළිබඳ මම නම් සෑහීමකට පත් වන්නේ නෑ.

 

* ඔබේ ප්‍රකාශය දේශපාලනිකයි?

මම විවෘතවම කියන්නේ මම ඇතුළු මේ රටේ අහිංසක මිනිසුන් දකින දේ හරි වේදනාකාරියි කියලා. මෙය කාටවත් ඇඟිල්ල දිගු කිරීමක් නෙවෙයි. රෝද හතර කැරකෙනවා නම් අබලන් නැති නම් රජයක් මාරුවෙන වාරයක් ගානේ වාහන මාරු විය යුත්තේ ඇයි. මම කියන්නේ බය නැතිව ලියන්න.

 

*පූජ්‍ය පූජක පිරිස් උපදෙස් දෙනවානේ?

රජකාලේත් ආගමික නායකයන්ගේ උපදෙස් ලැබුණානේ. මොන ආගමේ වුණත් ඔවුන්ගේ මුවින් පිටවන වචන සංයමයකින් යුතුව නිවැරැදිව අපක්ෂපාතීව මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් විය යුතුයි කියලා අප විශ්වස කරනවා. එහෙම නැතිව පක්ෂපාතී වනවා නම් මිනිස්සු කලකිරෙනවා නේ. තව කල් යද්දි ආගම පිළිබඳ තිබෙන විශ්වාසය පවා නැතිව යයි. මේ රට සංවර්ධනය කරන්න නම් මුලින්ම මිනිසුන්ගේ හිත් සංවර්ධනය කරන්න ඕනේ කියලයි මම පාලකයන්ට කියන්නේ.

 

*ජනමාධ්‍යවලින් මේවා ප්‍රචාරය කරන විදිහේ වැරැද්දකුත් තිබෙනවා?

ජනමාධ්‍ය මේ දේවල් කතා කරන්නෙත් යථාර්ථයට වඩා 'ගොසිප්' විදිහට. රටේ දූෂණයන් ගැන වුණත් සමහර ජනමාධ්‍ය කතා කරන්නේ හරි සැහැල්ලුවෙන්. අපි කොහොම කීවත් මාධ්‍යවල පක්ෂපාතීත්වය පේන්න තිබෙනවා. මේ හැමදේම තියෙන්නේ ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ වචන හැසිරවීම සහ පත්තරවල අකුරු හැසිරවීම මතනේ නංගී... සත්‍යය නොකියා ඒවා හසුරුවන්නත් පුළුවන්. මේවා නිසා අපේ රට ජාතිය වගේම කලාව ගැන හරි දුකක් හිතෙන්නේ.

 

*කලාකරුවන් එකතු නොවන්නේ ඇයි මේ අවස්ථාවලදි?

කලාකරුවන් 'එකතු වෙනවා' කියන වචනය කොහෙද තිබෙන්නේ. ඉස්සර කලාකරුවන් පිරිසක් හිටියා පොදුවේ කලාව වෙනුවෙන් කතා කරන. උදාහරණයකට විජය (කුමාරණතුංග) අය්යා ඒ වගේ කෙනෙක්නෙ. ඡන්දෙ කාලෙට බස් පිටින් පුරවගෙන වේදිකාවලට ගෙනිච්චාට නායකයන් ගාවට යන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? ඒ අතළොස්ස කවදාවත් කලාව වෙනුවෙන් මෙන්න මේ තීරණය ගත්තා කියලා මට ඔයා කියන්නකො තියෙනවා නම්?

 

*කලාකරුවනුත් පාර්ලිමේන්තු ගියානේ?

මට හරිම කනගාටුදායකයි ඒ ගැන කතා කරන්න. මට ආරංචියි ගීතා අක්කා නම් පසුගිය කාලේ මේ සිදුවන දේවල් ගැන කනගාටුවට පත් වුණා කියලා. හැබැයි ඉතින් පාර්ලිමේන්තුවට කලාකරුවන් ගියාට අපව නියෝජනය කරන්න කවුද ඉන්නේ කියලා මට කියන්නකෝ.

ගිය සුමානෙත් අපි කීපදෙනෙක් ගියා අමාත්‍යාංශයට කොවිඩ් නිසා වැසී තිබී තිබුණු ශාලා පිළිබඳ කතා කරන්න. ඒවායේ සමහර දේවල් ලේකම්තුමා දැනගෙන හිටියේ නෑ. මේ රටේ තිබෙන නොම්බර එකේ විනෝදාස්වාද ක්‍රමය මොකක්ද? සිනමාවනේ. සල්ලි නෑ කිය කිය ඒ කර්මාන්තය මැරිලා යන්න දෙනවාට වඩා, සිනමා ශාලාවට යන කෙනා අයිස් චොක් එකක් කාලා නැත්නම් එතැනින් බීර බෝතලයක් හරි බීලා ජීවිතේ සතුටක් කියලා ලබන ඒ වෙනස අපි රැක‌දෙන්න ඕනෙනේ.

 

*යෝජනා කරන ක්‍රමවේදය?

අපට තිබෙනවා ප්‍රාදේශිය සභාවලට අයත් ඉඩම් සහ විශාල ගොඩනැඟිලි රැසක්. ඒවායේ මිනිතියටර් හැදුවා නම් ප්‍රාදේශීය සභාවටත් ආදායමක් ලැබෙනවා. ග්‍රාමීය ජනතාවට රසාස්වාදයක් ලබන්න අවස්ථාවත් ලැබෙනවා. මිනිස් සිතේ සතුට ඇති නොකර රට සංවර්ධනය කරන්න බෑ. මෙච්චර ලෝකෙ ඩිජි‌ටල් වුණා, නවීකරණය වුණා කීවත් අපේ ගම්වල වගේම නගරවල සුපිරි ශාලාවලට පවා සෙනඟ පිරෙනවා.

අද බැලුවොත් ගිරාඳුරුකෝට්ටේ ඉඳලා පොළොන්නරුවට යනකල් එක සිනමා ශාලාවක් නෑ. ඒ මිනිසුන්ගේ දවස අවසානයේ ජීවිතය විඳීන්න, තරුණ තරුණියන්ට ඉස්සර වගේ ගිහින් චිත්‍රපටයක්වත් බලන්න අවස්ථාවක් නෑනෙ. ඒවා මානුෂීය අවශ්‍යතා.

 

*ශාලා හැදුවට මදිනේ හොඳ චිත්‍රපට හැදෙන්නත් එපැයි?

මෙතැන ලොකුම ගැටලුව, පහුගිය කාලේ ප්‍රමිතියෙන් තොර චිත්‍රපට එකසිය ගාණක් තිබෙනවාලු පෝලිමේ. හැබැයි ඉතින්, තමන්ගේ නිර්මාණය ප්‍රමිතියකින් තොරව කරපු අය ඒවාට දඬුවම් විඳීයි. ඒ අය නිතැතින්ම ප්‍රතික්ෂේප විය යුතුයි. එතකොට තමයි බරපතළකම දැනෙන්නේ. කාලයක් තිබුණානේ චිත්‍රපටයක් කරන්න සුදුසුකම් ඕනෙ‌ වුණ.

මම මේ කියන්නේ එක රැයෙන් එළිවන දෙයක් ගැන නෙවෙයි. සිනමා ශාලා හැදෙනවා නම් මේ රටේ සල්ලි තියෙන සිනමාවට ආදරය කරන නිෂ්පාදකවරුත් එයි මේ කර්මාන්තයට.

අද අඩි දොළොස්දාහක් ඕනෙ චිත්‍රපටයකට අඩි පනස්දාහක් ෂූට් කරනවා. මොකද තිරයෙන් බලන්න පුළුවන් නිසා. ඉස්සර එහෙම බෑනෙ. අන්තිමට වෙන්නේ සංස්කරණ මැදිරියේදී කපලා කපලා දානවා තමන් දන්නෙත් නෑ අවශ්‍ය මොකක්ද කියලා. උත්පලා චිත්‍රපටයේ මටත් එහෙම දෙයක් වුණ නිසා අත්දැකීමෙන් කියන්නේ. නවීන තාක්ෂණය නිසානේ හැම කෙනාම චිත්‍රපටම කරන්න යන්නේ. සමහර අය ටෙලි නාට්‍ය කරලා ඒවා ප්‍රතික්ෂේප වෙද්දි සංස්කරණය කරලා චිත්‍රපට කියලා එවනවාලු.

 

*ඔබට අනුව සිනමාව කියන්නේ කුමක්ද?

සිනමාව කියලා අපි බලාගෙන ඉඳලා එළියට එන්නේ මායාවක් තුළින් කියලානේ කියන්නේ. හැබැයි ඒ මායාව හැම වෙලේම යථාර්ථයක් වෙනවා අපි ශාලාවෙන් එළියට එද්දි. යම් සිදුවීමක් තාක්ෂණය සමඟ මුසුවෙලා ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා. ඒක මායාවක් නම් දෙවැනි වරටත් බලන්න හිතෙන්නේ නෑනේ. තුෂාරා චිත්‍රපටයේ 'හෝ හෝ තුෂාරා' කියලා ගැයුවාම ශාලාවෙන් එළියට එන අයත් ගෙදර යන්නේ හෝ හෝ තුෂාරා කියමින්. ඒ කියන්නේ මායාව හදවතේ යථාර්ථයක් කරගන්නවා. මතකයක් බවට පත්වෙනවා. මම චිත්‍රපටයක් බලන්නේ එතැන ඉඳලා.

යම් සිදුවීම් මාලාවක් ඇහැට පේන විට දැනෙන රසය විඳීන්නයි අපි කැමැති. ඒ එක්ක සංගීතයෙනුත් වින්දනයක් ලැබෙනවා. මිනිසා කියන්නේ මේ නවනළු රසයම විඳීන්න කැමැති කෙනෙක්. අපි ආසයි අඬන්න, හිනාවෙන්න, ආදරය කරන්න, විරහව විඳීන්න. ඒ සියල්ල සෙලෝලොයිඩ් පටය තුළ තිබෙනවා. එකම චිත්‍රපටය ඔයයි මමයි විඳීන්නේ දෙවිධියකට. ඒ ඕනෑ විධියකට විඳීන්න පුළුවන් තැනක නිර්මාණය තැබීම තමයි අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය. සමහර චිත්‍රපට තිබෙනවා අධ්‍යක්ෂවරයා තමන්ට කැමැති දේ විතරක් කරන. එය අඩුම ගානේ ප්‍රේක්ෂකයන් දෙතුන්දෙනකුටවත් විඳගන්න බැරි නම්, මම එය දකින්නේ අධ්‍යක්ෂවරයාගේ අසමත්කමක් විදිහටයි. තමන් සතුටු වෙන්න විතරක් චිත්‍රපටයක් කරනවා නම් ශාලාවට නොදා ගෙදර තියාගෙන බලන එකනේ ඇත්තේ.

 

*ප්‍රේක්ෂකයන් ශාලාවට නොඑන්නේ?

තරමන්ට නොදැනෙන දේ ප්‍රතික්ෂේප කරන්නත් ප්‍රේක්ෂකයා‌ට අයිතියක් තිබෙනවා. සියලු දෙනාම හැම චිත්‍රපටයම එකම විදිහට ළං කරගන්නවා නම් ආදායම් මට්ටම් වෙනස් වෙන්න බෑනේ.

මා ගාව තිබෙනවා මීට අවුරුදු තිස්පහකට විතර කලින් 'කැමැති අකැමැති' කියලා ගිය පුවත්පතක ලිපියකට කරුණාසේන ජයලත් මහත්මයා දුන් පිළිතුරක්. ඒ අවස්ථාවේ කරු අය්යාට සුමිත්‍රා ආන්ටි කියනවාලු 'ඔයා කැමැතිම ගොළු හදවතේ ධම්මිට නේ?' කියලා. ජයලත් මහත්මයා කියනවාලු ' නෑ, මම යහළු යෙහෙළි එකේ කුසලාට හරි ආසයි. මගේ කුසලා එහෙමම තිරයේ ඉන්නවා' කියලා. තමන්ගේ මනසේ තිබෙන චරිත සහ ඒවා ඉදිරිපත් කිරීමේදී ඒවා ප්‍රේක්ෂකයන් උකහා ගන්න විදිහකුත් තිබෙනවානේ. ඒ නිසා අධ්‍යක්ෂවරයාටත් යුතුකමක් තිබෙනවා එය ප්‍රේක්ෂකයාට දැනෙන්න වගේම මේ කියන දේ සාධාරණයි කියලා වැලඳගන්න මට්ටමට තම නිර්මාණය ඉදිරිපත් කිරීමට.

 

*එතකොට රංග ශිල්පීන්?

නළුවන් නිළියන් කියලා ජාතියක් හදන්න බෑ. බැද්දේගම කරනකොට, මුවා මැරිලා උස්සගෙන ඇවිත් මම මැරෙන කොටස එදා තිබුණේ. ෂූටින් ඉවරවෙලා රෙස්ටහවුස් එකේ ඉද්දි ඩොක්ටර් පීරිස් කියනවා, 'අධ්‍යක්ෂවරයා කියන දේ නළුවා නිළිය තේරුම් ගන්නවා නම් අධ්‍යක්ෂවරයාට කරන්න දෙයක් ඉතිරි වන්නේ නෑ' කියලා. පිටපතකින් චරිතය ගැන කියන්න පුළුවන්. ඒත් හින්නිහාමි හිනා වෙන්නේ, කතා කරන්නේ කොහොමද කියන දේ ගැන නිළියට අධ්‍යයනයක් කරන්න සිදු වෙනවා. මොකද අධ්‍යක්ෂවරයාට හිනාව හදන්න බෑ. කතා විලාසය හදන්න බෑ. ඒ නිසා පළමුව චරිතය තේරුම් ගන්නත්, දෙවැනුව අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේට ඇහුම්කන් දෙන අතර චරිතයට අනන්‍ය වූ මූලික ලක්ෂණ ඉදිරිපත් කරන්නත් හැකියාව නළු නිළියන්ට තිබිය යුතුයි.

රිදී නිම්නයේ මට තිබුණේ අවුරුදු 12 සිට 15 දක්වා දිවෙන චරිතයක්. එතකොට මට අවුරුදු දහ අටක් විතර ඇති. එක් දර්ශනයක් කරද්දි මම මොකකට හෝ හිනාවෙනකොට නිහාල්සිංහ අය්යා (ඩී.බී. නිහාල්සිංහ) කියනවා 'මතක තියාගන්න වයස අවුරුදු 12යි...' කියලා. අන්න ඒ කාර්යභාරය හරියට තෝරා ගැනීමේ වගකීම නළුනිළියන්ට තිබෙනවා. අධ්‍යක්ෂවරයා උපදෙස් දුන්නත් නළු නිළියන් තමයි චරිතය තුළ ජීවත් වන්නේ. අනෙක යම් කාර්මික ඥානයකුත් නළු නිළියන්ට අනිවාර්යයෙන්ම ඕනෙ. මගේ පළමු චිත්‍රපටයේ පළමු දර්ශනය කරද්දි කැමරාව පැත්තක මගේ මූණ තවපැත්තක. ඩොනල්ඩ් ( කරුණාරත්නත)අය්යා මගෙන් ඇහුවා දෙබස කීවද කියලා. මම ඔහේ ඔළුවත් වන වන වෙන කොහේටද දෙබස් කියලා. ඒ දැනුම අත්දැකීමෙන් ලැබෙනවා. මෑතක යුගාත්‍රා කළා. ම‌ට කවදාවත් ඒ වගේ චරිතයක් ලැබිලා තිබුණේ නෑ. ගෙදරදි පිටපත දෙනවා වගේ නෙවෙයි දර්ශනතලයට ගිහින් ඒ ගමන, ඒ හඬ එක්ක චරිතය නිරූපණය කරද්දි. සමහර වෙලාවට මගේ හඬ මාරුවෙලා යද්දි චන්න (පෙරේරා) මල්ලි කියනවා අක්කා ඔන්න හඬ වෙනස් වේගන යනවා කියලා. කොයි තරම් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් හිටියා වුණත් ඒ සියල්ල තුලනය කරගැනීමයි නළු නිළියන්ගේ කාර්යය වන්නේ.

 

*ඔබේ පසු පරම්පරා ගැන මොකද හිතෙන්නේ?

අපෙන් පස්සේ ආව දිල්හානි, සංගීතා, යශෝධා, කාංචනා, නිල්මිණි තෙන්නකෝන්, සේමිණි වගේ අය අපිත් එක්කම ඉදිරියට ගියා කියලා හිතෙනවා. ඉන් පස්සෙ පරපුර ගැන නම් දුක හිතෙනවා මොකද දක්ෂයන් හිටියත් පූජා (උමාශංකර්) හැර, අන් අයට රඟපාන්න අවස්ථා ලැබිලා නෑ.

දක්ෂතා තිබුණු අනෙක් අයගේ බාහිර පෙනුම මිසක් චරිත අභ්‍යන්තර ලක්ෂණ අධ්‍යක්ෂවරුන් උකහා ගත්තාද කියන සැකයත් මට තිබෙනවා, ඒ අය ඉදිරියට නොයන්න හේතුවක් විදිහට. මොකද රිදී නිම්නයෙන් පස්සේ මම බැද්දෙගම කරන්නේ. රිදී නිම්නයේ සංස්කරණ මැදිරියේදි ඩොක්ටර් පීරිස් ඩොක්ටර් නිහාල්සිංහගෙන් අහනවාලු කොහොමද ඔයාගේ ආර්ටිස්ට්ලා කියලා. මොකද ස්වර්ණක්කා (ස්වර්ණා මල්ලවආරච්චි) හැර ගීතා කාන්ති, දේවිකා මිහිරාණි, සනත් අපි ඔක්කොම අලුත්නේ. වාණිජ චිත්‍රපටවල රඟපෑ අය කලාත්මක චිත්‍රපටවලට ගන්නේ නෑ කියන දේ තිබුණත් පෞද්ගලිකව මම රිදී නිම්නය, බැද්දේගම, යුගයෙන් යුගය, චංචල රේඛා, යහළු යෙහෙළි, බට්ටි සියල්ලේ එකම කාලේ රඟපෑවා. ඒ අධ්‍යක්ෂවරුන්ටත් විශ්වාසයක් තිබුණා මේ ශිල්පියා තමන්ගේ චිත්‍රපටයේ චරිතයත් හරියට කරයි කියලා. රංගනය කියන්නේ එදිනෙදා ජීවිතය නෙවෙයි, චරිතයක් තුළ ජීවත් වීම. අපි කීදෙනෙක් ඒ දවස්වල හිටියා වුණත් හැම කෙනාටම චරිත බෙදිලා ගිහින් අවස්ථාව ලැබුණානේ. ඒ අතර අපට ජ්‍යෙෂ්ඨ මාලිනි අක්කා, ගීතක්කා, ශ්‍රියාණි අක්කා වගේ අයත් හිටියා. සිනමා තිරයට ලස්සන විතරක් නෙවෙයි, ආකර්ෂණයත් තරු ගුණයත් ඕනෙ. ප්‍රේක්ෂකයා උකයා ගන්නේ ඒ ගුණය.

අධ්‍යක්ෂවරුත් දන්නවා බොහොම සූක්ෂ්මව තමන්ගේ නළු නිළියන් තෝරාගන්න. මම වැඩකරනවා තිලක් අය්යාටයි, වී සිවදාසන්ටයි එකවර චිත්‍රපට හයක. ඒවා ඔක්කොම බොක්ස් ඔෆිස් වුණා. ඒ අධ්‍යක්ෂවරුන්ගේත් හැකියාව. ඔක්කොම රජවරු දෙමළ චිත්‍රපටයක්. හොඳීන් නැත්නම් නරකින් චිත්‍රපටය ඉන්දියාවේ ගිහින් පිටපත් සකසද්දි එහෙ අය කීවාලු 'අපේ ආර්ටිස්ට්ට වඩා ඔයගොල්ලන්ගේ ආර්ටිස්ට් හොඳට ප්ලේ කරනවානෙ' කියලා. සරසවිය සම්මාන උලෙළේ පළමුවෙනි වතාවට වෙන්න ඇති වාණිජ චිත්‍රපටයක් වන හොඳීන් නැත්නම් නරකින් නිර්දේශ වුණේ හොඳම නිළියට.

 

*අද තරුවලට මොකද වෙලා තිබෙන්නේ?

එදා නළු නිළියන්ට තමන්ටම ආවේණික වූ අනන්‍යතාවක් තිබුණා. ගව්වක් දුර හිටියත් ඔයාට පුළුවන් මේ නදීකා, මේ සබීතා, මේ අනෝජා කියලා අඳුනගන්න. අපේ ජ්‍යෙෂ්ඨ පරපුරටත් ඒක තිබුණා. ඒත් දැන් ඉන්න පරපුර හිතන්නේ බාහිර ඔපය ගැන විතරයි. වාණිජ වාසිවලට එක එක ආයතන විසින් තරුණ පරපුර හසුරුවනකොට ඒකට ඇබ්බැහි වෙලා. කොණ්ඩ, ඇහිබැම, පාට, ඇහි පිහාටු දිහා බලන්න, වෙනසක් නෑ. ඉතින් හැමෝම එකම විදිහයි.

අනෙක තරු ගුණය කියන දේ නැති වුණේ, සමාජ මාධ්‍ය බොහෝ දෙනාගෙ ජීවිත කොහේටදෝ ඇදලා දැම්ම නිසා. පෞද්ගලිකත්වය අපි හැමෝටම තිබුණා. අපට සම්බන්ධතා තිබිලා තියෙනවා. ඒවා බිඳීලා තිබෙනවා. ඒත් ඒ දේවල් මේ තරම් කතාබහට ලක් වෙලාත් නෑ. ලක් වුණත් මේ තරම් අපහාස කරලත් නෑ. ප්‍රේක්ෂකයන් නළු නිළියන් දිහා බැලුවේ මේ මම ආදරේ කරන නළුවා හෝ නිළිය කියන හැඟීමෙන්. ඒකට පොදු මාධ්‍ය ලෙස අපට තිබුණ පුවත්පත් ආදියේ සිටි මාධ්‍යවේදීන්ගේ විනයක් සංයමයත් හේතුවක්. සරසවිය පුවත්පත කිසිම දවසක කිසිවකුගේ ගෞරවයට හානි කරලා නෑ. මේ ක්ෂේත්‍රයේ අපට හරි අමාරුයි හිතු මතේ ජීවත් වෙන්න. නළු නිළියන් කියන්නේ පොදු වස්තු. අපේ චිත්‍රපට ඒ විවිධ අය බැලුවොත් තමයි අපට පැවැත්මක් තිබෙන්නේ. ඒත් ඒ අය සමඟ ඇසුරු කළ යුතු ආකාරය ගැන තේරුම් ගන්න, සමාජය පිළිබඳ අධ්‍යයනය කරන්න මනස හදාගන්නයි තමයි අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ.

මම ගැහැනියක් හැටියට අලුතෙන් ක්ෂේත්‍රයට එන ගැහැනු ළමයින්ට කියන්නේ, තමන් තමන්වම නැති කරගෙන අනෙක් අයගේ කතාබහට ලක් වන්න තියාගන්න එපා. අපි අද මුහුණු පොතේ පින්තූරයක් දැම්මාම ලැබෙන කමෙන්ට්ස්වලින් තේරෙනවා රසික ජනතාව අපට ගෞරව කරන තරම. ඒවා බලහත්කාරයෙන් ගන්න බෑ.

 

*මේ දිනවල ඔබ වගකීම් රැසක් දරනවා?

කෙටි චිත්‍රපට තරගයක් තියලා ප්‍රතිඵල දැන් සඟවාගෙන ඉන්නවා සිනමාවට 75 ලබද්දි ජනවාරියේ එළි දක්වන්න. සංස්කෘතික අමාත්‍යාංශයටයි දැන් වැඩිපුර සම්බන්ධ. චිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය සහ ප්‍රදර්ශකයන්ගේ මතගැටුම් සමඟ ප්‍රතිව්‍යූහගත කිරීම් පිළිබඳ යෝජනා ගෙන එනවා නිෂ්පාදකයා සහ ශාලා හිමියා සම්බන්ධයෙන් කළ යුතු දේ පිළිබඳව අගමැතිතුමාට භාර දෙන්න. රාජ්‍ය ආයතනයක් ලෙස සංස්ථාවෙන් විදේශ උලෙළ ආදියට අපේ නිර්මාණකරුවන් සම්බන්ධ කිරීම, චිත්‍රපට ආනයනය ආදිය පිළිබඳ එහි කරුණු දැක්වෙනවා. අපි යෝජනා කරන්නේ සිනමා කර්මාන්තය පිළිබඳ වෘත්තීය මට්ටමේ අය එහි සිටිය යුතුය බවටයි. දේශපාලන ඇඟිලි ගැහීම්වලින් තොරව ආවොත් විතරයි මෙය කර්මාන්තයක් ලෙස හැදෙන්න පුළුවන්. ඉතින්, ජීවිතේ ඉතිරි කාලේ රුපියල් ශත නෙවෙයි, ලබා ගත් දැනුම යොදවලා, කර්මාන්තයට වැඩදායී යමක් කරන්නයි උත්සාහ කරන්නේ.

*පවුලේ විස්තර ටිකක් කියමු?

තෙනුකි කලම්බු බ්‍රිටිෂ් ස්කූල් එකේ ඕලෙවල් කරනවා. සුනෙත් සුපුරුදු ව්‍යාපාර කටයතු කරනවා. තෙනුකි සංගීතයට හරි ආසයි, රංගනයටත් ආසයි. එයාගෙ නාට්‍ය ගුරුවරයා විදේශිකයෙක්. ඔහු කියා තිබෙනවා තෙනුකිට 'දෙබසක් කියද්දි මුහුණේ ඇතිවන ඉංගිතයන් කොයි තරම් වැදගත් ද කියලා මමත් දැනගත්තේ ඔයාගෙන්' කියලා.

 

*ඉදිරයේදී ඔබ දකින්න ලැබෙන්නේ?

'යුගාත්‍රා' චිත්‍රපටයෙන්

 

*ඔබත් නිෂ්පාදිකාවක්?

චිත්‍රපට නිෂ්පාදනය මගෙන් බොහෝ ඈත් වෙලා. දැන් මම කැමැති ගෙදර වැඩ කරගෙන යාළුවන් කීපදෙනකු සමඟ කතාබහ කරගෙන ඉන්න. සිනෙස්ටාර් පදනම නිසා කලාකරුවන් මුණ ගැහෙන එක ගැනත් ස්තූති කරන්නත් ඕනෙ.

 

*ඔබ රංග ශිල්පිනියක් වගේම උපාධිධාරිනියක්. සමාජයට, ක්ෂේත්‍රයට, කියන්න යමක් ඇති?

මගේ මවුපියන් දෙදෙනා එක වහලක් යට නොහිටියත් මාව සිනමාවට ගෙන ඒමේ ගෞරවය අම්මාට හිමි වෙනවා. මගේ අධ්‍යාපනය ඉහළටම කරගැනීමේ ගෞරවය හිමිවන්නේ තාත්තාට. සිනමා ගමනේදි ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම, අධ්‍යක්ෂවරු, එකට රඟ පෑ නළු නිළියන්, කාර්මික ශිල්පීන් සියල්ලන්ටම ස්තූතිවන්ත විය යුතුයි. මට සම්මාන ලැබුණේ ඔවුන්ගේ දායකත්වය නිසා. මගේ ජීවිතේ ලොකු ඉලක්ක නෑ. තරගයක් නෑ. කිසිම දවසක මා එක්ක රඟපාන සම චරිත ප්‍රතික්ෂේප කරලා නෑ, මට රඟපාන්න නළුවන් යෝජනා කරලා නෑ. චරිතවලට අවශ්‍ය ඇඳුම් පැලඳුම් අඳීන්න අදිමදි කරලා නෑ. නිෂ්පාදකවරුන්ගෙන් හෝ අධ්‍යක්ෂවරුන්ගෙන් කිසිම දෙයක් ඉල්ලලා නෑ. (සිනාසී) වාසනාවකට මට සියල්ලම වගේ ලැබුණට. මම තෙනුකිට කියන්නෙත් යහපත් ගැහැනියක් ලෙස හදවතට වගේම බුද්ධියටත් ඉඩ දීලා සමබර තීරණවලට එන්න කියලා.

මම බිරිඳක්, මවක් ලෙස මගේ උපරිම කැපවීමෙන් කටයුතු කරනවා. හෙට දවසේ මගේ ආසාව තෙනුකි එක්ක කතා කරන්න. වැඩියෙන්ම රණ්ඩු වෙන්නෙත් අපි දෙන්නා. ආදරෙන් කතා කරන්නෙත් අපි දෙන්නා. එයා මොන දේ කෑවත් බිවුවත් අම්මි ආස දෙයක් යාළුවොත් එක්ක කෑවා අම්මිව මතක් වුණා කියනවා. මටත් එහෙමයි. ඉස්සර චිත්‍රපටවලට ගියාම නළුවන්ට සිගරට්, නිළියන්ට චොකලට් දෙනවා. මගේ ටික ගේන්නේ නංගිලාට. තෙනුකිගෙන් පස්සේ මට මතක් වෙන්නේ එයාව. දවසක් තනියෙන් ගිය උත්සවයක චොක්ලට් වගයක් දුන්නාම මට තෙනුව මතක් වුණා. ෂෙරින් (කුමාරතුංග) මා දිහා බලලා ටිෂූ එකක් අරගෙන චොක්ලට් කෑලි ටිකක් ඔතලා දුන්නා මේක තෙනූට දෙන්න, මම හිතේ තියෙන දේ දැනෙනවා කියලා. දැන් තෙනු ලොකු නිසා වැඩිය ඒවාට එන්න කැමැති නෑ.

ගැහැනියට තරුණ කාලයට වඩා විවාහ වුණාට පස්සේ බැඳීම් ඇති වෙනවා. අපේ සංස්කෘතියත් සමඟ සමහර විට එය හරි කර්කශයි. පෙම්වතා ස්වාමියා වුණාට පස්සේ සමහර දේවල් ඈතට යනවා. අම්මා කොපමණ දරුවන් හදා වඩා ගත්තත් දරුවන්ටත් ඇය මඟහැරෙන අවස්ථා තිබෙනවා. ඒ මානසික ආතතිය දරාගන්න අපහසුයි. මොකද සතුටින් කළ හැම දේකම අවසානයේ තමන්ගේ සතුට කොහේ දෝ ගිලිහිලා. ලාංකික ගැහැනිය මේ දේවල් නිසා හරියට දුක් විඳීනවා මනසින්. ඒ නිසා යෞවනයන්ට නොවේ මේ පණිවිඩය මම කියන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ට. තමන්ගේ සතුට තමන් විසින්ම සොයා ගත යුතුයි. ඒ සඳහා තමන්ගේ ජීවිතය තමන්ට සතුට ලැබෙන විදිහට හැඩ ගස්වාගන්න.